රනිල් දුන්නත් බැසිල් ගන්නේ නැති තීන්දුවක!
හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම් රනිල් හමුවෙලා!
රෑ කෑම මේසෙදි සජිත් අන්තිම තීන්දුව ප්‍රකාශයට පත්කරයි!
ඇතුළෙ පිල්ලි ගහපු ගේම් අතේ මාට්ටු!
2024 අලුත් වර්ෂය ආරම්භ වූයේ තීරණාත්මක දේශපාලන පෙරළි රැසක් සනිටුහන් වීමට නියමිත බවට කල් තියාම ඉඟි කරමිනි. දැනටමත් 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශයට පත්ව තිබීම නිසා බොහෝ දේශපාලන පක්ෂ එය ඉලක්ක කරගෙන රැස්වීම් සහ සමුළු පවත්වමින් සිටියද උපායමාර්ගික වශයෙන් ඒ සඳහා සූදානම් වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2024 වර්ෂය ආරම්භ කළේ දැවැන්ත සැලැස්මක පළමු කොටස ජනවාරි 01 වැනිදාම රටට පෙන්වමිනි. ඒ වෙන මොකක්වත් නොව, නිකැලැල් දේශපාලන චරිතයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයට එක්කොට ගෙන අම්බලන්ගොඩ ආසන සංවිධායකවරයා වශයෙත් පත්කිරීම හරහාය.Sri Lanka Latest News
ජී.එල්. සන්ධානය කඩන්නත් හැදුවා!
කෙසේවෙතත් සජිත් මේ මෙහෙයුම සිදුකළේ අතිශය රහසිගත ආකාරයටය. ඊට හේතුවී තිබුණේ සජිත් හා ජී.එල්. පාර්ශ්වය අතර ගොඩනැගෙමින් පැවැති සන්ධානයට පක්ෂයට පිටින් මෙන්ම ඇතුළෙන්ද ඊට අකුල් හෙළමින් විවිධ පිල්ලි ක්‍රියාත්මක වීම නිසාය. විවිධ අවස්ථාවලදී විවිධ කඩාකප්පල්කාරී ප්‍රකාශ සිදුකරමින් මෙම පිල්ලි ආණ්ඩුවේ උවමනා එපාකම් මත සජබ සන්ධානය කැඩීම සඳහා ක්‍රියාත්මක වූ ආකාරය ඉකුත් සති කිහිපයේම මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. මෙම දේශපාලන පිල්ලිවල නම්ගම් සියල්ලම මේ වනවිට අප සතුව ඇති අතර ඉදිරියේදී ඔවුන් ජනතාව ඉදිරියට පැමිණෙන තීරණාත්මක අවස්ථාවකදී එම සියලු තොරතුරු රටට හෙළිදරව් කොට මේ පිල්ලි කවුරුන්ද යන්න අනාවරණය කිරීමට අප සූදානම්ය.
ශාන් ආවේ කෙහොමද!
මේ ආකාරයට පක්ෂය ඇතුළේම සිටින ඇතැම් පිල්ලි ජී.එල්. පාර්ශ්වය සහ සජිත් අතර ගොඩනැගෙමින් පැවැති සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා විවිධ ගේම් ගසද්දී සජිත්ද කාටත් හොරෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කරන ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රීලනිපයෙන් ගලවා සජබයට ගැනීමේ ගේමට අත තිබ්බේය. සජිත් ගහන මේ දේශපාලන ගේම දැනගෙන සිටියේ සජිත් සමීපයේ සිටි අතිශය සමීප දෙතුන් දෙනකු පමණි. ශාන් යනු ගාල්ලේ අතිශය ජනප්‍රිය, ගමේ දේශපාලනය කරන, වංචා දූෂණවලට නොගෑවුණු, චරිතය කිළිටි කර නොගත්, පිරිසිදු, උගත් නායකයෙකි. ශාන් ශ්‍රීලනිපයේ දේශපාලන ප්‍රතිපත්තිය සහ දේශපාලන ගමන සම්බන්ධයෙන් අතිශය කලකිරීමෙන් සිටින බවටත්, සජබය සමග සම්බන්ධ වීමට ශාන්ගේ කැමැත්තක් ඇති බවටත් සජිත්ට දැනගන්නට ලැබුණේ මීට මාස කිහිපයකට පෙරදීය. ඒ අවස්ථාවේදී සජිත්ට එම තොරතුරු ලබාදුන්නේ දේශපාලනයට සම්බන්ධ නැති එක්තරා ප්‍රකට පුද්ගලයෙකි. ඔහු කවුද, ඔහු ශාන් සජබය සමග සම්බන්ධ කිරීමට ඒ අවස්ථාවේ කටයුතු කළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ වෙත ලැබී ඇතත්, ඔහුගේ අනන්‍යතාව මේ අවස්ථාවේදී හෙළි නොකළ යුතු නිසා අප ඒ පිළිබඳ කිසිවක් මේ මොහොතේ රාජ්‍ය රහත් තීරයෙන් වාර්තා කිරීමට කටයුතු නොකරමු. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ පැවැති දේශපාලන තත්ත්වය හමුවේ ශාන් සජබයට එක්කර ගැනීමේ මෙහෙයුම මන්දගාමී වී යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
දිගම්බරම් අතට ගනී!
නමුත් නැවතත් ශාන්ගේ මාතෘකාව එළියට ගැනීමට මූලිකත්වය ගත්තේ සජිත් සමග සන්ධානගතව සිටින වතුකරයේ ප්‍රධාන දේශපාලනඥයෙකි. ඒ, වෙන කවුරුවත් නොව පලනි දිගම්බරම්ය. දිගම්බරම් ශාන් සජබයට ගැනීමේ මෙහෙයුමට මැදිහත් වී එහි කටයුතු අතට ගැනීමත් සමග මෙහෙයුම වහ වහා ඉදිරියට යන ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් යම් යම් ස්ථානවල පැවැති අතිශය රහසිගත සාකච්ඡාවලදී පැනනැගුණු ප්‍රධානම ප්‍රශ්නය වූයේ ශාන් සජබයට එක්වන්නේ නම් ඔහුට ලබාදෙන ආසනය සම්බන්ධයෙනි. ශාන්ගේ දේශපාලන ආසනය වන්නේ අම්බලන්ගොඩය. නමුත් මේ වන විට අම්බලන්ගොඩ සජබ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ සජබ ප්‍රධාන කථිකයකු මෙන්ම වැඩි බරක් අදින සංවිධායකවරයකු ලෙස ප්‍රකට බන්දුලාල් බණ්ඩාරිගොඩය. නමුත් පසුගිය මහ මැතිවරණයේදී බන්දුලාල් පරාජයට පත්වූයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමට නොහැකි වීම නිසාය.
බන්දුලාල් ගැන ප්‍රශ්නයක්!
එසේ වූවා කියා සජිත් කිසිම අවස්ථාවක බන්දුලාල්ව තනිකිරීමට කටයුතු කළේ නැත. ඒ අනුව අම්බලන්ගොඩ ආසනය සම්බන්ධයෙන් බන්දුලාල්ගේ ප්‍රශ්නය මතුවූ විට එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සජිත් දහ අතේ කල්පනා කරද්දී එය විසඳීමේ වගකීම භාරගත්තේ මේ වන විට සජබය ඇතුළේ දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටින සුජීව සේනසිංහය. සුජීව මේ දිනවල සිටින්නේ සජබයේ හිටපු නගර සභා, මහ නගර සභා, පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනා හමුවෙමින් ඔවුන් යළි ගම් මට්ටමින් ශක්තිමත් කරන දැවැන්ත වැඩපිළිවෙළක නිරත වෙමින්ය. ඒ අනුව සජිත් සුජීවට බණ්ඩාරිගොඩ සම්බන්ධ ප්‍රශ්නය භාරදුන් විට සුජීව කළේ බණ්ඩාරිගොඩ මුණගැසී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමටය. එහිදී ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී මුදල් ප්‍රශ්නය තමන්ට බරපතළව බලපාන ආකාරය බන්දුලාල් සුජීවට පැහැදිලි කර දුන්නේය. ඒ අනුව තමන් අම්බලන්ගොඩ ආසනය ශාන්ට ලබාදීමට අකැමැත්තක් නැති බව සුජීවට කී බන්දුලාල් එසේ වූවා කියා තමන් සජබය හෝ සජිත්ව අත් නොහරින බවද සුජීවට කියා සිටියේය.
බන්දුලාල් පුදුම වෙයි!
‘මම එදා ඉඳන් සජිත් එක්ක වැඩකරපු කෙනෙක්. ගියපාර මට ප්‍රශ්නය වුණේ ඡන්දය කරන්න සල්ලි නැති වෙච්ච එක. මේපාරත් මට ඡන්දය කරන්න සල්ලි නෑ. ඒ නිසා සමහර විට මම ඉල්ලුවොත් පරදින්නත් පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.. මම මගේ ආසනය ශාන්ට දීලා පැත්තකට වෙන්නම්. හැබැයි මම කීයටවත් සජබයවත්, සජිත්වත් දාලා යන්නේ නෑ. මේ පක්ෂය ශක්තිමත් කරන්න මම හැමදාම සජිත් එක්ක ඉන්නවා.’ යනුවෙන් සුජීවට දැනුම් දීමට බන්දුලාල් කටයුතු කළේය. ඒ අනුව සුජීවද බන්දුලාල්ගේ ස්ථාවරය වහාම සජිත්ට දැනුම් දීමට පියවර ගත්තේය.
සජිත් දීපු පොරොන්දුව!
ඒ සමගම සිදුවූයේ බන්දුලාල්වත් හීනෙන් හෝ නොසිතූ සිදුවීමකි. හැරෙන තැපෑලෙන් සජිත් සුජීව හරහා බන්දුලාල්ට කතාකොට විශේෂ පොරොන්දුවක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, ඊළඟට සජබය හදන ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම බන්දුලාල් තැබීමට තමන් පියවර ගන්නා බව බන්දුලාල්ට දැනුම් දීමය.
‘බන්දුලාල් ඔයා පක්ෂයත් මමත් වෙනුවෙන් කළේ ලොකු කැපකිරීමක්. මම කවදාවත් ඒක අමතක කරන්නේ නෑ. මම අද ඔයාට එකක් කියන්නම්. ඊළඟට අපි හදන ආණ්ඩුවක් යටතේ ඔයාට ගාල්ලට වැඩකරන්න මම සියලු සම්පත් ලබාදෙනවා. ඒ වගේම මම තව එකක් ඔයාට පොරොන්දු වෙනවා. ඒ තමයි අපේ ආණ්ඩුවක් යටතේ පත්කරන ජාතික ලැයිස්තුවේ ඉහළින්ම තියලා මම ඔයාව පාර්ලිමේන්තුවට අරගෙන එනවා.’ යනුවෙන් සජිත් කියද්දී බන්දුලාල්ද එය අසා සිටියේ අදහාගත නොහැකි පුදුමයෙන් යුක්තවය.
නැකතකුත් බලයි!
ඒ අනුව ශාන් විජයලාල් සජබයට එක්කර ගන්නා මෙහෙයුම සාර්ථක කරගැනීමට සජිත්ට හැකියාව ලැබිණි. නමුත් ඒ බව හෝ සජිත් කිසිදු අවස්ථාවක කාටවත් කියන්නට ගියේ නැත.
මේ ආකාරයට ශාන්ගේ සජබ ආගමනය තීන්දු වීමත් සමග සජිත් හා ශාන් අතර ඉතා රහසිගතව අවස්ථා දෙකකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ වන විටත් සජබ මූලික කරගෙන බිහිවන සන්ධානයට විවිධ පිල්ලි යොදාගෙන ආණ්ඩුව පැත්තෙන් පහරදීමට පටන්ගෙන තිබීම නිසා සජිත්ගේ සැලැස්ම වී තිබුණේ 2024 ආරම්භක දිනයේදීම එම සන්ධානයට දැවැන්ත ශක්තියක් ලබාගනිමින් ශාන්ගේ සජබ ආගමනය එළියට දැමීමටය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නැකැත් වේලාවන් පවා සකස් කරගන්නා ලෙස සජිත්, ශාන්ට දැනුම් දීමක් කර තිබිණි.
ආණ්ඩුව දැනගෙන!
කෙසේ වෙතත් ශාන්ගේ සිද්ධිය අතිශය රහසිගත ලෙස තබාගැනීමට සජබය කටයුතු කළත් අලුත් අවුරුද්දට දින 02ක් 03ක් තබා ශාන් මේ ආකාරයේ දේශපාලන පෙරළියකට සූදානම් වන බවට ආණ්ඩුවටද තොරතුරු ලැබී තිබිණි. නමුත් එහිදී බොහෝ දෙනා කියා සිටියේ ශාන් වැනි අයකු කිසිසේතම සජබයට එකතු නොවනු ඇතැයි කියාය. මේ වන විටත් පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ කිහිප දෙනකුගේම නම් වටින් ගොඩින් කියැවෙමින් තිබුණු නිසා ඔවුන් සජබයට එක්වුවද ශාන් වැන්නකු කිසිසේත්ම සජබයට එක් නොවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී තිබිණි.
මේ ආකාරයට ජනවාරි 01 වැනි දින විශාල දේශපාලන පෙරළියක් සිදුකිරීමට සජිත් සැලසුම් කරමින් සිටියදී දෙසැම්බර් 30 වැනිදා පමණ වන විට තවත් එක්තරා විශේෂ තැනකින් සජිත්ට විශේෂ පණිවුඩයක් ලැබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ ශ්‍රීලනිපයේ තවත් ප්‍රබල දේශපාලන පවුලක, නම කැතකර නොගත් පුතෙකු වන හිටපු ඇමැති දයාශ්‍රිත තිසේරාද සජිත් සමග එක්වීමට කැමැත්ත පළකොට ඇති බවකි. ඒ අනුව වහාම සජිත් සමග සමීපයේ සිටින කිහිප දෙනා සාකච්ඡා කළේ දයාශ්‍රිතගේ පැමිණීම කෙසේ කළමනාකරණය කරනවාදැයි කියාය. එහිදී දයාශ්‍රිත සම්බන්ධ කරුණ දෙවැනුවට තබා පළමුව ශාන්ගේ පෙරළිය සැලසුම් කළ යුතු බව සියල්ලන්ගේම ස්ථාවරය විය. ඒ අනුව සජිත් තීන්දු කළේ ජනවාරි 01 වැනිදට යෙදෙන සඳුදා දිනයේදී ශාන්ගේ පෙරළිය එළියට දමා මුළු දේශපාලනයම කලඹවාලීමටය.
මරික්කාර්ගේ කාර්යාලයට!
ඒ වන විටත් ජනවාරි 01 වැනි දින තමන්ගේ කොලොන්නාව පක්ෂ කාර්යාලයට පැමිණ අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වන ලෙසට එස්.එම්. මරික්කාර් මහතාගෙන් සජිත්ට ආරාධනාවක් ලැබී තිබිණි. එම ආරාධනාව පිළිගෙන තිබූ සජිත් එදින සියල්ලන්ම පුදුමයට පත්කරමින් මරික්කාර්ගේ කාර්යාලයට පැමිණියේ තමන්ගේම වාහනයේ ශාන් විජයලාල්වද නංවාගෙනය. සජිත් සමග මෝටර් රථයෙන් ශාන්ද බසිනවා දුටු මරික්කාර්ගේද ඇස් උඩ ඉන්දුනේ ශාන් සජබයට එකතු වෙන බවක් ඒ මොහොත වන තෙක්ම මරික්කාර්ද දැන නොසිටි නිසාය. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් ශාන් – සජිත් – මරික්කාර් යන තිදෙනාම එක්ව කොලොන්නාව සජබ පක්ෂ කාර්යාලයේ අලුත් අවුරුදු කෑම මේසයේ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම වෙබ් අඩවිවල පළවන්නට පටන්ගත්තේය. ඒ සමගම ශාන් සජබයට එක්වන දේශපාලන බෝම්බය පත්තු වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම අලුත් අවුරුදු කෑම මේසය ඉඳුල් කිරීමෙන් පසු සජිත් කළ කතාවේදී ශාන් සජබය සමග එක්වන බවට වූ පුවතද ප්‍රසිද්ධ කිරීමට සජිත් පියවර ගත්තේය. කෙසේවෙතත් කිසිවකු මේ පුවත නොදැන සිටියද අප මෙවැනි ආකාරයේ දේශපාලන පෙරළියක් සිදුවන බව තහවුරු කරමින් දෙසැම්බර් 31 වැනි දින රාත්‍රියේ, ‘01 වැනිදා දේශපාලන පෙරළියක් සිදුවන බව’ ඉඟි කරමින් අතිවිශේෂ පුවතක් පළකිරීමටද කටයුතු කළෙමු.
බ්‍රේකින් නිව්ස්!
මේ අතර, සජිත් විපක්ෂ නායක කාර්යාලයේ අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වීමට ප්‍රථම ශාන් විජයලාල් සමග ගොස් මරික්කාර්ගේ අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වී ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව ශාන්ගේ පුවත දැනගත් ඔවුන්ද මහත් පුදුමයට පත්වූ ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණි. සජිත් ශාන් කැටුව විපක්ෂ නායක කාර්යාලයට පැමිණ නිල වශයෙන් සජබ අම්බලන්ගොඩ ආසනය ලබා දී ශාන්ව පක්ෂයට එක්කර ගත්තේ ඉන් අනතුරුවය. මේ සමගම මෙම පුවත ‘බ්‍රේකින් නිවුස් එකක්’ ලෙස ප්‍රධාන පෙළේ සියලු විiුත් මාධ්‍යවල පළවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ශාන්ගේ මෙම සිදුවීමත් සමග ශ්‍රීලනිපය, එජාපය සහ පොහොට්ටුව පමණක් නොව, සජබ සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා විවිධ ගේම් ගැසූ සජබ පිල්ලිද දැඩි ලෙස කලබලයටත්, කැලඹීමටත් පත්වූ ආකාරයක් දැකගත හැකි විය. සජබ පිල්ලි නම් සිටියේ ශාන් සජබයට එක්වීම සම්බන්ධයෙන් හිතාගන්නටවත් නොහැකිව දත කට පූට්ටු කරගෙනය.
හකීම්ලාට යෝජනාවක්!
මීට අමතරව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් සජබ සන්ධානය කැඩීමට මාන බලාගෙන සිටින මේ පිල්ලි පිළිබඳ තවත් අලුත් හෙළිදරව්වක් කිරීමටද සූදානම්ය. ඒ, සජබය සමග සිටින සුළු පක්ෂවල නායකයන් වූ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් සජබ සන්ධානයෙන් ගලවා ජනාධිපතිවරයා සමග එකතු කිරීමට මේ පිල්ලි විසින් දියත් කළ මෙහෙයුමක් පිළිබඳවය. ඔවුන් කිහිප දෙනා මෙම මෙහෙයුම දියත් කර තිබුණේ අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් තබාය. එහිදී මේ පිල්ලි කිහිපය හකීම්ට, රිෂාඩ්ට, මනෝට, දිගම්බරම්ට කියා සිටියේ ජනාධිපතිවරයා ඉදිරියේදී සජිත් අගමැති බවට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවටය. ඒ හරහා ඔවුන්ගේ සැලසුම වී තිබුණේ සජිත් දුර්වල කොට දැනට ගොඩනැගෙමින් පවතින සජබ සන්ධානය කඩාකප්පල් කිරීමය. එහිදී එක් ප්‍රධාන පිල්ලියක් කෙළින්ම සජබ ඇතැම් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ එළියේ සන්ධාන ගොඩනැගීමට ප්‍රථම රනිල් සමග සන්ධානයකට යෑමට සජිත්ට නොහැකි මන්ද යැයි කියාය. ඒ අනුව මෙම පිල්ලි කිහිපය ජනාධිපතිවරයා හා හකීම් ඇතුළු සුළු පක්ෂ නායකයන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඔවුන් අතර හමුවක් සංවිධාන කිරීමට කටයුතු කොට තිබිණි. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇති අතර, ඉදිරියේදී අප නිසි වේලාවට එම තොරතුරු රටට අනාවරණ කිරීමට සූදානම්ය.
කවුද ගේම ගැහුවේ!
මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මීට දින කිහිපයකට ඉහතදී අතිශය රහසිගත සාකච්ඡාවක් සඳහා රිෂාඩ්, මනෝ, දිගම්බරම්, හකීම් කැඳවීමට පියවර ගත්තේය. ඉතා රහසිගතව මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණද, අදාළ සාකච්ඡාවට යෑමට ප්‍රථම මොවුන් හතර දෙනාම සජිත් හමුවී මේ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කිරීමට පියවර ගත්හ. මෙම සාකච්ඡාව සඳහා පදනම වැටුණේ කෙසේද, ඒ සඳහා තමන් සමග සාකච්ඡා කළේ කවුරුන්ද, අදාළ සාකච්ඡාව සම්බන්ධීකරණය කළේ කවුරුන්ද යනාදී සියලු තොරතුරු සජිත්ට දැනුම් දීමට මෙම පිරිස පියවර ගත්හ. එහිදී සජිත්ද කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට යෑම සම්බන්ධයෙන් තමාගේ කිසිදු ගැටලුවක් නැති බවත්, එහිදී ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද යන්න අසා සිටින ලෙසත්ය.
රනිල් එක්ක සාකච්ඡා!
ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති මෙම සාකච්ඡාවට සජබ සන්ධානයේ සිටින සුළු පක්ෂ නායකයන් හතර දෙනාම සහභාගි වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී පළමුව ජනාධිපතිවරයා හකීම් සහ රිෂාඩ් ඉලක්ක කරමින් නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කොට ඇති බව දැනුම් දී සිටියේය. ඒ හරහා හකීම්ට සහ රිෂාඩ්ට නැගෙනහිර විශාල වැඩ කොටසක් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව දිගම්බරම් ඉලක්ක කරගනිමින් වතුකරයේ ප්‍රශ්න ගැන කතා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙහිදී දිගම්බරම් පෙන්වා දුන්නේ මෙතෙක් ආණ්ඩුව වතුකරයේ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවය. විශේෂයෙන්ම වතුකරයේ ජනතාවට පර්චස් 10ක ඉඩම් කැබැල්ලක හිමිකම ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව හෝ ඉටුකර නොමැති බව දිගම්බරම් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. නමුත් එහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියැවුණේ එසේ කිරීමට අවශ්‍ය හිස් ඉඩම් වතුකරයේ නොමැති බවත්, බොහෝ ඉඩම් වතු හිමියන් සතුව ඇති නිසා ඔවුන් එම ඉඩම් මුදාහැරීමට අකැමැති බවත්ය. ඒ අනුව එම මාතෘකාවද අවසන් තීන්දුවකින් තොරව නිමා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
රනිල්ගේ යෝජනාව!
කෙසේ වෙතත් ඉන් අනතුරුව මාතෘකාවට පිවිසෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඉදිරියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවකි. එය සිදුවන්නේ කෙසේද යනුවෙන් මන්ත්‍රීවරු විමසද්දී ජනාධිපතිවරයා නොනිල වශයෙන් ඉඟි කරමින් කියා සිටියේ සජිත් සමග එක්ව සන්ධානයක් ගොඩනැගීමට තමන් සූදානම් බවත්, ඒ හරහා අගමැති ධුරය සජිත්ට ලබාදීමට සූදානම් බවත්ය.
ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහාම මේ සුළු පක්ෂ නායකයන් සියලු දෙනා සජිත් හමුවී සාකච්ඡාවේ සිදුවූ සියලු තොරතුරු ඔහුට දැනුම් දීමට පියවර ගත්හ. එහිදී සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තත්, අගමැති ධුරය සජිත්ට ලබාදීමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තත් සජිත්ට දැනුම් දී සිටීමට මෙම පක්ෂ නායකයෝ කටයුතු කළහ. එහිදී සජිත්ගෙන් ලැබුණේ වෙනදා ලැබුණු පිළිතුරමය. ඒ, තමන් කිසිසේත්ම රනිල් සමග එකතුවී ආණ්ඩු පිහිටුවීමට හෝ අගමැති ධුරය ලබාගැනීමට සූදානම් නැතැයි යන්නය.
සජිත්ගේ ප්‍රතිචාරය!
‘මමවත් සජබයවත් කිසිසේත්ම රනිල් එක්ක එකතු වෙන්නේ නෑ. ඒක ස්ථිරයි. මොකද, දැන් රනිල් සම්පූර්ණයෙන්ම රාජපක්ෂලා එක්ක නිල වශයෙන් එකතු වෙලා ඉවරයි. ඒ කට්ටිය එක්ක අපිට කීයටවත් එකතු වෙන්නවත් ආණ්ඩු කරන්නවත් බෑ. හැබැයි එතැනට යන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් මම ඒ කිසිම කෙනෙක් නවත්තන්නේ නෑ. මගෙත් එක්ක ඉතුරු වෙන්නේ 10 දෙනාද, ඒ 10 දෙනත් එක්ක මම ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා, මහ ඡන්දෙටත් ඉදිරිපත් වෙනවා.’ යන්න එහිදී සජිත් ඍජුවම ඔවුන්ට දැනුම්දී සිටි පිළිතුර විය.
සන්ධානයට කැමැත්ත දෙයි!
සජිත්ගේ මේ ස්ථිරසාර පිළිතුරත් සමග හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්ද පැහැදිලිවම කියා සිටියේ සජිත්ගේ ස්ථාවරය එය නම්, තමන්ද කිසිසේත්ම සජබය අත්හැර නොයන බවකි. ඉදිරියේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සජබ සන්ධානය සමග තම පක්ෂද ඒකාබද්ධව කටයුතු කරන බවටද මෙහිදී මෙම පක්ෂ නායකයෝ හතර දෙනා සජිත්ට පොරොන්දුවක් දුන්හ.
එමෙන්ම ඉදිරියේදී ගොඩනගන සන්ධානයේදී තනතුරු සම්බන්ධයෙන්ද මෙහිදී පිරිස අතර කිසියම් සාකච්ඡාවක් ඇතිවිය. එහිදී සජිත් කියා සිටියේ තමාගේ නායකත්වයෙන් ගොඩනගන මෙම සන්ධානයේ තනි තනි නායකයන් නොමැති බවත්, සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් නායකත්ව මණ්ඩලයක් ගොඩනැගෙන බවත්ය. ඉදිරියේදී සියලු තීන්දු තීරණ ගන්නේ එම නායකත්ව මණ්ඩලය හරහා බවද සජිත් එහිදී පැහැදිලිවම සියලු දෙනාට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
ඩිනර් එකක්!
මෙම සිදුවීමෙන් පසු සජිත් මෙතෙක් සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටින සියලු පක්ෂ නායකයන් හට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තේය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් දීර්ඝව පක්ෂ නායකයන් හා අදහස් හුවමාරු කරගැනීමටද සජිත් පියවර ගත්තේය. ඒ අනුව නව සන්ධානය පිහිටුවීම කඩාකප්පල් කොට සන්ධානය තුළ සිටින සුළු පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට පූට්ටු කිරීමට සජබය ඇතුළේ සිටින පිල්ලි ගැසූ ඒ ගේමද හබක් විය.
ඩිලාන්ගේ කතාව!
මීට අමතරව පසුගිය කාලය පුරාම මේ පිල්ලි විසින් සජිත් සමග ජී.එල්. ඇතුළු නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් එකතු වීමද කඩාකප්පල් කිරීම සඳහා විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශයන් සිදුකළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් සජිත් විසින් එම සාකච්ඡාවන්ද පසුගිය සතිය වන විට සාර්ථකව අවසානයක් කරා රැගෙන ආවේ ජී.එල්., ඩිලාන්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන ඇතුළු නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මෙම නව සන්ධානයට එකතු කරුනීමට එකඟ කරවාගැනීම හරහාය. ඒ අනුව පසුගිය සතියේ පළමු වතාවට ජී.එල්. සහ ඩිලාන් සජබ පක්ෂ කාර්යාලයට පැමිණ මාධ්‍ය හමුවකට එක්වීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වුණේ පළමු වතාවට ඩිලාන් සන්ධානයේ පොදු අපේක්ෂකයා සජිත් බවට ප්‍රකාශයක් සිදුකිරීමය. එමෙන්ම සන්ධානය ගොඩනැගෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් බවද ඩිලාන් අවධාරණය කළේය. පළමු වරට ඩිලාන් කළ මෙම ප්‍රකාශයද ඒ මොහොතේම විද්‍යුත් මාධ්‍ය විසින් ‘බ්‍රේකින් නිවුස්’ එකක් ලෙස විකාශය කළේ එහි තිබූ සුවිශේෂ බව නිසාමය. ඒ අනුව ජී.එල්., ඩිලාන්, ගොඩහේවා යන මන්ත්‍රීවරු සජබ සන්ධානයට එක්වීම කඩාකප්පල් කිරීම සඳහා සජබ පිල්ලි කිහිපය විසින් ගැසූ ගේමද කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය.
හිතන්නවත් බැරි අය!
මීට අමතරව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසින් තවත් විශේෂ හෙළිදරව්වක්ද සිදුකිරීමට සූදානම්ය. ඒ, ඉදිරි දින, සති කිහිපය ඇතුළත මේ ආකාරයේ තවත් විශේෂ, ප්‍රබල චරිත රැසක්ම සජිත් ප්‍රමුඛ නව සන්ධානයට එකතු වීමට සූදානමින් සිටින බවය. පසුගිය සතියේදී අප කළ එක් අනාවරණයකින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරුන් තිදෙනකු ස්ථාන දෙකකදී සජිත් සමග අතිශය රහසිගත සාකච්ඡා වටයක නිරත වූ බවය. මෙවර අප කියන්නේ එවැනිම ප්‍රබල, පිරිසිදු දේශපාලන චරිත රැසක් හා වෘත්තිකයන් විශාල පිරිසක් සමග මේ වන විටත් සජිත් නව සන්ධානයට එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බවය. මෙම ලැයිස්තුවේ සිටින ඇතැම් චරිත හිතන්නවත් බැරි තරම් ප්‍රබලයන්ය. ඇතැම් චරිත වාමාංශික දේශපාලනය නියෝජනය කරන ප්‍රබලයන්ය. ඒ අනුව ඉදිරි දින, සති කිහිපය ඇතුළත මේ ප්‍රබල, අදහාගත නොහැකි චරිත පවා සජිත් විසින් ගොඩනගන නව දේශපාලන සන්ධානයට එකතු වීමට නියමිතය.
පිල්ලි හෙළිකරනවා!
කෙසේ වෙතත් අප මෙහිදී සජබ පාක්ෂිකයන්ටද එක් කරුණක් මතක් කරදීමට සූදානම්ය. ඒ, මෙම දිනන සන්ධානය කඩාකප්පල් කිරීමට කටයුතු කරන සජබ පිල්ලි පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසය. මේ පිල්ලි පවත්වනු ලබන මාධ්‍ය හමුවලදී සජබ සන්ධානය කඩාකප්පල් කිරීමට, ඒ වටා එකතු වීමට සිටින පිරිස් අධෛර්යමත් කිරීමට කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසය. ඔවුන් විසින් පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රතිපත්ති, කොන්දේසි යනාදී වශයෙන් විවිධ කරුණු කියමින් ප්‍රකාශ නිකුත් කොට ඉදිරියේදී යම් යම් ගේම් ගැසීමට සැලසුම් කොට ඇති බවට කිසිදු සැකයක් නැත. ඔවුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස යම් අනතුරු ඇඟවීමක් සජබ පාක්ෂිකයන්ට සිදුකිරීමටද මෙහිදී අප සූදානම්ය.
ධම්මිකට ප්‍රහාර!
සජිත් ප්‍රමුඛ නව සන්ධානය මේ අයුරින් ඉදිරියට යද්දී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා පොහොට්ටු මන්ත්‍රී කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අතර හටගෙන ඇති සීතල යුද්ධයද ඉදිරියට ඇදී යන ආකාරයක් දැකගන්නට තිබේ. ධම්මික පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවට පසුගිය සතියේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර, පොහොට්ටුව විසින් ඒ සඳහා එවා තිබූ කොන්දේසි 10ට පිළිතුරු ලබාදීමට සූදානම් බවද කියා සිටියේය. ඒ සමගම මාධ්‍ය ඔස්සේද විවිධ පුවත් පළවෙමින් කියා තිබුණේ ජනාධිපතිවරයාද ජනවාරියේ සිට ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා කමිටු කිහිපයක් පත්කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
රනිල්ගේ තීරණය!
ඒ අනුව අපද මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ කියන ආකාරයේ කිසිදු සාකච්ඡාවක් නිල වශයෙන් පවත්වා හෝ කමිටු පත්කිරීමක් සිදුකොට නැති බවය. අපට වාර්තා වූ තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද, එසේත් නැතිනම් ඉදිරිපත් නොවී සිටිනවාද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ගැනීමට පවා ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ලබන මාර්තු, අප්‍රේල් පමණ වන විට බවය.
කෙසේ වෙතත් ධම්මිකගේ කලඑළි බැසීම ජනාධිපතිවරයාට අභියෝගයක් විය හැකි බව දැක දැනටමත් ජනාධිපතිවරයා වටා සිටින යම් යම් පිරිස් ධම්මික ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් ආරම්භ කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. පසුගිය සතියේ එවැනි ප්‍රහාර කිහිපයක්ම ධම්මිකට එල්ල වූ අතර, ඊට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. එමෙන්ම ධම්මික ඉලක්ක කරගෙන පුවත් ‘පැලවෙන’ ආකාරයක්ද පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි.
සටන හම්බන්තොටින්!
මේ සියල්ල අතරවාරයේ ධම්මිකද සිය ජනාධිපතිවරණ සටන නොනිල වශයෙන් ලබන 10 වැනිදා ආරම්භ කිරීමට සියලු සැලසුම් මේ වන විට සකස් කොට අවසානය. ඒ, පොහොට්ටුවේ රාජපක්ෂවරුන්ගේ බළකොටුව වන හම්බන්තොට තිස්සමහාරාමයෙන්ය. ඒ අනුව ලබන 10 වැනිදා තිස්සමහාරාමයේ පරිගණක පාසලක් විවෘත කරමින් ධම්මික ජනාධිපතිවරණ සටන සඳහා නිල නොවන ආකාරයට ආරම්භයක් ලබාගැනීමට සැලසුම් කොට ඇති බවක් ආරංචිය. මෙම උත්සවය වෙනදා පවත්වන උත්සවවලට වඩා විශාල පිරිසක් සමග දැවැන්ත ප්‍රචාරයක් ලබාදී පැවැත්වීමට ධම්මික සියලු කටයුතු සූදානම් කොට ඇති බවද පැවැසේ.
ධම්මිකට සෙට් වෙයි!
ඒ සමගම පොහොට්ටුව ඇතුළෙත් ධම්මික සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක සිටි පිරිස් පසුගිය සතිය වන විට අවසන් තීන්දුවක් ගෙන ඇති බවක් ආරංචිය. ජනාධිපතිවරණ උණුසුම පටන් ගනිද්දී රනිල්ට සහාය දෙනවාද, එසේත් නැතිනම් ධම්මිකට සහාය දෙනවාද යනුවෙන් වැට උඩ සිටි පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් රැසක්ම පසුගිය සතිය වන විට ධම්මික සමග සාකච්ඡා පවත්වා ධම්මිකට සහාය ලබාදීමට එකඟ වී ඇති බවක් දැනගන්නට තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබුණු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම මේ අතර සිටින බව වාර්තා වේ. ඔවුන් ඉදිරියේදී ධම්මිකගේ දේශපාලන වේදිකාවට ගොඩවීමට මේ පැවැති සාකච්ඡාවලදී ධම්මිකට පොරොන්දුවක් ලබාදී ඇති බවක්ද ආරංචිය.
බැසිලුත් වැඩ!
මේ සියල්ල අතර පක්ෂ සම්මේලනය පැවැත්වීමෙන් පසු ඇමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල්ද ලංකාවේ සිදුවන මේ දේශපාලන පෙරළි සම්බන්ධයෙන් දිනපතාම තොරතුරු ලබාගන්නා ආකාරයක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ හැම දිනෙකම පාහේ පොහොට්ටුවේ බලධාරීන් සමග සූම් සහ වට්ස්ඇප් සාකච්ඡාවන්ට එක්වෙමිනි. පසුගිය සතියේ පැවැති මෙම සූම් සාකච්ඡාවලදී බැසිල් තවත් විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත. ඉන් එක් තීන්දුවක් වන්නේ මින් ඉදිරියට ජනාධිපතිවරයා විසින් ලබාදෙන කිසිදු ඇමැති ධුරයක් භාර නොගැනීමටය. පොහොට්ටුව විසින් ජනාධිපතිවරයා ලෙස රනිල් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පත්කිරීමෙන් පසු සිදුකළ පළමු කාර්යය වූයේ ඇමැති ධුර සඳහා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමය. නමුත් වසරකට අධික කාලයක් ගතවුණද එම ඉල්ලීම ඉටුකිරීමට ජනාධිපතිවරයා මෙතෙක් කටයුතු කොට තිබුණේ නැත. ඒ අනුව බැසිල් පසුගිය සතියේ තීන්දු කොට තිබුණේ මින් ඉදිරියට පොහොට්ටුවට ලබාදෙන කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගැනීමටය. එමෙන්ම පොහොට්ටු මන්ත්‍රීවරුන්ට යම් යම් ඇමැති ධුර ලබාදිය හැකි බව දැනුම් දුන්නද ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවටද මෙහිදී තීන්දු කෙරිණි.
දැඩි තීන්දුවක් ගනී!
එමෙන්ම මෙම සූම්, වට්ස්ඇප් සාකච්ඡාවලදී බැසිල් විසින් යම් ඉඟියක්ද පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබේ. ඒ, ලබන අප්‍රේල් මැයි මාසය වනවිට අතිශය තීරණාත්මක අවස්ථාවකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය. ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කොට ඇති යම් යම් තීන්දු තීරණ හේතුවෙන් ලබන අප්‍රේල් මැයි වන විට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව බැසිල්ගේ ගණන් හැදීම වී තිබේ. එවැනි අවස්ථාවක් මතුවුවහොත් දැඩි තීන්දුවකට යෑමට පක්ෂය දැන් තියාම සූදානම් විය යුතු බවට ප්‍රබල ඉඟියක්ද මෙම සාකච්ඡාවලදී බැසිල් විසින් ලබාදී තිබේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම තමන් ලංකාවට පැමිණීමෙන් පසු සකස් කරන බව මෙහිදී දැනුම් දී ඇති බැසිල්, ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට වගකීම් රැසක් පවරා ඇති බවක්ද දැනගන්නට ඇත. එසේ බැසිල් ලංකාවට පැමිණීමෙන් පසු නිල වශයෙන් ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ඡන්ද සටන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
අලිරාජා ජනාධිපතිවරණයට?
අලිරාජා සුබාස්කරන් යනු පසුගිය කාලයේදී මෙරට දේශපාලනය තුළ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළද නිතර නිතර කතාබහට ලක්වූ චරිතයකි. දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන අලිරාජා හට විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම් රැසක්ම එවකදී චෝදනා කරමින් කියා සිටියේ අලිරාජා කොටි සංවිධානයේ හිතවතකු බවත්, එල්.ටී.ටී.ඊ.යේ මුදල් ඔහු විසින් හසුරුවන බවත් කියමින්ය. නමුත් පසුගිය කාලයේදී අලිරාජා අවස්ථා කිහිපයකදීම ලංකාවට පැමිණි අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී යාපන කණ්ඩායමේ හිමිකාරත්වය දැරීමටද අලිරාජා පියවර ගෙන තිබිණි.
චන්ද්‍රිකාත් හමුවෙලා!
එමෙන්ම වරක් ජනාධිපතිවරයා ලන්ඩන් ගිය අවස්ථාවේදී අලිරාජා හමුවීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එම හමුවට රුවන් විජේවර්ධන මහතාද එක්ව සිටි බවක් එකල මාධ්‍ය වාර්තා කොට තිබිණි. එහිදී බොහෝ පාර්ශ්ව කියා සිටියේ ආණ්ඩුව විකිණීමට සූදානම් කොට ඇති ටෙලිකොම් සහ ලංකා රෝහල මිලදී ගැනීම සම්බන්ධයෙන් අලිරාජා මෙහිදී සාකච්ඡා ආරම්භ කළ බවකි.
කෙසේ වෙතත් පසුගිය සතියේදී අලිරාජා සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, අලිරාජා ජනාධිපතිවරණයට ද්‍රවිඩ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවකි. ඒ සඳහා අලිරාජා හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මුණගැසී ඇති බවක්ද කියවිණි.
කතාව බොරුවක්! හමුව ඇත්තක්!
ඒ අනුව මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ අලිරාජා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවකි. නමුත් චන්ද්‍රිකා හා අලිරාජා අතර හමුවක් පැවැති බවට වූ තොරතුර සත්‍යයක් බවද වාර්තා විය. මෙම හමුව පැවැත්වුණේ ලන්ඩන්වලදීද නොඑසේ නම් ලංකාවේද යන්න සම්බන්ධයෙන් තොරතුරු නැතත් දෙදෙනා අතර හමුවක් සිදුව ඇති බවක් තහවුරු විය. මෙම හමුවේදී ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා කළාද, එසේත් නැතිනම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට සහාය දැක්වීම සම්බන්ධයෙන් කතා කළාද යන්න පිළිබඳ තවමත් තොරතුරක් නැත.
ජනාධිපති කතාව නෑ!
ජනාධිපතිවරයා පසුගිය සති අන්තය ගත කළේ සීතල නුවරඑළියේ විවේක සුවයෙන් යුතුවය. ඒ සිටියදීම ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ චක්‍රලේඛයකින් කියැවුණේ රාජ්‍ය සේවකයන් අලුත් අවුරුද්දට රාජකාරි ආරම්භ කිරීමේදී ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවත්, සූම් තාක්ෂණය ඔස්සේ සියලු ආයතන එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධ විය යුතු බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සූම් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කිරීමට කටයතු කරනු ඇති බවත්ය. අලුත් අවුරුද්දට පෙරාතුව නිකුත් වූ මෙම චක්‍රලේඛය හේතුවෙන් සියලු රාජ්‍ය ආයතන ඒ සඳහා ලකලෑස්ති වූ අතර, සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය හා සම්බන්ධ වීමට අවශ්‍ය කටයුතු අමාත්‍යංශ සම්මන්ත්‍රණ ශාලාවල සම්පාදනය කළ ආකාරයක්ද දැකගත හැකි විය.
ඒ අනුව ඉකුත් සඳුදා දිනයේදී චක්‍රලේඛය මගින් දැනුම් දී තිබූ ආකාරයටම සියලු රාජ්‍ය සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙමින් සජීවීව ප්‍රතිඥාව ලබාදීමට පියවර ගැනිණි. ඉන් අනතුරුව සියලු දෙනාම චක්‍රලේඛයේ තිබූ ආකාරයට ජනාධිපතිවරයාගේ සජීවී කතාව ඇසීමට සූදානමින් සිටියහ.
කවුරුත් දන්නේ නෑ!
නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ප්‍රතිඥාව දී අවසන් වූ වහාම ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් සජීවී සූම් සම්බන්ධතාව අත්හිටුවීමට පියවර ගැනීමය. ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාව නොපැවැත්වුණු අතර, ඊට හේතුවක්ද ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් ඉදිරිපත් වූයේ නැත. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා තවදුරටත් ජනාධිපති කාර්යාලයේ රැඳෙමින් එදින නිල කටයුතු රැසකට සම්බන්ධ වූ ආකාරයක් ද දැකගත හැකි විය. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා එදින අලි සබි්‍රගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව හමුවූ අතර, ඔවුන්ගේ වාර්තාවද පිළිගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් අමතා කිරීමට සිටි කතාවට වූයේ කුමක්ද යන්න අදටත් කාටත් ප්‍රහේළිකාවකි.
ලන්සාගේ කාර්යාලයේ රැස්වීම!
මේ අතර ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා යාපනය බලා පිටත්ව යෑමට කටයුතු කොට තිබිණ. එහිදී උතුරේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙමින් දින 4ක් ජනාධිපතිවරයා උතුරු පළාතේ ගතකිරීමට නියමිතය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය නලුවකු වන තලපති විජේද මෙම දින කිහිපයේ යාපනයේ සංචාරයක නිරත වීමය. තලපති විජේ උතුරට පැමිණෙන්නේ සිය අලුත්ම චිත්‍රපටය වූ ‘තලපති 68’ චිත්‍රපටයේ රෑගත කිරීම් කිහිපයකට සහභාගි වීම සඳහාය. උතුරේ වැසියන් තලපති විජේගේ රසිකයන් වීම හේතුවෙන් මේ වන විටත් උතුරේ සෑම තැනකම පාහේ තලපති විජේගේ පැමිණීම සමරමින් උත්සව පවත්වන ආකාරයක් දැකගත හැකිය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා තලපති විජේ අතර හමුවක් උතුරේදී සිදුවේදැයි කියන්නට තවමත් කල් වැඩිය.
9 වැනිදාත් රැස්වීමක්!
ජනාධිපතිවරයා සමග අතිශය සමීපව කටයුතු කරන නිමල් ලන්සා මහතා විසින් ආරම්භ කරන ලද නව සන්ධානය පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරය මගින් මුල් අවස්ථාවේ සිටම අප තොරතුරු වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ පළමුව මෙම සන්ධානයේ සාකච්ඡා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලක් වාසය කළ මලලසේකර මාවතේ පිහිටි නිල නිවෙසේ ආරම්භ කළ බවත්, පසුව ඒ සඳහා රාජගිරියේ ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ නව කාර්යාලයක් විවෘත කළ බවත්ය. එමෙන්ම මෙම සන්ධානයට මුලින් මුලින් මන්ත්‍රීවරු 60ක් 70ක් එක්වන බව සඳහන් කළද අප එහිදී කියා සිටියේ ඒ කියන ආකාරයේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එම සන්ධානයට එක් නොවන බවකි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට ඉහතදී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුරුණෑගල නිවෙසේ සංවිධාන කොට තිබූ බවත්, ඊටද එක්ව සිටියේ නිමල් ලන්සා සහ නලින් ප්‍රනාන්දු යන මැති ඇමැතිවරුන් පමණක් බවත් අපි වාර්තා කළෙමු.
ප්‍රියංකර කියපු කතාව!
කෙසේ වෙතත් අලුත් අවුරුදු උදාව සමරමින් ලන්සාගේ රාජගිරිය කාර්යාලයේ උත්සවයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණි. ඊටද බොහෝ මැති ඇමැතිවරුන් එක්වන බවක් දැනුම් දී තිබුණද අවසානයේදී දැකගන්නට ලැබුණේ අනුර ප්‍රියදර්ශන මහතාගේ සහ ප්‍රියංකර ජයරත්න මහතාගේ මුහුණු පමණක් වීම විශේෂ සිදුවීමකි. අනෙක් විශේෂ සිදුවීම වී තිබුණේ ප්‍රියංකර ජයරත්න තවත් පාර්ශ්වයක් සමග සන්ධානගත වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියදී මෙම හමුවට එක්ව සිටීමය. ඒ අනුව ප්‍රියංකර, ලන්සාගෙන් අනෙකුත් මැති ඇමැතිවරුන් ගැන විමසද්දී ලංසා කියා සිටියේ ලබන 09 වැනිදා සන්ධානයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත බවත්, ඊට විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බවත්ය.
මෙම හමුවෙන් පසු බොහෝ දෙනකු ප්‍රියංකර ජයරත්නට කතා කොට රැස්වීමේ තොරතුරු පිළිබඳ ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී ප්‍රියංකර ඒ කතා කළ සියලු දෙනාටම කියා සිටියේ 09 වැනිදා තවත් රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, එම රැස්වීමේ තත්ත්වය පිළිබඳ බලා තමන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවත්ය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ලන්සා නම් කෙළින්ම කියා සිටියේ ලබන ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන අද සිට ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපතිවරණ ඡන්ද සටන ආරම්භ කිරීමට තමන් කටයුතු කළා යැයි කියාය.