පවතින අර්බූදයෙන් ගොඩ ඒම සදහා ආණ්ඩුවට සහාය ලබා දීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දින දැරූ තවත් උත්සාහයක් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර අද පැවැති සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා නොතිබීම ඊට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාව වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී සූදානම් කර ගත් එකක් වන අතර ජනාධිපතිවරයා ඒ සදහා අද පෙරවරුවේ වික්‍රමසිංහ මහතාට වෙලාව ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව සර්ව පාක්ෂික සමුලුවක් කැදවීම ඇතුලු යෝජනා 21ක ලියවිල්ලක් රැගෙන වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා මුණගැසීමට ගොස් තිබිණ.
එසේ යාමට ප්‍රථම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් කියා තිබුණේ වසංගතය පැතිර යාම පාලනය කිරීම, රටේ ආර්ථිකය කඩා නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට නියමිත බවය.
කෙසේවෙතත් මෙම සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණුවලට ජනාධිපතිවරයාගේ එකගතාව පළව නැත. විශේෂයෙන්ම සර්ව පාක්ෂික සමුලුවක් පැවැත්වීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ජනාධිපතිවරයා විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව සාකච්ජා සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති පව පැවසේ.
සිය පක්ෂ නායකයා රටේ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ජා පැවැත්වීම සම්බන්ධයෙන් අවම වශයෙන් පක්ෂයෙන් නිල නිවේදනයක් හෝ මේ වනතෙක් නිකුත් කොට නොතිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මවිතය පළ කොට ඇති බවක්ද වාර්තා වේ.










