රාජ්‍ය බැංකුවලින් ලබාගෙන තිබෙන ණය කපා හැරියහොත් එම බැංකු විකුණා දැමීමේ අනතුරක්ද පවතින බව මහාචාර්ය අනිල් ජයන්ත අනාවරණය කරනු ලැබිය. Sri Lanka Latest News
ඔහු මෙම අනාවරණය සිදු කළේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් පත්වන මාධ්‍ය හමුවකදීය.
රජයට දේශීය බැංකුවලින් ලබා දී තිබෙන ණය අතරින් 80%ක් පමණ රාජ්‍ය බැංකුවලින් ලබා දී ඇති බවද එයින් යම් මුදලක් කපාහැරීමෙන් එම බැංකු වත්කම්වලට සෘජුව බලපාන බවත් එවැනි තත්වයකදී ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම නැවත කළ යුතු අතර එවැනි අවස්ථාවක කොටස් වෙළෙඳපොල හරහා එම බැංකු විකුණා දැමීමේ අවස්ථාව සැලසෙන බවත් පැහැදිලි කළේය.
බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස දැක්වූ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,
“දින 05ක් බැංකුවලට නිවාඩු දී දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මහ බැංකු අධිපතිවරයා සනාථ කර තිබෙනවා. මේ අර්බුදකාරී තත්වයේදී පවා ආණ්ඩුව වගවීම පැහැර හරිමින් මූල්‍ය වෙළඳපොළ තුළ, මහජනතාව තුළ අවිශ්වාසයක් ඇති කරමින් සිටිනවා. රාජ්‍ය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මෙයට අදාළ සැලසුම් තවමත් අවසන් කර නැති බවයි. මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් සැලසුම් සකස් කර නැහැයි කියන්නේ බොරුවක්. ඔහුගේ ප්‍රකාශය ඇත්තනම් මෙම දවස් දෙක තුන තුළ හදන සැලැස්මක් ඉතාම ව්‍යසනකාරී වෙනවා. ආණ්ඩුව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුළ ව්‍යසනකාරී තත්වයන් ඇතිවීමේ අනතුරක් තිබුණත් තැන්පතු අහිමිවේ යැයි අනවශ්‍ය බියකින් කටයුතු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ආණ්ඩුව මේ මොහොතේ දී මහජනතාවගෙන් එවැනි අනවශ්‍ය බිය ප්‍රතිචාරයක් අපේක්ෂා කරනවාද දන්නෙත් නැහැ. ඔවුන්ට පිළිතුරක් නැති නිසා රට තුළ යම් කළබගෑනියක් නිර්මාණය වීමට ඉඩහැර මූල්‍ය අස්ථාවරත්වයක් ඇතිවීමට ඉඩදෙන්නේ දැයි සැකයක් මතුවෙනවා.
ණය ගෙවා ගන්න නොහැකි මට්ටමට පත්වුණේ ස්වභාවික හේතුවක් නිසා නොවෙයි. අදූරදර්ශී පාලනය, වංචාව, දූෂණය, ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ හඬට ඇහුම්කන් නොදීම සහ මහජනතාවට වගනොකියන අත්තනෝමතික පාලනයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ පසුබිම අමතක කර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කතාකරන්න බැහැ. මීට වගකිව යුතු පුද්ගලයන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ හිඳිිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කිරීමත් ගැටලු සහගතයි. ඔවුන් කිසිදු කැපකිරීමක් නොකර මහජනතාව මත බර පැටවීම බලවත් ප්‍රශ්නයක්. අපි පත්කරන නියෝජිතයෝ සුළුතර කණ්ඩායමක් ණයවල ප්‍රතිලාභ භුක්ති විඳිමින් අවසාන වගකීම මහජනතාව මත පටවනවා.
ලංකාව විදේශීය ණය නොගෙවන බව ගිය වසරේ ප්‍රකාශ කළේ ඩොලර් නැති නිසා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී විදේශ ණය ලබාගැනීමේ පසුබිම සකස් කිරීම පමණක් සිදුකරමින් සිටිනවා. ඒ පසුබිම පාවිච්චි කර, ආර්ථිකය ගොඩනඟන ආකරය ගැන ආණ්ඩුව කිසිවක් කියන්නේ නැහැ. විදේශීය ණය කපාහැරිමට පෙර දේශීය වශයෙන් ගත් ණය කපාහරින ලෙසට ඔවුන් තර්කයක් ගොඩනඟා තිබෙනවා. ආණ්ඩුව දැන් ක්‍රියාකරන්නේ ඒ තර්කය මත. ආණ්ඩුව දේශීය වශයෙන් මහ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත වැඩිපුරම ණය දී තිබෙන්නේ රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාවත් පොදු මහජනතාවත්. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලින් ණය දී තිබෙනවා. දේශීය සමස්ත ණය ප්‍රමාණයෙන් 80%කට වැඩි පංගුව නියෝජනය කරන්නේ මේ තුළින්. පුද්ගලික බැංකුවලින් ණය දී තිබෙන්නේ 20%ක් විතර. මේ නිසා වැඩිපුර ප්‍රමාණයක් මහජනතාවගෙන් කපා ගැනීමත් පුද්ගලික අංශයෙන් කුඩා ප්‍රමාණයක් කපා හැරීම හෝ නොකර සිටීමට ඉඩ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත්වලින් ලබාගත් ණයවලින් 62%ක් පමණ තිබෙන්නේ මහ බැංකුවෙන් ලබාදුන් ණය. ඒ නිසා රජයටත් මහ බැංකුවටත් එකතු වී සාකච්ඡා මගින් ඒ ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරිය හැකියි. නමුත් මහජනතාවට වැඩිපුරම බලපාන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාදී තිබෙන ණයවලින්. ටි්‍රලියන 09කට ආසන්න ණය දී තිබෙන්නේ බැඳුම්කරවලින්.
බැඳුම්කරවලින් ලබාදී තිබෙන්නේ දිගුකාලීන ණය. මේ ණයවලින් නාමික අගය කපා හැරීම (Hair cut) බැඳුම්කරවලට නියමකර තිබෙන පොලී අනුපාතයෙන් කොටසක් කපා හැරීම එහෙමත් නැත්නම් බැඳුම්කරයක කල්පිරීමේ දිනය අවුරුදු කිහිපයකින් දීර්ඝ කර ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත හැකිව තිබෙනවා. මේ ආකාර තුනම අනුගමනය කරන්න යනවාද? එසේ නැතිනම් එකක්ද, දෙකක්ද යන්න පැහැදිලි නැහැ. අයි.එම්.එෆ්. වාර්තාවට අනුව පැහැදිලිව දක්වා තිබෙන්නේ එකඟතාවයන් මත ණය කැපීම කළ යුතු බවයි.
බලහත්කාරයෙන් කැපීමට උත්සාහ කළහොත් මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇති වෙනවා. නමුත් රාජ්‍ය බැංකු හැර පෞද්ගලික බැංකු එකඟතාවයන්ට පැමිණීමට තිබෙන ඉඩකඩ අඩුයි. මේ නිසයි බලහත්කාරයෙන් කපාහැරීමට සූදානම් වන බවක් පේන්නේ. ණය කපා හැරීමෙන් බැංකුවල මුදල් තැන්පත් කර තිබෙන අයට බලපෑමක් ඇති වෙනවා. ණය කපා හැරීමෙන් බැංකුවල වත්කම් අඩුවෙනවා. එවැනි අවස්ථාවක මහජනතාවට ගෙවන පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කළ හැකියි. 2023 පළවෙනි කාර්තුව තුළ ලංකාවේ පෞද්ගලික බැංකු තැන්පත් ලබාගැනීම සහ ණයදීම අතර පොලී අනුපාතිකවල 8% දක්වා පරතරයක් තිබෙනවා. නමුත් දියුණු බැංකු පද්ධතියක මෙහෙම වෙන්න බැහැ. මෙයින් පෙනෙන්නේ ඔවුන් රිසිසේ මූල්‍ය වෙළඳපොළ හසුරවමින් අධික ලාභ ලැබීමේ ක්‍රියාමාර්ගයට නිරත වී සිටින බවයි. මේ තත්වයට වගකිව යුතු පාර්ශ්වය පැත්තකට වී තැන්පත්කරුවන්ටත් මහජනතාවටත් බර පැටවීම සාධාරණ නැහැ.
රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ බැංකුවල සේවය කරන විශාල පිරිසක් කැපවීමෙන් සිටිනවා. බැංකු ක්ෂේත්‍රයේ ඉන්න ඒ අයට ලැබෙන ප්‍රතිලාභත් ඉදිරියේදී කපා හරින්න ඉඩ තිබෙනවා. ඊටත් වඩා ප්‍රශ්නය වී තිබෙන්නේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල්වලටයි. ඒවායේ මුදල් වැඩිපුරම ණය දී තිබෙන්නේ ආණ්ඩුවටයි. අද දායකවෙන කෙනාට ප්‍රතිලාභ ලැබෙන්නේ විශ්‍රාම යන අවස්ථාවේදී. ඔවුන්ගේ ගිණුම් ඒ ආකාරයෙන්ම පවතීවි. නමුත් ඊට ලැබෙන පොලිය අඩුකිරීම හා වෙනත් ප්‍රතිලාභ කපා හැරීම් සිදුකළ හැකියි. වර්තමානයේ විශ්‍රාම යන අයට ප්‍රතිලාභ ගෙවන්නේ වර්තමානයේ ලැබෙන දායක මුදල්වලින්. ඒ නිසා වර්තමානයේ විශ්‍රාම ගන්නා අයට ලැබෙන ප්‍රතිලාභ, අනිවාර්යයෙන්ම අනාගතයේදී විශ්‍රාම ලබන අයට බරපතළ ලෙස කපා හැරෙන්නට නියමිතයි. මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඇතිවෙන ප්‍රතිඵල දිගුකාලීනයි. මිනිසුන්ගේ පීඩනය වැඩිවෙනවා. කැපකිරීම් කිරීමට සිදුවෙනවා. ආණ්ඩුව පැත්තෙන් මූල්‍ය ස්ථාවරත්වය ගැනත් නොතකා ගෙනයන මෙම වැඩපිළිවෙළන් මූල්‍ය පද්ධතිය අසමතුළිත වුණොත් බැංකු පද්ධතියට බලපෑම් ඇති වෙනවා.
බැංකුවලින් ණය කපා හැරීම් සිදුකිරීමෙන් මූල්‍ය වෙළඳපොළ සහ බැංකු පද්ධතිය අස්ථාවර වුවහොත් මූල්‍ය අරමුදල කියන්නේ ප්‍රාග්ධනය නැවත සම්පාදනය කිරීමට යා යුතු බවයි. විශේෂයෙන්ම රජයේ බැංකුවල ප්‍රාග්ධනය වැඩිකර ගන්න අස්ථාවර තත්වයකදී මහජනතාවගේ තැන්පතු කොටස් ප්‍රාග්ධනය බවට පත්කිරීමේ හැකියවක් තිබෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් හෙළාගැනීම ආණ්ඩුවේ අරමුණ බැවින් අපට මේ පිළිබඳව සැකයක් තිබෙනවා. මූල්‍ය වෙළඳපොළ මගින් වැඩිපුර ලාභ උපයා ගැනීමට සහ එය තමන්ට රිසි පරිදි අනාගතයේ හසුරුවා ගත හැකි ආකාරයට කටයුතු කිරීමේ පෙරනිමිති තිබෙනවා. නව මහ බැංකු පනතක් ගෙන ඒම, රාජ්‍ය බැංකු අකාර්යක්ෂම බව ප්‍රචාරය කිරීම වගේ තර්ක තුළ රාජ්‍ය බැංකුවල කොටස් පුද්ගලික අංශයට අලෙවි කිරීමේ අනතුරක් තිබෙනවා. ඒවා තමන්ට රිසි පරිදි මූල්‍ය වෙළඳපොළ හැසිරවීමේ හැකියාව තිබෙන අයගේ ග්‍රහණයට හසුකිරීමේ තත්වයක් තිබෙනවා. මම ඊට උදාහරණයක් කියන්නම්. මහජන බැංකුව යටතේ පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනිය තිබෙනවා. මහජන බැංකුව සතු, මෙම ෆිනෑන්ස් සමාගමේ කොටස් 33%ක් රුපියල් කෝටි හාරසිය විස්සකට ජනශක්ති ලිමිටඩ් ආයතනයට විකුණා තිබෙනවා. ජන ශක්ති සමාගමේ කොටසක මූල්‍ය අගය රුපියල් 20ටත් අඩුවෙන් තිබෙන්නේ. එසේ තිබියදී පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනියේ කොටස් මිලදී ගන්නේ රුපියල් 37.10 බැගින්. මෙවැනි ගනුදෙනු ගැනත් මහජනතාව විශේෂ අවධානය යොමු කළ යුතුයි.
ආණ්ඩුව රට ගොඩගන්න වෑයම් කරන බව පෙන්වමින්, ජනතාව තව තවත් පීඩනයට පත්කරන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හැටියට පවතින කරුණු හෙළිකරනවා. තාවකාලික පිළියම් ලෙස පෙනුණත් දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයටත් මහජනතාවටත් එල්ල වෙන පීඩාව විශාලයි.” Sri Lanka Latest News










