දිස්ත්‍රික්ක 10ක සජිත්-අනුර ලොකු සටනක්!
අනුරගෙ ඉස්සිල්ල නැවතිලා!
උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක සජිත්ට!
දිස්ත්‍රික්ක 5ක නාමල් 3ට!
දිනන සජිත්
ජනාධිපතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් හරියටම දින තුනකි. නව වැනි ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසුම සෙනසුරාදා පෙරවරුවේ ආරම්භ වන අතර, බොහෝ දුරට සති අන්තය වනවිට රටේ මීළඟ ජනාධිපතිවරයා තීරණය වන ප්‍රතිඵල ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. ඒ අනුව අද (18) දින වෙළෙඳපොළට නිකුත් වන්නේ ‘මව්රට’ පුවත්පත ජනාධිපතිවරණය අළලා මුද්‍රණය කෙරෙන විශේෂ කලාපයකි.Sri Lanka Latest News
මේ වනවිට සියල්ලන්ම බලා සිටින්නේ ජනාධිපතිවරණයට පෙර නිකුත් වී ඇති අවසන් මත විමසුම් ප්‍රතිඵල දෙසය. පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ රටේ පිළිගත් මත විමසුම් ආයතන මගින් සහ ඔත්තු සේවා මගින් සිදුකර ඇති මත විමසුම් මගින් දැනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 37%ත් 40%ත් අතර ඡන්ද ප්‍රතිඵලයක් ලබා ඉදිරියෙන්ම පසුවන බවකි. දෙවැනි ස්ථානයේ සිටින අනුර 30%ත් 33%ත් අතර ප්‍රතිශතයක් ලබාගනු ඇති බව එම ප්‍රතිඵල මගින් අනාවරණ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 12%ත් 15%ත් අතර ප්‍රතිශතයක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින බවත්, නාමල් රාජපක්ෂ මහතා 10%ක ප්‍රතිශතයක් ලබා සිවුවැනි ස්ථානයේ සිටින බවත් එම ප්‍රතිඵල මගින් අනාවරණ කොට තිබේ.
රූපවාහිනී විවාද
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ රටේ සියලු දෙනාගේම අවධානය යොමුවී තිබුණේ ජනාධිපති අපේක්ෂකයන් අවසන් වරට මුහුණ දෙන රූපවාහිනී වැඩසටහන්වලටය. ඊට වැඩි ජනතා අවධානයක් යොමුවූ ආකාරයක් දැකගන්නට තිබුණේ මාලිමාව මගින් අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන සිරස හා දෙරණ රූපවාහිනී සාකච්ඡා සඳහා විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කර තිබීම නිසාය. මේ ආකාරයට අනුර සිරස සහ දෙරණ නාලිකාවන්වල විවාදයන්ට සහභාගි වීමට තීරණය කර තිබුණද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නාලිකා දෙකෙන්ම සම්මුඛ සාකච්ඡා සඳහා ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කිරීමට කල් තියාම කටයුතු කොට තිබිණි. ඒ, අදාළ නාලිකාවන් දෙකේ සමබරතාව සම්බන්ධයෙන් සජබයට බරපතළ ප්‍රශ්නයක් පැනනැගී තිබීම නිසාය. මන්ද යත් එම නාලිකාවන් දෙකම අනුරට විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කර තිබීමත්, සදාචාර විරෝධී ආකාරයට සජබයට එරෙහිව අසත්‍ය පුවත් පළකිරීමට කටයුතු කොට තිබීමත් ඊට හේතුව විය.
දෙමළ සන්ධාන බොරුව
විශේෂයෙන්ම උතුරේ දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහාය පළකිරීමට ඒකමතිකව තීන්දු කොට තිබුණද, මුලින්ම එය බෙදුණු තීන්දුවක් බව ප්‍රකාශ කරමින් දකුණේ පුවත් පළ කළේ සිරස නාලිකාවය. විශේෂයෙන්ම පක්ෂ නායකයා වන මාවෙයි සේනාධිරාජා සජිත්ට විරෝධය පළකොට ඇති බවත්, පක්ෂය ගත් එම තීන්දුවට මාවෙයි එකඟ නොවන බවත් පළකොට තිබුණේ සිරස නාලිකාව ඔස්සේය. මාලිමාවත්, ඊට සහාය දක්වන සමාජ මාධ්‍ය ජාලාත්, එජාපයත් දෙමළ සන්ධාන සහාය සජිත්ට නොමැති බවට විශාල ප්‍රචාරයක් රට ඇතුළේ රැගෙන ගියේ සිරස එවැනි පුවතක් පළකිරීමෙන් පසුවය. නමුත් සිරස කී ආකාරයේ කිසිවක් දෙමළ සන්ධානය ඇතුළේ සිදුව නොතිබූ අතර, පසුව මාවෙයි පැහැදිලිවම ප්‍රකාශ කොට තිබුණේ තමන් පක්ෂය ගත් තීන්දුවට එකඟ බවත්, සජිත්ට සහාය පළකිරීමට කටයුතු කරන බවත්ය. මෙවැනි තත්ත්වයන් හේතු කොට ගෙන සිරසෙන් ලැබුණු ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට සජිත් කටයුතු කොට තිබිණි.
සජිත් සළකුණට
ඒ අනුව, සජිත් පිළිගෙන තිබුණේ හිරු නාලිකාවෙන් ලද ආරාධනාවය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හිරු නාලිකාවේ සජිත්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය වන මොහොතටම දෙරණ නාලිකාවද අනුරගේ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීමට තීන්දු කොට තිබීමය. අපේක්ෂකයන් දෙදෙනාම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දින කිහිපයේ සිටීම නිසා සජීවීව නොමැතිව කල් තියා පටිගත කරන ලද වැඩසටහන් ලෙස ඒවා විකාශය කිරීමට එකඟ වී තිබිණි. නමුත් මාලිමාව පැත්තෙන් සජිත්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් සමාජ මාධ්‍යවල ගෙන යමින් කියා සිටියේ අනුර දෙරණ නාලිකාවේ සජීවීව එන බවත්, සජිත් හිරු නාලිකාවේ කලින් පටිගත කරන ලද වැඩසටහනකට සහභාගි වන බවත්ය. නමුත් ඇත්තම කතාව නම් එම වැඩසටහන් දෙකම කලින් පටිගත කරන ලද ඒවා බවය.
කෙසේ වෙතත් හිරු නාලිකාව සජිත්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කරන වෙලාවටම දෙරණ නාළිකාවද අනුරගේ සාකච්ඡාව විකාශය කිරීමට තීන්දු කිරීම නිසාත්, සජිත් සහ අනුර යනු මෙවර ජනාධිපතිවරණයේ ඉහළින්ම සිටින අපේක්ෂකයන් දෙදෙනා නිසාත් සඳුදා රාත්‍රියේ පැවැති එම විවාද දෙක නැරඹීමට ජනතාව තුළ පැවතියේ විශාල උනන්දුවකි. ඒ නිසාම ජනතාව මේ සාකච්ඡා නැරඹීමට සිය නිවෙස්වල ආලින්දයේ අසුන්ගෙන සිටියේ හරියට ලෝක කුසලාන ක්‍රිකට් තරගයක අවසන් මහා තරගයක් නරඹනවා හා සමාන කුතුහලයෙන් යුක්තවය. එසේත් නැත්නම් ඡන්ද දිනයක ප්‍රතිඵල බලනවා හා සමාන කුහුලකින් යුක්තවය. ඒ තරමට මෙම සම්මුඛ සාකච්ඡාවලට ජනතාවගේ විශාල අවධානයක් එදින හිමිව තිබිණී. ඒ නිසාම සජබයෙන් පමණක් නොව මාලිමාවෙන්ද එම සම්මුඛ සාකච්ඡාවන් සඳහා විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
අනුර නාමල්ට පරදී
ඒ සඳහා බලපෑ එක්තරා හේතුවක්ද තිබිණි. ඒ, ඊට කලින් අනුර සහ නාමල් සිරස රූපවාහිනියේ පැවැති සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීමෙන් පසු ඊට පොහොට්ටුවෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යෑම නිසාය. ඔවුන් එහිදී කියා තිබුණේ අනුර සහභාගි වූ සිරස වැඩසටහන සමාජ මාධ්‍ය ඔස්සේ 70,000කට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබූ නමුත් නාමල් සහභාගි වූ සිරස වැඩසටහන 106,000කට අධික ප්‍රමාණයක් නරඹා තිබුණා යැයි කියාය. මේ නිසාම දෙරණ නාලිකාවේ විකාශය වන අනුරගේ සාකච්ඡාවට සජිත් ඉක්මවා යන ආකාරයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට මාලිමාවේ පිරිසට අවශ්‍ය වී තිබිණි. එ සඳහා වෙනම ප්‍රචාරක මෙහෙයුමක් සිදුකිරීමටද ඔවුන් පියවර ගෙන තිබිණ.
සජිත් අනුර පරද්දයි
කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භ වීමෙන් පසු මොහොතින් මොහොත මෙම නාලිකා දෙකම නරඹන පිරිස් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආරම්භයේ සිටම සජිත්ගේ හිරු සලකුණ සාකච්ඡාව නරඹන පිරිස් අනුරගේ දෙරණ නාලිකාව නරඹනවාට වඩා ඉහළ අගයක් ගැනීමය. උදාහරණයක් ලෙස සාකච්ඡාව ආරම්භ වී මිනිත්තු 40ක් ගතවන විට දෙරණ නාලිකාව 80,000ක් නරඹමින් සිටි අතර, හිරු නාලිකාව නරඹමින් සිටි ප්‍රමාණය 1,35,000ක් විය. විනාඩි 80ක් ගතවෙද්දී අනුර සහභාගි වූ දෙරණ 184,000ක් නරඹමින් සිටි අතර, සජිත් සහභාගි වූ හිරු සලකුණ නරඹමින් සිටි පිරිස 255,000ක් විය. ඒ අනුව සජිත්-අනුර සාකච්ඡාවේ සමාජ මාධ්‍ය ජාලා සටනින් අනුර පරදා සජිත් සහ හිරු ජයග්‍රහණය කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
කලබල කරන්න බෑ
මෙහිදී හිරු නාලිකාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සජිත් තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු රට ගොඩනගන ආකාරය පිළිබඳ පැහැදිලි සහ දීර්ඝ විස්තරයක් කළේය. එහිදී සජිත් සිය සාකච්ඡාව අවසන් කළේ විශේෂ පණිවුඩයක්ද රටට ලබාදෙමිනි. ඒ, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග කිසිදු කලබලයක් ඇති නොවන බවට රටට සහතිකයක් ලබාදෙමිනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග කලබල හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීමට කිසිවකුත් සූදානම් නොවන ලෙසට දැනුම් දීමක් කළ සජිත් එසේ කලබල කිරීමට යම් කණ්ඩායමක් හෝ පක්ෂයක් හෝ කටයුතු කරනු ලබන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද සඳහන් කර සිටියේය.
අනුරට වාසිම ප්‍රතිපලය
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා කිසිසේත්ම ජනාධිපතිවරණයේ සැබෑ ප්‍රතිඵලය කුමක්ද යන්න කියා හඳුනාගත නොහැක. නමුත් පසුගිය සතිය වනවිට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායමක් විසින් සහ ප්‍රධාන පෙළේ ආයතනයක් විසින් සකස් කළ අවසන් මත විමසුම් දෙකක ප්‍රතිපල ‘රාජ්‍ය රහස්’ වෙත තොරතුරු ලැබී තිබිණි. ඉන් එක් පුරෝකතනයක් සකස් කොට තිබුණේ දැනට ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතාට අන්තිම අවාසිසහගත තත්ත්වයක් ලැබිය හැකි ප්‍රතිපලය මෙය බව කියමිනි. එනම් අනුරට ඉතාම වාසිසහගත ලෙස සහ සජිත්ට අවම වාසියක් ලැබෙන අයුරින් මෙම පුරෝකතනයන් සකස් කර ඇති බව කියවිණ. එම ප්‍රතිඵල ලේඛනයට අනුව ඔවුන් දිස්ත්‍රික්ක 10ක් අනුර ජයග්‍රහණය කරනු ඇති බව සඳහන් කොට තිබේ. එම දිස්ත්‍රික්ක 10 ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගලය. සජිත් ජයග්‍රහණය කරනු ඇති බවට ඔවුන් පෙන්වා දී ඇත්තේ මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඬුල්ල, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල, රත්නපුර සහ කෑගල්ලය. එසේ දිස්ත්‍රික්ක 10ක් අනුර ජයග්‍රහණය කරනු ඇති බව සිතා සකස් කළද ඔහු විසින් ලබනු ඇතැයි පැවැසෙන්නේ 36%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. දිස්ත්‍රික්ක 10ක් අනුරට දී අන්තිම අවාසි සහගත තත්ත්වයක් යටතේ පවා සජිත් 40% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බව එහි සඳහන් කොට ඇත. නමුත් එම පුරෝකථනයට අනුව අනුර දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කරන බව සඳහන් කොට තිබුණද යථාර්ථය එය නොවේ. ඉන් දිස්ත්‍රික්ක කිහිපයක්ම මේ වනවිට ඇත්තේ දෙදෙනා අතර කරට කර සටනක් වන අතර දිස්ත්‍රික්ක කිහිපයක් සජිත් ජයග්‍රහණය කරන තැනකට මේ වනවිට තල්ලු වී ඇති බවක්ද දැකගන්නට පුළුවන.
මීට අමතරව ප්‍රකට ආයතනයක් මගින් සිදුකොට ඇති අවසන් මත විමසුමට අනුව ඔවුන් කියා සිටින්නේ සජිත් 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, අනුර 27%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, නාමල් 15%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, රනිල් 14%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්ය.
නාමල් 3ට එනවා
එමෙන්ම මෙම ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරයා සහ නාමල් අතර ඉතා තියුණු සටනක් මතුව තිබේ. විශේෂයෙන්ම දකුණේ දිස්ත්‍රික්ක 5ක ජනාධිපතිවරයා අභිභවා නාමල් තුන්වැනි තැනට පත්වනු ඇති බව එහි සඳහන් කොට ඇත. එම දිස්ත්‍රික්ක 5 වන්නේ හම්බන්තොට, ගාල්ල, මාතර, කුරුණෑගල සහ රත්නපුරය.
මේ අතර පසුගිය සතියේ නිකුත්ව තිබූ මත විමසුම් ප්‍රතිඵලයකින් කියැවුණේ යාපනය දිස්ත්‍රික්කය ජනාධිපතිවරයා විසින් ජයගනු ඇතැයි කියාය. නමුත් මේ සතිය වනවිට එයද කණපිට පෙරළමින් උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්ක සජිත් ජයග්‍රහණය කරනු ඇති බව අනාවරණ කොට ඇත.
කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය දැනගැනීමට සියලු දෙනාමට තවත් දින කිහිපයක් ඉවසා සිටිය යුතුය.
රනිල්ගේ පැත්තම අවුල්
මේ ආකාරයට අවසන් මත විමසුම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්විමත් සමග ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය තුළද බරපතළ ආකාරයේ කඩාවැටීම් රැසක් දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වූ මීට මාස 2කට පෙරාතුව සිටම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කියා සිටියේ මෙවර ජනාධිතඳාපතිවරණයේ ප්‍රතිඵල ජනාධිපතිවරයාට එතරම් හිතකර නොවනු ඇති බවත්, ජනාධිපතිවරයා බොහෝ දුරට තුන්වැනි ස්ථානයට හෝ හතරවැනි ස්ථානයට පත්වනු ඇති බවත්ය. අප අනුමාන කළ ආකාරයටම මේ වනවිට ජනාධිපතිවරයාට ඇත්තේ 3 වැනි තැන හෝ 4 වැනි තැන ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් සමග සටනකි. මේ බව තහවුරු වීමත් සමග සතිපතා ඔත්තු සේවා මගින් ලබාදෙන වාර්තා අත්හිටුවන ලෙසද ජනාධිපතිවරයා නියෝග කොට ඇති බවක් පැවසේ. මන්ද යත් එම ඔත්තු සේවා මගින් ලබාදෙන මත විමසුම් ප්‍රතිඵල ආණ්ඩුවේ පිරිස්ද දැනගන්නා නිසා ඒ හරහා ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහාය.
රැලි මොනවත් නෑ
මීට අමතරව පසුගිය සතිය වනවිට ජනාධිපතිවරයාගේ රැස්වීම් කෙතරම් දුරට කඩාවැටුණාද කියනවා නම් දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන දැවැන්ත රැලි වෙනුවට කොළඹ ශාලාවල තරුණ තරුණියන් සමග රැස්වීම් පවත්වන මට්ටමට ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය කඩාවැටී තිබිණි. එවැනි පසුබිමක් යටතේ මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් වාහන ආනයන තහනම ඉවත් කළා, ගොවි ණය කපාහැරියා, වැටුප් වැඩිකළා, ආදායම් බදු කපාහැරියා යනාදී වශයෙන් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන ආකාරයේ පුවත් පළවන ආකාරයක් දැකගන්නට පුළුවන. එමෙන්ම රැස්වීම් තබනවාට වඩා මුද්‍රිත මාධ්‍යවල සහ විද්‍යුත් මාධ්‍යවල දැන්වීම් පළකරමින් සහ සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් දැන්වීම් පළකරමින් ඊට වැඩි ඉඩක් ලබාදී ඇති ආකාරයක්ද ජනාධිපතිවරයාගේ පැත්තෙන් දැකගැනීමට පුළුවන.
එජාප ඡන්ද සජිත්ට
මීට අමතරව අවසන් සති දෙකේ ජනාධිපතිවරයා අනුරට වාසිසහගත වන අයුරින් කළ ප්‍රකාශයන් හේතුකොට ගෙන මේ වනවිට එජාප පාක්ෂිකයන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම් කලකිරීමකට පත්ව ඇති බවත්, මෙතෙක් ජනාධිපතිවරයාට සහාය පළකොට තිබූ එජාප පාක්ෂිකයන් සජිත්ට ඡන්දය භාවිත කිරීමට තීන්දු කොට ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එමෙන්ම ජනාධිපතිවරයා පරාජයට පත්වන බව තහවුරු වී තිබීම නිසා එජාප ඡන්දය අපතේ යවනවාට වඩා ඒවා සජිත්ට භාවිත කොට වසර 30කට පසු එජාප පාක්ෂිකයන්ට ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට ඔවුන් තීරණය කොට ඇති බවක්ද ආරංචිය.
තලතාගේ අවාසනාවද?
මේ ආකාරයට රනිල්ගේ කඩාවැටීම ආරම්භ වීමට ප්‍රධාන හේතුවක්ද තිබිණි. එම හේතුව අන් කිසිවක් නොව තලතා අතුකෝරාල මහත්මියගේ පැති මාරුවය. තලතාගේ පැනීමට මුල් වූ හයිඩ්පාර්ක් කෝනර් කුමන්ත්‍රණය පිළිබඳ මීට මාස දෙකකට පෙර ‘රාජ්‍ය රහස්’ ඔස්සේ විශේෂ අනාවරණයක් අපි සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ 2019 ජනාධිපතිවරණයෙන් පසු රටින් පලාගිය අයකු මෙම හයිඩ්පාර්ක් කුමන්ත්‍රණය පසුපස සිටි බවත්, තවත් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එම සාකච්ඡාවේ සිටි බවත්ය. එමෙන්ම මෙම පුද්ගලයා සජබයට එක්වීමට කැමැත්තෙන් සිටියද සජිත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙසේ තලතා සජබයෙන් ඉවත් කිරීමට හෙතෙම පියවර ගත් බවක්ද ආරංචිය. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් නොදත් තොරතුරු රැසක් ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමටද අප සූදානම්ය. කෙසේ වෙතත් අවසානයේදී තලතා පමණක් මෙම පුද්ගලයාගේ ලනුව ගිල රනිල් ළඟට ගියද රනිල්ගේ පරාජය ස්ථිර වීම නිසා සජබයෙන් වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු රනිල් ළඟට ගියේ නැත. ඉදිරියේදී යන පාටක්ද පෙනෙන්නට නැත. මේ නිසා අවසානයේදී තලතා රනිල් ගාවට ගෙන ගිය මෙම පුද්ගලයා යළිත් වතාවක් 2019දී මෙන්ම මේ වනවිටත් රටින් පිටවී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ නිසා අද වනවිට තලතා එජාප වේදිකාවේ සිට සජබ මන්ත්‍රීවරුන්ට තීන්දුවක් ගැනීමට කොන්ද පණ නැති බව කියමින් අඳෝනා නගන ආකාරයක් දැකගන්නට පුළුවන.
රටින් පනිනවා
මීට සති දෙකකට ඉහතදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේ විශාල හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ඡන්ද දින රාත්‍රියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 80 දෙනකු පමණ රටින් පිටවයෑමට වීසා ගසාගෙන සිටිනවා යැයි කියාය. වරක් නොව දෙවරක්ම මුජිබර් මෙම කතාව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ආණ්ඩුව පැත්තෙන් කිසිදු අවස්ථාවක මුජිබර්ගේ මෙම කතාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන නොතිබීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැති ඇමැතිවරුන් පමණක් නොව ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් රැසක්ද මේ වනවිට බොහෝ කලබලයට පත්ව ඇතැයි කියාය. දැනටමත් ආණ්ඩුව ඇතුළෙන් එන තොරතුරුවලින් කියැවෙන්නේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක ගනුදෙනුවකට මැදිවූ බව කියන එක්තරා ප්‍රබල නිලධාරියකු මේ වනවිටත් රටින් පිටව ගොස් ඇතැයි කියාය. හෙතෙම මේ දනවල යුරෝපා රටක සිටින බවක් ආරංචිය.
ලිපි ගොනු අතුරුදන්
මීට අමතරව තවත් ප්‍රබල අමාත්‍යාංශයක ඉහළම නිලධාරියකු පසුගිය දින කිහිපයේදී ඉතා වැදගත් සහ රහසිගත ලිපිගොනු රැසක්ම සිය අමාත්‍යාංශයෙන් ඉවත් කොට ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය කාලයේ සිදුවූ යම් යම් ගනුදෙනුවලට එරෙහිව මේ වනවිටත් විපක්ෂයෙන් නඩු පවරන බවක් ප්‍රකාශ කොට තිබීම නිසා ඒවාට අදාළ ලිපිගොනු මෙසේ ගෙන ගොස් තිබේද යන්න පිළිබඳ මේ වනවිට ක්ෂේත්‍රයේ පවතින්නේ දැඩි කතාබහකි. කෙසේ වෙතත් දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම නිලධාරියාට එරෙහිවද විපක්ෂයෙන් නඩු පැවරීමට දැනටමත් තීන්ද කොට ඇති බවය.
මීට අමතරව පසුගිය සතියේ මාලිමාගේ නියෝජිතයන් කිහිප දෙනකු අල්ලස් කොමිසමටත්, මැතිවරණ කොමිසමටත් විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබිණි. එම පැමිණිල්ලෙන් ඔවුන් කියා තිබුණේ කඩුවෙල නාගරික කොමසාරිස්වරිය ජනාධිපතිවරණය කට මුල තබා සභාවට අයත් අතිශය වැදගත් ලිපිගොනු රැසක් විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. ඒ සියල්ලන්ටම එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම මාලිමා නියෝජිතයන් පිරිස සඳහන් කර තිබිණි.
රංගේගේ හෙළිදරව්ව
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ මෙවැන්නකි.
එජාපයේ ප්‍රබලයකු වූ රංගේ බණ්ඩාර ඉලක්ක කොටගෙන ඉදිරි දින කිහිපය ඇතුළත දැවැන්ත හෙළිදරව්වක් සිදුවීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය කාලයේදී රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් විවිධ පුවත් පළවූ අතර ඇතැම් වාර්තාවලින් කියැවුණේ ඔහු එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කොට ඇතැයි කියාය. එමෙන්ම පසුගිය සති දෙක තුළ රංගේ බණ්ඩාර ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටි බවක්ද දැකගන්නට නොලැබිණි. ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ඔහු සම්බන්ධයෙන් බරපතළ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතව තිබීම හේතුකොට ගෙන රංගේ ප්‍රසිද්ධියේ පෙනීසිටීමෙන් වැළකී ඇතැයි කියාය.
ලොකු ගාණක් කැපුවාද?
පසුගිය අරගල සමයෙන් පසු දේශපාලනඥයන්ගේ ගෙවල් විශාල ප්‍රමාණයක් ගිනිතැබූ අතර, පසුව ඒවාට විශාල වශයෙන් වන්දි ගෙවීමද සිදුව තිබිණි. මෙම වන්දි ලබාගැනීමේදී ඇතැමුන්ට අරගලය ධන උල්පතක් වී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන් වන්දි ලබාගැනීමේදී මහජන මුදල් විශාල වශයෙන් වංචා කොට ඇති බවක්ද ආරංචිය. එම වංචාව කොතරම් බරපතළද කියනවා නම් ඒවා කිසිදු ආකාරයේ සමාවක් දිය නොහැකි මට්ටමේ වංචා දූෂණ බව අපගේ හැඟීමය. ඒ අනුව අප මෙම ඉඟිය ලබාදුන්නේ රංගේ බණ්ඩාර සම්බන්ධයෙන්ද මෙවැනි සිදුවීමකට අදාළව ආන්දෝලනාත්මක අනාවරණයක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදුවීමට නියමිතව ඇති නිසාය.
ඊට අදාළ අතිශය රහසිගත ලිපි ගොනුවක් මේ වනවිට විපක්ෂයේ ප්‍රධානියකුගේ අතට පත්ව ඇති අතර, හෙතෙම ජනාධිපතිවරණයට දින දෙක තුනක් තබා එම හෙළිදරව්ව සිදුකිරීමට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘රංගේ එජාප මහලේකම්කමින් නෙරපා දැමුවා’, ‘රංගේ එජාපයෙන් පැන්නුවා’ යනාදී වශයෙන් විවිධ පුවත් පළවූයේද මෙම ආන්දෝලනාත්මක අනාවරණය යටගසා ගැනීමේ වුවමනාවෙන් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ.
මව්රටට කතාකළා
කෙසේ වෙතත් අප මෙම අනාවරණය කිරීමෙන් පසු පුවත්පත වෙළෙඳපළට නිකුත් වූ සෙනසුරාදා දිනයේ රංගේ බණ්ඩාර මහතාගෙන් ‘මව්රට’ පුවත්පතට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී රංගේ කියා සිටියේ තමන්ට පමණක් නොව, 1994 සිට දේශපාලන පළිගැනීම්වලට ලක්වූ දහසකට අධික එජාප පාක්ෂිකයන් පිරිසක් මෙසේ වන්දි ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත්, තමන්ද එම පිරිස අතර සිටින බවත්ය. අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබූ මෙම කැබිනට් පත්‍රිකාවට නීතිපතිවරයාගේ අනුමැතිය පවා හිමිව තිබූ බව කියූ රංගේ, එම නිසා තමන්ට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනුම් දී සිටියේය.
තවත් හෙළිදරව්වක්
කෙසේ වෙතත් එහිදී අප රංගේගෙන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ විමසා මේ දිනවල සිය පක්ෂ නායකයා වන ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවේ දැකගන්නට නොලැබෙන හේතුවද, ඔහුගේ නිහඬ බවට හේතුවද විමසා සිටියෙමු. එහිදී රංගේ අපට දුන්නේ අපූරු පිළිතුරකි. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ තමන්ට යම් කලකිරීමක් ඇති බව කියා සිටි රංගේ, එම සියලු ප්‍රශ්නවලට ජනාධිපතිවරණය අවසන් වූ වහා පිළිතුරු ලබාදෙන බව කියා සිටියේය. රංගේ එම ප්‍රකාශය කරද්දී ඔහුගේ ස්වරයේ තිබූ උච්ච බව හේතුකොට ගෙන නිසැකවම රංගේ ලබන 21 වැනිදායින් පසු බරපතළ දේශපාලන හෙළිදරව්වකට සූදානමින් සිටින බවක් අපට තහවුරු විය. බොහෝ දුරට එම හෙළිදරව්ව හරහා එජාපයේ ප්‍රබලයන් රැසකගේ බොහෝ තොරතුරු හෙළිදරව් වීමට නියමිතව ඇති බවද අපට හොඳ හැටි තහවුරු විය. ඒ අනුව රංගේගේ හෙළිදරව්ව කුමක්ද යන්න පිළිබඳ හරියටම දැනගැනීමට තව දින දෙක තුනක් ඉවසා සිටීමට සිදුවනු ඇත.










