මේ පාර රනිල් බැසිල්ට එන්න කියයි!
පොහොට්ටුවේ අකුරු හතරේ ජනපති අපේක්ෂකයා!
රාජිත ආපහු හැරෙයි!
හර්ෂගෙන් නන්දලාල්ට ෆුල්ටෝස් පන්දුවක්!
2002දිත් කතා කළා!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල සිටින්නේ කියුබානු සහ ඇමෙරිකානු සංචාරයක නිරත වෙමිනි. ජනාධිපතිවරයා කියුබාව බලා පිටත්ව ගියේ එරට පැවැත්වෙන ‘ජී 77 ප්ලස් චයිනා’ සමුළුවට සහභාගි වීම සඳහාය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහාය. ජනාධිපතිවරයා ලබන 21 වැනිදා මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව ඇත. රනිල් ජනාධිපතිවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීම අමතන්නේ පළමු වතාවටය. මීට පෙර අගමැතිවරයා වශයෙන් 2002 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතීමට රනිල් කටයුතු කර තිබිණි.Sri Lanka Latest News
සාකච්ඡාව කැන්සල් කළේ ඇයි?
කෙසේ වෙතත් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණගැසීමට අවස්ථාවක් ලබාගැනීමට විශාල මෙහෙයුමක් දියත් කොට තිබිණි. ඒ සඳහා පාර්ශ්ව කිහිපයක් ඔස්සේ උත්සාහයන් කිහිපයක්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දරා තිබිණි. ඒ සම්බන්ධයෙන් මුලින් පැවැති සාකච්ඡාවලදී රනිල්-බයිඩන් සාකච්ඡාව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් කොළ එළියක් පත්තු වුවද අවසන් මොහොතේ එය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර රනිල්ගේ ඇමෙරිකානු ගමනේදී රනිල් – බයිඩන් හමුවක් සිදු නොවනු ඇති බවකි.
තවම සුබ පැතුම් ඇවිත් නෑ!
මේ ආකාරයට රනිල් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදු නොවන්නේ ඇයි? ඊට හේතු මොනවාද? මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේදී ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී වසරකට අධික කාලයක් ගතව තිබුණත් තවමත් ඇමෙරිකානු ජනාධිපතිවරයා රනිල්ට සුබපතා පණිවුඩයක් නිකුත් කර නැත. ඊට හේතුවී තිබුණේ රනිල් ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වීමෙන් පසු සාමකාමීව පැවැති ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරය සහ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වූ ප්‍රහාරයන්ය. සාමාන්‍යයෙන් ඕනෑම රටක නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු ඔහුට හෝ ඇයට සුබ පැතුම් එක් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවද, රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේ දක්වා එවැනි සුබපැතීමක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් නොවුණේ මේ හේතුව නිසා බව බොහෝ දෙනාගේ විශ්වාසයය. එම සිදුවීම හා මෙවර ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේදී බයිඩන් හමු නොවීම අතර සම්බන්ධයක් තිබෙනවාද යන්න තවමත් කිව නොහැකි නමුත්, මෙවර සංචාරයේදී ජනාධිපතිවරයා සහ බයිඩන් අතර හමුවක් සිදු නොවන බව ස්ථිරය.
දැන දැන ගිනිගොඩට පැන්නාද!
අනෙක් අතට රනිල් ඇමෙරිකාවට යෑමට පෙර කියුබාවට යන්නේ ජී-77 ප්ලස් චයිනා සමුලුවට සහභාගි වීමටය. දැනටමත් ඇමෙරිකාව විසින් කියුබාවට එරෙහිව සම්බාධක පනවා තිබේ. කියුබාව ‘ජී-77 ප්ලස් චයිනා’ සමුළුව සිය රටේ පැවැත්වූවේ එහි සභාපති රට ලෙස ඇමෙරිකාවට සිය ශක්තිය පෙන්වීම සඳහාය. පසුගිය දිනෙක කියුබාවේ පැවැති පාරිසරික සමුළුව සඳහා ජී-77 නියෝජනය කරන රටවලින් සහභාගි වී සිටියේද රටවල් සුළුතරයකි. බහුතරයක් රටවල් ඇමෙරිකාව තරහා කරගැනීමට අකැමැති වූ නිසා එයට සහභාගි වූයේ නැත. මන්ද යත් කියුබාව සහ චීනය අතර පවතින සමීප සබඳතාව ඇමෙරිකාව රුස්සන්නේ නැති බව බොහෝ රටවල් දන්නා කාරණයකි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගිය ජුනි මාසයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ චීනය බුද්ධි අංශවලට එක්රැස් වීම සඳහා කියුබාවේ කඳවුරක් නිර්මාණය කිරීමට උදව් කොට ඇති බවය. විදෙස් මාධ්‍ය දැනටමත් වාර්තා කොට ඇත්තේ ජනාධිපතිවරයා සහභාගි වන ජී-77 ප්ලස් චයිනා සමුළුවටද රටවල් විශාල සංඛ්‍යාවක් සහභාගි නොවනු ඇතැයි කියාය. ජනාධිපතිවරයා කියුබාවේ ජී-77 ප්ලස් චයිනා සමුළුවට සහභාගි වූයේ ඇමෙරිකාව සහ කියුබාව අතර එවැනි විරසකයක් මතුව පැවැති වාතාවරණයකදී වීම විශේෂ සිදුවීමකි. ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කොට සිටින්නේ ඇමෙරිකානු සංචාරය කටමුල කියා තිබියදී රනිල් කියුබානු සංචාරයක නිරත වීම දැන දැන ගිනි ගොඩට පැනීමක් හා සමාන සිදුවීමක් යැයි කියාය.
මේ පාර ජනපතිම බැසිල්ට එන්න කියයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා කියුබාව බලා සංචාරය කිරීමට ප්‍රථම විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ පොහොට්ටුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවය. ජනාධිපතිවරයා ධුරය භාරගැනීමෙන් අනතුරුව බැසිල් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ අතර, ඒ සියලු සාකච්ඡා බැසිල් විසින් කරනු ලැබ තිබූ ඉල්ලීම්වලට අනුව පවත්වන ලද ඒවා විය. නමුත් මෙවර සාකච්ඡාවේදී දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ පළමු වතාවට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවකට පැමිණෙන ලෙස බැසිල්ට ආරාධනා කර තිබීමය.
ගිය පාර සාකච්ඡාව!
මීට පෙර පසුගිය අගෝස්තු මාසයේදී බැසිල් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ බැසිල් විසින් ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවත්, ජනාධිපතිවරයා ඊට ලිස්සා යන ආකාරයේ පිළිතුරක් ලබාදුන් බවත් අපි මීට පෙර වාර්තා කර සිටියෙමු. මීට අමතරව ලබන වසරේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ දෙකම පැවැත්වීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ඉඟිකර තිබූ නමුත් කුමන මැතිවරණය පළමුව පවත්වන්නේද යන්න පිළිබඳ නිශ්චිතව ජනාධිපතිවරයා සඳහන් කර නොතිබූ බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු.
ඡන්ද 103ට බැස්සා!
නමුත් මෙවර ජනාධිපතිවරයා සාකච්ඡාව සඳහා බැසිල්ට ආරාධනා කරද්දී මතුව තිබුණේ එදා පැවැති දේශපාලන පසුබිම නම් නොවේ. එදා ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ගැටලුවකින් තොරව 120කට ආසන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටියද, කෙහෙළියට එරෙහිව අවසන් වරට පැවැති විශ්වාසභංගයේදී ආණ්ඩුවට හිමිව තිබුණේ ඡන්ද 113ක් පමණි. එමෙන්ම ඊට දින දෙකකට පෙර පැවැති දේශීය ආදායම් සංශෝධන පනතේදී ආණ්ඩුවට හිමිවූයේ ඡන්ද 103ක් පමණි. ඒ අනුව පැහැදිලිවම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර යම් යම් වෙනස්වීම් සිදුවන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දැකගන්නට ලැබී තිබිණි.
දැනට තියෙන ප්‍රශ්න!
මීට අමතරව බැසිල් විසින් කැබිනට් අමාත්‍ය දුර හිමිවිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යවා මේ වන විට මාස ගණනාවක් ගතව තිබුණද තවමත් ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත. එයද ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර යම් මත ගැටුමක් සිදුවීමට එක් හේතුවක් වී තිබිණි. එමෙන්ම මීට සති දෙකකට ඉහත පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පැහැදිලිවම අගමැතිවරයාට දැනුම් දී තිබුණේ පොහොට්ටුවේ අදහස්වලට කන් නොදෙන සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන් නොගන්නා ඇමැතිවරුන් පස්දෙනකු සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බවකි. එය තවත් ගැටලුවකි. ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩකිරීම සඳහා බලතල ලබාදී නොතිබීමය. පසුගිය දිනෙක පොහොට්ටුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩකළ හැකි පසුබිමක් සකස් කර නොදෙන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත දැඩි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් යැයි කියාය.
කෙහෙළියට ආවෙත් 113යි!
මෙම සියලු ප්‍රශ්නත්, ආණ්ඩුවට හිමි ඡන්ද සංඛ්‍යාව 113 දක්වා පහළ බැස තිබීම හේතුවෙනුත් ජනාධිපතිවරයා වහාම කළේ සති දෙකකට වඩා දීර්ඝ සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරයට ප්‍රථම බැසිල් මුණගැසී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
ප්ලාන්ට් වෙච්ච නිව්ස් එක!
කෙසේ වෙතත් බැසිල් හා ජනාධිපතිවරයා අතර සිදුවූ හමුවට ප්‍රථම තවත් විශේෂ සිදුවීමක්ද සිදුවිය. ඒ, මීට ඉහතදී හයහත් වතාවක්ම සිදුව ඇති සිද්ධියකි. එනම්, ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමවූ වහා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට සියලු මාධ්‍යවල විශේෂ පුවතක් ආණ්ඩුවට හිතවත් පුවත්පත්වල පළවීමය. මෙම පුවතින් කියැවුණේ ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිම වූ වහාම සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සමග රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වෙනසක් සිදුවන බවත්, වැඩ නොකරන අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක්ම ඉවත් කිරීමට තීරණය කොට ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් පළවූ සම්පූර්ණ පුවත මෙසේය.
‘අකාර්යක්ෂමතාව සහ ආරවුල් ඇතුළු ගැටලු රැසකට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවක් සමගින් අමාත්‍ය මණ්ඩල හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කුඩා සංශෝධනයක් ළඟදීම සිදුවනු ඇතැයි වාර්තා කොට වේ.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මතභේද පවතින ඇතැම් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනස් කිරීමත්, ඉලක්ක සපුරා ගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට නොහැකි වූ අමාත්‍යවරුන් කිහිප දෙනකු මාරු කිරීමත් මෙම සංශෝධනයේදී දැකගත හැකි වනු ඇති බව පැවසේ.
අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල කාර්ය සාධනය ඇගයීමෙන් පසු සංශෝධනයේදී පැවරිය යුතු අමාත්‍යාංශ තෝරාගෙන ඇති බව දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට නිශ්චිත රාජකාරි පැවරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති ඇතැම් කරුණු ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.
සඳුදා දින රාජ්‍ය අමාත්‍යවරු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවී තම ගැටලු ප්‍රකාශ කර තිබිණ.
රාජ්‍ය අමාත්‍යාංශයට ලේකම්වරයකු පත් නොකිරීම, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් විශ්‍රාම යන වයසෙන් පසුව අකාර්යක්ෂමතාවට හේතු වන පරිදි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව කටයුතු කිරීම සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වරප්‍රසාද භුක්ති විඳිමින් නිෂ්ක්‍රීය වීම වැනි ගැටලු රැසක් ඔවුන් පෙන්වා දී තිබිණි.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත්කිරීම, රාජකාරි හා කාර්යයන් පැවරීම, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යථා තත්ත්වයට පත් කිරීම සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අයවැයක් වෙන්කළ යුතු බව කළ ඉල්ලීම් අතර විය.
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සමග කටයුතු කිරීමට තමන්ට බලය ලබාදිය යුතු බවද ඔවුහු ඉල්ලා සිටියහ.
ලේකම්වරුන් අනෙකුත් අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වූ අවස්ථා සහ ඔවුන්ගේ කාර්යසාධනය අසාර්ථක වූ අවස්ථා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.’
කතා කරපු දේවල්!
කෙසේ වෙතත් බැසිල් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙවරද කතාකොට ඇත්තේ ඇමැතිවරුන් පත්කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඇති ප්‍රශ්න පිළිබඳවය. තමන්ට තවත් ඇමැති ධුර 13ක් ලබාදිය හැකි බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති නමුත් එම අමාත්‍ය ධුර ලබාදෙන්නේ කාටද යන්න පිළිබඳ එහිදී කිසිදු සඳහනක් වී නොමැති බව දැනගන්නට ඇත. එමෙන්ම ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව දැනගන්නට තිබේ.
බැසිල්ගේ ස්ථාවරය!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් සුපුරුදු පරිදි පසුගිය සතියම ගත කළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේය. එම සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ද නිතර නිතර බැසිල්ව හමුවීම සඳහා පක්ෂ කාර්යාලයට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී මන්ත්‍රීවරුන් පිරිවරා පැමිණි එක් රාජ්‍ය අමාත්‍යවරයකු බැසිල්ගෙන් අපූරු ප්‍රශ්නයක් විමසීමට පියවර ගෙන තිබිණි. ඒ, ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව රනිල්ට සහාය දක්වනවාද, එසේත් නැත්නම් පොහොට්ටුවේ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳවය. තමන් ගමේ සිටියදී පාක්ෂිකයන් නිතර පැමිණ තමන්ගෙන් මෙම ප්‍රශ්නය විමසා සිටින බවත්, ඊට ලබාදීමට තමන්ට පිළිතුරක් නොමැති බවත් මෙහිදී මෙම රාජ්‍ය අමාත්‍යවරයා බැසිල්ට දැනුම් දී තිබිණි.
මාස 6කට කලින් කිව්වේ මොනවද?
මෙම ප්‍රශ්න කිරීමේදී බැසිල්ද පෙරළා මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසගෙන් විශේෂ ප්‍රශ්නයක් විමසීමට පියවර ගත්තේය. එහිදී බැසිල් විමසා සිටියේ, ‘දැන් මාස 06කට ඉස්සෙල්ලා ඔබතුමන්ලා ගමේ ගියාම ජනාධිපතිතුමා ගැන අපේ පාක්ෂිකයෝ අතර තිබ්බ මතය මොකක්ද?’ යැයි කියාය. ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ‘ඒ දවස්වල ගමේ පාක්ෂිකයන් රනිල්ටයි ආණ්ඩුවටයි හොඳ කිව්වා’ යැයි කියාය. බැසිල් යළිත්, ‘දැන් අපේ පාක්ෂිකයෝ රනිල් ගැන මොනවද කියන්නේ?’ යනුවෙන් පෙරළා ප්‍රශ්න කරද්දී ඒ රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරුන් දුන්නේ එකම පිළිතුරකි. ඒ, ‘අපෝ දැන්නම් ජනාධිපතිතුමාටයි, ආණ්ඩුවටයි පළු යන්න බණිනවා…’ යැයි කියාය.
අපේ කෙනෙක් දානවා!
‘ඒකනේ, අපේ පාක්ෂිකයෝ දැන් එහෙම බණිද්දී අපට පුළුවන්ද රනිල්ට ඡන්දෙ දෙන්න කියන්න? ඒ හින්දා අපි ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ පාක්ෂිකයෝ අනුමත කරන, අපේ පාක්ෂිකයෝ දන්න, අපේ පක්ෂයේ එක්කෙනෙක්ව ජනාධිපති අපේක්ෂකයා විදියට නම්කරනවා. එතුමට පුළුවන් අපේ පාක්ෂිකයන්ගේ ඡන්ද අරන් දිනන්න…’ යනුවෙන් කියමින් බැසිල් පළමු වතාවට ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සිදුකිරීමට සූදානමින් සිටින සැලසුම හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. බැසිල්ගේ මේ පිළිතුරෙන් රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් එක් කරුණක් මනාව තේරුම් ගත්තේය. ඒ, ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය රනිල්ට හිමි නොවන බවත්, නියත වශයෙන්ම පොහොට්ටුව විසින් ජනප්‍රිය අපේක්ෂකයකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
මෙන්න අපේක්ෂකයා!
එසේ නම් බැසිල් මේ ගේන්න යන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් විය හැකිද? පසුගිය කාලයේදී බැසිල්ට සමීප හිතවතුන් මාධ්‍ය හමුවලදී නම් කියා සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු විය හැකි යැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් බැසිල් විසින් සොයාගෙන ඇති මේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු නම් නොවේ. ඊට වඩා වැඩි අකුරක් වැඩි එනම්, අකුරු හතරක් ඇති රටම දන්නා ජනප්‍රිය අපේක්ෂකයෙකි. මේ දිනවල බැසිල් සහ එම පුද්ගලයා අතර නිතර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, පොහොට්ටුව ප්‍රධාන කොටගත් නව සන්ධානයක් යටතේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් ඒ කවුරුන්ද යන්න පිළිබඳ තහවුරු කළ හැකි තොරතුරු අප සතුව ඇතත්, අප එය මේ අවස්ථාවේදී හෙළි නොකරන්නේ එය නිල වශයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුතු නිසාය.
ගෝඨා එනවාද!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒම සඳහා කපුකම් කළ පිරිස අතර ඉදිරියෙන්ම සිටි ප්‍රබල චරිතයක් වූයේ වෙන කවුරුවත් නොව දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වූ දිලිත් ජයවීරය. සාමාන්‍යයෙන් දිලිත් සැලකෙන්නේ මාර්කටින් වැඩවලට දක්ෂයකු ලෙසටය. මේ නිසාම ජනතාව අතර එතරම් ප්‍රසාදයක් සහ ජනප්‍රියත්වයක් නොතිබුණු ගෝඨා වැන්නකු හුළං ගසා පුම්බා ජනතාව අතර ජනප්‍රිය කරවීමට තම මාධ්‍ය ජාලය උපයෝගී කොට ගෙන එවකදී දිලිත් මෙහෙයුම් කිහිපයක්ම දියත් කළේය. එහි කූටප්‍රාප්තිය දැකගන්නට ලැබුණේ කැලණි ගඟ දෙබෑකරගෙන නාගයකු මතුවීම හරහාය. ඒ අවස්ථාව වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කර තිබුණු බැවින් ඍජුව ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි නිසා මෙම මෙහෙයුම හරහා හදිසියේම කැලණි ගඟ දෙබෑ කරගෙන නාගයකු මතුව ඇති බවත්, නාග ලෝකයෙන් ධාතු රැගෙන ආ එම නාගයා තරුණයකු විසින් අල්ලා ප්ලාස්ටික් බෝතලයකට දමා සිටින බවත් එහිදී කියැවිණි. ඒ සම්බන්ධයෙන් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ද දෙරණ මාධ්‍ය ජාලයට කියා සිටියේ එදින රාත්‍රියේ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව බලන විට නා ලොවෙන් නාගයකු මතුව ඇති ආකාරය දුටු බවත්ය.
දෙරණෙ නයා!
‘උදාර කියන මහත්මයෙක් මේ පූජාවන් සිද්ධ කරනවා. දැන් අවුරුදු තුනක වගේ කාලයක සිට නාග ලෝකයෙන් ධාතුන්වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්න යෙදුණා. පසුගිය වෙසක් පුන් පොහෝ දවසේ ඒ දේ ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නෑ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන්වහන්සේලා අපට 09 වැනිදා ලැබෙනවා කියලා…’
‘අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගඟේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවෙන්නා වූ ඝෝෂාවක්. ඒ වගේ තුන් හතර සැරේක ඝෝෂාවක් ආවා. ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා…’ යනුවෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියෝ දෙරණ මාධ්‍ය ජාලය වෙත පවසා තිබිණ.
එම මෙහෙයුමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් ඊට පසු දින එම ධාතු කරඬුවම කැලණි විහාරයේදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ඊට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීමද දැකගන්නට ලැබිණි. එහිදී ඒ සියලු දෙනාටම නෙළුම් පොහොට්ටුවක් අතට දෙමින් ස්වාමින් වහන්සේලා ‘ඔබේ වගකීම ඉටුකරන්න’ යැයි කියන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
කරපු ප්‍රතිඋපකාර!
දිලිත්ලා දියත් කළ මෙම ඡන්ද කැම්පේන් එක කෙතරම් වැඩ කළාද කියනවා නම් ඡන්දය දිනයේ ඡන්දදායකයෝ පෝලිමේ ගොස් ගෝඨාභයට කතිරය ගැසූහ. ගෝඨාද ඊට ප්‍රතිඋපකාර කරමින් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ ජනාධිපති කාර්යසාධක බළකා කිහිපයකම සාමාජිකයකු ලෙස දිලිත්ව පත්කිරීමටද පියවර ගත්තේය. පසුව ගෝඨා ජනතාව අතර අප්‍රසාදයට පත්වෙද්දී බොහෝ පිරිස් දිලිත්ටත්, දෙරණ මාධ්‍ය ජාලයටත් ප්‍රබල චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ගෝඨාව බලයට ගෙන ඒම සඳහා තඩි නයි යවමින් බුදුන් වැඩි කැලණි පුද බිමද දේශපාලනයට ඈඳා ගත්තා යැයි කියාය.
සල්ලිවලට නෙමෙයි!
දිලිත් සම්බන්ධයෙන් මෙම කෙටි ඉතිහාසය ලියන්නට සිදුවූයේ පසුගිය සතියේදී හදිසියේම වාගේ දිලිත් දේශපාලන පක්ෂයක් ගෙන ඇති බවට පළවූ පුවතත් සමගය. දිලිත් මෙසේ ගෙන ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හේමකුමාර නානායක්කාර මහතාට අයත්ව තිබූ ‘මව්බිව ජනතා පක්ෂය’ය. ඇතැම් මාධ්‍ය මෙම පක්ෂය දිලිත් මුදල් දී ගත් බව කියා තිබුණද සිට ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දිලිත් කියා තිබුණේ එය හේමකුමාර විසින් හිතවත්කමට තමන්ට දුන් බවය.
කව්ද මේ හේමකුමාර!
හේමකුමාර නානායක්කාර යනු මුලින්ම රනිල් සමග දේශපාලනය කළ අයෙකි. පසුව සජිත් සමගද හේමකුමාර දේශපාලනය කළේය. හේමකුමාරගේ පුතා වන තාරක නානායක්කාර අදටද සිටින්නේ සජබය සමග එක්ව දේශපාලනය කරමිනි. නමුත් දිලිත් සමග එක්වූ හේමකුමාර පසුගිය සතියේ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ ඉදිරියේදී තම පක්ෂය මහමැතිවරණයට මෙන්ම ජනාධිපතිවරණයටද ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. දැනගන්නට ඇති ආකාරයට දිලිත් මේ වන විට එදා ගෝඨා සමග සිටි වියත් මගේ වියතුන් යැයි කියන පිරිස් සමග සාකච්ඡා කොට ඔවුන්ද මෙම පක්ෂයට එක්කර ගැනීමට සැලසුම් කටයුතු කොට ඇති බව වාර්තා වේ. එම පිරිස් තවමත් සිතන්නේ ගෝඨාට රට ඇතුළේ සැලකිය යුතු ජනප්‍රසාදයක් ඇතැයි කියාය. ඒ අනුව ඉදිරි මැතිවරණයකදී ගෝඨාගේ සහාය දිලිත්ගේ එම පක්ෂයට යළිත් ලබාගැනීම එම පිරිසේ අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.
ගෝඨාට දෙනවාද!
කෙසේ වෙතත් ගෝඨා යළිත් දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින බවටත්, ගෝඨාගේ ආශීර්වාදය දිලිත්ගේ මෙම පක්ෂයට ලැබෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වීමත් සමග පසුගිය සතියේ පැවැති පොහොට්ටු මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු විසින් මේ බව පොහොට්ටුවේ ප්‍රබලයකු වූ එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් විමසීමට පියවර ගෙන තිබිණි. එහිදී චන්ද්‍රසේන නම් ඊට දී තිබුණේ තරමක් දැඩි පිළිතුරකි. එහිදී ඔහු කියා සිටියේ ගෝඨාට පොහොට්ටුවෙන් නම් කිසිදු අවස්ථාවක යළිත් අපේක්ෂකත්වය නොලැබෙනු ඇති බවකි. විධායක ජනාධිපති ධුරය හිමිවීමෙන් අනතුරුව එය අතහැර පලාගිය ගෝඨා යළිත් දේශපාලනයට පැමිණ මොනවා කරන්නදැයි එහිදී එස්.එම්. ප්‍රශ්න කර සිටියේය. බොහෝ දෙනා කියා සිටින්නේ එස්.එම්. ගේ කටින් මේ පැන්නේ පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල්ගේ මතය යැයි කියාය.
රාජිත හැරෙයි!
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ රාජිත සේනාරත්න මහතා පසුගිය මාස කිහිපයේදී කටයුතු කළේ සජබයටත් වඩා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමග බොහෝ හිතවත්වය. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කළ රාජිත තමන්ට සෞඛ්‍ය ඇමැති ධුරය ලබාදෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බව ප්‍රසිද්ධියේම කියා සිටියේය. එම නිසා පසුගිය මාස කිහිපයේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට හෝ සජබය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරවලදී හෝ රාජිතගේ මුහුණ එතරම් දැකගැනීමට ලැබුණේ නැත.
කෙසේ වෙතත් රාජිතගේ මේ ජනාධිපති ගුණ වර්ණනාව හේතුවෙන් සජබයද නිකම් සිටියේ නැත. අවස්ථා කිහිපයකදීම සජබය ඇතුළෙන්ද රාජිතට ප්‍රහාර එල්ල විය. විශේෂයෙන් රාජිත සේනාරත්න නියෝජනය කරන කළුතර සජබ ආසන සංවිධායකවරයකු වූ ජගත් විතාන රාජිතට එරෙහිව කළුතරදීම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සැවොම සිතා සිටියේ රාජිත නිසැක වශයෙන්ම ආණ්ඩුවට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගනු ඇතැයි කියාය.
මේ ආකාරයට ආණ්ඩුවේත්, ජනාධිපතිවරයාගේත් ගුණ වර්ණනා කරමින් සිටි රාජිත පසුගිය සතියේ හිටිහැටියේම ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. එහිදී රාජිත කියා සිටියේ ජනාධිපතිවරයාට මොළයක් තිබුණාට හදවතක් නැතැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් රට ගොඩගැනීමේ සැලසුමක් නැතැයි කියාය. එම නිසා වැඩපිළිවෙළක් නොමැති මෙම ආණ්ඩුවට එක්වන්නේ නම් එය මහා මුළාවක් බව කී රාජිත, සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා පරිද්දෙන්ම ජනහිතකාමී නායකයකු බවද කියා සිටියේය.
මෙන්න කියපු දේ!
පහත දැක්වෙන්නේ රාජිත පසුගිය සතියේ කළ එම කතාවය.
‘මේ රජයත් එක්ක අපිට එකතු වෙන්න, ඔවුන්ට කිසිම වැඩපිළිවෙළක් නෑනේ. ජනාධිපතිවරයට වැඩපිළිවෙළකුත් නෑ, ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ. කල්ලි දෙකක් දෙපැත්තෙ ඉඳගෙන කාගන්නවා. ඒගොල්ලේ ඉවර වෙනකල්ම කාගනී. එහෙම නැතුව ඒගොල්ලන්ට වෙන ගමනක් නෑ. මට පේන විදියට රජයට කිසිම ඉදිරි ගමනක් නෑ. මොකද ආර්ථිකය හදනවා කියන එක විතරක් නෙවෙයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. සෞඛ්‍ය, ගොවියන්ට වතුර, කම්කරුවන්ගේ ඊ.පී.එෆ්. මේ ඔක්කොම ප්‍රශ්නවලින් ආණ්ඩුව පෙන්නලා තියෙනවා ජනාධිපතිතුමාට මොළයක් තියෙනවා, හදවතක් නෑ කියලා. එවැනි කට්ටියක් එක්ක එකතු වෙනවා කියන එක මහ මුළාවක්. ඒ නිසා ජනතාවත් එකතු කරගෙන නිවැරැදි නායකත්වයක් හදාගෙන, නිවැරැදි වැඩසටහනක් එක්ක ජනතාවට පොරොන්දු පත්‍රයක් දීලා වැඩකරන එක තමයි අපේ ගමන් මග.
රටේ ඉදිරි නායකයා ජනතාවට ආදරය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ නායකයට හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. දීර්ඝකාලීන පලපුරුද්දක් තියෙන්න ඕනේ. එවැනි නායකයෝ තමයි මේ රටවල් හැදුවේ. එහෙම නැතුව ක්ෂණිකව ආපු ක්ෂණික නූඩ්ල්ස් වගේ නායකයෝ නෙවෙයි. ලෝකෙ හදපු හැම නායකයෙක්ම වයසට ගිහිල්ලා තමයි ලෝකෙ හැදුවේ. එහෙම නැතුව තරුණ කාලේ නෙවෙයි. විප්ලව කරපු හැම නායකයෙක්ම වයසට ගිහිල්ලා තමයි විප්ලව කළේ. තරුණ වියේදී විප්ලවයට සහභාගි වුණේ චේගුවේරා විතරයි. ඒ තරුණකම හින්දා තමයි එයා ඉක්මනට මියගියෙත්.
සජිත් ජනහිතකාමීයි!
මේ සුදුසුකම් තියෙන නායකයෝ 225 අතර ඉන්නවා, ඉන් පිටත් ඇති. 225න් පිට ඉන්න කට්ටියට පරිපාලනය ගැන කොච්චර අත්දැකීම් තියෙනවද දන්නෙ නෑ. ඒකනේ අපි දැක්කේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ආවා වියත්මග. ඒ අය හිතුවා මේ කට්ටිය තමයි ලංකාවේ ඉන්න හොඳම බුද්ධිමතුන් කියලා. ඒගොල්ලෝ උගත්තු. නමුත් බුද්ධිමතුන් නෙවෙයි.
සජිත් ප්‍රේමදාස මහත්තයා එතුමාගේ තාත්තා වගේම බොහොම ජනහිතකාමී නායකයෙක්. එතුමාගේ තාත්තා මේ රටේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් යමක් කරන්න අවංකව ඉදිරිපත් වුණු නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයටත් ඒ ගුණාංග ඔක්කොම තියෙනවා.
සෞඛ්‍ය අර්බුදය ගැන කතා කරනවා නම්, බාල ඖෂධ ගෙනාවා කියලා ප්‍රසිද්ධියේම පිළිගත්තනේ ඖෂධ අධිකාරියේ සභාපතිවරයා. ඉතින් ඒ ගැන තව කතාකරන්න දෙයක් නෑනේ. ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑනේ ලෙඩ්ඩු මැරුණට. ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑනේ ලෙඩ්ඩු අන්ධ වුණාට. ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ මිනිස්සුන්ට බෙහෙත් නැති වුණාට. බෙහෙත් මිල ඉහළ ගියා කියලත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ. එවැනි ආණ්ඩුවක් යටතේ තව මොනවද කතාකරන්න තියෙන්නේ…?’
හර්ෂගෙන් නන්දලාල්ට ෆුල්ටෝස්!
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහබැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී සාකච්ඡාවට ලක්වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුකොටගෙන මහජන අරමුදල් වන සේවක අර්ථසාධක අරමුදලටත්, සේවක භාරකාර අරමුදලටත් වන හානිය පිළිබඳවය.
වීඩියෝවට ප්‍රහාර!
කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු මාධ්‍යවලට නිකුත් වූ වීඩියෝවක් හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලවල මුදල් කමිටුවේ සභාපතිවරයා වූ හර්ෂ ද සිල්වා මහතා ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක් දියත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී වීඩියෝව නරඹා තිබූ බොහෝ දෙනා අදහස් දක්වමින් කියා තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයාට යම් යම් චෝදනා එල්ලවී ඇති පසුබිමක හර්ෂ විසින් මහබැංකු අධිපතිවරයා සුද්ද කිරීමට කටයුතු කර ඇතැයි කියාය. නොඑසේ නම් මහබැංකු අධිපතිවරයාට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දිය හැකි ආකාරයට සහ මහබැංකු අධිපතිවරයාට අවශ්‍ය ආකාරයට හර්ෂ විසින් ප්‍රශ්න විමසා ඇතැයි කියාය.
මමනේ මෙහෙම ප්‍රශ්නෙ ඇහුවෙ!
එහිදී හර්ෂ විසින් මහබැංකු අධිපතිවරයාගෙන් විමසා තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා 50%ක මුදලක් සේවක අර්ථසාධක අරමුදලට අහිමි වන බවට ඇතැමුන් කරන චෝදනා සත්‍යයක්ද යන්න කියාය. ඊට නන්දලාල් පිළිතුරු ලබාදෙන අතර එහිදී හර්ෂ පෙරළා කියා සිටින්නේ, ‘දැන් ඇත්ත පැහැදිලියි. අපි බොරු කතා කරන්න ඕනෙ නෑ. අපි දේශපාලනය කරන්න ඕනෙ නෑ. ඇත්ත කතා කරමු. මහබැංකු අධිපතිවරයා කියන්නේ අපි මේක කළොත් අඩුවෙන්නේ 4%කින් කියලයි. මේක නොකළොත් 21%කින් අඩුවෙනවා කියලයි. මහබැංකුව හොඳ වැඩ කරනවා. කවුද දැන් මේ 4%කින් විතරයි පාඩුව වෙන්නේ කියන එක එළියට ගත්තේ? මම අහනකම් කවුරුවත් ප්‍රශ්නේ හරියට ඇහුවෙ නෑනෙ මේ උත්තරේ එළියට ගන්න…’ යැයි කියාය.
හර්ෂම මෙම කරුණ පිළිගෙන තිබීමෙන් පසු බොහෝ අය කියා තිබුණේ නන්දලාල්ට බැට් කරන්න හර්ෂ බෝලේ දමා දුන්නා යැයි කියාය.