වීරසිංහයි වීරතුංගයි
ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට මේ වනවිට හරියටම දින 35ක කාලයක් ගතව තිබේ. මුලින් අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය පමණක් ඊට සම්බන්ධ වුවද මේ වනවිට මැදපෙරදිග කලාපයම ඊට ගැටගැසී සමස්ත ලෝකයම එහි ප්‍රතිඵල භුක්ති විඳින ආකාරයක්ද දැකගන්නට පුළුවන. යුද්ධය ආරම්භ වූ පළමු පැයේදීම එහි ආසන්නතම ආදීනව පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ හරහා නුදුරේදීම ඉන්ධන අර්බුදයක් මතුවිය හැකි බවත්, යම්කිසි අවස්ථාවක හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ අවදානමක් ඇතිවිය හැකි බවත්, වහාම රුසියාව, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කොට අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමේ අවස්ථාවක් ඇතිකර ගත යුතු බවත්ය. නමුත් ඊට සුපුරුදු පරිදි සමච්චල්සහගතව ප්‍රතිචාර දැක්වූ විදේශ ඇමැති විජිත හේරත් කියා සිටියේ හෝමුස් වසාදැමීමේ අවදානමක් නොමැති බවත්, හෝමුස් වසාදැමුවද ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් තෙල් ලබාගැනීම සඳහා ගැටලුවක් නොමැති බවත්ය. නමුත් අවසානයේදී සජිත්ට හිනාවුණු ආණ්ඩුවේ ප්‍රධානීන්ට සිදුවූයේ සජිත් පෙන්වා දුන් ආකාරයටම ඉතාම ඉක්මණින් බලශක්ති අර්බුදයක සිරවී රුසියාවෙන් තෙල් ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටය. නමුත් කනගාටුවට කරුණ වී ඇත්තේ එය හරියට අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසාදැමුවා හා සමාන වැඩක් බවට මේ වනවිට පත්ව තිබීමය.Sri Lanka Latest News
රුසියාවෙන් තෙල් ලබාගැනීම මුල්කර ගෙන පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ආණ්ඩු ආණ්ඩු අතර සිදුකරන ගනුදෙනුවකට වඩා පෞද්ගලික සම්බන්ධකම් ඔස්සේ මෙම තෙල් ලබාගැනීමේ වෑයම සාර්ථක කරගැනීමට උත්සාහ දරන බවකි. සාමාන්‍යයෙන් රුසියාව වමේ ආණ්ඩුවක් නිසා වමේ ආණ්ඩුවක් යැයි කියන මාලිමා ආණ්ඩුවට උදව් කරනු ඇති බවක් බොහෝ දෙනාගේ මතය වී තිබිණි. නමුත් මාලිමා ආණ්ඩුව දැන් වම සහ දකුණ යන දෙකම පටලවාගෙන තිබීම නිසාදෝ රුසියාව මුල් අදියරේදී ආණ්ඩුවට උදව් කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ දෙනා ඒ සඳහා හේතු වශයෙන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම බි්‍රක්ස් සමුළුවට සහභාගි වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ම කරනු ලැබූ ලිඛිත ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබීමය. මෙය ඒ අවස්ථාවේදී රුසියාව දැක තිබුණේ සිය රටට සහ ජනාධිපතිවරයාට කරනු ලැබූ අපහාසයක් ලෙසටය. මේ හේතුව නිසාම වමේ ආණ්ඩු ලෙස සැලකුණද රුසියාව සහ මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් අතර, සමීප සම්බන්ධතාවක් ඇතිව තිබුණේ නැත. එමෙන්ම ලංකාව පසුගිය කාලය පුරා ගෙනගිය වැඩපිළිවෙළ හරහා එය වමේ ආණ්ඩුවක් ලෙස සලකනවාට වඩා ඇමෙරිකාවට බර ස්ථාවරයක සිට කටයුතු කරන ආණ්ඩුවක් ලෙසට රුසියාව ලංකාව හඳුනාගෙන තිබිණි.
මීට අමතරව වත්මන් ආණ්ඩුව සතුව ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි සහ ජාත්‍යන්තර සබඳතා සහිත පුද්ගලයන් හිඟ වීමේ තත්ත්වය හේතුකොට ගෙන විවිධ තුන්වැනි පාර්ශ්වයන් හරහා ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට සිදුව තිබීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව අප පසුගිය සතියේ පෙන්වා දුන්නේ ආණ්ඩුව රුසියාව සමග ගනුදෙනු කිරීමට සූදානම් වන්නේ ඉකුත් ආණ්ඩුවල සිටි රුසියානු සම්බන්ධතා සහිත පුද්ගලයන් කිහිප දෙනකු හරහා යැයි කියාය. අප කළ එම අනාවරණය මේ සතිය වනවිට 100%ක්ම තහවුරු වී ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ පසුගිය ආණ්ඩු සමයන්හිදී රුසියාවේ හිටපු තානාපතිවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙක්ම මේ වනවිට ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කර තිබීම නිසාය. මේ හිටපු තානාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයකු පත්කරනු ලැබ තිබුණේ රාජපක්ෂ පාලන සමයේදීය. අනෙක් කෙනා පත්කොට තිබුණේ 2015 මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩු සමයේදීය. ඒ අනුව ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණීමත් සමග මේ හිටපු තානාපතිවරුන් දෙදෙනා විසින් සිය ෆේස්බුක් පිටුවල තැබූ විශේෂ පණිවුඩයන් හරහා මේ පසුපස ඇති රහස සහ ගැටුම එකවර එළියට පැන්න ආකාරයක් දැකගත හැකි විය.
ගෙනාවේ සමන්ද?
ඉන් එක් අයකු වන්නේ වෛද්‍ය සමන් වීරසිංහ මහතාය. ඔහු යහපාලන ආණ්ඩු සමයේදී රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ තැනැත්තාය. අනෙක් කෙනා වන්නේ උදයංග වීරතුංගය. ඔහු රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිටය. එහිදී බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මේ දෙදෙනාගෙන් උදයංගට රුසියාව සමග සහ එහි විවිධ පුද්ගලයන් සහ කල්ලි, කණ්ඩායම් සමග විශාල සම්බන්ධතා ඇතැයි කියාය. සාමාන්‍යයෙන් රුසියාවෙන් වැඩක් කරගන්නවා නම් එය පහසුවෙන්ම කරගත හැකි වන්නේ රුසියාවේ ප්‍රධාන පෙළේ කල්ලි, කණ්ඩායම් හරහා බව ප්‍රකට කරුණකි. ඒ අනුව බොහෝ දෙනා කියන්නේ උදයංගට රුසියානු කල්ලි, කණ්ඩායම් සමගද සමීප සම්බන්ධතාවක් ඇති නිසා ඔහුට ඉතා පහසුවෙන් රුසියානු ආණ්ඩුව හරහා වැඩක් කරගත හැකි යැයි කියාය.
නමුත් වෛද්‍ය සමන් වීරසිංහ එසේ නොවේ. සමන් රුසියාවේ ගත කළ කාලසීමාව ඇතුළත ඔහු කළ මෙහෙය හේතුකොට ගෙන මීට මාස හයකට පමණ ඉහතදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතින් විශේෂ සම්මානයකට පවා සමන් පාත්‍ර වී තිබිණි. ඒ අනුව අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමැතිවරයාත්, රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාත් ඉන්ධන ගනුදෙනුව සඳහා සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණියේ මේ කියන සමන්ගේ චැනල් එකක් හරහා යැයි කියාය. මෙම රුසියානු නියෝජිතයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සමන් සිය ෆේස්බුක් පිටුවේ මහත් උද්දාමයෙන් යුතුව කරුණු වාර්තා කොට ඇති ආකාරයක්ද දැකගත හැකි විය. එහි සමන් සටහන් කොට තිබුණේ මෙවැන්නකි.
‘රුසියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් ආරම්භ වීම සැබවින්ම සතුටට කරුණකි.
බලශක්ති අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී සහ ඵලදායී මැදිහත්වීම රුසියාව නිරන්තරයෙන් අගය කර ඇත.
රුසියානු දූත පිරිස නියෝජනය කළේ රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්. මාර්ෂවින් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එච්.ඊ. එල්. ධ්ගරියන් මහතා විසිනි.
‘ශ්‍රී ලංකා දූත පිරිසට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ඒ.ජේ. ප්‍රනාන්දු මහතා, බලශක්ති අමාත්‍ය කේ. ජයකොඩි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති එන්. වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් එච්. සූරියප්පෙරුම මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ඇතුළත් වූහ.
බලශක්ති අංශයේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා අර්ථවත් ප්‍රතිඵලවලට තුඩුදෙන අතර රටට තිරසාර හා ප්‍රයෝජනවත් විසඳුමක් සඳහා මග පාදනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.’
උදයංගගේ උත්තරේ
කෙසේ වෙතත් මෙම රුසියානු නියෝජිතයන්ගේ පැමිණීම විශාල ජයග්‍රහණයක් සේ පෙන්වීමට සමන් කටයුතු කර තිබුණද, උදයංග වීරතුංග ඊට දක්වා තිබුණේ හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් වීම විශේෂ සිදුවීමකි. ඒ බව උදයංග සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙසේය.
‘රුසියානු තෙල් G2G ලෙස මිලදී ගැනීම ටොම් පචයකි…
ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවීන් මහතා ඇතුළු දූත පිරිසක්, මාර්තු 26 වැනි දින ජනාධිපති අනුර කුමාර සමග සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකා රජය රුසියානු සමූහාණ්ඩුව සමග ආණ්ඩු දෙක අතර ඍජු ගනුදෙනු (G2G) මාර්ගයෙන් රුසියානු ඉන්ධන, පොහොර සහ ගල්අඟුරු මිලදී ගැනීමට සූදානම් බව මාලිමා රජය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, එය ප්‍රායෝගිකව සිදුවිය හැකිද යන්න පිළිබඳ සැකයන් පවතී.
රුසියාවේ තානාපති ලෙස වසර දහයක අත්දැකීමෙන්, මා දන්නා පරිදි රුසියාව මෙවැනි G2G ගිවිසුම් අස්සන් කරන්නේ දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික වාසියක් ඇති, තමන්ට සමීප හෝ මිත්‍ර රටවල් සමග පමණි. ශ්‍රී ලංකාව රුසියාවට විරුද්ධ රටක් නොවූවත්, පැහැදිලිවම ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායමට අයත් රටක් නොවේ. අද ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථානයක සිටින රටක් ලෙස රුසියාව විසින් කණ්ඩායම් කර ඇත.
පසුගිය 2024දී රුසියාවේ පැවැති බි්‍රක්ස් සමුළුව සඳහා ව්ලැදිමීර් පුටින් විසින් ලබාදුන් ලිඛිත ආරාධනය ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග, රුසියාව විසින් විශේෂ දේශපාලන සහය ලබාදීමට ඇති උනන්දුව අඩුවිය හැකි බව සාධාරණ මතයක් ලෙස පිළිගත යුතුයි.
එසේම, ඉතිහාසයෙන් වාර්තා වූ පරිදි, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට උත්සාහ කළද, එය සාර්ථක නොවීය. එවකට මෙන්ම වර්තමානයේද, G2G ලෙස රටට පෙන්වා අතරමැදි පාර්ශව හරහා ගනුදෙනු කිරීමක් මෙහිදී සිදුවන බව පැහැදිලිව පෙන්වයි.
එදා, ගෝඨාභය ජනාධිපතිවරයා විසින් පුටින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ, රාජතාන්ත්‍රික නොවන ලාංකිකයකුගේ නමක් සඳහන් කරමින් රාජතාන්ත්‍රික ප්‍රොටෝකෝලය උල්ලංඝනය කිරීම සිදුවූ අතර, G2G ගනුදෙනුවක් ලෙස පෙන්වා පුද්ගලික අංශයේ ගනුදෙනුවක් සඳහා ගත් උත්සාහයක් අසාර්ථක ලෙස එදා අවසන් විය.
මෙවරද, ජනාධිපති අනුර කුමාර සමග නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදුකරන රාජ්‍යතාන්ත්‍රික ඉහළ මට්ටමේ සාකච්ඡාවකට එක්විය යුත්තේ රුසියානු පාර්ශ්වයෙන් රාජ්‍යතාන්ත්‍රික රජයේ නිලධාරීන් පමණි. එහිදී, රුසියානු තානාපතිවරයා විසින් තුන්වන පාර්ශ්වයක් ලෙස රාජ්‍යතාන්ත්‍රික නොවන ශ්‍රී ලාංකිකයකු සාකච්ඡාවට එකතු කර ගැනීමත්, ඒ සඳහා අනුමැතිය ලබාදීමත් මගින් පැහැදිලි වන්නේ, එය G2G ගනුදෙනුවක් නොව යම් කණ්ඩායමක පුද්ගලික ගනුදෙනුවක් බව ජනාධිපති කාර්යාලයද කල්තියාම දැනගෙන සිටි බවයි.
එසේම, රුසියානු භාෂාව පිළිබඳ ඉහළ දැනුමක් සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙම සාකච්ඡාවට සහභාගී නොවීමෙන්, මෙය G2G ගනුදෙනුවක් නොවන බැවින් එම ගනුදෙනුව විදේශ අමාත්‍යාංශය විසින් කල්තියාම අනුමත නොකළ බව සනාථ වේ.
ඒ නිසා,
රුසියානු තෙල් ඍජුව ගන්නවා කියන එක political marketing එකක් විතරයි. මෙම සියලු කරුණු අනුව, මාලිමා රජයේ ගල්අඟුරු ටෙන්ඩරය සිදුවූ ආකාරයටම, රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා සිදුකරන තවත් පුද්ගලික අංශ මගඩියක් බව පෙනීයයි. එසේ තිබියදීත්, රුසියාව සමග ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා ශක්තිමත් කිරීමට තවමත් අපට අවස්ථාව පවතින බව මාලිමා රජයට පෙන්වා දෙමි. ඒ සඳහා,
- දෙරට අතර රූබල් – රුපියල් ඍජු ගනුදෙනු ක්‍රමයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීම
- ශ්‍රී ලංකා මහබැංකුව විසින් රූබල් භාවිතය පිළිගැනීම
- රුසියානු යෝජනා අනුව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියකට එකඟ වීම
කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ග බොහෝ දුරට ජාත්‍යන්තර දේශපාලන බලපෑම් ‘විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය’ යටතේ සීමා වියහැකි බවට මත පවතී.
තවද, රුසියානු පාර්ශ්වය පෙන්වා දෙන්නේ, සම්බාධක තත්ත්වයන් යළි ක්‍රියාත්මක වුවහොත්, ගනුදෙනු ඇමෙරිකානු ඩොලරය වෙනුවට රූබල් හෝ යුවාන් මගින් සිදු කළ යුතු බවයි.
යථාර්ථය :
ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් පෙන්වා දී ඇති පරිදි, ශ්‍රී ලංකාවට පවතින ජාත්‍යන්තර බැඳීම් හේතුවෙන්, ඇමෙරිකානු ඩොලරය හෝ යුරෝපීය මුදල් ඒකක මගින් පමණක් විශාල වාණිජ ගනුදෙනු සිදුකළ හැකි අතර, රූබල් හෝ යුවාන් මත පදනම් වූ ගනුදෙනු ක්‍රමයක් පිළිගැනීම සංකීර්ණ කරුණක් බව ගෝඨාභයට මෙන්ම අනුර කුමාරටද පවසා ඇත.
උදයංග වීරතුංග,
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
අමෙරිකාවෙන් අහලා..
මේ අතරවාරයේ පසුගිය සතියේ අප තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ මුල් අදියරේදී ඉන්ධන නැව් දෙකක් පමණක් ලබාදීමට රුසියාව එකඟතාව පළකොට ඇති බවකි. තවදුරටත් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් රුසියානු කොන්දේසි යටතේ අවුරුදු 5ක කාලසීමාවකට තෙල් ලබාගන්නා බවට ගිවිසුමක් අස්සන් කළ යුතු බවට රුසියාව දැනුම් දී තිබූ බවක්ද අප එහිදී වාර්තා කළෙමු.
නමුත් එය ප්‍රායෝගිකව ඉටුකළ හැකිද යන බරපතළ ප්‍රශ්නයට මුහුණ දීමට ආණ්ඩුවට මේ වනවිට සිදුව තිබේ. මන්ද යත් මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට ප්‍රථම ඇමෙරිකාව විසින් ලෝකයේ සියලු රටවලට රුසියානු තෙල් ලබාගත නොහැකි පරිදි සම්බාධක පැනවීමට කටයුතු කොට තිබිණි. නමුත් මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග ලෝකය පුරාම මතුවූ ඉන්ධන අර්බුදය සමනය කරගැනීම සඳහා තාවකාලික පිළියමක් ලෙස දින 30ක කාලයකට රුසියානු තෙල් මත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේය. නමුත් එය ප්‍රයෝජනයට ගනිමින් රුසියාව ලංකාවට දැනුම්දී තිබුණේ දිගටම තමන්ගෙන් තෙල් ගැනීමට අවශ්‍ය නම් අවුරුදු 5ක කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කළ යුතු බවකි. නමුත් එය ප්‍රායෝගිකද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි. මන්ද යත් මෙම දින 30ක සහන කාලය අවසන් වීමත් සමග ට්‍රම්ප් යළි රුසියානු ඉන්ධන මත සම්බාධක පැනවුවහොත් මතුවන තත්ත්වය කෙබඳු විය හැකිද?
මෙම පසුබිම යටතේ ආණ්ඩුව පසුගිය සතියේ ඇමෙරිකාව පැත්තෙන් තත්ත්වය කුමන අතට පෙරළේද යන්න සම්බන්ධයෙන් විමසීමක් කොට තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම අවුරුදු පහේ කාලසීමාවට ඇමෙරිකාව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවකි. බොහෝ දුරට මෙම දින 30 අවසන් වීමත් සමග නැවත වතාවක් ඇමෙරිකානු රජය විසින් රුසියානු ඉන්ධනවලට සම්බාධක පැනවීමේ වැඩි ඉඩකඩක් පවතින බවක් එහිදී ප්‍රකාශ වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මෙම පසුබිම මැද්දේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ යැයි කියන්නාක් මෙන් රුසියාවද දැඩි තීන්දුවක් ගනිමින් ප්‍රකාශ කොට තිබුණේ අප්‍රේල් 01 වැනිදා සිට ඉන්ධන අපනයනය නවතා දැමීමට රුසියානු රජය තීරණය කොට ඇතැයි කියාය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟයකින් තොරව පැවැති කාලයේ තමන්ව ගණන් නොගත් රටවලට යම් පාඩමක් ඉගැන්වීම සඳහා පුටින් විසින් මෙම තීරණය ගෙන ඇති බවකි. ඒ හරහා ඉදිරියේදී රුසියානු තෙල් ලබාගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්වී නැවත වතාවක් ඉන්ධන අර්බුදයකට රටට මුහුණ දීමේ අවදානමක් මේ වනවිට මතුව නැතුවා නොවේ. එමෙන්ම ඉන්ධන ලබාගැනීම සඳහා රුසියාව සමග ආණ්ඩුව කළ ගනුදෙනුවත්, රාජ්‍යයන් දෙකක් අතර සිදුකළ ගනුදෙනුවකට වඩා විවිධ පෞද්ගලික කණ්ඩායම් හරහා සිදුකිරීමට ගිය ගනුදෙනුවක් බවට පත්ව ඇති බවක්ද මේ වනවිට දැකගන්නට පුළුවන.
ආණ්ඩු පෙරළපු ලයිට් කැපිලි
මේ ආකාරයට යළිත් ඉන්ධන අර්බුදයක පෙරමග ලකුණු පහළ වෙමින් පවතිද්දී බරපතළ විදුලි අර්බුදයක් සම්බන්ධ පෙරමග ලකුණුද මේ වනවිට පහළ වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය. පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල ඉහළ නංවමින් 25%කට ආසන්න ප්‍රතිශතයකින් මිල ඉහළ නැංවීමට පියවර ගත්තේය. කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල් අවස්ථාවේ සිටම ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මුල්කරගෙන විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව විශාල සටනක් දියත් කිරීමට කටයුතු කොට තිබිණි. විශේෂයෙන් විපක්ෂ නායකවරයාම මහජන උපයෝගිතා කොමිසම හමුවට ගොස් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටද පියවර ගත්තේය. විපක්ෂ නායකවරයා එසේ කළේ වෙන මොනවත් නිසා නොව, කොයි තරම් ගැටලු තිබුණත් ඉන්ධන මිල ඉහළ නැංවීම, ගෑස් මිල ඉහළ නැංවීම අසීරුවෙන් හෝ දරාගැනීමට ජනතාව කටයුතු කළත් විදුලි බිල ඉහළ නැංවීම හෝ විදුලි කප්පාදුවකට යෑම ජනතාව කිසිසේත් නුරුස්සන කාරණාවක් බව සහසුද්දයෙන්ම දැනගෙන සිටි නිසාය.
ඊට හොඳම උදාහරණ කීපයක්ම පසුගිය පසුගිය ආණ්ඩු කීපයකින්ම දැකගත හැකිව තිබිණි. ආසන්නතම උදාහරණය ගෝඨාභය ආණ්ඩු සමයේය. 2022 වසරේදී මේ ආකාරයටම තෙල්, ගෑස් මිල ගණන් ඉහළ දැමීම සහ විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර ගෝඨාගේ ආණ්ඩුව කඩා වැටීමේ ආරම්භක අවස්ථාව බවට එය පත්ව තිබිණි. එමෙන්ම 1997 චන්දි්‍රකා පාලන සමයේදීද මේ ආකාරයෙන්ම විදුලි අර්බුදයකට මුහුණ දීමට ඇයට සිදුවිය. එවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ චන්ද්‍රිකාගේ ඥාතියකු වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේය. හෙතෙම ආරක්ෂක ඇමැතිවරයා වශයෙන්ද කටයුතු කොට යුද ජයග්‍රහණ කීපයක්ම රටට ලබාදීම නිසා එවකදී ඔහුව හැඳින්වූයේ ‘සපුමල් කුමාරයා’ ලෙසය. නමුත් අවසානයේදී විදුලි අර්බුදය හේතුවෙන් විදුලි කප්පාදුවකට යෑමට සිදුවීම නිසා ජනතාව මේ කියන සපුමල් කුමාරයාට බැණවැදුණේ තිත්ත කුණුහරුපයෙන්ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාවැටීමේ ආරම්භක අවස්ථාව බවට පත්ව තිබුණේද මෙම විදුලි අර්බුදයය.
මේ ආකාරයටම 2000 වසරේ අග භාගය වනවිට නැවතත් රට ඇතුළේ විදුලි අර්බුදයක් මතුවිය. එය පැය 10-12 දක්වා දීර්ඝ කාලයකට විදුලිය කපා දමන ආකාරයේ ප්‍රබල එකක් බවට පත්ව තිබිණි. අවසානයේදී මේ අර්බුදය නිසාම චන්ද්‍රිකාට ආණ්ඩුව විසුරුවා හැර මහ ඡන්දයකට යෑමට සිදුවූ අතර, එවක විපක්ෂයේ සිටි එජාපය ජනතාවට පොරොන්දුවක් දුන්නේ දින 100ක් ඇතුළත රටට සම්පූර්ණයෙන්ම විදුලිය ලබාදීමට කටයුතු කරනවා යැයි කියමිනි. ඒ අනුව ජනතාව එජාපයට ආණ්ඩු බලය ලබාදුන් අතර, එම ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේ කරු ජයසූරිය මහතාය. මුල් කාලයේදී කරු මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී ජනතාව අතර කෙතරම් පීඩනයක් – විරෝධයක් තිබුණාද කියනවා නම් කරුට ‘කරුවල ජයසූරිය’ ලෙස නමක්ද පටබැඳී තිබිණි. නමුත් ජනතාවට පොරොන්දු වූ පරිදිම ආණ්ඩුවේ පළමු දින 100 ඇතුළත මුළු රටටම අඛණ්ඩව විදුලිය ලබාදීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව එදා කටයුතු කොට තිබිණි.
කැපිල්ල පැය 12ක්???
විදුලි කප්පාදුව නිසා ආණ්ඩු පෙරළීමේ ඉතිහාසය සම්බන්ධයෙන් අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කරුණු දැක්වූයේ වත්මන් ආණ්ඩුවද එවැනි ඉරණමකට මුහුණ දෙනු ඇතැයි කියන්නට නොව, මෙම අර්බුදයේ ඇති බරපතළකම පිළිබඳ පෙන්වා දෙන්නටය. දැනටමත් විවිධ පාර්ශ්වයන් අනාවැකි පළකොට ඇත්තේ බරපතළ විදුලි අර්බුදයකට රට ගමන් කරමින් සිටින බවටත්, ඉතා ඉක්මණින් විදුලි කප්පාවකට යෑමට ආණ්ඩුවට සිදුවනු ඇති බවටත්ය. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවසන් වරට ගෙන ආ ගල්අඟුරු නැව් 13ම බාල තත්ත්වයේ ඒවා බවට තහවුරු වී තිබීම හරහා එමගින් දෛනිකව නිපදවන මෙගාවොට් ප්‍රමාණයේ බරපතළ පහළ වැටීමක් සිදුව තිබීම නිසාය. ඒ අනුව දිනපතා රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්ධන මත වැඩි බරක් තැබීමටත්, ඒ වෙනුවෙන් දිනකට ඩීසල් ලීටර් ලක්ෂ අටහමාරක් පුච්චා දැමීමට සිදුව ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙය දිගින් දිගටම සිදුකළ හැක්කක් නොවන නිසා කුමන අවස්ථාවකදී හෝ දැවැන්ත විදුලි කප්පාදුවකට යෑමට ආණ්ඩුවට සිදුවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ. එමෙන්ම පවතින දැඩි නියං තත්ත්වය හේතුකොට ගෙන ජල විදුලි බලාගාරවලින් නිපදවන මෙගාවොට් ප්‍රමාණයද විශාල වශයෙන් පහත වැටී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
මෙවැනි පසුබිමක් යටතේ විපක්ෂ නියෝජිතයන් පසුගිය සතියේදී බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුකොට තිබිණි. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම බලශක්ති විශේෂඥයන් විසින් මුළු රටටම බය හිතෙන ආකාරයේ අනාවැකි කීපයක්ම සිදුකොට ඇති බවය. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මුල් අදියරේදී මෙම අර්බුදය යම් තරමකට හෝ කළමනාකරණය කරගත හැකි තත්ත්වයක තිබුණද, ආණ්ඩුව බොහෝ දේවල් අතපසු කරගෙන ඇති තත්ත්වයක් යටතේ දැනට සිදුකිරීමට ඉතිරිව ඇති දේ බොහෝ අවම යැයි කියාය. ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ නුදුරේදීම පැය 12ක් වැනි විශාල කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බවකි. ඊට බලපා ඇති හේතුද එකින් එක මෙහිදී විපක්ෂ නියෝජිතයන්ට පෙන්වා දී ඇති මෙම බලශක්ති විශේෂඥයන්, ඉන් ගැලවීමට ඇති මාර්ග මේ වනවිට ඉතා අඩු බවද පෙන්වා දීමට කටයුතු කොට ඇත.
අනෙක් අතට මෙම විශේෂඥයන් පෙන්වා දී ඇති අනෙක් බරපතළම කාරණය වී ඇත්තේ දැනට මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල 25%ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත්තේ පසුගිය වසරේ් දෙසැම්බර් මාසයේ පැවැති තත්ත්වයට අනුකූලව යැයි කියාය. සාමාන්‍යයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලි මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කාර්තුවෙන් කාර්තුවටය. ඒ අනුව මෙවර විදුලි බිල ඉහළ නංවා තිබුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාර්තුවට අදාළවය. නමුත් ඒ වනවිට මැදපෙරදිග යුද්ධයක් හෝ ඉන්ධන ගල්අඟුරු අර්බූදයක් පිළිබඳ සංඥාවක්වත් තිබුණේ නැත. නමුත් දැන් පවතින තත්ත්වය එසේ නොවේ. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සියලු දේ මේ වනවිට ඇත්තේ කනපිට පෙරළී ගොසිනි. ඒ අනුව ඊළඟ විදුලි බිල ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වන්නේ ජුනි මාසය වනවිටය. එවිට මිල ගැළපීම සිදුවන්නේ යුද්ධය ආරම්භ වීමෙන් පසු කාලපරාසය සමගය. ඒ අනුව මෙම විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ජනතාවට හිතාගන්නටවත් නොහැකි ආකාරයේ මිල ගණනකින් ලබන ජුනි මාසය වනවිට විදුලි බිල යළි ඉහළ නැංවීමේ පසුබිමක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවකි. එය බොහෝ දුරට ජනතාවට ලැබෙන ‘ඉලෙක්ටි්‍රක් ෂොක් ‘එකක් හා සමාන වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.
ආපිට කැරකුණු ෆොටෝව
එක පිට එක ප්‍රශ්න මතුවීම හේතුකොට ගෙන ජ්‍යොතිෂ පැත්තෙන් බලන කියන බොහෝ දෙනා කියන්නේ ආණ්ඩුවට නම් දැන් ලොකු අපල කාලයක් ලබා ඇතැයි කියාය. තෙල් අර්බුද, ගෑස් අර්බුද, විදුලි අර්බුද මෙන්ම පොහොර අර්බුදයකටද ආණ්ඩුවට එකවර මුහුණ දීමට සිදුවීම හරහා රටේ සියලු ජනතාවට එකවර බලපාන ප්‍රශ්න රැසක් මතුව තිබීම ඒ සඳහා බලපා ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ආණ්ඩුවට ලබා ඇති මෙම අපලය නිසාදෝ හොඳ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් කරන දේවල් පවා ආපසු කැරකී ගොස් අන්තිමේදී ආණ්ඩුවටම ඒවා පාරාවළල්ලක් වන ආකාරයේ සිදුවීම්ද මේ දිනවල දැකගත හැකිය. ඊට හොඳම උදාහරණය වන්නේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වූ කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවසේ පැවැති දානමය පින්කමකි. සාමාන්‍යයෙන් ලාල් සැලකෙන්නේ පැත්ත ගියත් ඇත්ත කියන, කෙළින් කතාකරන චරිතයක් ලෙසය. එසේ කෙළින් කතා කරන්නට ගොස් ආණ්ඩුව අසීරුතාවට පත්වූ අවස්ථාද පසුගිය කාලයේ නැතුවා නොවේ. නමුත් මෙවර ලාල්කාන්ත රටම කතාකරන චරිතයක් බවට පත්වූයේ ඔහු කළ ප්‍රකාශයක් නිසා නොව, ඔහුගේ කොළඹ නිවසේ දානමය පුණ්‍යකර්මයක් සිදුකිරීම මුල්කරගෙනය.
එහිදී ආණ්ඩුව පැත්තෙන් මාධ්‍යයට ඡායාරූපයක් නිකුත් කෙරුණු අතර, එහි තිබුණේ ජනාධිපතිවරයාත්, අගමැති හරිනි අමරසූරියත් ලාල්කාන්තගේ නිවසට පැමිණ ඔහුත් සමග සාමාන්‍ය ආසන තුනක හිඳගෙන, සාමාන්‍ය ජනතාව කන ආකාරයට පේපර් ප්ලේට් දෙකක කෑම කන ඡායාරූපයකි. බොහෝ දුරට ආණ්ඩුව පැත්තෙන් මෙම ඡායාරූපය නිකුත් කරන්නට ඇත්තේම එහි ඇති සරලකම නිසාත්, සාමාන්‍යයෙන් එවැනි ආකාරයේ ඡායාරූප ජනතාව අතර සහ සමාජ මාධ්‍ය අතර හිට් වීම නිසාත් විය හැකිය. මේ ආකාරයටම පසුගිය කාලයේදී ජනාධිපතිවරයා තනිවම වාහනයේ දොර ඇරගෙන බිමට බැසීම, ආරක්ෂක නිලධාරීන් නොමැතිව කොට කලිසමක් ඇඳගෙන ජොගින් යෑම, තනිවම කුඩය අල්ලාගෙන ජනතාව අතරට යෑම, දරුවන් සිපගැනීම, දරුවන් වඩාගැනීම දැක්වෙන ආකාරයේ ඡායාරූපවලට ජනතාව අතර හිමිවූයේ විශාල ප්‍රසාදයකි. අනුරගේ කාලයේ පමණක් නොව, මහින්දගේ කාලයේ සිටම මෙවැනි ආකාරයේ ඡායාරූපවලට හිමිවූයේ ඉහළම වටිනාකමකි.
මහින්දගේ කාලයේදී මෙවැනි ඡායාරූප විශාල ප්‍රමාණයක් ජනතාව අතරට ගියේය. සරම එක් අතකින් ඔසවාගෙන වේදිකාවේ පඩිපෙළ නැගීම, දරුවන් සිපගැනීම, ඔළුවෙන් හිටගෙන යෝගා ව්‍යායාම කිරීම, බොක්සිං අත් ආවරණ පැලඳ බොක්සිං ක්‍රීඩාවේ නිරත වීම වැනි ඡායාරූපවලට මහින්දගේ කාලයේ ලැබුණේ විශාල ජනප්‍රසාදයකි. මෛත්‍රීගේ කාලයේදීද මේ ආකාරයටම කෙසෙල් කොළයේ බත් ගෙදරින් ගෙනැවිත් කෑම වැනි ඡායාරූපද ජනතාවගේ මතකයේ රැඳී තිබුණු ඒවාය. මහින්දගේ සහ මෛත්‍රීගේ මෙවැනි ආකාරයේ ඡායාරූපවලට මුල් කාලයේදී ඉතා ඉහළ ජනප්‍රසාදයක් හිමිවුවත්, විවිධ ප්‍රශ්න, චෝදනා මුල්කරගෙන පසුකාලීනව ඔවුන්ගේ ජනප්‍රසාදය කඩාවැටෙද්දී මේ ඡායාරූපවලට කිසිදු වැදගත්කමක් හිමිවූයේ නැත. ජනතාව එවැනි ඡායාරූප දකිද්දී වෛර කරන තරමට අවසානයේදී එම තත්ත්වය කනපිට හැරීගොස් තිබිණි. අන්තිමේදී ජනතාව යුද්ධය දිනපු මහින්දව ගෙදර යැව්වේ හොරෙක් ලෙස හංවඩු ගසාය. හොරකම් නොකළ, විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළ මෛත්‍රීපාලව ගෙදර යැව්වේ ජෝකර් කෙනකු බවට පත්කොටය.
ලාල්කාන්තගේ කතාව
වත්මන් ජනාධිපතිවරයාගේ මුල් කාලයේදීත් මෙවැනි ආකාරයේ ඡායාරූප ජනතාව අතර හිට් වුණත් මේ වනවිට රට ඇතුළේ මතුව ඇති තත්ත්වය යටතේ ලාල්කාන්තගේ නිවසට පැමිණ හරිනි සමග කෑම කන ඡායාරූපයටද අත්වූයේ මහින්දගේ සහ මෛත්‍රීගේ පාලන සමයන්වල අවසාන කාලයේදී ඡායාරූපවලට අත්වූ ඉරණමමය. එහිදී ජනතාව කතා කරන්නට පටන් ගත්තේ එම ඡායාරූපයේ ජනාධිපතිවරයාගේ ඇති සරලකම ගැනවත්, ආණ්ඩුවේ නායකයන්ගේ ඇති එකමුතුකම ගැනවත් නොව, ඡායාරූපය හරහා දැකගන්නට ලැබුණු ලාල්කාන්තගේ නිවසේ ඇති සුඛෝපභෝගීභාවය පිළිබඳවය. රටම දන්නා ආකාරයට මේ දක්වාම ලාල්කාන්තව හඳුනාගෙන තිබුණේ ධනවත් පවුලකින් හෝ පෙළපතකින් පැවැත එන අයකු ලෙස නොව, පීඩිත පන්තියේ සිට දේශපාලන ගමන් මගේ ඉහළට ආ අයකු ලෙසටය. ලාල්කාන්තම එය තමන්ගේම වචනවලින් එක් අවස්ථාකදී රටට ප්‍රකාශ කොට තිබුණේ මෙසේය.
‘මගේ දුවගේ අම්මා හතරට නැගිටිනවා උදේ. තාමත් රස්සාවට යනවා. හැමදාම අවුරුදු ගානක් එයා හතරට නැගිටිනවා. දැන් දුව උසස් පෙළ ඉගෙනගන්නේ. ටියුෂන්වලට මාසෙකට රුපියල් තිස් දාහක් විතර ඕනේ. විද්‍යා විෂයන් ඉගෙනගන්නේ. එයා ගුරුවරියක්, එයාගේ පඩිය මදි. මට කීයක්වත් හම්බවෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මම කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන මොනවා හරි හාල් ටිකක්, පොල් ටිකක් ආදී වශයෙන් විවිධ දේවල් ගෙදරට ගෙනල්ලා දානවා. ඒකෙන් වැඩේ හරියන්නේ නැහැ. මම කිව්වා රටේම මිනිස්සු අපිට එක එක ප්‍රශ්න කියනවා, අපේ ප්‍රශ්න ගැන කවුරුත් බලන්නේ නැහැ. බලන පිරිසක් ඉන්නවා. මම කිව්වා නෑදෑයෝ, මිත්‍රයෝ එක්කෙනෙක්වත් මාසෙකට රුපියල් දාහක්වත් දෙන්න අහන්නේ නැහැ. ගොඩක් අයගේ ප්‍රශ්න කියනවා ඒවා අපි විසඳනවා, මැදිහත් වෙනවා.
එතකොට නෝනා මගෙන් ඇහුවා ‘ඉතින් ඇයි ඔයා බලාපොරොත්තු වෙන්නේ, ඔයා මොකක් හරි කරන්න’ කියලා. එයාත් දැන් මට කියනවා එයාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බැරුව, දුවගේ වැඩයි එයාගේ වැඩයි කරගන්න බැරුව සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනවා හරි කරන්න කියලා. එයා දන්නවා මම අවුරුදු 30ක් ජේ.වී.පී. එකේ ෆුල් ටයිම්. සත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු තිහේ. දැන් මට එයා කියනවා අවුරුදු 30ක් ෆුල් ටයිම් කරපු මට ඔයත් මොකක් හරි කරන්න බලන්න කියලා…’
ලාල්කාන්තගේ මෙවැනි කතා අසා තිබූ ජනතාව ජනාධිපතිවරයා සිටින ඡායාරූපයේ තිබූ නිවස හරහා නම් දුටුවේ ලාල්කාන්ත කී එම කතාවට සමපාත නිවසක් නම් නොවේ. කෝටි ගණනක වියදමක් දරා ඉදිකළ නවීන පන්නයේ සුපිරි නිවසකි. වායුසමීකරණ තබා ඇති ආකාරයත්, සුඛෝපභෝගී ගෘහභාණ්ඩ තබා ඇති ආකාරයත්ය. මීට අමතරව ජනාධිපතිවරයා සිටි ඡායාරූපයේ පසුපසින් ලක්ෂ ගණනක් වියදම් කොට සූර්ය විදුලිබල පද්ධතියක් නිවසට සවිකොට තිබූ ආකාරයක්ද සියලු දෙනාටම දැකගත හැකි විය.
ඒ අනුව කිසියම් ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක් ලබාගැනීමට ආණ්ඩුව පැත්තෙන් මෙම ඡායාරූපය මාධ්‍යයට නිකුත් කළද, අවසානයේදී සිදුවූයේ එය කනපිට හැරී ගොස් ලාල්කාන්තගේ කොළඹ නිවස මුල්කරගෙන නොසිතූ අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවීමය. දැනටමත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු 1818 අමතමින් ලාල්කාන්තට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කිරීමට පියවර ගනු ලැබූ ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව ඉන් පැහැදිලි වන ප්‍රධානම කාරණාවක් වන්නේ ජනතාව දැන් කෙසෙල් කොළේ බත් කන, වාහනයේ දොර තනිවම ඇරගෙන බසින, වැස්සට කුඩය තනිවම අල්ලාගෙන යන, කොට කලිසමක් ඇඳගෙන ජොගින් කරන ඡායාරූප තවදුරටත් පිළිගැනීමට සූදානම් නැති බවය. එසේත් නැත්නම් ‘මීඩියා බබල්‘ හරහා මවන මාධ්‍ය සංදර්ශන තවදුරටත් රට ඇතුළේ වලංගු නැති බවය.
සජිත් මොකද කරන්නේ?
මේ සියලු අර්බුද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් විපක්ෂය යනුවෙන් හඳුන්වන්නේ විකල්ප ආණ්ඩුවය. විපක්ෂ නායකයා යනුවෙන් හැඳින්වෙන්නේ ආණ්ඩුව භාරගැනීමට සිටින ඊළඟ විකල්ප නායකයාය. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සංවිධානාත්මක කණ්ඩායම් සජිත් ඉලක්ක කොටගෙන මඩ ප්‍රහාර එල්ල කළද, සජිත් කිසිදු අවස්ථාවක ‘මීඩියා බබල්’ හරහා වෙනත් දේශපාලනඥයන් මෙන් තමන්ගේ පුද්ගල චරිතය ඉස්මතු කරගැනීමට කටයුතු කරන්නේ නැත. ඒ වෙනුවට පසුගිය සති දෙකේම සජිත් සිටියේ රටේ ඊළඟ ආණ්ඩුව භාරගැනීමට සිටින විකල්ප නායකයා ලෙස මේ වනවිට රට මුහුණදී සිටින දැවැන්තම අර්බුදය වන බලශක්ති අර්බුදයට අවශ්‍ය විසඳුම් සොයමින්ය. ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ සිටින ඉහළම තලයේ විද්වතුන්, විශේෂඥයන් සියලු දෙනාම විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවූ සජිත්, වත්මන් අර්බුදය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් ඔවුන් සමග පැවැත්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඊට අදාළ අනෙක් ක්ෂේත්‍රවල විශේෂඥයන් කැඳවා ඔවුන් සමගද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සජිත් කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කරන ලෙසත්, ඊට අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කරන ලෙසත් සජිත් ඔවුන්ට දැනුම්දී සිටියේය.
මීට අමතරව සජිත් පසුගිය සතියේ විද්වතුන් විශාල පිරිසක් සමග තවත් අතිශය රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවට මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන, (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), මහාචාර්ය කේ. අමිර්තලිංගම්, (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, (කොළඹ විශ්වවිද්‍යාලය) මහාචාර්ය නීවිස් මොරායිස්, (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය) මහාචාර්ය ප්‍රසන්න පෙරේරා (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), හර්ෂා අතුරුපාන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුණරුවන් වැනි අය ද විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරමින් එක්ව සිටියහ. ඔවුන්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ප්‍රතිපත්ති මිශ්‍රණය මගින් මේ ප්‍රශ්නය විසඳා ගැනීම යෝග්‍ය බවට කරුණු ඉදිරිපත් කළහ.
යම් යම් අවස්ථාවලදී විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ අදහස් දැක්වීම් හේතුවෙන් රැස්වීම ක්‍රමයෙන් උණුසුම් වූ නමුත්, සජිත් ඉතාමත් සංයමයකින් යුතුව සාකච්ඡාවට අවතීර්ණ වෙමින්, විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ඉතා සැලකිල්ලෙන් ශ්‍රවණය කරමින් ඒවාට සිය ප්‍රතිචාර දක්වනු දැකගත හැකිවිය. එහිදී සජිත් තමන්ට පැහැදිලි කර ගත යුතු කරුණු ඉතාමත් සංයමයෙන් යුතුව විමසා දැන ගැනීමට උත්සාහ දරනු දක්නට ලැබිණ.
සාකච්ඡාව ආරම්භ කරමින්, වෙරිටේ පර්යේෂණායතනය විසින් ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ අදහස් දැක්වීය. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, එම සමීකරණය පිරිවැය පිළිබිඹු වන පරිදි නිවැරදිව සකස් කළ යුතු බවය. එමගින් මිල ගණන් ඉහළ යාම අනිවාර්ය බවද එම පර්යේෂකයින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, මෙම මිල සූත්‍රය සම්පූර්ණයෙන්ම අතහැර දමා, වෙනත් ආකාරයකින් ද මිල ගැළපීම් සිදුකළ හැකි බවද ඔවුහු පෙන්වා දුන්හ.
අනතුරුව අදහස් දැක්වූයේ මුර්තසා ජැෆර්ජීය. ඔහු ප්‍රකාශ කළේ, මිල ඉහළ යාමට ඉඩ දිය යුතු බවත්, නිදහස් වෙළඳපොළ බලවේගයන්ට ඉන්ධන වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමට අවකාශ සැලසීම මගින් පවතින අකාර්යක්ෂමතාවයන් අඩු කර ගත හැකි බවත්ය. එහිදී පැන නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, අසීරුතාවයට පත් ජනතාව වෙත ඉලක්කගත සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවකි. ඇඩ්වකාටා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු විසින් ද විටින් විට මෙම සාකච්ඡාවට සක්‍රියව සම්බන්ධ වෙමින් යම් යම් පැහැදිලි කිරීම් සිදු කරන ලදී.
රැස්වීම අවසානයේදී සහභාගිවූ පිරිස් අතර පොදුවේ සාකච්ඡාවට භාජනය වූ කරුණක් පිළිබඳවද අපට ආරංචිය. එනම්, සජිත් මෙම බලශක්ති අර්බුදය පිළිබඳව දක්වනු ලබන උනන්දුව සහ විශේෂයෙන්ම විසඳුම් පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් සිටින බවට විද්වතුන්ට පෙනී යාමය. ප්‍රායෝගිකව මෙම ප්‍රශ්නයන්ට ආමන්ත්‍රණය කළ හැකි විසඳුම් කට්ටලයක් පිළිබඳව රැස්ව සිටි පිරිසෙන් විමසා කරුණු අධ්‍යයනය කිරීම කෙරෙහි සජිත් වඩාත් උනන්දුවක් දැක්වීය. මේ පිළිබඳ විශ්වවිද්‍යාල විද්වතුන් මෙන්ම සාකච්ඡාවට සහභාගි වූ අනෙකුත් ආයතනවල නියෝජිතයන් ද ප්‍රශංසා සහගතව අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව සාකච්ඡාව අවසානයේදී සජිත් එහි සිටි විශේෂඥයන් කිහිප දෙනකුටම දැනුම් දී සිටියේ වත්මන් ආර්ථික අර්බුදය හරහා පැනනැගිය හැකි ප්‍රතිවිපාක සහ ඒවා විසඳාලීමට හැකි කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ වාර්තාවක් වහාම සකස් කොට එය තමන්ට භාරදෙන්නැයි කියාය.
ගල්අඟුර මහපාරට
අනෙක් අතට සජිත් පක්ෂයේ දේශපාලන යාන්ත්‍රණය හරහා වත්මන් ආණ්ඩුව සිදුකොට ඇති බාල ගල්අඟුරු වංචාව පිළිබඳ රටම දැනුවත් කිරීමේ මෙහෙයුමද පසුගිය සතියේ දියත් කිරීමට පියවර ගත්තේය. මේ වනවිට එම බාල ගල්අඟුරු වංචාව පිළිබඳ විපක්ෂය නිවැරැදිව පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබීම නිසා දැනටමත් ඒ පිළිබඳ රටම දැනුවත් වී සිටින ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව එහි ක්‍රෙඩිට් එක හිමිවිය යුත්තේ වෙන කාටවත් නොව පළමුව ගල්අඟුරු වංචාව පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජිත්ටත්, මන්ත්‍රී අජිත් පී. පෙරේරාටත්ය. එමෙන්ම බලශක්ති පිළිබඳ ආංශික කාරකසභාවේදී එහි සභාපති වශයෙන් කටයුතු කරන එස්.එම්. මරික්කාර්ද මෙම බාල ගල්අඟුරු වංචාව පිළිබඳ නිවැරැදි තොරතුරු ජනතාව අතරට ගෙන යාම සඳහා විශාල වැඩකොටසක් සිදුකළේය.
මුල් අවස්ථාවේදී ආණ්ඩුව විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගල්අඟුරු වංචාවක් සිදුව නැති බව කියන්නට උත්සාහ කළත් අවසානයේදී විපක්ෂය මතුකළ තර්ක හමුවේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයා වූ බිමල් රත්නායක අමාත්‍යවරයා පවා ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ගල්අඟුරුවල තත්ත්වය බාල වී ඇති බව පිළිගැනීමට කටයුතු කළේය. බිමල්ට අමතරව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප දෙනකුම මේ වනවිට පසුගිය කාලයේදී ගෙන ආ ගල්අඟුරු තත්ත්වයෙන් බාල බව පිළිගැනීමට කටයුතු කොට තිබේ. නමුත් ඔවුන්ගේ තර්කය වී ඇත්තේ ගල්අඟුරු තත්ත්වයෙන් බාල වුවද, ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා විවාදයේදී මෙම බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් රටම හෙල්ලෙන ආකාරයේ හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට විපක්ෂය දැනටමත් සූදානමින් සිටිනවා යැයි කියාය.
මෙවැනි පසුබිමක් යටතේ විපක්ෂ නායක සජිත් පසුගිය සතියේදී පක්ෂයට දැනුම් දී සිටියේ මෙම බාල ගල්අඟුරු වංචාව පිළිබඳ ප්‍රශ්නය ගමට රැගෙන යෑමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව ගම් මට්ටමින් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටත්, ගම් මට්ටමින් ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමටත් සජබය පසුගිය සතියේ පියවර ගත්තේය. ‘පච මදිවාට හොරු – අනුර ෆේල්’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට සජබය මේ වනවිට කටයුතු කොට ඇති අතර, පසුගිය සතියේ සජිත්ද ඊට සම්බන්ධ වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිත කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජනතාවට කිසිම කම්මැලිකමකින් තොරව බලාසිටිමීටම හැකි ආකාරයේ විවාදයක් වන ලකුණු මේ වනවිටත් පහළ කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
සාගල තනිවෙලා
මේ අතර, පසුගිය සතියේ සජබ ප්‍රධානීන් හා එජාපයේ ප්‍රධානීන් අතර තවත් විශේෂ හමුවක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ සිදුවිය. ඊට නිමිත්ත වී තිබුණේ එජාප නියෝජ්‍ය සභාපති නවීන් දිසානායක මහතාගේ සොහොයුරා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක නැවතත් කැනඩාව බලා පිටත්ව යෑම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකි. ඉකුත් මහ මැතිවරණයට තරග නොකළ මයන්ත තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වී කැනඩාවේ පදිංචියට ගොස් මීට දින කීපයකට ඉහතදී සිය පියාගේ ගුණසමරුවට සහභාගි වීම සඳහා නැවත ලංකාවට පැමිණ සිටි අතර, යළි රටෙන් පිටවීමට පෙර ඔහු සජබයේ සහ එජාපයේ ප්‍රධානීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ගෝල්fත්‍්ස් හෝටලයට ආරාධනා කොට තිබිණි. ඒ අනුව ඊට සජබයෙන් සජිත් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද එජාපයෙන් රුවන්, අකිල, සාගල, තලතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. ඉතා සුහදශීලී ආකාරයට විහිළුතහළුවලින් පිරී ඉතිරී තිබුණු මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාගල රත්නායකගේ පැමිණිමය. සාගල එජාපයේ ජාතික සංවිධායකවරයා වුවද ඔහුගේ පැමිණීමත් සමග සාද ස්වභාවයේ තරමක වෙනස් වීමක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් වෙනදා නම් සාගල පැමිණි වහා ඔහු සමග සියලු දෙනාම කතාබහ කරනු දැකගන්නට ලැබුණත් එදින සජබයේ පමණක් නොව, එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පවා සාගල සමග වැඩි කතාබහකින් තොරව, එසේත් නැත්නම් ඔහු ගණනකට නොගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ටික වේලාවක් යද්දී මේ බව දැනුණු නිසාදෝ සාගලත් වැඩි කතාබහකින් තොරව කාටත් කලින් නැගිට රාත්‍රී ආහාරය ගැනීමට කටයුතු කොට තිබිණි.
අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ බොහෝ අවස්ථාවලදී වාර්තා කර ඇති තොරතුරක් වනුයේ සජබය සහ එජාපය එක්වනු දැකීම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ගේ සහ අතිබහුතරයක් වූ නායකයන්ගේ ඒකායන කැමැත්ත වුවත්, ඊට අකුල් හෙළන සූත්තර පුංචලා දෙතුන් දෙනකු පක්ෂ දෙකේම සිටින බවකි. මේ සූත්තර පුංචලා පසුගිය කාලයේ පක්ෂ දෙකේ එකමුතුව කැඩීමට කළ කුමන්ත්‍රණ විශාල ප්‍රමාණයක්ද අප මෙම තීරයේ වාර්තා කර තැබුවෙමු. එමෙන්ම මේ දිනවලද මෙම එකමුතුව කැඩීම සඳහා තැන් තැන්වල පොදු විපක්ෂයක් ගොඩනැංවීම, පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම වැනි මාතෘකාවන්ද අසන්නට දකින්නට ලැබේ. දැනටමත් එජාපයේ සිටින එක්තරා සූත්තර පුංචෙකු පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එම සූත්තර පුංචා සිය මෙහෙයුමට විශාල වශයෙන් මුදල් ගෙවා සමාජ මාධ්‍ය ජාල කීපයක සහායද ලබාගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සජබ නායක සජිත් අපහසුතාවට පත්කොට ඔහුව පසුපසට ඇද දමා අවස්ථා කිපයකදීම දියත් කළ පොදු අපේක්ෂක තුරුම්පුව මෙවරත් ගැසීමටය. එසේ කොට නැවත වතාවක් සජබය සහ එජාපය එක්ව ගත හැකි ජයග්‍රහණයක් කනපිට හරවන්නටය. මේ කුමන්ත්‍රණය ඉදිරි දින කීපය ඇතුළත රටට හෙළිකිරීමට සජබ මන්ත්‍රීවරුන් කීප දෙනකුම සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ වෙත ආරංචිය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ රනිල් ජනාධිපතිවරයා බවට පත්ව සිටියදී සාගල සිටියේ රනිල්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසත්, ඔහුගේ උපදේශකයකු ලෙසත්ය. රනිල්ගේ කඩාවැටීමට එදා සාගලගේ හැසිරීමද බොහෝ ඉවහල් වූ බවට චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ. ගෝල්ෆේස් හෝටලයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සාගලට වැඩි අවධානයක් යොමු නොවුණේ මේ නිසාදැයි කියන්න දන්නේ නැත.
කෙසේ වෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී පක්ෂ දෙකේ එකමුතුව සිදුවිය යුතු ආකාරය පිළිබඳ දෙපාර්ශ්වයේ නායකයන් අතර දීර්ඝ ලෙස කතාබහට ලක්ව තිබිණි. එසේ එකතු වීමෙන් පසු ඉදිරි මැතිවරණයකදී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කරන්නේ කෙසේද, දිස්ත්‍රික්කවල නාමයෝජනා බෙදී යායුත්තේ කෙසේද යන්න පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබිණි.
මේ අතර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඇතැමුන් කර ඇති යෝජනාව පිළිබඳව පසුගිය සතියේ එක්තරා හිතවතෙක් සජිත්ට දුරකතනය හරහා අපූරු පුවතක් දැනුම් දී සිටියේය.
‘දැන් මේ සමහරු කියනවා ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒකට සජබෙ ඉන්න ජ්‍යෙෂ්ඨයෙකුත් සපෝට් කරනවා කියලා අපිට ආරංචියි. එතුමාට ඔබතුමා නොවටිනා තනතුරක් දීලා පක්ෂයේ උඩට අරන් ඉන්නවා කියලත් ලොකු චෝදනාවක් තියෙනවා. ඔබතුමා ඉස්සරහා කොච්චර හොඳට කතා කළත් ඔබතුමා නැති තැන්වල ඔබතුමාට අපහාස වන විදියට තමයි එතුමා කතා කරන්නේ…’ යනුවෙන් මෙම හිතවතා දුරකතන ඇමතුමෙන් කියද්දී සජිත් කීවේ ඒ කිසිවකට කලබල නොවන ලෙසත්, තමන් නිසි අවස්ථාව එළඹුණු විට ඒ සියලු දේ පිළිබඳ බලාගන්නා බවත්ය.










