රටේ රුපියල් හා ඩොලර් හිඟයක් පවතින මොහොතක මේ හිඟයට විසඳුමක් දිය හැක්කේ කාටද කියා ඔප්පු කරන්න කදිම අවස්ථාවක් බවත් විපක්ෂයේ සිටිම හැමෝටම බලයක් නොමැතිව වැඩ කර තම දක්ෂතාව පෙන්වීම මඟින් ජනතාව නිවැරදිව ඡන්දය ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ ක්රමයේ වෙනස හරහා ජරාජීරණ වූ දේශපාලන සංස්කෘතිය තුළ සංවර්ධනයට මුල්තැන ලබා දෙන බවත් කතාවෙන්, චරිත ඝාතනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් බලය පෙන්වනවාට වඩා හොඳම දේශපාලන තරගය සිදුවිය යුත්තේ සංවර්ධනය උදෙසා වන තරගය තුළින් බවත් ඒ තුළින් සංවර්ධනය සඳහා ඇති නිවැරදි දැක්මක් ඇති පුද්ගලයා කවුද කියා මෙන්ම කියන දේ කරන නායකයා කවුද කියා සොයා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 146 වැනි අදියර යටතේ පුත්තලම වෙන්නප්පුව දංකොටුව පොතුවටවන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන දේශප්‍රේමීත්වයට නිසා 41 ලක්ෂයක් දූදරුවන් අනාථ වී ඇති බවත් ගෝලීය සත්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ කතා කියන විට අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කිරීමට උත්සාහ කරන විට උද්ඝෝෂණය කිරීම, බාධා කිරීම, 41 ලක්ෂයක් පාසල් දරුවන් පාරට බැස්සීම සිදු කළත් කිසිදු පැකිලීමකින් තොරව ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය අනිවාර්ය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 146 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1484ක් වැය කර තිබේ.