මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීය.
පසුගිය සමයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.
ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දෙනු ලැබිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර, පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවත් ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්ය.
ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩ නිම කර ඇත්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මහතා මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-03











