අවුරුදු ගානක් තිස්සේ ජනාධිපති තනතුර වෙනුවෙන් තුන්කල් හීන දැකපු රනිල් වික්‍රමසිංහ අරගලයෙ පලහිලව්වත් එක්කම තමන්ගේ ඒ හීනය ඉෂ්ට සිද්ධ කරගත්තේ නොහිතපු විදියටය. (Sri Lanka Latest News)
‘ලොක්කට පරණ පිනක් පලදුන්නා…’
රටේ තොටේ කවුරුත් කිව්වේ එහෙම කතාවක්.
‘කවදාවත්ම තමන්ගේ හීන අතහරින්න එපා යකුනේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකට මරු උදාහරණයක්…’
මුහුණු පොත පුරාම ඔහුගේ පිනට ලැබුණු ජනාධිපති තනතුර ගැන ලියවුණේ එහෙම උපහාස.
කොහොමින් කොහොම හරි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකම ගත්තා. ඕං ඔහු ජනාධිපති තනතුර ආරම්භ කෙරුවෙත් ලස්සන කතන්දරයකුත් එක්කයි. ඒ අපි හැමෝම ආසා කරන හුණුවටයේ කතාවේ ගෲෂාගේ සංසිද්ධිය තුළිනුයි. කවුරු ඔහුට ඒ කතාව ලියලා දුන්නද මන්දා.
තුනී වීදුරු පාලමක් ගැනයි, ඇණ ගහපු උස සපත්තු ගැනයි, ඔක්කෙ ගහගත්ත පුංචි දරු පැටියෙක් ගැනයි ඔහු සුරංගනා කතාවක් වගේ නිතරම කිව්වා. හැම රූපවාහිනී සේවාවකම ඒ කතාව හතරපස් වතාවක්ම රිපීට් වුණා. ඒ අතර ඔහු තව තව කතන්දරත් කිව්වා.
‘හෙට අමාරුයි. අනිද්දාටත් අමාරුයි. තව සති ගානක් මාස ගානක් ඒ වගේම අමාරු වෙයි. මේ දුෂ්කර කාලය ගෙවෙන තුරු ඔබට ඉවසීමෙන් බලා ඉන්න වෙනවා…’
ඒ, ජනාධිපති රනිල් නිතර නිතර රිපීට් කරපු අනෙක් කතන්දරයි. කොහොමත් ජනාධිපති රනිල් කතන්දර කීමේ හපනෙකි. ඒ කතන්දර බොහෝ විට සුරංගනා කතාවල ස්වරූපයක් ගනී. වේදිකාවකට නැග්ගත්, උත්සව අවස්ථාවකට ගියත් ඔහු කීවේ එහෙම සුරංගනා කතාය. සම්මාන උළෙලකට ගිහින් ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලනිය අතට සම්මානයක් දෙන ගමන් ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ නිකමටවත් නැති සින්දුවක් ගැන කතාවක් කියෙව්වේය. නන්දා මාලනිය එදා ඒ සින්දුව කියනකොට තමා එයට දවසක කන් දුන්න බවත්, නන්දා මාලනිය ඒ වෙනුවෙන් සරසවිය සම්මාන ගත්ත දවසේ තමාද ඕඩියන්ස් එකට වී අත්පුඩි ගැසූ බවත් පවසා සිටි හෙතෙම, ‘දොයි දොයි දොයි දොයිය බබා’ කියමින් ඒ ගීතයට පසුගිය සම්මාන උළෙලේදී තාලයද අල්ලමින් හීනියට රැඟුවේය. ඒ ඔහු ප්‍රසිද්ධියේ හඬගා කියා තිබුණේ නන්දා මාලිනියවත් නොදන්නා අතීත කතන්දරයක් ගැනය. පාර්ලිමේන්තුවේදී වුණත් ජනාධිපති රනිල් කියන්නේ සුරංගනා කතන්දරය. තව අවුරුදු 10කින් 15කින් ඔහු ශ්‍රී ලංකාව කවුරුවත් නොසිතූ තැනකට ගෙන එන්නට සූදානම්ව සිටින්නේය. ඒ කියන්නේ තම ජනාධිපති ධුරය තුළ තව අවුරුදු 10ක් 15ක් සිටින්නට ඔහු හීන මවයි. දැන් රනිල්ට වයස අවුරුදු 75කි. තව අවුරුදු 10කින් ඔහුට වයස අවුරුදු 85කි. එය 15ක් වුණොත් වයස 90කි. එතකොට මෙතුමා රට කරවන්න තනන්නේ ඒ වයසේදීය. පාර්ලිමේන්තුවේදී හඬ නගා සිනාසෙමින් මේසයට ගසමින් රනිල් හැසිරෙන්නේ සියල්ල ජයගත් රටවැසියා සුඛිත මුදිතව දවස ගෙවන රටක නායකයකු විදියටය.
සමහර දෙනාගේ මතය වන්නේ ජනාධිපති රනිල් අඳුරේ අතපත ගාන ස්වරූපයේ නායකයකු බවය. ඒ ජාතියේ නායකයන් නිතර හීන දකිති. තමාට පමණක් පෙනෙන කොටු කරගත් සීමාවක හිඳ ජීවිතය දකිති. ඒ තුළට වී විවිධ සිදුවීම් නිරූපණය කරති. පුරසාරම් දොඩති. පසුගිය අවුරුද්දේ බිල් ගේට්ස් ලංකාවට එනවා කියමින් ඔහු කියූ කතා සහ දැකපු හීන එයට හොඳ නිදසුනක්ය. රනිල් ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා එය පැවැසීමත් සමග ආණ්ඩුවට ගැතිකම් කරන සියලු මාධ්‍ය සහ රනිල්ට ඥාති හිතවත්කමක් අති මාධ්‍යද එයට විශාල ප්‍රසිද්ධියක් දුන්හ. බිල් ගේට්ස්ව පිළිගැනීමට අවශ්‍ය හැම උත්සවයක්ම සංවිධාන කොට අවසන් බවත්, ඉතිරිව ඇත්තේ ඔහුගේ පැමිණීම පමණක් බවත් හඟවන පුවත් දස අත පැතිර යන්නට විය.
‘ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් මෙම වසර මැද ලංකාවේ සංචාරය කිරීමට නියමිතය’ යන පුවතත් සමගම ඔහුගේ නාමයට ප්‍රියතාවක් දක්වන කවුරුත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුව සිටියහ. ‘බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට’ මැයෙන් ඒ පුවත පළවූයේ 2023 අවුරුද්දේය. හැබැයි බිල් ගේට්ස් තවමත් ලංකාවට ආවේ නැත. එන නිනව්වක්වත් නැත. ආරංචියේ හැටියට සැලවන්නේ බිල් ගේට්ස්ට ලංකාවට එන්න කියා මේ රටේ නායකයාවත් ආණ්ඩුව පැත්තෙන්වත් කිසිවකු ආරාධනාවක් සිදුකර තිබුණේද නැත. ඒ ඉතින් වික්‍රමසිංහලාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ කෙරුවාවය. ඔවුන්ට ලැදි මාධ්‍යවල කෙරුවාවය.
හැබැයි වැඩේ කියන්නේ වික්‍රමසිංහලාට, වික්‍රමසිංහ ආණ්ඩුවේ කට්ටියට හෝ ඔවුන්ගේ මාධ්‍ය හෙංචයියලාට ලැජ්ජාවක්ද නැත. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් ලොකුයි කිව්වා වාගේ බිල් ගේට්ස් එනවාය කියා අතේ පත්තු කළ මුසාවෙහි උණුසුම යන්නටත් පළමුව ඔවුහු තවත් කතාවකට තටු දුන්හ.
මොකක්ද ඒපාර කියන අලුත් කතන්දරය?
එයද තවත් විදියක සුරංගනා කතාවක් වීමට බැරි නැත.
එහි පසුබිම සරලව මෙහෙම පැහැදිලි කරන්නෙමු.
ජනාධිපති රනිල් පසුගිය සතියක ඉන්දුනීසියාවේ බාලි වෙත පිටත්ව ගිහින් තිබුණේ ලෝක ජන සමුළුව නියෝජනය කරමින්ය. එහිදී ජනාධිපතිවරයා විවිධ රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් බවත්, එලෙස හමුවූ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ලෝක ප්‍රකට බිලියනපතියකු වූ ‘ටෙස්ලා’ සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් සිටි බවත් මාධ්‍යයන් විසින් වාර්තා කොට තිබිණි. වික්‍රමසිංහ ආණ්ඩුවට පක්ෂව ලියන තවත් මාධ්‍ය සුවිශේෂව සඳහන් කොට තිබූ ප්‍රධානම පුවත වූයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතාබහ අතරතුරදී ඉලෝන් මස්ක්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බවකි. එලෙසම එම ආරාධනය මස්ක් ඉතා සුහදශීලීව පිළිගත් බවත්, නුදුරු දිනෙක ඔහු මෙහි පැමිණෙන බවත් රජයට සමීප මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල ලොකුවට පළවිය.
‘ඉතින් ඇත්තටම බිලියනපති මස්ක් ලංකාවට එනවද?’
ඒ ගැන නම් කියන්නට දන්නේ නැත. හැබැයි ආණ්ඩුව රඟන්නේ නම් මස්ක් ආව ගානටය. සමහරු කියන්නේ ‘බිල් ගේට්ස් මේ අවුරුද්දේ ශ්‍රී ලංකාවට’ කියා පසුගිය අවුරුද්දේ ආණ්ඩුව දැම්ම බොරු ෂෝ එක මේ අවුරුද්දේ වෙනත් තාලෙකට රඟමින් සිටින බවය. තවත් විදියකට කියනවා නම් ෂෝ එක ඒකය. වෙනසකට ඇත්තේ බිල් ගේට්ස් වෙනුවට ඉලෝන් මස්ක්ව ටයි කෝට් අන්දවා වේදිකාව මත තැබීමය.
ඒ කියන්නේ බිලියනපති මස්ක්ගේ ගමනත් බිල් ගේට්ස්ගේ ගමන වාගේ අතේ පත්තු වන බොරුවක් වෙයිද? එහෙම නැත්නම් රටේ නායකයා ඔහුට ගැති පිරිවරත් එක්ක එකතු වෙලා ගහපු අතේ රෝලක් වෙයිද?
කාට කියන්නද? කාගෙන් අහන්නද? අනේ ඉතින් ඔය ඩබල් ගේම් ගැන දන්නේ උඩ ඉන්න දෙයියොම තමාය. ඇත්තටම කියනවා නම් වික්‍රමසිංහලාට වික්‍රමසිංහ ආණ්ඩුවේ පිරිසට හෝ ඔවුන්ගේ ඕනෑම මංගල්ලයක් මහ ලොකු නිවුස් එකක් තාලෙට කියන ලියන මාධ්‍යවලටවත් ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? වගකීම් සහිතව හැසිරෙන්නට ඕනෑ පිරිස් මෙහෙම විකාර කරන්නට ගියාම රට යන අත කොයිබට වේද? නායකයා අහරක් ඉහිරක් නැතිව විලම්බීත කරන්නේ නම් ඔහු පසුපසින් සිටින පරිවාර සේනාව හෝ අගසව් පුරෝහිත වැනි තනතුරු දරන්නන්වත් ඔහුට හරි දේ කුමක්ද යන්න පෙන්වා දිය යුතු නොවේද? ඒ සියල්ල පැත්තකට තමා මඳකට හිතනවා නම් මාධ්‍යයට වුවද ඒ ගැන වගකීමක් වගවීමක් නොවන්නේද? රටේ නායකයා කියන තාලෙට නටනවාට වඩා ඔහුට එය කළ යුතු හරි දැක්ම ගැන වැටහීමක් දෙන්නට ඔවුනට තියෙන නොහැකියාව කුමක්ද?
මේ බහුබූත දිහා බලනකොට කියන්නට ඇත්තේ එක දෙයකි.
ඒ, සියල්ල මෙහෙයවන්නේ ‘යර්ස් බොස්’ තියරියට වැඩ සිදුවන නිසාය. ‘යර්ස් බොස්’ තියරිය නරකම නැති වුවද සමහර තැනකදී එය හොඳම නැත. බිල් ගේට්ස් නාවා වගේ ඉලෝන් මස්ක්ද ආවේ නැත්නම් පුරසාරම් දෙඩූ අයගේ රෙදිත් නැත. එක අතකට එය ඔවුනට ප්‍රශ්නයක් වන්නේද නැත. මන්ද යත් ඔවුන් නිරුවතින් සිටිනා බව ඔවුන් දෙස බලා ඉන්න අය මිසක ඔවුන් දන්නේ නැති නිසාය.
ඒ හින්දාම,
‘හොරු සමග හෙළුවෙන්’ කියනවාට වැඩිය ‘නායකයා සමග හෙළුවෙන්’ කියන නාටකය මේ විලම්බීතවලට උඩගෙඩි දෙන පිරිසට අපූරුවට ගැළපෙන්නේය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු









