තානාපති කාර්යාල පණිවුඩයෙන් බැසිල් කැළඹෙයි!
ෂැංග්‍රිලාව හොල්ලපු සුපිරි වෙඩින් එක!
හදිසි නීතිය දාන්න කතාබහක්!
අපි කියපු විදිහටම සල්ලි කතාව එනවා!
කොමිසම අඩියක් ඉස්සරහට!
ස්වාධීන මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ඉලක්ක කරගනිමින් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා (22) පෙරවරුවේම නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ, පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 4 (01) වගන්තියෙන් මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවය. ඒ අනුව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමට විවිධ උපාය, උපක්‍රම, උප්පරවැට්ටි දියත් කරන අතරවාරයේ මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් අඩියක් ඉදිරියට තබා අවසානය. කොමිසම කියන්නේ මේ මස අවසන් සතියේදී මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරන බවත්, මාර්තු 20 වැනි දිනට ප්‍රථම මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන පිහිටුවන බවත්ය.
අපි කිව්ව විදිහටම සල්ලි කතාව උඩට!
මේ ආකාරයට මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දින වකවානු ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටියද ආණ්ඩුව සිටින්නේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මුදල් ප්‍රශ්නය සහ ලබන ජනවාරි 28 පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිට දමා මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමටය. අප මේ සම්බන්ධයෙන් පසුගිය සතියේද අතිවිශේෂ අනාවරණයක් කරමින් පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වූ වහා මැතිවරණ කොමිසම මුදල් ඉල්ලා මහා භාණ්ඩාගාරය වෙත ලිපිය යොමුකිරීමෙන් පසු මුදල් නොමැති බවට පවසමින් ආණ්ඩුව අවසන් තුරුම්පුව ගැසීමට සිටින බව කියා සිටියේය. යම් හෙයකින් මැතිවරණයට මුදල් වෙන් කළහොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවාගත නොහැකි බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද අප එහිදී කියා සිටියෙමු. එමෙන්ම ඒ බව රටට පෙන්වීම සඳහා සියලු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද අපි එහිදී කියා සිටියෙමු.
විපක්ෂය එකමුතු වෙයි!
ඒ අනුව අප කළ මෙම අනාවරණයත් සමග පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් අතරද, සමගි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයන් අතරද, විපක්ෂයේ අනෙකුත් පක්ෂ අතරද අතිවිශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්විණි. මීට අමතරව මෙම පක්ෂ නායකයෝ ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරුන් සමගද, විදෙස් තානාපතිවරු සමගද සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්හ. මෙම සාකච්ඡා අවසානයේදී විපක්ෂයේ ප්‍රධානීහු ප්‍රධාන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට කටයුතු කළහ. පළමු තීරණය වූයේ යම් හෙයකින් ආණ්ඩුව මොනම හෝ උප්පරවැට්ටියක් යොදා මැතිවරණය කල්දැමීමට උත්සාහ කළහොත් ජනතාවගේ ඡන්ද අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වෙනුවෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමටය. ඒ සඳහාම දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් පිහිටුවීමට පිරිස එහිදී තීන්දු කළහ.
විශේෂ තීන්දු රැසක් අරන්!
මෙම දැවැන්ත ජන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව සහ ජවිපෙ සම්බන්ධයෙන් විශේෂ කතාබහක් සිදුවිය. එහිදී රැස්ව සිටි පිරිස ඒකමතිකව අවධාරණය කර සිටියේ කුමන කරුණක් මත හෝ මැතිවරණ කල් දැමීමට සැලසුම් සකස් කරමින් සිටින එජාපය හෝ පොහොට්ටුව හෝ මෙම ජන සන්ධානය සඳහා එකතු කර ගත යුතු නැති බවකි. එමෙන්ම විපක්ෂයේ සිටින පක්ෂයක් ලෙස ජවිපෙට මෙම ජන සන්ධානය සඳහා එක්වන ලෙසට ආරාධනා කළ යුතු බව කියැවුණද ඔවුන් ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ජවිපෙද එම සන්ධානයට එක්කරගත යුතු නැති බව එහිදී සියලු දෙනාම අවධාරණය කර සිටියහ. ඒ අනුව අවසානයේදී සියලු දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම්, සන්ධාන, වෘත්තීය සමිති, නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන ආදී මෙකී නොකී සියලු පාර්ශ්ව එක්කොට ජනතාවගේ ඡන්ද අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් බිහිකිරීමට තීන්දු කෙරිණි
සටන අදියර 5කින්!.
එමෙන්ම නියමිත කාලයට මැතිවරණ ලබාගැනීම ඉලක්ක කරගෙන අදියර 05ක් යටතේ සටන පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී පළමු අදියර ලෙස හඳුනා ගැනුණේ ආණ්ඩුව ඡන්ද කල්දැමීම මුල් කරගෙන ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමටය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් ගණනාවක් සමගම මේ වන විටත් සාකච්ඡා කර ඇති විපක්ෂ නියෝජිතයන් ලංකා ඉතිහාසයේ දැවැන්තම නීතිඥ මණ්ඩලය පෙනී සිටින නඩුව ලෙස මෙම නඩුව ඉතිහාසගත කිරීමටද සැලසුම් කොට ඇත. ඒ සඳහා මැතිවරණ පැවැත්විය යුතු බවට අධිකරණ මගින් දැනටමත් ලබාදී ඇති ඓතිහාසික නඩු තීන්දු පිළිබඳවද මෙහිදී දීර්ඝ කතාබහක් ඇතිවිය.
දෙවැනි අදියර වී ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත විශාල ජන බලවේගයක් නිර්මාණය කොට දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කිරීමය. මීට අමතරව දැනට මාධ්‍ය වෙත අනාවරණ කළ නොහැකි තවත් විශේෂ තීන්දු 03ක් ගැනීමටද, ඒවා නිශ්චිත අවස්ථාවන්හිදී ක්‍රියාත්මක කිරීමටද මෙම සාකච්ඡාවන්ට සහභාගි වී සිටි විපක්ෂ නියෝජිතයෝ තීන්දු කළහ.
ආණ්ඩුව ගහන්න යන තුරුම්පු! හදිසි නීතිය ගැනත් කතාවෙයි!
මේ ආකාරයට විපක්ෂය ඡන්දය ඉල්ලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් සකස් කරද්දී මුදල් සහ උසස් පෙළ ප්‍රශ්නයට අමතරව ඡන්දය කල්දැමීම සඳහා ගතහැකි තවත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සොයාබැලීමට ආණ්ඩු පක්ෂයේ පිරිස්ද විවිධ ස්ථානවල සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එවැනි එක් සාකච්ඡාවකදී හදිසි නීතිය ප්‍රකාශයට පත්කොට මැතිවරණ කල්දැමීම පිළිබඳවද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ආරංචිය. නමුත් ඉකුත් කාලයේ අරගලය පැවැති අස්ථාවේදී හදිසි නීතිය යොදා අරගලය මර්දනය කිරීමට යෑමෙන් මතුවූ දේශීය සහ ජාත්‍යන්තර විරෝධය මුල් කරගෙන මැතිවරණය කල්දැමීමට හදිසි නීතිය යොදාගතහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට එහිදී බොහෝ දෙනෙක් අදහස් පළකොට තිබේ. එමෙන්ම ඇමෙරිකාව, යුරෝපා කොමිසම සහ බටහිර රටවල් මේ අවස්ථාවේදී හදිසි නීතිය පැනවුවහොත් දැඩි ප්‍රතිචාර දක්වනු ඇති බවත්, ඇතැම් විට ජී.එස්.පී. ප්ලස් සහනය වැනි සහනාධාර අහිමි වී යා හැකි බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ එවැනි තත්ත්වයක් මතු වුවහොත් එය බරපතළ තත්ත්වයක් වනු ඇති බවත් එම පිරිස පෙන්වා දී තිබේ. ඒ අනුව හදිසි නීතිය යොදා ඡන්දය කල්දැමීම පිළිබඳ මාතෘකාව ලත් තැනම ලොප් වී ඇති බවක් දැනගන්නට ඇත.
පොහොට්ටුවට ආ භයානක තානාපති පණිවුඩය!
කෙසේ වෙතත් මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් තැන්වල සාකච්ඡා පැවැත්වුණද පොහොට්ටුව නම් මේ වන විට මැතිවරණයට අපේක්ෂකයන් තෝරමින් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් දැන්වීම් පළකරමින් ඊට සූදානම් වන ආකාරයක් දැකගන්නට තිබේ. පොහොට්ටුව මේ ආකාරයෙන් මැතිවරණයට සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබුණද පොහොට්ටුවේ මහ මොළකාරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා නම් කලින් සිටියේ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් නොවේ. ඊට හේතු වූයේ බැසිල් විසින් මෑතකදී සිදුකර තිබූ රහසිගත මත විමසුමය. එම මත විමසුම හරහා පළාත් පාලන මැතිවරණයේදී සජබයට 51% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයකුත්, පොහොට්ටුව සහ ජවිපෙ අතර කරට කර සටනක් මතුවනු ඇති බවත් අනාවරණ කොට තිබිණ. ඒ අනුව මැතිවරණය කල් යන්නේ නම් හොඳ බවට වූ ස්ථාවරයේ පසුගිය දින කිහිපය තුළ බැසිල්ද සිටි බවක් අපට දැනගන්නට ලැබී තිබිණි.
සජබය ගම අල්ලලා!
කෙසේ වෙතත් මේ හා සමානවම සිදුවීමකට බැසිල්ට පසුගිය සතියේදී මුහුණ දීමට සිදුවිය. ඒ, මෙරට පිහිටි එක්තරා ප්‍රබල තානාපති කාර්යාලයක නියෝජිතයකු මුණගැසීමට ගිය අවස්ථාවේදීය. සාමාන්‍යයෙන් සෑම තානාපති කාර්යාලයක්ම පාහේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිතර නිතර මත විමසුම් සිදුකොට ඒවායේ ප්‍රතිඵල තම තමන්ගේ මවු රටවලට යැවීම සම්ප්‍රදායක් වශයෙන් සිදුකරනු ලබන්නකි. ඒ අනුව මෙම තානාපති කාර්යාලයද පසුගිය සති කිහිපය ඇතුළත යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් කුමන ප්‍රතිඵලයක් ලැබෙනු ඇද්ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් පවත්වා තිබිණ. එහි සමස්ත ප්‍රතිඵලය තවමත් ප්‍රකාශයට පත්වී නොමැති නමුත් දළ වශයෙන් අදහසක් ලබාගැනීම සඳහා ප්‍රතිඵල අඩංගු කෙටි ලේඛනයක් තානාපති කාර්යාලය වෙත ලබාදී ඇත. ඒ අනුව පසුගිය සතියේදී බැසිල් සහ මෙම තානාපති කාර්යාල නිලධාරියා අතර සිදුවූ සුහද හමුවේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම අදහස් හුවමාරුවේදී තානාපති කාර්යාල නිලධාරියා මැතිවරණයකදී සමගි ජන බලවේගය ඉතා පහසු ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇති බවත්, පෙනෙන්නට ඇති ආකාරයට පොහොට්ටුව සිටින්නේ අතිශය තීරණාත්මක ස්ථානයක බවත්, එය එතරම් යහපත් ප්‍රවණතාවක් නොවන බවත් බැසිල්ට දැනුම්දී ඇති බවක් දැනගන්නට තිබේ. එමෙන්ම මැතිවරණයක් පැමිණියහොත් අලුතින් බිහිවිය හැකි දේශපාලන සන්ධාන පිළිබඳවද, ඡන්ද බෙදී යා හැකි ආකාරය පිළිබඳවද, ගම් මට්ටමින් සජබයට රැල්ලක් මතුවෙමින් පවතින ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු දැක්වී ඇති බවක් ආරංචිය.
පණිවුඩයෙන් පොහොට්ටුව උඩුයටිකුරු වෙයි
තානාපති කාර්යාලයෙන් ලැබුණු මෙම පණිවුඩයත් සමග පොහොට්ටුව ඇතුළේ තිබූ ඡන්ද උණුසුමද කෙමෙන් කෙමෙන් අඩුවී යන ආකාරයක් දැකගත හැකි විය. මුලදි මුලදී පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් ඕනෑම අවස්ථාවකදී පොහොට්ටුව ඡන්දයට සූදානම් බවටත්, පොහොට්ටුව ඡන්දවලට බිය නැති පක්ෂයක් බවටත් කියා සිටියද පසුව එම මැති ඇමැතිවරුන්ම ඡන්දයක් පැවැත්වීමට මේ අවස්ථාවේ රට තුළ මුදල් නොමැති බව කියා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ පසුබිම යටතේ පොහොට්ටුවද මේ වන විට සිටින්නේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් යම්කිසි තිගැස්මකට ලක්වය. ඒ පිළිබඳව පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී කෙසේ හෝ මැතිවරණය කල් දැමීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා වී ඇති අතර, ඇතැමුන් ඒ සම්බන්ධයෙන් විවිධ යෝජනා පවා ඉදිරිපත් කොට ඇති බවක් ආරංචිය. නමුත් පවතින තත්ත්වය යටතේ විපක්ෂය මැතිවරණය ඉල්ලා අධිකරණය හමුවට ගොස් ඇති බැවින් උසාවිය විපක්ෂයට වාසිසහගත තීන්දුවක් ලබාදුනහොත් ඔවුන් මැතිවරණයට පිවිසෙන්නේ ඒ ලබාගන්නා දැවැන්ත වාසිය සමග බවද මෙහිදී පොහොට්ටුවේ නියෝජිතයන් පෙන්වා දී තිබේ. එවැනි පසුබිමක් යටතේ තත්ත්වය තවත් බරපතළ විය හැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව කුමන අවාසිසහගත තත්ත්වයක් යටතේ වුවද මේ අවස්ථාවේදී මැතිවරණයකට මුහුණ දීම පොහොට්ටුවට ඇති හොඳම උපක්‍රමය බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
රනිල්ගෙන් බැසිල්ට ආ යොජනාව!
මේ අතර යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් ඊට තරග වදින්නේ කෙසේද යන්න පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගිය සතියේදී කෙටි කතාබහක්ද සිදුව ඇති බවක් ආරංචිය. මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් වෙත කර ඇති යෝජනාව වී ඇත්තේ එජාපයට වාසිසහගත කොළඹ, ගාල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි මහ නගර සභා 10ක් එජාපය තනිව තරග කිරීමට සූදානම් බවත්, අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා පොහොට්ටුව සමග එකතුව තරගවැදීමට සූදානම් බවත්ය. ඊට දැනටමත් පොහොට්ටුවේ සහාය පළවී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
රනිල් නුවරඑළි ගියේ ඇයි?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩුව ගතකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ සීතල නුවරඑළියය. ඒ අනුව ජනාධිපතිවරයා සියලු වැඩකටයුතු අවසන් කොට නුවරඑළිය බලා පිටත්ව ගියේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේය. සීතල නුවරඑළියේ විවේක සුවයෙන් ජනාධිපතිවරයා මේ දින කිහිපය ගතකිරීමට සැලසුම් කර තිබුණත්, ඒ අතරට අතිවිශේෂ සාකච්ඡා වට කිහිපයක්ම යොදාගැනීමට ජනාධිපතිවරයා අමතක කළේ නැත. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කරන්නේ එසේ ජනාධිපතිවරයා යොදාගත් තවත් එක් අතිශය රහසිගත හමුවක් පිළිබඳවය.
දෝවාල්ගෙන් කරගන්න ගිය දේ!
මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉන්දීය විශේෂ නියෝජිතයන් කිහිප දෙනකුම අතිශය රහසිගත ආකාරයට ලංකාවට පැමිණ ගිය බවක් වාර්තා කර සිටියෙමු. එහිදී වරක් අප කියා සිටියේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ අජිත් දෝවාල් මහතා ලංකාවට පැමිණීමට නියමිතව සිටියා යැයි කියාය. ඒ සම්බන්ධයෙන් දෝවාල් සමග ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සාකච්ඡා කර තිබූ බවක්ද, ඉන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අජිත් දෝවාල් අතර දුරකතන සංවාදයක් සිදුවූ බවක්ද අපි එහිදී පෙන්වා දුන්නෙමු. මීට අමතරව ඉන්දීය රහස් ඔත්තු සේවය වූ ‘රෝ’ ප්‍රධානියාද ලංකාවට පැමිණ ගිය බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
කවුද මේ රාම් මාධව්!
කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ප්‍රකාශ් නායර් නැමැත්තකු සමග විශේෂ සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි. මේ නිසාම ප්‍රකාශ් නායර් නිතර දෙවේලේ ලංකාවට පැමිණ ගියේය. (මෙම ප්‍රකාශ් නායර් නමැත්තා ගෝඨාභයට සම්බන්ධ කළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳවද ‘රාජ්‍ය රහස්’ තීරය සතුව තොරතුරු තිබේ.) ඒ අනුව මේ ප්‍රකාශ් නායර් නමැත්තා හරහා ගෝඨා ඉන්දීය පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයේ ජාතික ලේකම්වරයකු වූ රාම් මාධව් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට සමත් විය. එකල රාම් මාධව් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අතිශය සමීප තැනැත්තකු මෙන්ම පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහළ බලයක් සහිත තැනැත්තෙක්ව සිටියේය. වරක් ගෝඨා මෝදි හමුවීමට ඉන්දියාවට ගිය අවස්ථාවේදීද රාම් මාධව් මුණගැසී සාකච්ඡා කිරීමටද පියවර ගෙන තිබිණි. ප්‍රකාශ් නායර්ට අමතරව ගෝඨා සහ රාම් මාධව් අතර සම්බන්ධය ගොඩනැගීමට බැසිල්ද තිරය පිටුපස විශාල මෙහෙයක් සිදුකොට තිබිණි. ඒ, බැසිල් සහ රාම් මාධව් අතර පැවැති හිතවත්කම මුල් කරගෙනය. මේ හිතවත්කම් මත අවස්ථා කිහිපයකදීම රාම් මාධව් කොළඹට පැමිණ ගෝඨා හමුවී ඇති බවද දැනගන්නට ඇත.
මේ පාර මාධව්ගෙන් ගොඩ යන්න බලයි!
කෙසේ වෙතත් ගෝඨාගේ නික්ම යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වුවද මේ වන විට මතුව ඇති ප්‍රධානම ගැටලුව වී ඇත්තේ තවමත් ඉන්දීය රජයෙන් සාකච්ඡාවක් සඳහා රනිල්ට අවස්ථාවක් ලබා නොදීමය. පසුගිය කාලය පුරාම අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා එම අවස්ථාව මෝදිගෙන් ලබාගැනීම සඳහා විවිධ උත්සාහයන් දැරූවද එය සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. පළමුව ජනාධිපතිවරයා උත්සාහ දැරුවේ මෙරට පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය හරහා පණිවුඩයක් තබා මෝදි හමුවීමටය. ඊට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු තැන නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වූ මිලින්ද මොරගොඩ හරහා මෝදි සමග සාකච්ඡාවක් ලබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ දැරීය. නමුත් එයද සාර්ථක වූයේ නැත. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක ඉන්දියාවට යැවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. නමුත් ඒ අවස්ථාවේදී සාගලට හමුවීමට හෝ හැකි වූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණි. පසුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ අජිත් දෝවාල්ට ගෝඨා ලවා දුරකතන ඇමතුමක් ලබාදීම හරහා මෝදි සමග හමුවක් ලබාදීමට උත්සාහ දැරුවද අවසන් මොහොතේ එයද අසාර්ථක වී ගියේය.
දෝවාල් හමුවීමෙන් පසු අලකලංචියක්!
ඒ අනුව ජනාධිපතිවරයාගේ අලුත්ම සැලසුම වී ඇත්තේ ගෝඨා සහ රාම් මාධව් අතර පවතින සම්බන්ධය උපයෝගී කරගෙන මෝදි හමුවීම සඳහා අවස්ථාවක් උදා කරගැනීමය. ඒ අනුව පසුගිය දිනවල ගෝඨා රාම් මාධව්ට දුරකතන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට අවස්ථාවක් සකස් කොට දී ඇති බවක් ආරංචිය. ඒ අනුව මෙම සති අන්තයේ රාම් මාධව් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අපි විතරයි කතාව කිව්වේ!
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතාගේ පුත් ෂෞර්යා දෝවාල් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කර සිටියෙමු. මෙය කෙතරම් රහසිගත හමුවක් වූවාද කියනවා නම් කිසිදු මාධ්‍යයක් මගින් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් එකල හෙළිදරව් වී තිබුණේ නැත. නමුත් අප පමණක් එම සිදුවීම වාර්තා කරමින් එහිදී කියා සිටියේ මෙම ෂෞර්යා දෝවාල්ද ලංකාවට පැමිණියේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ප්‍රකාශ් නායර් සමග බවත්, එම හමුව සංවිධාන කිරීම සඳහා මැදිහත් වූයේද මෙම රාම් මාධව් ලංකාවට ගෙන්වීම පසුපස සිටින පිරිස් බවත්ය. මෙම හමුවේදී ෂෞර්යා දෝවාල් විසින් ජනාධිපතිවරයාට ඉතා වටිනා සැතපෙන බුදු පිළිමයක් තෑගිකොට තිබූ බවද අපි එහිදී කියා සිටියෙමු. කෙසේ වෙතත් කිසිදු මාධ්‍යයක් මගින් මෙම තොරතුරු වාර්තා නොකර තිබියදී අප කළ හෙළිදරව්වත් සමග එකල මේ සම්බන්ධව මහත් ආන්දෝලනයක් හටගෙන තිබිණි.
මාධව්ගේ ගමන හෙලිකොප්ටරෙන්!
ඒ නිසාමදෝ මෙවර ජනාධිපතිවරයා රාම් මාධව් මුණගැසීමට යොදාගෙන ඇත්තේ සීතල නුවරඑළියේ ජනාධිපති මන්දිරයයි. ඒ අනුව කොළඹට පැමිණෙන රාම් මාධව් විශේෂ හෙලිකොප්ටර් යානයකින් නුවරඑළියට පිටත්ව යෑමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම සාකච්ඡාවේද අරමුණ වී ඇත්තේ අවස්ථාවන් ගණනාවකදීම අසාර්ථක වූ රනිල්-මෝදි හමුව කෙසේ හෝ රාම් මාධව් ලවා හෝ සාර්ථක කරගැනීමය.
අලුත් සන්ධානයට නායකත්ව මණ්ඩලයක්!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බිහිවීමට නියමිත නව සන්ධානය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කළෙමු. එහිදී අප කියා සිටියේ සජබය තනිව මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින බවත්, ශ්‍රීලනිපය ඩලස් පිල සහ විමල් පිල සමග එක්ව සන්ධානගත වීමට සූදානමින් සිටින බවත්ය. එමෙන්ම එජාපය සහ පොහොට්ටුව එක්ව පුංචි ඡන්දයට මුහුණ දීමට සාකච්ඡා පවත්වන බවද අපි එහිදී කියා සිටියෙමු.
මෛත්‍රීට විරෝධයක්! නායකත්ව මණ්ඩලයක්!
කෙසේ වෙතත් මේ සතිය වන විට මෙම සාකච්ඡාවලදී යම් යම් ගැටලුකාරී තැන් කිහිපයක් මතුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රීලනිපය මුල් කරගෙන බිහිවන දේශපාලන සන්ධානයේ නායකත්වය පිළිබඳවය. එම සාකච්ඡා සාර්ථකව පැවැත්වෙන නමුත් සෙසු පක්ෂ නායකයන් දැඩිව පෙන්වා දී ඇත්තේ මෙය අලුත් සන්ධානයක් වන බැවින් අලුත් නායකයකුද ඊට පත්විය යුතු යැයි කියාය. විශේෂයෙන්ම ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාර චෝදනාව මෙන්ම තවත් චෝදනා රැසක්ම එල්ලවී ඇති බැවින්, ඩලස් පිලේ යෝජනාව වී ඇත්තේ ඊට අලුත් අයකු නම් කළ යුතු බවකි. මේ පිළිබඳ පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව ශ්‍රීලනිපයද ඊට යහපත් ප්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇති බව ආරංචිය. ඒ අනුව මෛත්‍රී ශ්‍රීලනිපයේ නායකයා වශයෙන් කටයුතු කරද්දී බිහිවන නව සන්ධානයට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට යෝජනා වී ඇති බව පැවසේ.
විමල්ලා හැලෙයි!
මීට අමතරව විමල් සහ ගම්මන්පිල සම්බන්ධයෙන්ද මෙහිදී තීරණාත්මක සාකච්ඡාවක් සිදුව ඇති බවක් ආරංචිය. එහිදී බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ විමල්ලා අධි තක්සේරුවකින් සිටින බැවින් ඔවුන් සමග සන්ධානගත වී කටයුතු කළ නොහැකි යැයි කියාය. ඒ අනුව විමල් පිල එම නව සන්ධානයෙන් ඉවත් කිරීමට තීන්දු වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
චන්දිමලා සජබෙට!
මේ අතර පසුගිය සතියේ අප මෙම තීරය ඔස්සේ අනාවරණ කළේ ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනව සිටින අනුර යාපා – චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් බිහිකරන සන්ධානයක් යටතේ තරග කරන බවකි. නමුත් මේ වන විට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ හිටපු ජනාධිපතිනිය මෙම කණ්ඩායම සමගි ජන බලවේගය යටතේ ඉදිරි මැතිවරණයට මුහුණ දීමට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් ඇති බවකි. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත සජිත්ව මුණගැසී සාකච්ඡා කිරීමටද හිටපු ජනාධිපතිනිය තීරණය කොට ඇති බව ආරංචිය.
ෂැංග්‍රිලා හෝටලයේ සුපිරි මගුල!
ගාලුමුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලය ආරම්භයේ සිටම මෙරට දේශපාලනයේ මහත් ආන්දෝලනාත්මක ස්ථානයක් යැයි කිවහොත් එහි වැරැද්දක් නැත. මේ ෂැංග්‍රිලා හෝටලය පිහිටි තැන එදා තිබුණේ යුද හමුදා මූලස්ථානයය. එම ඉඩම ලංකාවේ තිබූ මිල අධිකම බිම්කඩ ලෙස හැඳින්වීමටද පුළුවන. නමුත් එදා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට මෙම යුද හමුදා මූලස්ථානය හිස් කරදුන්නේ ප්‍රබල ව්‍යාපාරිකයකු හට ඒ ඉඩම් කට්ටිය විකිණීම සඳහාය. එදා විපක්ෂය චෝදනා කර සිටියේ ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ ඉඩමක් සින්නක්කරවම විකුණා දැමීමට රාජපක්ෂවරුන් පියවර ගත්තා යැයි කියාය. ෂැංග්‍රිලා හෝටලය ගාලු මුවදොර ඉදිවීමේ නිධාන කතාව ඒකය. ඒ අනුව ෂැංග්‍රිලාව මේ අතීත කතාවේ සිට වර්තමානය දක්වාම බොහෝ දේශපාලන සාකච්ඡාවන්ට, දේශපාලන වෙනස්වීම්වලට මඟපාදපු ස්ථානයක් විය. විශේෂයෙන් රාජපක්ෂවරුන්ට සම්බන්ධ යම් යම් සිදුවීම්වලදී ෂැංග්‍රිලා හෝටලය ඉදිරියෙන්ම සිටියේය.
මෙවර අප හදිසියේම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ෂැංග්‍රිලා හෝටලය පිළිබඳ මතක් කළේ පසුගිය සතියේ ප්‍රබල පවුල් කිහිපයකම උත්සව ෂැංග්‍රිලා හෝටලයේ පවත්වා තිබීම නිසාය. ඉන් එකක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ දිවියට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් නීතිඥවරුන් දහසකට ආසන්න පිරිසක් සහභාගි කරමින් පැවැති දැවැන්ත උත්සවයය. අනෙක වූයේ මෙරට සිටි ප්‍රබල රාජ්‍ය නිලධාරියකුගේ සහ ප්‍රබල ව්‍යාපාරිකයකුගේ පුත්‍රයාගේ සහ දියණියගේ විවාහ මංගල උත්සවයන් දෙකක් මෙහි පැවැත්වීමය.
කව්ද මේ ගාමිණී සෙනරත්!
ඉන් පළමු උත්සවය පැවැත්වූ ප්‍රබල රාජ්‍ය නිලධාරියා වූයේ වෙන කවුරුවත් නොව ගාමිණී සෙනරත්ය. ගාමිණී සෙනරත් යනු මහින්දගේත්, ගෝඨාභයගේත් හිටපු ජනාධිපති ලේකම්වරයාය. නමුත් ගාමිණීගේ දේශපාලන ආගමනය සිදුවූයේ රාජපක්ෂවරුන් සමග නම් නොවේ. ගාමිණී රාජ්‍ය සේවයේ ඉහළට එන්නේ 2001 වසරේ එජාප ආණ්ඩුව බලයට පත්වීමත් සමගය. දකුණේ පැවැති දේශපාලන සබඳකම් හරහා ගාමිණී එවක එජාපයේ ගාල්ල නියෝජනය කළ අමාත්‍යවරයකු වූ වජිර අබේවර්ධන සමග සමීප මිත්‍රත්වයක් ගොඩනගාගෙන තිබිණි. එමෙන්ම එවක මාතර එජාප ප්‍රබලයා වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමගද ගාමිණීට සමීප සබඳකම් තිබිණි. මේ මිත්‍රත්වය හරහා වජිර එවක තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ පැවැති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස්වරයකු වශයෙන් ගාමිණි සෙනරත් පත්කිරීමට පියවර ගත්තේය. එවකදී ගාමිණී සෙනරත් හට කුඩා ව්‍යාපාරයක්ද තිබිණි. ඒ, කුඩා ප්‍රමාණයේ මුද්‍රණාලයකි. රාජ්‍ය සේවයේ නිරත අතරවාරයේ මේ මුද්‍රණ කර්මාන්තයේ කටයුතුද ගාමිණී ඉදිරියට කරගෙන ගියේය.
මහින්දට සෙට් වුණු හැටි!
කෙසේ වෙතත් එජාපයත් සමග ඉතා සමීපව කටයුතු කළ ගාමිණී හිටිහැටියේම රාජපක්ෂවරුන් සමීපයට එන්නේ 2005 ජනාධිපතිවරණයෙන් පසුවය. එහිදී මහින්ද ජයග්‍රහණය කිරීමත් සමග ගාමිණී, මහින්දගේ අතිරේක ලේකම්වරයකු ලෙස මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානියා බවටද පත්විය. ඒ සඳහා ගාමිණීට විශාල වාසියක් වූයේ රාජපක්ෂවරුන් සමග පැවැති ඥාති සම්බන්ධතාවයය. නමුත් වජිර හෝ ලක්ෂ්මන් යාපා හෝ එවකදී ගාමිණි හා රාජපක්ෂවරුන් අතර පැවැති මේ ඥාති සබඳතාව දැන සිටියේ නැත. කෙසේ වෙතත් වජිරලා සහ ලක්ෂ්මන්ලා සමග මෙන්ම එජාපය සමග පැවැති සම්බන්ධය ගාමිණීට මහින්දගේ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී විශාල වශයෙන් ප්‍රයෝජනවත් විය. විශේෂයෙන්ම මහින්ද සහ රනිල් අතර පණිවුඩ ගෙන යෑමේදී ප්‍රධාන මැදිහත්කරු වශයෙන් කටයුතු කළේ ගාමිණීය. වජිරද එහි විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඒ අනුව 2015 වන විට මහින්දගේ ජනාධිපති ලේකම් තනතුර ලැබී තිබුණේද ගාමිණීටය.
රනිල්ව ගේන්න ගහපු ගේම!
කෙසේ වෙතත් 2015දී මහින්දගේ පරාජයෙන් පසු ගාමිණී සෙනරත්ටද යහපාලන ආණ්ඩුවෙන් මූල්‍ය චෝදනා එල්ල කොට නඩු පැවරිණි. නමුත් පසුව අධිකරණය මගින් ගාමිණි නිදොස් කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව 2017දී ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේද ගාමිණී සෙනරත්ය. එහිදී අප වරෙක ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කර සිටි කරුණක් වූයේ අරගලය හේතුවෙන් මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වෙද්දී රනිල් අගමැතිවරයා ලෙස පත්කිරීම සඳහා ගාමිණි හා වජිර තිරය පිටුපස විශාල වැඩකොටසක් සිදුකළ බවය. එමෙන්ම රනිල් අගමැති ධුරයේ සිට ජනාධිපති ධුරය තෙක් ගෙන ඒම සඳහාද ගාමිණී සහ වජිර තිරය පිටුපස විශාල දේශපාලන ගේමක් ගසා තිබිණි. ඒ පිළිබඳ මෙතෙක් කිසිදු මාධ්‍යයක් මගින් හෙළි නොකෙරුණු විශාල තොරතුරු ප්‍රමාණයක් ‘රාජ්‍ය රහස්’ තීරය සතු වන අතර ඉදිරියේදී අප එම මෙහෙයුම පිළිබඳ සියලු තොරතුරු මෙම තීරය ඔස්සේ හෙළිකිරීමටද සූදානම්ය.
විවාහය ගාමිණීගේ පුතාගේ!
කෙසේ වෙතත් රනිල් ජනාධිපති කිරීමෙන් අනතුරුව නැවතත් ජනාධිපති ලේකම් ධුරය බලාපොරොත්තු වුවද ගාමිණීට හිමිවූයේ ජනාධිපති උපදේශක තනතුරකි. ඒ අනුව මේ දිනවල ගාමිණී වැඩියෙන්ම සිටින්නේ විවේක සුවයෙන් බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම 2005 කාලයේ සිටම පැවැති ගාමිණීගේ මුද්‍රණ කර්මාන්තය මේ වන විට තාක්ෂණයෙන් පිරිපුන් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
පසුගිය සතියේ ෂැංග්‍රිලා හෝටලයේ පැවැතියේ මේ කියන ගාමිණී සෙනරත්ගේ පුතාගේ විවාහ මංගල්‍යයය. ගාමිණී දේශපාලන පසුබිමක සිටියද ගාමිණීගේ පුතා විවාහ වූයේ රත්නපුරයේ ප්‍රබල ව්‍යාපාරිකයකුගේ දියණියක සමගය. දෙපැත්තෙන්ම දේශපාලන සබඳතා තිබීම හේතුවෙන් එදින ෂැංග්‍රිලාව දේශපාලකයන්ගෙන් පිරී ඉතිරී තිබිණි. විශේෂයෙන්ම ජනාධිපතිවරු තිදෙනෙක් එම අවස්ථාවට එකවර එක්ව සිටියහ. ඒ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය. එමෙන්ම මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමින් තිස්ස අත්තනායක, තලතා අතුකෝරල සහ තවත් එක් සජබ මන්ත්‍රීවරයකුද මඟුලට පැමිණ සිටියහ.
මෑත ඉතිහාසයේ විශාලතම මංගල්ලය!
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ මෑත ඉතිහාසයේ විශාලතම වියදමක් දරා පැවැත්වූ මංගල උත්සවය බවට ගාමිණී සෙනරත්ගේ පුත්‍රයාගේ විවාහය වාර්තා පොත් අතරට එක්වන බවයි. එමෙන්ම තෝරාගෙන තිබූ ආහාර මෙනුවද මෑත කාලයේ ෂැංග්‍රිලාවේ තිබූ හොඳම භෝජන සංග්‍රහය බවට පත්ව තිබිණි. මල් සැරසිලිද කාගේත් කතාබහට ලක්වූ එකක් විය.
රනිල් කලින්ම යයි!
මෙහිදී රනිල් උත්සවයට පැමිණෙන විට මහින්දත්, ගෝඨාත්, බැසිලුත් උත්සව සභාවේ සිටි ආකාරයත් දැකගත හැකි විය. එහිදී බැසිල් සමග රනිල් අදහස් හුවමාරු කරගන්නා විට එහි ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද සිටියේය. බැසිල් ඒ ව්‍යාපාරිකයන් රනිල්ට හඳුන්වා දීමෙන් අනතුරුව ඔවුන් රනිල්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ විමසීමක් කළේය. එහිදී රනිල් කියා සිටියේ චීනය හා ඉන්දියාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා නිල නොවන ආකාරයට එකඟතාව පළකොට ඇති බවත්, ඒ අනුව මූල්‍ය අරමුදලෙන් ලබන වසර මුලදී ණය ආධාර හිමිවනු ඇති බවත්ය. කෙසේ වෙතත් රනිල් තමන්ට වෝටර්ස් එජ් හෝටලයේ උත්සවයකට සහභාගි වීමට ඇති බව පවසමින් කල් තියා උත්සවයෙන් නික්ම ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම මෙම විවාහයේ දෙවැනි ගමනද ෂැංග්‍රිලා හෝටලයේ ලබන ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිත අතර එයද මීට නොදෙවැනි ආකාරයට සැලසුම් කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
VVIP කාමරයේ රහස් සාකච්ඡාවක්!
මීට අමතරව ගාමිණී සෙනරත්ගේ පුතාගේ විවාහ මංගල්‍යයට පසු දින තවත් ප්‍රබල ව්‍යාපාරිකයකුගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයක්ද ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්විණි. මෙම ව්‍යාපාරිකයාටද දේශපාලන සබඳකම් තිබූ බැවින් එදිනද ප්‍රබල දේශපාලන මුහුණු රැසක් උත්සවයට එක්ව සිටින ආකාරයක් දැකගත හැකි විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක යන අයය. කෙසේ වෙතත් මේ අයගේ ඉල්ලීමකටද එසේත් නැත්නම් ව්‍යාපාරිකයා විසින් සිතාමතා කළාද යන්න පැහැදිලි නැතත් මෙම පස්දෙනා සඳහා උත්සව ශාලාවට යාබදව පිහිටි තවත් ප්‍රභූ පුද්ගලයන් සඳහා වෙන්වූ ඪඪෂඡ කාමරයක්ද සූදානම්ව තිබිණි. ඒ අනුව මේ පස්දෙනා මෙම කාමරයේ පැය එකහමාරකට අධික කාලයක් සිටි අතර අතරින් පතර ඊට සේවකයන් විසින් විවිධ ආහාර පාන සපයන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා කියන්නේ මෙම සාකච්ඡාව පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතාබහ කෙරුණු විශේෂ එකක් බවට පත්ව තිබුණා යැයි කියාය.