පොහොට්ටුව ජයග්‍රහණය කරවීම සදහා විශාල කැපකිරීමක් කොට එම පක්ෂයෙන් පොලොන්නරුවෙන් වැඩිම මනාප දිනා පාර්ලිමේන්තු පැමිණි රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් ආයතනයේ දූෂණ හෙළි කිරීම හේතුකොටගෙන ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනුවෙන් පොහොට්ටුවේ නායකයන් පෙනී නොසිටීම පිළිබදව පොහොට්ටුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් බහුතරයක් සිය දැඩි විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
විශේෂයෙන්ම පොහොට්ටුවේ නායකයන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මෙම නෙරපා හැරීම පිළිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකොට නිහඩව සිටීම පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති මෙම පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු මුණගැසී තම විරෝධය පළ කොට ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු පොහොට්ටුව වෙනුවෙන් සිය පෞද්ගලික ධනය පවා වැය කරමින් දරදිය ඇදි අයකු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් මෙවැනි නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මෙම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.
මීට අමතරව පොහොට්ටුවේ රොෂාන් රණසිංහට ලබා දී තිබූ ක්‍රීඩා ඇමැති ධූරය එජාපයේ ජාතික ලයිස්තුවෙන් පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දීමද මෙම පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට තුඩු දී ඇති බව පැවසේ.
ඒ අනුව ඉදිරියේදී රොෂාන් රණසිංහ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමටත් මෙම පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩි තීන්දුවක් ගෙන ඇති බවද දැනගන්නට ඇත.