සජබ අලුත් සංවිධායකයා මරික්කාර්!
විරෝධය නොතකා රනිල් කැළණියට!
රන්නන්ගේ ඊළඟ බොරුව!
සජබ කොළඹ මෙහෙයුම!
කලකට පසු සමගි ජන බලවේගය සිය පාක්ෂිකයන් කොළඹට රැගෙනවිත් ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කළේ පසුගිය 30 වැනි අඟහරුවාදාය. එය ඇත්ත වශයෙන්ම සජබයට ඉතා තීරණාත්මක එකක් හා අභියෝගාත්මක එකක් වූයේ මෙවැනි උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට සමත් අයකු මේ වන විට සජබය ඇතුළේ නොමැති බවට මතයක් එළියේ නිර්මාණය වී තිබීම නිසාය. මන්ද යත් බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ සජබයේ සිටි හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට එක්වූවාට පසු මෙවැනි ජන රැලියක් සංවිධාන කිරීමට සමත් සංවිධාන ශක්තිය ඇත්තකු සජබය ඇතුළේ නැතැයි කියාය. එවකදී හරීන් සංවිධාන ශක්තිය අතින් සමවී තිබුණේ එජාපයේ හිටපු ගාමිණි අතුකෝරලටය. 94 එජාපයට අත්වූ පරාජයෙන් පසු යළි පක්ෂය කෙළින් කටින් සිටුවා පාක්ෂිකයන් එළියට ගන්නට ගාමිණී අතුකෝරාල කටයුතු කළේ 2000 වසරේ, එනම්, වසර 16කට පසු මහනුවර සිට කොළඹට ජනබල මෙහෙයුම සංවිධාන කොටය. එහි ප්‍රතිඵලය වූයේ වසරක් ඇතුළත, එනම් 2001 වසරේදී එජාප ආණ්ඩුවක් පිහිටුවීමය.Sri Lanka Latest News
ඉන් අනතුරුව පසුගිය කාලයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට අවශ්‍ය හයිය මුලින්ම රටට දුන්නේ සජබයය. ඒ, ‘ගෝඨා ගෝ හෝම්’ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කොට මහනුවර සිට නැවතත් ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව ජනබල මෙහෙයුමක් පැවැත්වීම හරහාය. ඊට අවශ්‍ය සංවිධාන ශක්තිය ලබාදුන්නේ හරීන් හා මනුෂය. නමුත් අවසානයේදී හරීන් හා මනුෂ ‘ගෝඨා ගෝ හෝම්’ කී ගෝඨාගෙන්ම අමාත්‍ය ධුර ලබාගෙන ආණ්ඩුවට එක්වීමත් සමග ආණ්ඩු විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමේ ශක්තිය ඇත්තකුට ලොකු පුරප්පාඩුවක් සජබය ඇතුළේ මතුව තිබිණි. විශේෂයෙන්ම මේ අවුරුද්ද මැතිවරණ වසරක් බැවින් අලුත් ‘ගාමිණී අතුකෝරල’ කෙනකු සොයාගැනීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හට විශාල අභියෝගයක් වී තිබිණි.
එහිදී සජිත්ගේ තේරීම වූයේ වෙන කවුරුවත් නොව පක්ෂයේ තරුණ, ජනප්‍රිය, කටකාර මන්ත්‍රීවරයකු වන එස්.එම්. මරික්කාර්ය. සජිත් මරික්කාර්ට භාරදුන් පළමු මෙහෙයුම වූයේ ජනතාව පීඩාවට පත්කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමය. සජිත් භාරදුන් එම අභියෝගය භාරගනිමින් මරික්කාර් සජිත්ට දැනුම් දී සිටියේ සති 3ක් ඇතුළත ආණ්ඩු විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට තමන් කටයුතු කරන බවකි.
ඒ අනුව මරික්කාර් වැඩේට බැස්සද ප්‍රශ්න ගණනාවක් ඔහුගේ මේසය මත තිබිණි. ඉන් පළමු ප්‍රශ්නය වූයේ වියදම් සොයාගන්නා ආකාරයය. මන්ද යත් රට වටෙන්ම කොළඹට පාක්ෂිකයන් රැගෙන ඒමේදී ආසන සංවිධායකවරුන් හට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය වන අතර, ඊට විශාල වැය බරක්ද දැරීමට සිදුවේ. ඒ අනුව මරික්කාර් මුලින්ම සැලසුම සකස් කළේ බස්නාහිර පළාතට වැඩි බරක් තබාය. එනම් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන් වැඩි පාක්ෂිකයන් පිරිසක් සහභාගි කරවීමත්, අනෙකුත් දිස්ත්‍රික්කවලින් පැමිණෙන පාක්ෂිකයන් බස් දෙකකට හෝ තුනකට සීමා කිරීමත් මරික්කාර්ගේ සැලසුම විය.
මරික්කාර් ප්ලෑන ගහයි
මරික්කාර් මේ ආකාරයට වැඩේ පටන් ගත්තද බොහෝ දෙනා මෙය සාර්ථක වේයැයි මුලින් මුලින් සිතුවේ නැත. මන්ද යත් කාලයකට පසු සජබය මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට නොතිබීමත්, මුදල් සොයාගැනීමේ ප්‍රශ්නය බරපතළ වීමත්, ප්‍රවාහන පහසුකම් ලබාදීමේ ගැටලුව වැනි විවිධ කරුණු මත බොහෝ දෙනා සිටියේ මෙය අසාර්ථක එකක් වනු ඇති බවට වූ මතයේය. නමුත් ප්‍රවාහන ප්‍රශ්නය විසඳාගත් මරික්කාර් විරෝධතාවයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම උද්ඝෝෂණයට සහභාගි වීමට ගමේ සිටින පාක්ෂිකයන්ගේ විශාල උනන්දුවක් මතුව තිබූ අතර, දිනපතාම පාහේ ආසන සංවිධායකවරුන් මරික්කාර් හට කතාකොට තමන්ට බස් දෙකක් මදි බවත්, ගමේ පාක්ෂිකයන්ගේ උනන්දුව වැඩි නිසා තවත් අමතර බස් රථයක් අවශ්‍ය බවත් කියමින් දුරකතන ඇමතුම් ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී මරික්කාර් ඒ සියලු දෙනාටම දැනුම් දී සිටියේ පවතින වාතාවරණය යටතේ බස් 2කට වඩා ලබාදිය නොහැකි බවත්, එසේ අමතර බස් රථයක් ගන්නවා නම් ආසන සංවිධායකවරයා විසින් එම වියදම දැරිය යුතු බවත්ය. විශාල පාක්ෂික උනන්දුවක් තිබීම හේතුවෙන් බොහෝ ආසන සංවිධායකවරුන් අතින් මුදල් ගෙවා පාක්ෂිකයන් කොළඹට රැගෙන ඒමට කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
යන්නෙ කොතනටද
මෙම ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසු මරික්කාර් සැලසුම් කළේ කොළඹට රැගෙන එන පාක්ෂිකයන් ස්ථානගත කරන තැන සම්බන්ධ ගැටලුව විසඳාගැනීමටය. විශේෂයෙන්ම ආණ්ඩුව පැත්තෙන් මරික්කාර්ට ලැබුණු තොරතුරුවලින් කියවී තිබුණේ උද්ඝෝෂණය පැවැත්වෙන දින ආණ්ඩුව පොලිසිය ලවා වාරණ නියෝග ලබාගැනීමේ උත්සාහයක් පවතින බවටය. ඒ අනුව, මරික්කාර් ප්‍රධාන සැලසුමට අමතරව තවත් සැලසුම් 3ක් සකස් කළේ එවැන්නක් මතුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් කොටය. ඒ සඳහා කොළඹ හයිඩ් පිටිය, කැම්බල් පිටිය ඇතුළු ක්‍රීඩාංගන 3ක්ද කල් තියාම වෙන් කරගැනීමට මරික්කාර් කටයුතු කළේය. කෙසේ වෙතත් මෑත කාලයේ කොළඹ මේ ආකාරයේ උද්ඝෝෂණයක් සිදුකොට නොතිබුණු නිසා ආණ්ඩුවේ තක්සේරුව වී තිබුණේ මෙම උද්ඝෝෂණයට 10,000ක පමණ පිරිසක් සහභාගි වනු ඇතැයි කියාය. නමුත් 28 වැනි දින පමණ වන විට මරික්කාර්ගේ කොළඹ මෙහෙයුම් කාර්යාලයට ලැබී තිබුණු තොරතුරුවලින් කියැවුණේ 20,000කට වැඩි පාක්ෂිකයන් පිරිසක් ඊට සහභාගි වීමට සූදානමින් සිටින බවය.
මෙම තොරතුරු වාර්තා වීමත් සමග නැවත වතාවක් සැලසුම වෙනස් කිරීමට මරික්කාර් කටයුතු කළේය. ඔහුගේ අදහස වුණේ විශාල ජනතාවක් පැමිණෙන බැවින් එක් මාර්ගයකින් පමණක් කොළඹට ඇතුළු නොවී මාර්ග 2කින් කොළඹට ඇතුළු විය යුතු යැයි කියාය. ඒ වන විටත් අරක්ෂක අංශ පැත්තෙන් සජබෙට එවමින් තිබුණු පණිවුඩය වූයේ ‘ආවාට කමක් නෑ. පෙළපාළි යන්න නම් එපා. ඕනේ නම් මරදාන ටෙක්නිකල් හන්දියේ ඉඳන් එල්ෆින්ස්ටන් එක ළඟට විතරක් යන්න’ යා හැකි බවට වූ පණිවුඩයය.
ඇතුළේ මත දෙකක්
ආරක්ෂක අංශ වෙතින් මෙම පණිවුඩය ලැබීමත් සමග මතුවුණු තර්කයක් වූයේ පෙළපාළිය කලින් සැලසුම් කළ පරිදි පාරවල් 2කින් කොළඹට ඇතුලු වෙනවාද නැත්නම් එක පාරකින් කොළඹට ඇතුළු වෙනවාද කියාය. ඊට හේතුවූයේ 20,000කට ආසන්න පාක්ෂිකයන් පිරිසක් කොළඹට පැමිණිමට නියමිත බවට තොරතුරු වාර්තා වීමත් සමග ආණ්ඩුව තරමක් බියට පත්ව සිටින බවට සජිත්ට ආණ්ඩුව ඇතුළෙන් තොරතුරු වාර්තා වීමය. ඒ අනුව සජිත්ගේ අදහස වී තිබුණේ ආණ්ඩු විරෝධයේ තරම ජනතාවට පෙන්වීම සඳහා එක තැනකින් පෙළපාළිය කොළඹට ඇතුළු විය යුතු බවය. නමුත් ඊට වෙනත් අදහස්ද මතුවීම හේතුවෙන් අවසන් තීන්දුව සඳුදා රාත්‍රියේ ගැනීමට සැලසුම් කෙරිණි.
ඒ අනුව සඳුදා රාත්‍රී 9.45ට සජිත් මරික්කාර් ඇතුළු මෙහෙයුම් කමිටුවේ නායකයන් විශේෂ සූම් සාකච්ඡාවක් පැවැත්වූයේ උද්ඝෝෂණය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. ඒ වන විටත් සජබයට ලැබී තිබුණු තොරතුරුවලින් කියැවුණේ කොළඹ බල ප්‍රදේශයේ සෑම පොලිස් ස්ථානයකටම උද්ඝෝෂණ ව්‍යාපාරයට එරෙහිව අධිකරණ නියෝග ගන්නා ලෙස උපදෙස් ලැබී තිබූ බවකි. ඒ අනුව පිරිස අවසානයේ තීන්දු කළේ පසු දින අධිකරණ නියෝග ලබාදෙන ආකාරය අනුව උද්ඝෝෂණය පවත්වන ස්ථානය තීන්දු කිරීමටය. එමෙන්ම උපක්‍රමයක් වශයෙන් උද්ඝෝෂණය පවත්වන්නේ ටෙක්නිකල් හන්දියේ බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු යැවීමටද පිරිස තීන්දුවක් ගත්හ.
අධිකරණ තීන්දුව
උද්ඝෝෂණය පැවැත්වෙන අඟහරුවාදා දිනයේදී ඊට පෙර ලැබී තිබුණු තොරතුරු තහවුරු කරමින් පොලිසිය කොටුව, මාලිගාකන්ද ඇතුළු අධිකරණ කිහිපයකින්ම පෙළපාළියට එරෙහිව වාරණ නියෝග ලබාගෙන තිබිණි. නමුත් කුරුඳුවත්ත පොලිසිය විසින් ඒ සඳහා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කටයුතු කොට තිබිණි.
මහෙස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරමින් මෙසේද කියා සිටියේය.
‘පා ගමන හා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා. එසේ නියෝගයක් නිකුත් කළ යුතු වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවක බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තිවල සඳහන්. මහජන පීඩාවක් හෝ අන්‍ය ක්‍රියාවක් කරන්නේ යැයි අනුමාන කරමින් කරන ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය සුපරික්ෂාකාරී විය යුතුයි.
මෙවන් නියෝගයක් නිකුත් කිරීමට තරම් හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වී නැහැ. එක් එක් අයගේ හිතළු මත නියෝග නිකුත් කිරීම නොකර සුපරික්ෂාකාරීව අධිකරණය කටයුතු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරවන වගන්තිය අනුව සාමකාමීව රැස්වීම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන ව්‍යවස්ථාව මගින් සීමාවන අවස්ථා තිබෙනවා.
එවන් සීමා වීමක් ගැන මේ අවස්ථාවේදී අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නෑ. ‘රැස්වීම’ට මිනිසුන්ට අනන්‍ය වූ අයිතියක් තියෙනවා. එම අයිතීන් උල්ලංඝනය කරමින් නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බැහැ. ඒ අනුව මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.’ යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබිණ.
තීන්දුව ටවුන්හෝල්
මෙම තීන්දුව ලැබීමත් සමග අඟහරුවාදා පෙරවරුවේ සජබ නායකයන් තීන්දු කළේ අදාළ අධිකරණ බල ප්‍රදේශයට ඇතුළත් වන ටවුන්හෝල් ප්‍රදේශයෙන් පෙළපාළිය ආරම්භ කිරීමටය. එතැන් සිට කොම්පඤ්ඤවීදිය දක්වා ගමන් කොට කොම්පඤ්ඤවීදියේදී ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීම අවසන් සැලසුම විය. ඒ අනුව සජිත්ටද දැනුම් දීමක් කළේ පෙළපාළිය ටවුන්හෝල්වලින් ආරම්භ කිරමට නියමිත බවත්, දහවල් 2 වන විට ටවුන්හෝල් වෙත පැමිණෙන ලෙසත්ය.
කෙසේ වෙතත් අඟහරුවාදා පෙරවරුවේ ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් සජබයට තරමක් දැඩි පණිවුඩයක් ලැබී තිබුණු අතර, ඉන් කියැවුණේ අඩියක් හෝ පෙළපාළි ගියහොත් උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවකි. ඒ පණිවුඩය සජිත්ට මෙන්ම මරික්කාර්ටද ලැබුණු පසු අඟහරුවාදා පෙරවරුවේ සංවිධායක මණ්ඩලය අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණේ යම් හෙයකින් එවැනි තත්ත්වයක් මතුවුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කතාබහ කිරීමටය. මෙහිදී ඇතැම් අය කියා සිටියේ පෙළපාලියක් නොගොස් ටවුන්හෝල්වල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පමණක් පැවැත්විය යුතු බවකි. නමුත් මරික්කාර්, මුජිබර් ඇතුළු තවත් පිරිසකගේ ස්ථාවරය වූයේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළද සැලසුම් කළ පරිදි පෙළපාළිය පැවැත්විය යුතු යැයි කියාය. සජිත්ට ඒ වන විටත් වෙනත් පාර්ශ්වයකින් දැඩි අනතුරු ඇඟවීමක් ලැබී තිබුණේ සජිත් පෙළපාළියට එක්වුවහොත් අනිවාර්යයෙන්ම කඳුළු ගෑස් ගැසීමට කටයුතු කරනවා යැයි කියාය. එම අනතුරු ඇඟවීම මැද්දේ වුවද සජිත් කියා සිටියේ සැලසුම් කළ පරිදි පෙළපාළිය පැවැත්විය යුතු බවකි. ඒ අනුව අවසානයේදී පෙළපාළිය පැවැත්වීමටත්, සැලසුම් කළ පරිදිම සජිත් ටවුන්හෝල් ප්‍රදේශයේදී පෙළපාළියට එක්වීමටත් තීන්දු විය.
ආරක්ෂක වළලු 3ක්
මේ සියලු සිදුවීම් අස්සේ පොලිසිය සහ ආරක්ෂක අංශවලටද අඟහරුවාදා දහවල් වන විට පෙළපාළිය ආරම්භ වන්නේ ටවුන්හෝල් ප්‍රදේශයෙන් බවට තොරතුරු ලැබිණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායම්, කැරැලි මර්දන ඒකක, ජල බවුසර්, මෙන්ම යුද හමුදාවද ටවුන්හෝල් ප්‍රදේශයේ ස්ථානගත කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනදා නොදුටු ආරක්ෂක වළල්ලක් එදින දැකගත හැකි වීමය. එහිදී පෙළපාළියට මුහුණ දීම සඳහා මුලින්ම පොලිස් පෙරමුණක් සහ ඊට මීටර් 50ක් පසුපසින් වන්නට හමුදා වළල්ලක්ද, ඊටත් මීටර් 50ක් පසුපසින් වන්නට තවත් හමුදා වළල්ලක්ද යොදා තිබුණේ කිසිදු අයුරකින්වත් පෙළපාළියට ඉදිරියට යෑමට ඉඩක් නොතබාය.
ඒ අනුව අඟහරුවාදා පස්වරු 2ට පමණ පෙළපාළිය ආරම්භ කරන විටත් ආරක්ෂක අංශ පෙළපාළිය හතරවටෙන්ම වටකර තිබූ ආකාරයක් දැකගත හැකි විය. සජිත් ඊට එක්වී පෙළපාළිය ආරම්භ කිරීමත් සමග කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගත් අතර, සජිත් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කඳුළු ගෑස් ප්‍රහාර පොලිස් වළල්ලට පසුපසින් පිහිටි මහජන පුස්තකලාපය පිහිටි ප්‍රදේශයටද එල්ල වීමය. චෙස් තරගාවලියක් සඳහා කුඩා ළමුන් විශාල පිරිසක් එදින මහජන පුස්තකාලය වෙත සිය මවුපියන් සමග පැමිණ සිටි අතර, කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වීමත් සමග එම කුඩා දරුවන් රැගත් මවුපියන් හිස් ලූ ලූ අත දිවයන ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් පළමු ප්‍රහාරයෙන් පසු නැවත වතාවක් සංවිධාන වී යළි ඉදිරියට යෑමට උත්සාහ කළද දෙවැනි වතාවට එල්ල වූ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයත් සමග ඉදිරියට යා නොහැකි බව සංවිධායක මණ්ඩලයට වැටහිණි. ඒ අනුව සැලසුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කරමින් එම ස්ථානයේ සිටම රැලිය පැවැත්වීමට සජිත් ඇතුළු කණ්ඩායම කටයුතු කළහ.
විශේෂ සාකච්ඡාවක්
අනතුරුව රැස්වීම අවසන් කළ සජිත් කෙළින්ම පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය. ඒ එන අතරවාරයේදී පක්ෂ මහලේකම් මද්දුමබණ්ඩාර පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ නීති විරෝධී ලෙස එල්ල වූ මෙම ප්‍රහාරයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ හදිසි රැස්වීමක් පවත්වන බවත්, ඊට සහභාගි වන ලෙසත්ය. එමෙන්ම පක්ෂයේ නීතිඥ මණ්ඩලයද ඒ සඳහා කැඳවීමට සජිත් පියවර ගෙන තිබිණි. එම සාකච්ඡාවේදී සියලු දෙනාගේම ස්ථාවරය වී තිබුණේ මෙය බරපතළ සිද්ධියක් බැවින් විපක්ෂ නායක සජිත් වෙනමත්, සජබ මන්ත්‍රීවරුන් වෙනමත් ප්‍රහාරයට සම්බන්ධ වූ පොලිස් නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පෙත්සම් ගොනු නළ යුතු බවටය. එය පක්ෂයේ නීතිඥ මණ්ඩලයට පැවරීමටද එහිදී පියවර ගැනිණි. මෙම රැස්වීම අතරතුරේදී කඳුළු ගෑස් වැදීම හේතුවෙන් මුජිබර් හා පාක්ෂිකයන් කිහිප දෙනකු රෝහල්ගත කොට ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා සජිත් කළේ රැස්වීමේ ඉදිරි කටයුතු මද්දුමබණ්ඩාරට භාරදී වහාම එම පිරිසේ තත්ත්වය සොයා බැලීම සඳහා ජාතික රෝහල වෙත යෑමය.
දෛවයේ සරදම
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයට එල්ල වූ මෙම ප්‍රහාරය හා සමාන තවත් ඉතිහාස කතාවක්ද තිබේ. ඒ, 2000 වසරේ සිදුවූ සිදුවීමකි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ එවක විපක්ෂ නායක මෙන්ම එජාප නායකයා වශයෙන් විපක්ෂයේය. එවක පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව එජාපය මහනුවර සිට ජනබල මෙහෙයුමකින් කොළඹට පැමිණි අතර, රනිල්ද ඊට පුංචි බොරැල්ල ප්‍රදේශයේදී එක්වීමට පියවර ගත්තේය. එවක චන්ද්‍රිකා රජයෙන් මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී වෙඩිතැබීමක්ද සිදුවිය. එම ප්‍රහාරයෙන් එජාප පාක්ෂිකයකු මියගිය අතර, සුජීව සේනසිංහටද වෙඩි වැදිණි. ඒ වන විට සජිත් එජාපයේ නියෝජ්‍ය නායකයා විය. එදා ඒ එජාප නියෝජ්‍ය නායකයා අද සජබ නායකයා මෙන්ම විපක්ෂ නායකය. එදා විපක්ෂ නායකව සිටි රනිල් අද පොහොට්ටුවේ සහායෙන් රටේ ජනාධිපතිය. දෛවයේ සරදම වන්නේ අද ඒ රනිල් ජනාධිපති බවට පත්වී විපක්ෂ නායකවරයා සහභාගි වී සිටි ආණ්ඩු විරෝධී රැලියකට ප්‍රහාර එල්ල කිරීමය. කෙසේ වෙතත් 2000දී එල්ල වූ ප්‍රහාරයෙන් වසරක් යෑමට ප්‍රථම චන්ද්‍රිකා ආණ්ඩුව පෙරළා දමා එජාප ආණ්ඩුවක් බිහිකිරීමට රනිල්ට හැකියාව ලැබිණි. මෙදා ප්‍රහාරයෙන් වසරක් යෑමට ප්‍රථම අලුත් ආණ්ඩුවක් බිහිවේදැයි කීමට දැන්ම කල් වැඩිය.
ගැටුම යළි කරළියට
විධායකය සහ ව්‍යවස්ථාදායක සභාව අතර අළු යට පවතින අර්බුදය නැවත වතාවක් කරළියට ආ සිදුවීමක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි. ඒ, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස නිර්දේශ කරනු ලැබූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතාගේ නම නැවත වතාවක් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබීම හරහාය.
මීට අමතරව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් පත්කිරීමට එරෙහිව කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද පසුගිය සතියේ විවාදයට ගැණින. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මෙම පෙත්සම අතරතුරදී විනිසුරුවරුන් නීතිපතිවරයාගෙන් විමසා සිටියේ මෙම නඩුව අසා නිමවන තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමෙන් වැළකී සිටින බවට සහතිකයක් ලබාදිය හැකිදැයි කියාය. නමුත් ඊට නීතිපතිවරයා ඍජු පිළිතුරක් ලබාදී තිබුණේ නැත.
කෙසේ වෙතත් එදින සවස් වරුවේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පොලිස්පතිවරයා පත්කිරීම මුල්කරගෙන විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබිණි. එම නිවේදනයේ සඳහන් කොට තිබුණේ මෙවැන්නකි.
නිවේදනය මෙන්න
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.
එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.
ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කතානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබාදෙනු ලබයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටුකිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.
කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.
ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇත.
2024.01.31
අර්බුදය අලුත් වෙයි
පොලිස්තිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැති දිනයේම මේ ආකාරයේ විශේෂ නිවේදනයක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් වීම හරහා නැවත වතාවක් කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මීට පෙරද පොලිස්පතිවරයා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ඊළඟට පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පස්දෙනාගේ තොරතුරු විමසමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකළ ලිපිය සම්බන්ධයෙන්ද බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබිණි. එහිදීද මේ ආකාරයෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඊට විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කෙරුණු අතර, එහි සඳහන් කර තිබුණේ පොලිස්පතිවරයා පත්කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරයා සතුව යැයි කියාය.
ජනපති කැලණියට යයි
පසුගිය සතියේ කැලණි සරසවියේ සිසුන් හදිසියේම වාගේ උද්ඝෝෂණයක් ආරම්භ කළේ ජනාධිපතිවරයා කැලණි සරසවියට පැමිණීමට විරෝධය පළකරමින්ය. පසුගිය බදාදා දිනයේ ජනාධිපතිවරයා එසේ කැලණි සරසවියට පැමිණීමට නියමිතව තිබුණේ අලුතෙන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණයක් විවෘත කිරීම සඳහාය. ඒ සඳහා ජනාධිපතිවරයා පැමිණෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග සරසවි සිසුන් ඉකුත් සති අන්තයේ සිටම පාරට බැස විරෝධතා දැක්වූ අතර, රාත්‍රී කාලයේදී කූඩාරම් ගසාගෙන එළිවනතුරු නිදි වර්ජිතව සිටින ආකාරයක් දක්නට ලැබිණි. එමෙන්ම ‘රනිල් පුළුවන් නම් කැලණියට වරෙන්’ යනුවෙන් සඳහන් පෝස්ටර් සරසවිය පුරා ඇලවීමටද සිසුන් පියවර ගෙන තිබිණි.
මේ තත්ත්වය වාර්තා වීමත් සමග බොහෝ දෙනා ජනාධිපතිවරයාට කියා සිටියේ මෙම උත්සවයට සහභාගි වීමෙන් වැළකී සිටින ලෙසත්, එහිදී යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවුවහොත් එය පාලනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීටම සිදුවනු ඇති බවත්ය. ඇතැමුන් එසේ පැවැසුවද ජනාධිපතිවරයා මුල සිටම සිටියේ කුමන විරෝධාතාව පැමිණියද කැලණි සරසවියේ උත්සවයට සහභාගි විය යුතුය යන ස්ථාවරයේය. ඒ අනුව බදාදා දිනයේදී ජනාධිපතිවරයා නියමිත වේලාවට කැලණිය සරසවියට පැමිණ එහි නව ගොඩනැගිල්ල විවෘත කොට දේශනයක් පැවැත්වීමටද කටයුතු කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා කැලණි සරසවියේ සිටින කාලවේලාව ඇතුළත කිසිදු විරෝධතාවක් මතු නොවීමය. නමුත් ජනාධිපතිවරයා සරසවියෙන් පිටවූ පසු නැවත වතාවක් සිසුන් පිරිසක් විරෝධතා දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
අලුත් සන්ධාන
මේ දිනවල ජනාධිපතිවරණ මාතෘකාවත් සමග කියැවෙන ඊළඟ ප්‍රධාන මාතෘකාව වන්නේ සන්ධාන මාතෘකාවය. ඊට හේතුව ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ සන්ධාන ගොඩනගමින් තම පාර්ශ්වය ශක්තිමත් කරගැනීමට තැන් තැන්වල සාක්ච්ඡා පවත්වමින් සිටීමය. සජබය පැත්තෙන් දැනටමත් ජනාධිපතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව තහවුරු කොට ඇති අතර, ඔහු සමග සන්ධානගත වන බවට හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම් ඇතුළු සුළු පක්ෂ නායකයන් දැනටමත් ප්‍රසිද්ධියේ සඳහන් කොට ඇත. මීට අමතරව ආණ්ඩුවේ සිට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඉදිරියේදී එම සන්ධානය සමග එක්වීමට නියමිත බව දැනටමත් ප්‍රකාශයට පත්කර අවසානය.
මේ අතර පසුගිය සතිය වන විට එක්සත් ජාතික පක්ෂයද ආණ්ඩුවේ සහ එජාපයේ අපේක්ෂකයා ජනාධිපතිවරයා බව පවසමින් දිස්ත්‍රික් රැළි පැවැත්වීම ආරම්භ කර තිබිණි. නමුත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා තවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බටවත්, ඒ සඳහා විශේෂ මත විමසුම් දෙකක ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටින බවටත්, බොහෝ දුරට මාර්තු අග හෝ අප්‍රේල් මුල අදාළ ප්‍රතිඵල ලැබීමෙන් පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවටත් අප විසින් කළ අනාවරණය හේතුවෙන් මේ වන විට එජාපයේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබූ රැස්වීම් අතරමග නැවතී ඇති ආකාරයක් දැකගන්නට ලැබේ.
ඒ අනුව දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
ජනපති නාමල් හමුවක්
අපට ඇති තොරතුරුවලට අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හා නාමල් රාජපක්ෂ මහතා අතර, කොළඹ පැජට් පාරේ පිහිටි නිවෙසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. මෙම සාකච්ඡාවේදී ඉදිරි ජාතික මැතිවරණ ඉලක්ක කරගෙන පොහොට්ටුව ප්‍රතිසංවිධාන කරන ආකාරය, ජනාධිපතිවරණය පැවැත්වීම ආදිය සම්බන්ධයෙන් කතා කොට ඇති ජනාධිපතිවරයා, නාමල්ට මේ වන විට පක්ෂය ඇතුළේ ඉදිරියට පැමිණීමට කාලය එළඹ ඇති බවක්ද දැනුම් දී ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් එහිදීද තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් ජනාධිපතිවරයා විසින් නිශ්චිතව නාමල්ට දැනුම් දී නැති බවක්ද, ඒ සම්බන්ධයෙන් යම් ඉඟියක් පමණක් ලබාදී ඇති බවක්ද දැනගන්නට තිබේ. මෙහිදී නාමල්ද පොහොට්ටුව ඇතුළේ දැනට මතුව ඇති ප්‍රශ්න සහ ආණ්ඩුව සහ පොහොට්ටුව අතර ඇති ප්‍රශ්න පිළිබඳවද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඇති බවක් වාර්තා වේ.
කෙසේ වෙතත් නාමල් පොහොට්ටුව ඇතුළේ විශේෂ මෙහෙයුමක් සඳහා වැඩ පටන්ගත්තේ මෙම සාකච්ඡාවෙන් පසුව විය යුතුය. විශේෂයෙන්ම බැසිල් ඇමෙරිකාවට ගොස් සිටීමත්, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි ධම්මික පෙරේරාගේ තාවකාලික පසුබැසීමත් හේතුකොට ගෙන මේ වන විට පොහොට්ටුව ඇතුළේ කිසියම් අලස බවක් නිර්මාණය වී ඇති ආකාරයක් දක්නට ඇත. නමුත් මෙම අලස බව මඟහරිමින් නාමල් පසුගිය සතියේ දසබල සේනා නමින් පොහොට්ටුව යළි ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. නාමල් එය ආරම්භ කළේද සිය පියා වූ මහින්දගේ ආශීර්වාදය ඇතිවය.
මහින්දගේ ඡන්ද කුට්ටිය
ඒ එක්කම මේ වන විට පොහොට්ටුව ඇතුළේ ඇති අභ්‍යන්තර සාකච්ඡාවලදී වැඩිපුර කියැවෙන අදහසක් වන්නේ තවමත් මහින්දට 25%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් රට ඇතුළේ ඇති බවත්, මැතිවරණයකදී මහින්දව පෙන්වා එය ලබාගත හැක්කේ තවත් රාජපක්ෂවරයකුට මිස වෙනත් අයකුට නොවන බවත්ය. ඒ අනුව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ නාමල් බවට මේ වන විට යම් මතයක් පක්ෂය ඇතුළේ සාකච්ඡාවලදී මතුව ඇති ආකාරයක්ද දැනගන්නට ඇත. එමෙන්ම නාමල්ගේ මතය වී ඇත්තේද එය බව පොහොට්ටුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. එමෙන්ම පොහොට්ටුවෙන් කැඩීගිය නිමල් ලන්සා හෝ ශ්‍රීලනිපයේ මෛත්‍රී මුල්කරගෙන ගොඩනගන සන්ධානවලට පොහොට්ටුව කිසිසේත්ම සම්බන්ධ විය යුතු නැති බවද නාමල්ගේ මතය වී තිබේ.
සාකච්ඡාව මග නවතී
මේ අතරවාරයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවනු ලැබ තිබිණි. ඊට පොහොට්ටුවට මෙන්ම ශ්‍රීලනිපයටත්, නිමල් ලන්සාගේ කණ්ඩායමටත් ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී නාමල්ටද ඊට ආරාධනා කරනු ලැබ තිබුණද ඔහු ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මෙම සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරියේදී මැතිවරණයක් පැමිණීමට නියමිත බවත්, ඊට සූදානම් වන ලෙසත් පිරිසට දැනුම් දීමට කටයුතු කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා මෙම කතාව කියා අවසන් කරනවාත් සමගම සාකච්ඡාවට එක්ව සිටි පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට සිය විරෝධය පළකරමින් කතා කිරීමය.
‘අපි දන්නේ නෑ ඔබතුමා මෙහෙම දෙයක් කතාකරන්න අපිව කැඳෙව්වා කියලා. ඡන්දයක් ගැන හරි, ජනාධිපතිවරණය ගැන හරි නිල වශයෙන් සාකච්ඡා කරනවා නම් ඔබතුමා ඉස්සෙල්ලාම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙච්ච පොහොට්ටුව එක්ක නිල වශයෙන් කතාබහ කරලා ඉන්න ඕනේ. පොහොට්ටුවේ නායකයා වෙන මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක, බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක ඒ ගැන කතාකරලා යම් එකඟතාවක් ඇතිකරගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව මේ ඔක්කොම පක්ෂ එක්ක ඉස්සෙල්ලාම මේ ගැන කතාකරන එකේ තේරුමක් නෑ. අපි මීට ඉස්සෙල්ලත් පක්ෂයක් විදියට මේ ගැන ඔබතුමාව දැනුවත් කරලා තියෙනවා’ යනුවෙන් සාගර කියද්දී ජනාධිපතිවරයාද සාකච්ඡාව එතැනින් අවසන් කිරීමට කටයුතු කළේ ඉදිරියේදී මහින්ද සහ බැසිල් සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව දැනුම් දෙමිනි.
රන්නන්ගේ ඊළඟ බොරුව
ආචාර්ය රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරන ලද මත විමසුමක තොරතුරු පිළිබඳ මීට මාස කිහිපයකට ඉහතදී රාජ්‍ය රහස් තීරයේ අපි විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී ඊළඟ ජනාධිපතිවරණයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 51%ක් ලබා ජයග්‍රහණය කරන බවක් එම මත විමසුමේ සඳහන් කොට තිබූ අතර, එම මත විමසුමට මෙරට තානාපති කාර්යාලවල ලොකු තැනක් ලැබී ඇති බවක්ද දැකගන්නට ලැබිණ. එමෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ද මෙම මත විමසුම භාවිත කරමින් හෑලි ලියන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඒ කිසිවකුත් මේ රන්නන් එලිය කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සොයාබැලීමකින් තොරව ගෙඩි පිටින්ම එම තොරතුරු ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් අප විසින් මේ රන්නන් එලිය යනු කවුරුන්ද යන්න සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු නීලන් තිරුචෙල්වම් ආයතනයේ සේවය කරන්නකු බවත්, ඔහුගේ විෂය පථය දේශපාලනයට නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ එකක් බවත්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළ අප, මෙම රන්නන් එලිය විසින් සජබය සහ එජාපය එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවත්, අසත්‍ය සහ කිසිසේත්ම පිළිගත නොහැකි මත විමසුම් ඉදිරිපත් කරමින් සජබය සහ එජාපය එකතු වුවහොත් ජවිපෙ පරාජය කළ හැකි බව රටට ඒත්තු ගන්වමින් සිටින බවත් කියා සිටියෙමු. අප කළ අනාවරණයෙන් පසු රන්නන් එලිය ටික කාලයක් යන තෙක්ම මත විමසුම සිදු නොකොට කඩේ වසාගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.
ආයෙත් එළියට
කෙසේ වෙතත් මේ රන්නන් එලිය පසුගිය සතියේ හිටිහැටියේම තවත් මත විමසුමක ප්‍රතිඵල එළිදැක්වීමට පියවර ගත්තේය. මෙවර ඔහු සිදුකොට තිබුණේ මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන මත විමසුමකි. නමුත් එහිද දැකගන්නට ලැබුණේ කලින් කර තිබූ මත විමසුමට සමාන ප්‍රතිඵලයක්මය. ඒ අනුව එහි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයකදී 39%ක බලයක් හිමිවන බවත්, සමගි ජන බලවේගය 27%ක ප්‍රතිශතයක් ලබාගන්නා බවත්, පොහොට්ටුව 10%ක ඡන්ද ප්‍රතිශතයක් සහ එජාපය 6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවත් දක්වා තිබිණි. ඒ හරහාද රන්නන් එලිය නොකියා කියා තිබුණේ එජාපය සහ සජබය එක්වුවහොත් ජාතික ජන බලවේගය පරාජය කළ හැකි බවකි.
කෙසේ වෙතත් මෙම මත විමසුම ඉදිරිපත් කරමින් තමන් කලින් කර තිබූ මත විමසුමකට සම්බන්ධ තොරතුරු කිහිපයක්ද අනාවරණ කිරීමට රන්නන් එලිය කටයුතු කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ ඉකුත් වර මත විමසුම තමන් සිදුකළේ නීලන් තිරුචෙල්වම් ආයතනයෙන් ලද මුදල් ප්‍රතිපාදනයන්ට අනුව යැයි කියාය. නමුත් මෙවර රන්නන් එලිය සිදුකළ මත විමසුමට ප්‍රතිපාදන සපයා දී ඇත්තේ කවුරුන්දැයි එහි සඳහන්ව නොතිබිණි. ඒ අනුව මෙවර මත විමසුමට මුදල් පොම්ප කළේ කවුරුන්දැයි රන්නන් එලිය විසින් පැහැදිලි කළ යුතුව තිබේ. කෙසේ වෙතත් ඉකුත් වර සිදුකළ මත විමසුමේ බොරුව රටට හෙළිව තිබූ නිසා මෙවර කිසිවකුත් රන්නන් එලියගේ මේ අලුත් මත විමසුම පිළිබඳ කතාබහක් සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
දෙමළ මන්ත්‍රීත් උගන්ඩාවේ
ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරයේ මෙතෙක් හෙළි නොවුණු තවත් කරුණු රැසක්ම මේ වන විට එකින් එක කරළියට එමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේ එසේ එළියට ආ තවත් කරුණක් වූයේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයකුද ජනාධිපතිවරයා සහභාගි වූ උගන්ඩා සංචාරයට එක්ව සිටි බවකි. ඒ, වෙන කවුරුවත් නොව අඩෛක්කිලනාදන් මන්ත්‍රීවරයාය. ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන අතරතුර දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ව්‍යාපාරිකයකු වන අලිරාජා සුබාස්කරන්ද උගන්ඩාවට පැමිණ සිටි අතර, දැනට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අඩෛක්කිලනාදන්ද අලිරාජා සමග උගන්ඩාවට පැමිණ සිටියා යැයි කියාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සමීපව කතාබහ කළද කිසිදු අවස්ථාවක අඩෛක්කිලනාදන් හා ජනාධිපතිවරයා එකට සිටින ආකාරයේ ඡායාරූපයක් කිසිදු තැනක පළවූයේ නැත.
ජනපති මගහරී
මීට අමතරව උගන්ඩාවේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට සූදානම්ය. මීට පෙර අප සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා උගන්ඩාවේ රැඳී සිටින දින කිහිපය තුළ දී බොහෝ දුරට ජනාධිපතිවරයා හා අලිරාජා අතර හමුවක් සිදුවනු ඇති බවත්, එහිදී බොහෝ දුරට ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් විකිණීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වනු ඇති බවත්ය. නමුත් මෙවර අප මෙම තීරයෙන් අනාවරණ කරන්නේ ජනාධිපතිවරයා උගන්ඩාවේ සිටියදී අලිරාජා හමුවීමෙන් වැළකී සිටි බවය. නැතහොත් ජනාධිපතිවරයා හා අලිරාජා අතර කිසිදු හමුවක් සිදුව නැති බවය. කම්පාලා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයට සහභාගි වීමට අලිරාජා දැඩි උත්සාහයක් දැරුවද ඊටද ඉඩක් ලැබී නොමැති බව මේ වන විට අපට දැනගන්නට තිබේ. උගන්ඩා සංචාරය අවසානයේදී ජනාධිපතිවරයා වෙනම ලංකාවට පැමිණිමට පියවර ගෙන තිබූ අතර, අලිරාජා උගන්ඩා සංචාරයට සහභාගි වී සිටි අනෙකුත් මැති ඇමැතිවරුන් සමග වෙනත් ගුවන් යානයකින් ඩුබායි හරහා ලංකාවට පැමිණීමට කටයුතු කර ඇති බවක්ද ආරංචිය. අනතුරුව අලිරාජා කොළඹදී ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දරා තිබූ අතර, ඊටද ජනාධිපතිවරයාගෙන් වේලාවක් ලැබී නොමැති බවද දැනගන්නට ඇත.
පක්ෂයක් අරගෙන
මීට අමතරව මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අලිරාජා සම්බන්ධව තවත් විශේෂ කරුණක්ද හෙළිකිරීමට අප සූදානම්ය. ඒ, ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන තරග වැදීම සඳහා නව දේශපාලන පක්ෂයක් අලිරාජා විසින් මිලදී ගෙන ඇති බවය. එම පක්ෂයේ නම වන්නේ අරුණලු ජනතා සන්ධානයය. එහි සලකුණ ටැප් එකය. දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ හා අනෙකුත් පක්ෂවලින් කැඩෙන දේශපාලන නායකයන් සියලු දෙනා එක්කොට ගෙන ඊළඟ මහ මැතිවරණයේදී දේශපාලන සන්ධානයක් බිහිකර ගැනීම අලිරාජාගේ මෙම නව පක්ෂය මිලදී ගැනීමේ අරමුණ බවය.
ශ්‍රීධරන්ගේ මෙහෙයුම
මීට අමතරව එස්. ශ්‍රීධරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව මේ වන විට පක්ෂය ඇතුළේ යළිත් ෆෙඩරල් ලබාගැනීමේ මතවාදයක් ඉස්මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. මෙය පළමු වරට ප්‍රසිද්ධියේම එළියට පැමිණියේ මෙරට නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්වීම් ලබා පැමිණි සන්තෝෂ් ජා මහතා සමග පැවැති හමුවේදීය. දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ බලය බෙදීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවලදී ශ්‍රීධරන් සිටි ස්ථාවරය හමුවේ සාකච්ඡාව තරමක් උණුසුම් වූවා යැයි කියාය. එහිදී ශ්‍රීධරන් ඉන්දීය මහ කොමසාරිස්වරයාට කියා ඇත්තේ 13 වැනි සංශෝධනය හෝ 13 ප්ලස් සංශෝධන මේ වන විට ඵලක් නැති බවත්, ෆෙඩරල් විසඳුමක් උතුරට අවශ්‍ය බවත්ය. එමෙන්ම පිළිගත හැකි ආකාරයේ කිසිදු බලය බෙදීමක් උතුරට සිදුව නොමැති බවටද ශ්‍රීධරන් එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාට පවසා තිබේ.
ශ්‍රීධරන්ගේ මෙම ප්‍රකාශය හමුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා උතුරේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරයත්, ඒ සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය දියුණු කළ ක්‍රමවේදය ප්‍රයෝජනයට ගත හැකි බවත්, හයිද්‍රාබාද් මහ ඇමැතිවරයා කටයුතු කළ ආකාරයත්, එවැනි ක්‍රමවේදයකට ඉන්දියාවටද සහාය දැක්විය හැකි බවටත් සඳහන් කොට තිබේ. මෙහිදී යම් චෝදනාවක් කරමින් ශ්‍රීධරන් කියා ඇත්තේ ලංකාවේ බලය බෙදීමට ඉන්දියාව සක්‍රීය මැදිහත් වීමක් සිදු නොකළ බවත්, අවම වශයෙන් මැතිවරණ ලබාගැනීමට හෝ ඉන්දියාව ලංකාවට බලපෑම් නොකළ බවත්ය. එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කොට ඇත්තේ උතුර ආර්ථික අතින් දියුණු කිරීමට ඉන්දියාවට මැදිහත් විය හැකි යැයි කියාය. කෙසේ වෙතත් සාකච්ඡාව පුරාම ශ්‍රීධරන් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වූ බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මේ අතර, ඉදිරි සති කිහිපය ඇතුළතදී ශ්‍රීධරන් ඇතුළු දෙමළ සන්ධාන නායකයන් නවදිල්ලිය බලා යෑමට නියමිතව ඇති බවද වාර්තා වේ. ඒ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
බාස්කරන් එළියට
මේ ආකාරයට ශ්‍රීධරන් උතුරේ දැඩි ස්ථාවරයක් ගොඩනගාගෙන යද්දී ඔහුගේ සහායට දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන චරිත රැසක්ද සහාය පළකර ඇති බවක් වාර්තා වේ. එහි ප්‍රධානම චරිතයක් බවට මේ වන විට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව, ලංකාවේ ඉපදී මේ වන විට නෙදර්ලන්තයේ වාසය කරන තවත් දමිළ ප්‍රකෝටිපතියකු වන බාස්කරන් කන්දයියා නමැත්තෙකි. මෙම බාස්කරන් කන්දයියා ලිබේරා නමින් දැවැන්ත සන්නිවේදන ව්‍යාපාරයක් නෙදර්ලන්තය පාදක කොටගෙන ගොඩනගා ඇති බව වාර්තා වේ. එමෙන්ම ලන්ඩනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන අයි.බී.සී. ටී.වී. නමින් මාධ්‍ය ජාලයක්ද ඔහු සතුව තිබේ. එමෙන්ම ඩයස්පෝරාව අතර ප්‍රචලිත ලංකා ශ්‍රී නිව්ස්, ටැමිල් වින් වැනි ප්‍රකට වෙබ් අඩවි රැසක අයිතියද පවතින්නේ ඔහු සතුව බව වාර්තා වේ. පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නායකත්ව තෝරා ගැනීමේදී බාස්කරන්ගේ මේ කියන මාධ්‍ය ජාලය ඍජුවම ශ්‍රීධරන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට ඇති බවද දැනගන්නට තිබේ.