ආණ්ඩුවේ කුමන්ත්‍රණ කතාවෙන් ලොකු පුටු කැළඹෙයි!
මූල්‍ය අරමුදල ෆොන්සේකා පස්සේ!
දිනේෂ්ගේ රැස්වීම පටන් ගනිද්දී පොහොට්ටුවෙන් 4යි!
ෆොන්සේකා ගැන සජබය ගත් තීන්දුව!
පොලිස්පති ‘කුමන්ත්‍රණ’ කතාවේ මුල!
වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සැලකෙන්නේ එතෙක් මෙතෙක් පොලිස් ඉතිහාසයේ සිටි නිහඬතම පොලිස්පතිවරයා ලෙසටය. අතීතයේ සිටි ඇතැම් පොලිස්පතිවරුන් නිතරම මාධ්‍ය හමුවේ පෙනී සිටිමින්, මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙමින් මාධ්‍ය හරහා වීරයන් වීමට කටයුතු කර තිබුණද, සී.ඩී. කවදාවත් මාධ්‍ය හමු තබමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින්, මාධ්‍ය ඔස්සේ වීරයෙක් වීමට ගියේ නැත. නමුත් පසුගිය සතිය වන විට මෙරට මාධ්‍යවල පමණක් නොව දේශපාලනයේද ප්‍රධානතම චරිතය බවට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව මේ කියන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නමය.I Sri Lanka Latest News
ජ්‍යෙෂ්ඨම තුන්දෙනා!
ඊට හේතු වී තිබුණේ ජනාධිපතිවරයා විසින් තුන්වැනි වතාවටත් සී.ඩී.ට සේවා දිගුවක් ලබාදෙමින් නැවතත් පොලිස්පති ධුරයේ ඔහුව පිහිටුවීමට කටයුතු කිරීම හරහා දේශපාලනයේ මතුවූ ආන්දෝලනයය. ඉකුත් අප්‍රේල් මාසයේදී සී.ඩී. විශ්‍රාම යෑමෙන් පසු බොහෝ දෙනා සිතා සිටියේ ජනාධිපතිවරයා විසින් අලුත් පොලිස්පතිවරයකු පත්කරනු ඇතැයි කියාය. නමුත් පොලිස්පති ධුරය ලබාගැනීම සඳහා පොලිසිය ඇතුළේ ජ්‍යෙෂ්ඨයන් අතර ඒ වන විටත් සීතල යුද්ධයක් හටගෙන තිබිණි. බොහෝ දෙනා මත පළකරමින් කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන සහ ලලිත් පතිනායක යන තිදෙනාගෙන් කෙනකුට පොලිස්පති ධුරය හිමිවනු ඇතැයි කියාය. නමුත් පාස්කු ප්‍රහාරය මුල්කරගෙන පැවැත්වුණු විමර්ශනවලදී මේ තිදෙනාගේම නම් අඩු වැඩි වශයෙන් කොමිෂන් වාර්තාවල සඳහන්ව තිබීම හේතුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ඔවුන්ට පොලිස්පති ධුරය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය එල්ලවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
තුන්වන පාරටත් සේවා දිගුවක්!
මේ හේතුව නිසාම රැවුලයි කැඳයි දෙකම බේරාගැනීම සඳහා ජනාධිපතිවරයා කළේ සී.ඩී.ට මාස තුනක සේවා දිගුවක් ලබාදීමය. ඒ අනුව ජනාධිපතිවරයා සී.ඩී.ගේ නම ව්‍යවස්ථාදායක සභාවට එවීමෙන් පසු එය සම්මත කිරීමට ව්‍යවස්ථාදායක සභාව පළමු අවස්ථාවේදී පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව එම මාස 03 ඉක්මවීමෙන් පසු නැවත වතාවක් පොලිස්පති මාතෘකාව කරළියට පිවිසියේය. ඉකුත් අවස්ථාවේදී මෙන්ම ඒ අවස්ථාවේදීද විවිධ අයගේ නම් පොලිස්පති ධුරය සඳහා යෝජනා වුවද ජනාධිපතිවරයා කළේ ව්‍යවස්ථානුකූලව තමන්ට හිමි බලතල භාවිත කරමින් දෙවැනි වතාවටත් සී.ඩී.ට තවත් මාස 03ක සේවා දිගුවක් ලබාදීමය. එම මාස තුනේ කාලය ඉක්ම ගියේ පසුගිය සතියේය. ඒ අනුව පසුගිය සතිය වන විට අලුත් පොලිස්පති සම්බන්ධයෙන් විශාල රාවයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන්ම අලුත් පොලිස්පතිවරයා පත්කිරීම දින කිහිපයකින් කල්යන තත්ත්වයක්ද දැකගන්නට ලැබිණි. කොටින්ම කියනවා නම් සිය මාස තුනේ සේවා දිගුව අවසන් වීමත් සමග අලුත් නමක් ජනාධිපතිවරයා විසින් නිර්දේශ නොකිරීම නිසා සී.ඩී. ගෙදර ගියේය. දින 04ක් රට දිව්වේ පොලිස්පතිවරයකු නොමැතිවය. ඒ අනුව බොහෝ දෙනා අලුත් පොලිස්පතිවරයකු පත්කරනු ඇති බව සිතා සිටියත් ජනාධිපතිවරයා කළේ සිය චීන සංචාරයට ඔන්න මෙන්න තියා තුන්වැනි වතාවටත් සී.ඩී.ට පොලිස්පතිවරයා ලෙස සේවා දිගුවක් ලබාදීමට පියවර ගැනීමය.
රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි!
කෙසේ වෙතත් පොලිස්පති සම්බන්ධයෙන් අර්බුදය ඇතිවූයේ තුන්වැනි වතාවටත් මෙසේ ජනාධිපතිවරයා සී.ඩී.ගේ නම යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාවට එවීමත් සමගය. ඊට හේතු වූයේ දෙවැනි වතාවේ සී.ඩී.ගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර එවීමෙන් පසු එය සම්මත කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළත් නැවත මෙම නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කොට එවීමට කටයුතු නොකරන්නේ නම් වඩාත් සුදුසු බවට නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ලබාදී තිබීමය. දෙවැනි වතාවේ එම නිර්දේශය ලබාදී තිබියදී තුන්වැනි වතාවේත් සී.ඩී.ගේ නම ව්‍යවස්ථාදායක සභාවට එවීමත් සමග ව්‍යවස්ථාදායක සභාව කළේ අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීමය. කිසිවකුත් නොසිතූ පරිදි ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන කතානායකවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත්, සාගර කාරියවසම්, ඇතුළු ස්වාධීන නියෝජිතයන් තිදෙනාත් ඒකමතිකව සී.ඩී.ගේ නම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම නිසා එක්වරම මහත් ආන්දෝලනයක් හටගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේවෙතත් එදනි ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගීව සිටියේ නැත.
පණිවුඩය වහාම චීනයට!
කෙසේවෙතත් මොහොතක් යෑමට මත්තෙන් ඒ වන විටත් චීනයේ සිටි ජනාධිපතිවරයාටද මෙම තත්ත්වය වාර්තා විය. ඒ අනුව වහාම ජනාධිපතිවරයා චීනයේ සිටම ව්‍යවස්ථාදායක සභාව ලබාදුන් නිර්දේශය ගණනකට නොගෙන සිය බලතල යටතේ නැවත වතාවක් පොලිස්පතිවරයා ලෙස සී.ඩී. පත්කිරීමට පියවර ගත්තේය.
කුමන්ත්‍රණ කතාවක් ආණ්ඩුවේ පත්තරවලින් එළියට!
ඒත් සමගම ආණ්ඩුවේ පුවත්පත්වල මෙන්ම වෙබ් අඩවිවලද මේ සිද්ධිය මුල් කරගෙන එකම ආකාරයේ පුවතක් පළවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ සෑම පුවතකටම පොදු වූ වචනයක්ද තිබිණි. ඒ, ‘කුමන්ත්‍රණය’ යන වචනයය. ඒ අනුව එම පුවත් දුටු සියලු දෙනාටම එක්වරම වටහාගැනීමට හැකිවූ කරුණක් වූයේ චීනයේ සිටම සුපුරුදු පරිදි එක තැනකින් මෙම පුවත් ‘පැළ’ කිරීමට කටයුතු කොට ඇති බවකි. පහත දැක්වෙන්නේ ආණ්ඩුවේ මාධ්‍ය වන ‘දිනමිණ’ පුවත්පත එම පුවත පළකොට තිබූ ආකාරයය.
එකම පුවතක් පළවෙයි!
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යළි පත්කරයි
ඉවත් කර පැයක් ඇතුළත යළි සේවයේ පිහිටුවයි
හදිසියේ ඉවත් කළේ කුඩු ජාවාරමෙක් රකින්නදැයි ප්‍රබල සැකයක්
2023 ඔක්තෝබර් 18
ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) දිනයේදීම පියවර ගත්තේය. පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කළ බරපතළ වරදක් යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ’දිනමිණට’ ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් යළි පැමිණීමට තිබෙන පසුබිමක පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි ප්‍රබල සැකයක් මතු වන බව ද ඉහත ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙරාතුව කිසියම් කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත්තාදැයි වහාම සොයා බලන බව ද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයාත් පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් රට තුළ නොසිටින මොහොතක පොලිස්පතිවරයා ඉවත් කිරීම මෙරට සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.’
කතානායක අගමැතිත් කුමන්ත්‍රණයේද?
එමෙන්ම මෙම පුවත හරහා දැකගන්නට ලැබුණු අනෙක් විශේෂ සිදුවීම වූයේ ආණ්ඩුවේ මාධ්‍ය විසින් ඇතැම් ආණ්ඩුවේ ප්‍රධානීන්වම කුමන්ත්‍රණකරුවන් ලෙස නම්කොට තිබීමය. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ මාධ්‍ය හරහා විපක්ෂය විවේචනය කිරීම සාමාන්‍ය සිදුවීමක් වුවත්, අගමැතිවරයාත්, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාත් ව්‍යවස්ථාදායක කමිටුව නියෝජනය කිරීම නිසා මෙම පුවත හරහා ඔවුන්වද කුමන්ත්‍රණකරුවන් ලෙස මෙම පුවත මගින් හඳුන්වා දී ඇති බව බොහෝ දෙනාගේ මතය විය.
වෙනස්කම් රැසක් වෙන්න නියමිතයි!
මේ ආකාරයට සී.ඩී.ගේ නම ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කිරීමත් සමග චීනය සහ ලංකාව අතර එහාට මෙහාට ගිය විශේෂ දුරකතන ඇමතුම් කිහිපයකින් පසු වහාම සූම් සාකච්ඡා කිහිපයක්ද සංවිධාන විය. ඊට ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම ඉහළ පෙළ නිලධාරීන්ද සහභාගී වී සිටි බවක් දැකගත හැකි විය. ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණි වහාම මෙම සිදුවීමට අදාළව තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවීමට නියමිත බවකි. තනතුරු රැසක් එහාමෙහා වීමට ඉඩ ඇති බවක්ද මෙහිදී දැනගන්නට තිබේ.
පොලිස්පතිත් සූම් සාකච්ඡාවක!
මීට අමතරව නැවත වතාවක් පොලිස්පතිවරයා ලෙස පත්වීමත් සමග සී.ඩී.ද පොලිසියේ ප්‍රධානීන් සමග හදිසි සූම් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී සී.ඩී. ඉදිරියේදී පොලිසිය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත්, පොලිසියේ සිදුවීමට නියමිත වෙනස්කම් රැසක් පිළිබඳවත් දැඩි ස්ථාවරයක සිටිමින් විශේෂ ඉඟි කිහිපයක් ලබාදී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
පාර්ලිමේන්තුවත් ඇවිලෙයි!
මෙම සිදුවීමෙන් පසු ඊළඟට පොලිස්පතිවරයාගේ සිදුවීම ඇදුණේ පාර්ලිමේන්තුවේදීය. ඒ පිළිබඳ පළමු වරට ප්‍රශ්නය යොමුකළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්ය. පොලිස්පතිවරයා සම්බන්ධ සිද්ධිය පිළිබඳ ශානක්‍යන් කෙළින්ම ප්‍රශ්න කළේ දිනේෂ්ගෙන්ය. නමුත් දිනේෂ් ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කළේ නැත. පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ඊට පිළිතුරු ලබාදෙන ලෙස දිනේෂ්ගෙන් ඉල්ලා සිටිද්දී දිනේෂ් ඊට ‘හා’ කියා උත්තර දුන්නත්, පසුව නිහඬව සිටි ආකාරයක් දැකගන්න ලැබිණි. පසුව ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්තට ඊට උත්තර ලබාදෙන ලෙස දැනුම් දුන්නද, දොළවත්තගෙනුත් ඊට හරිහමන් පිළිතුරක් ලැබුණේ නැත. කෙසේ වෙතත් කතානායකවරයා අවසානයේදී කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් නීත්‍යනුකූල මෙන්ම ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා නැවත පත්කිරීමත් නීත්‍යනුකුලව සිදුව ඇති බවත්ය.
සජිත් නඩු දාන්න සූදානමින්!
කෙසේ වෙතත් ආණ්ඩුවේ පුවත්පත් දෙක වන දිනමිණ සහ ඩේලි නිවුස් පළකළ පුවත සම්බන්ධයෙන් ප්‍රබලම ප්‍රහාරය එල්ල වූයේ වෙන කාගෙන්වත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි. සිකුරාදා (20) දින පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් දැඩිව අදහස් ප්‍රකාශ කළ සජිත් කියා සිටියේ මෙම පුවත පළකළ දිනමිණ පුවත්පතේ කර්තෘ මනෝජ් අබේදීර හටත්, ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්ශංකටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සජබය නියත වශයෙන්ම කටයුතු කරනවා යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා විසින් එවන සියල්ල අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව යනු එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නොවන බව පෙන්වා දුන් සජිත්, කාගේවත් සුරතලුන්ට හෝ සුරතලියන්ට තනතුරු ලබාදීමට ව්‍යවස්ථාදායක සභාව සූදානම් නොමැති බවද කියා සිටියේය.
සති 2කින් අලුත් ප්‍රශ්නයක්!
කෙසේවෙතත් මෙම පත්කිරීමේ ගැටලුව නැවත මතුවන්නේ තවත් සති දෙකකින්ය. ඒ, තවත් සති දෙකකින් නව පොලිස්පතිවරයකුගේ නම ව්‍යවස්ථාදායක සභාවට එවීමට ජනාධිපතිවරයාට සිදුව තිබීම නිසාය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කළ යුතු බවට පොහොට්ටුව දැඩි ස්ථාවරයක සිටින බවය. ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ දේශබන්දු යැයි කියාය.
තීරණාත්මක රැස්වීමක්!
ඒ අනුව තවත් සති තුනකින් රැස්වෙන නව පොලිස්පතිවරයා තේරීමේ ව්‍යවස්ථාදායක සභාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මන්ද, ඊට ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයාගේ නම යෝජනා කොට එවීමට ඇති නිසාය. ජනාධිපතිවරයා එහිදී එක් පුද්ගලයකුගේ නමක් පමණක් ව්‍යවස්ථාදායක සභාවට එවනු ඇතිද, එසේත් නැතිනම් තිදෙනෙකුගේ නම් එවනු ඇතිද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත. ඒ අනුව නව පොලිස්පතිවරයා තේරීමේදී කතානායක, අගමැති, විපක්ෂ නායක, සාගර කාරියවසම්, කබීර්ෂ හෂීම්, නිමල් සිරිපාල සහ සිවිල් සංවිධාන නියෝජනය කරන නියෝජිතයන් තිදෙනාගේ තීන්දුව දෙස රටම බලාසිටින බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ඡන්ද ක්‍රමය වෙනස් කරන කමිටුව!
මීට සතියකට ඉහතදී පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කොට තිබුණේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියාය. එම කැබිනට් පත්‍රිකාව අනුව ජනාධිපතිවරයා විසින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනා සැකසීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කිරීමට පියවර ගෙන තිබිණි. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වූයේ සුන්දරම් අරුමෙනායගම්, සේනානායක අලිසැන්ඩේරලාගේ, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම්, සාගරිකා දෙල්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු සහ දීපානි සමන්ත රොඩ්රිගෝ යන අයය.
සද්භාවය?
කෙසේ වෙතත් ආරම්භයේ සිටම සජබ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත් කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයා සහ ආණ්ඩුව මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පනත ගෙන එන්නේ මැතිවරණ පැවැත්වීමට බියෙන් සහ මැතිවරණ කල්දැමීමේ වුවමනාවෙන් බවය. පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් සජිත්, දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරද්දී අගමැති දිනේෂ් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ආණ්ඩුව මෙය කරන්නේ සද්භාවයෙන් යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් සජිත් නැවත කියා සිටියේ සද්භාවයෙන් කරනවා නම් නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කියාය. කෙසේවෙතත් එම සංවාදයට සම්බන්ධ වෙමින් විජයදාස කියා සිටියේ අදාළ කමිටුව රැස්වන බැවින් ඊට සම්බන්ධ වී යෝජනා ලබාදෙන ලෙසය.
සජබය වර්ජනය කරන්න තීන්දු කරයි!
ඒ අනුව අදාළ කමිටුවට සහභාගි විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් සජබය ඇතුළේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සියලු දෙනාම පෙන්වා දුන්නේ සජබය මෙම කමිටුව වර්ජනය කළ යුතු යැයි කියාය. ජවිපෙද ඒ වන විටත් තීන්දු කර තිබුණේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන නිර්දේශ ඉදිරිපත් කරන කමිටුව වර්ජනය කිරීමටය. ඒ අනුව අවසානයේදී අදාළ කමිටුව හමුවට සජබය සහ ජවිපෙ නොගියද විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් එය හමුවට යෑමට තීන්දු කිරීම විශේෂ සිදුවීමක් විය. නමුත් ඔවුන් ගියේ එම කමිටුවට යෝජනා ඉදිරිපත් කිරීමට නොව, ඊට විරෝධය පළකිරීමටය. ඒ අනුව කමිටුව හමුවට ගිය ඔවුන් දෙපළ මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව යොදන මෙම උප්පරවැට්ටිවලට සිය විරෝධය පළකර ඉන් පිටව ආ ආකාරයක් දැකගත හැකි විය.
දිනේෂ්ගේ රැස්වීමට 4 දෙනයි!
තුනෙන් දෙකක බලයක් සහිතව පිහිටුවනු ලැබුවද මේ වන විට ආණ්ඩුව ඇත්තේ කෑලි කෑලි කැඩී සීසීකඩ ගොස්ය. එමෙන්ම 118ක බහුතර පොහොට්ටු මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩුව ඇතුළේ සිටියද එහිද එක් හඬකින් කතා කරන ආකාරයක් දැකගන්නට නැත. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතරම ආණ්ඩුවෙ වැඩ ගැන ඇත්තේ විවිධ මතය. විවිධ ස්ථාවරයන්ය. කිසිදු එකමුතුභාවයක් ඇති ආකාරයක් දැකගන්නට නැත. මේ බව පසුගිය සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දැකගන්නට ලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයක නිරතව සිටි බැවින් මෙවර මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම උදේ 9ට ආරම්භ කරද්දී ඊට 118ක් සිටින පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමෙන් රැස්ව සිටියේ මන්ත්‍රීවරු 4 දෙනෙක් පමණි.
සියඹලාපිටියට එරෙහිව චාමර!
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් ආරම්භ වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 9.30 පමණ වන විට මන්ත්‍රීවරු 40 දෙනකු පමණ එක්ව සිටියහ. එසේ මන්ත්‍රීවරුන් පැමිණීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කොට ඇති ආදායම් උපදවා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා මතුවිය. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා බදු අයකර ගැනීමේ අඩුපාඩු පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයට අදහස් දැක්වීමට පියවර ගත්තේය. නමුත් ඊට විරෝධය පළකරමින් කතා කළේ බදුල්ලේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකය. ඔහු පෙන්වා දුන්නේ බදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් පරිභෝජනය අඩු වී ජනතාව කසිප්පුවලට යොමුවී ඇති බවත්, ඒ හරහා රාජ්‍ය ආදායම අඩුවී ඇති බවත්ය.
කසිප්පු වැඩිවෙලා! අරක්කු අඩු කරන්න!
‘අනේ මේ ඇමැතිතුමා, ඔබතුමා දන්නේ ඉලක්කම් විතරයි. ආදායම් වැඩිකරගන්න කියලා ඔබතුමා අරක්කුවල මිල වැඩිකරලා. දැන් මිනිස්සුන්ට බොන්න බෑ. අපේ පැතිවල මිනිස්සු බොන්නෙ කසිප්පු. ඉතින් එක පැත්තකින් රජයට ආදායමකුත් නෑ. අනෙක් පැත්තෙන් මිනිස්සුත් ලෙඩ වෙලා මැරෙනවා. අයි.එම්.එෆ්. එක දන්නෙ නෑ මේ කසිප්පු ගැන. ඔබතුමා අයි.එම්.එෆ්. එකට කියන්න මේ කසිප්පු ගැන. ඔබතුමාට බැරි නම් මම ගිහින් කියන්නම්. මට ඉංග්‍රීසි බෑ. ඒ නිසා මට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙන්න. සුද්දො දන්නෙ නෑ මෙතැන වෙන දේවල්. මම ගිහින් උන්ට මේක තේරුම් කරලා දෙන්නම්…’ යනුවෙන් චාමර කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරුන් බඩවල් අල්ලාගෙන සිනාසෙනු දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් චාමර එතැනින් නොනැවතී පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කරමින් කියා සිටියේ අරක්කු බෝතලයක් නිපදවීම සඳහා වියදම් වන්නේ රුපියල් 1,200ක් බවත්, මේ වන විට වෙළෙඳපළේ එහි මිල රුපියල් 3,200ක් බවත්ය.
100 විවාදය!
මීට අමතරව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී තවත් අපූරු සිදුවීමක් දැකගන්නට ලැබිණි. ඊට මුල්වී තිබුණේ පාර්ලිමේන්තුවේ ඉපැරැණි කමිටුවක් වන රාජ්‍ය ගිණුම් කාරක සභාවට වසර 100ක් පිරීමේ අවස්ථාවය. මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වීම මුල්කරගෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීන්දු වූයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමටය. එහිදී කතා කිරීම සඳහා පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුටම අවස්ථාව ලබාදීමටද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේය.
ආණ්ඩුවේ අය නෑ!
නමුත් විවාදය ආරම්භ කරන විට කතා කිරීමට යෝජනා වී සිටි පොහොට්ටු ඇමැතිවරුන් හෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සභාවේ සිටිනු දැකගන්නට නොහැකි වීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම විපක්ෂය පැත්තෙන්ද එතරම් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් නොසිටීම හේතුකොටගෙන සුපුරුදු පරිදි සවස 4.30ට කල්තැබීමේ විවාදය නොපවත්වා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ෆොන්සේකා වෙන පාරක?
පසුගිය දිනවල සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමාජ මාධ්‍ය නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානමින් සිටින බවට ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම අවස්ථා කිහිපයකදීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබයේ වැඩපිළිවෙළ විවේචනය කිරීමටද ෆොන්සේකා පියවර ගෙන තිබිණි. ෆොන්සේකාගේ මෙම ප්‍රකාශ පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ තීන්දු තීරණවලට පටහැනි වීම හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් විවිධ විරෝධතා මතුවුණද පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් හෝ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක් හෝ සිදුවූයේ නැත. නමුත් පසුගිය සතිය වනවිට මෙම තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබූ අතර, සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී ෆොන්සේකා මාධ්‍ය හමුවේ කර ඇති යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
පැමිණිලි පිට පැමිණිලි!
සඳුදා පැවැති මෙම කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භයේදී සජිත් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණ් නැත. අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් තමන් ඊට සහභාගි වන විට යම් ප්‍රමාදයක් විය හැකි බවත්, එම නිසා හමුවේදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කරන ලෙසත් සජිත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව සජිත් නොමැතිව සාකච්ඡා ආරම්භ වූ අතර, පටන් ගැනීමේදීම මන්ත්‍රීවරුන් රැසක්ම ෆොන්සේකාගේ මෙම ප්‍රකාශ පිළිබඳ කතාකරමින් ඊට එරෙහිව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, ගම්වලදී ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් මේ පිළිබඳ තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් දැනුම් දී සිටියහ.
සභාපති කොහොමද මෙහෙම කරන්නේ?
‘ෆොන්සේකා කියන්නේ අපේ පක්ෂයේ සභාපති. ඉතින් පක්ෂයේ සභාපතිතුමා පක්ෂ තීන්දු තීරණවලට පිටින් ගිහින් කතාකරනවා නම් අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? අපි පක්ෂයක් විදියට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ජනාධිපතිවරණයට පක්ෂ නායකයා විදියට සජිත් ප්‍රේමදාස නායකුමා ඉදිරිපත් වෙනවා කියා. හැබැයි ෆොන්සේකා මහත්තයා ගිහින් යූටියුබ්වලට ඉන්ටවිව් දෙනවා එයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අපි ගම්වලට ගියාම ආසන සංවිධායකවරු මේවා ගැන අපෙන් ප්‍රශ්න කරනවා. පාක්ෂිකයොත් මේ ගැන අපෙන් අහනවා. මේවට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැද්ද කියලා අහනවා. ඉතින් අපි මොනවද ඒ අයට කියන්නේ? අපි කොහොමද ගම්වල දේශපාලනය කරන්නේ? මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ…’ යනුවෙන් එක් සජබ මන්ත්‍රීවරයෙක් කියද්දී තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ පක්ෂයක සභාපතිවරයා වශයෙන් හැසිරීමට ෆොන්සේකා මහතා කටයුතු කොට නැති බවය.
දිලිත්වත් හමුවෙලා?
‘මේ මන්ත්‍රීතුමාගෙ කතාව සහතික ඇත්ත. එතුමා අපේ පක්ෂයේ සභාපති. පක්ෂයක සභාපති කෙනෙක් වුණාම හැසිරෙන්න ඕනෙ විදියක් තියෙනවා. දැන් සමහර මාධ්‍යවල යනවා එතුමා මේ ගැන කතා කරන්න ගෝඨාව බලයට ගේන්න උදව් කරපු දෙරණ නාලිකාවේ හිමිකරු වෙච්ච දිලිත් ජයවීරත් ගිහින් හම්බවුණා කියලා. ඊට පස්සේ තවත් තැනක කියනවා එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ හොඳ කියනවා කියලා. මෙහෙම කරන්න බෑ. පක්ෂයක මොකක් හරි විනයක් තියෙන්න ඕනෙ…’ යනුවෙන් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කියද්දී කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලු දෙනා ඊට පක්ෂව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
අවසන් තීන්දුව මෙන්න!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළමනාකරුණ රැස්වීමට සම්බන්ධ වූයේ මන්ත්‍රීවරුන් මේ ආකාරයට ෆොන්සේකා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ පසුබිමකය. එහිදී මන්ත්‍රීවරු සජිත්ටද මේ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්හ. ඒ අනුව අවසානයේදී කළමනාකරණ කමිටුව තීන්දු කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පළමු වටයේදී පෞද්ගලිකව ෆොන්සේකා හමුවීමට ගොස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් තීන්දු විය.
රට වටේ යන්න ලෑස්තියි!
ෆොන්සේකා සම්බන්ධයෙන් වූ මාතෘකාව එතැනින් අවසන් වූ අතර, ඉන් අනතුරුව සාකච්ඡා වූයේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවය. ඉදිරි වසර මැතිවරණ වසරක් වීමත්, ලබන මාසයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබීමත් මුල් කරගෙන පක්ෂයක් වශයෙන් ගත යුතු තීන්දු තීරණ එහිදී සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවා කල්දැමීමට ආණ්ඩුව යොදන උපාය උපක්‍රම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරු අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ මැතිවරණ පවත්වන දිනය දක්වාම ආසන මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් සහ දේශපාලන රැලි පැවැත්වීමටය. එසේම සජබය ප්‍රධාන කොට ගොඩනැගීමට නියමිත සමගි ජන සන්ධානයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමටද එහිදී තීන්දු විය. මීට අමතරව දේශපාලන රැස්වීම් මාලාව යළි ආරම්භ කළ යුතු දිස්ත්‍රික්ක කිහිපයක් ගැනම අදහස් පළවුණද ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ඉදිරි දිනෙකට කල්තැබිණි. කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම රැස්වීම් මාලාව ආරම්භ කිරීමට එහිදී අවසන් තීන්දුවක් ගැනිණි.
IMF ප්‍රතිචාරය!
මේ දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකා දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදුන් ණය මුදලේ පමා කළ දෙවැනි වාරිකය නැවත ලබාදෙන දිනයය. අනෙක් මාතෘකාව වන්නේ මේ දිනවල චීන සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ලංකාවට රැගෙන එන තෑගි මල්ල පිළිබඳවය.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ කතා කරද්දී ආණ්ඩුව නම් සිටින්නේ ඉදිරි දින කිහිපය ඇතුළත එහි කාර්ය මණ්ඩල ගිවිසුම සඳහා ඇතුළත් විය හැකි බවට සුබවාදී ස්ථාවරයකය. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය මහතාත්, ෂෙහාන් සේමසිංහ මහතාත් අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණේ ඉදිරි දින කිහිපය ඇතුළත මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකි යැයි කියාය.
කොන්දේසි ඉටු කොට නෑ!
කෙසේ වෙතත් තවමත් මේ සියල්ල තිබෙන්නේ සාකච්ඡා මට්ටමේය. තවමත් ආණ්ඩුව අයි.එම්.එෆ්. මගින් ලබාදී ඇති කොන්දේසිවලින් ඉටුකොට ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි.
ආරම්භයේදී සිටම මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ අවධානයෙන් සිටින ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පෙන්වා දෙන්නේ ඉකුත් සැප්තැම්බර් මාසයේ එහි ප්‍රතිශතය සියයට 27ක් වැනි ඉතා අවම මට්ටමක පැවැති බවය.
හා කිව්වට කළේ නෑ!
අනෙක් අතට මූල්‍ය අරමුදල මගින් ණය ලබාදීමේදී ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. නමුත් තවමත් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ණය හිමියන් වූ චීනය, ඉන්දියාව, ජපානය, පැරිස් සමාජය, මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ. ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයේදී අයි.එම්.එෆ්.හි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වූ ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා මහත්මිය මුණගැසී සිය චීන සංචාරයට ප්‍රථම පැරිස් සමාජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ ස්ථාවරය තමන්ට ලබාගැනීමට මැදිහත් වන ලෙස ආයාචනා කොට තිබූ බවක් මීට පෙර අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු. එහිදී ඇය ‘හා’ කියා එම ඉල්ලීම පිළිගත්තද ඉන් එපිට කිසිවක් සිදුකොට නොතිබූ බවද පසුව අපි මෙම තීරය ඔස්සේ වාර්තා කිරිමට පියවර ගත්තෙමු. ඒ අනුව ජනාධිපතිවරයාට චීන සංචාරයට එක්වීමට සිදුවූයේ පැරිස් සමාජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ නොමැතිව හිස් අතින්ය.
බෲවර් දන්නෙත් නෑ!
පසුගිය සතියේදී අප මෙම තීරය ඔස්සේ මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් වූ තවත් විශේෂ තීන්දුවක් සටහන් කොට තැබුවෙමු. ඒ, මොරොක්කෝවේ පැවැති මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසිවාරයට සහභාගි වී සිටියදී සිදුවූ සිද්ධියක් පිළිබඳවය. එහිදී චීනය යම් ගේමක් ගසමින් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට එකඟ බවට නිවේදනයක් පළකොට තිබූ ආකාරයත්, ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මූල්‍ය අරමුදලේ ලංකාවේ මෙහෙයුම් භාර ප්‍රධානියා වූ පීටර් බෲවර් මහතා තමන්ට ඒ පිළිබඳ කිසිවකු දැනුම් දී නොමැති බවට කළ ප්‍රකාශයත් අපි එහිදී වාර්තා කර සිටියෙමු. ඒ අනුව චීනය හා මූල්‍ය අරමුදල අතර ලංකාව සම්බන්ධයෙන් යම් මතගැටුමක් පවතින ආකාරයත් අප එහිදී පෙන්වා දුන්නෙමු.
කෝ හම්බවුණාද?
මේ පසුබිම යටතේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය දෙසටය. බොහෝ දෙනා සිතා සිටියේ මෙවර සංචාරයේදී චීනයෙන් ආණ්ඩුවට විශාල මුදල් ප්‍රමාණයක් ණය හා ආධාර වශයෙන් ලබාදෙනු ඇතැයි කියාය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී විශාල සහනයක් චීනයෙන් ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. නමුත් අපට කීමට අත්තේ සහ අපට චීනයෙන් ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ චීනය තවමත් එවැනි කිසිදු ආකාරයේ වචනයක් ලබාදී නොමැති බවකි.
අපි නම් කලින්ම කිව්වා!
මෙය අප මෙම තීරය ඔස්සේ වාර්තා කළේ මීට මාසයකට පමණ පෙරාතුව සිටය. එහිදී වරින් වර අප අනාවරණ කරමින් කියා සිටියේ චීනයෙන් අපට ලැබෙන තොරතුරුවලට අනුව මෙවර කිසිදු ඇඟට දැනෙන සහනයක් චීනයෙන් නොලැබෙනු ඇති බවය. විශේෂයෙන්ම චීනය ඉකුත් කොරෝනා සමයේ සිට ලංකාවට ණය ගෙවීමට සහනයක් ලබාදෙමින් වසර දෙකක් දක්වා සහන කාලයක් ලබාදී ඇති බවත්, එම කාලය ලබන අප්‍රේල් 24 වැනිදායින් අවසන් වන බවත්, එතෙක් චීනය ලංකාවේ ණය තත්ත්වය සම්බන්ධයෙන් හෝ අලුත් ණය ලබාදීම සම්බන්ධයෙන් තීන්දු තීරණ නොගන්නා බවත් අපි වාර්තා කර සිටියෙමු. ඒ අනුව මෙවර චීන සංචාරයේදී ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයේ විශාල මුදලක් නොලැබෙනු ඇති බව අපි කල් තියාම වාර්තා කළෙමු.
නැවත් අවුලක්!
අනෙක් අතට චීන පර්යේෂණ නෞකාවක් වූ යුවාන් වැන්ග් 6 නෞකාවට ලංකාවට පැමිණීමට මුලින් අවසර ලබාදී පසුව එල්ල වූ බාහිර විරෝධතා හේතුවෙන් නැවේ ගමන කල් දමන ලෙසට ඉල්ලීම සම්බන්ධයෙන් චීන බලධාරීන් පසුවූයේ යම් අප්‍රසාදයකිනි. මෙම නැව ලංකාවට ඇතුළු වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 28 වැනිදාය. මුලින් ඒ සඳහා ලංකාවේ යම් යම් ආයතන විසින් අනුමැතිය ලබාදී තිබුණද පසුව ආණ්ඩුව ඉල්ලා සිටියේ නැවේ ලංකා ගමන නොවැම්බර් දක්වා කල්දමන ලෙසටය. එහි යටි අරමුණ වී තිබුණේ එම කාලසීමාවේ මුහුද රළු වන බැවින් නැවේ ගමනට තවත් කල් ගැනීම බව වටහා ගැනීම චීන බලධාරීන්ට අපහසු වී තිබුණේ නැත. ඒ අනුව නැව මුල් කරගෙනද චීන බලධාරීන් සිටියේ යම් අප්‍රසාදයකින් යුතුවය. ඒ අනුවද අප කියා සිටියේ ආණ්ඩුව සිතා සිටින ආකාරයේ විශාල සහනයක් චීන ගමනේදී නොලැබෙනු ඇති බවත්, දැවැන්ත ගිවිසුම්වලට එළැඹීමේ ඉඩකඩ ඉතා අවම බවත්, සුළු පරිමාණයේ උපකාර පමණක් ලැබෙනු ඇති බවත්ය.
තවම වචනයක් නෑ!
ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙවර ජනාධිපතිවරයා සහභගි වූ ‘එක් තීරයක් – එක් මාවතක්’ යනුවෙන් නම්කර තිබූ චීන සමුළුවේදී චීනය සමග එකට කෙළින් සිටගත් රවටලට චීනය විශාල වශයෙන් ආධාර ලබාදීමට පියවර ගෙන ඇති බවය. විශාල වශයෙන් ණය කපාහැරීම් සිදුකිරීමට කටයුතු කොට ඇති බවය. එසේ කෙළින් සිටනොගෙන එහෙටත් නැති, මෙහෙටත් නැති වැනෙන ස්ථාවරයක සිටි රටවලට පොඩි කන් හැන්දකින් බෙදීමට පියවර ගෙන ඇති බවය. මෙම තොරතරු ලියන අවස්ථාව වන විට ජනාධිපතිවරයා චීන මුදල් ඇමැති, චීන උප ජනාධිපති සහ චීනයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට කටයුතු කොට තිබුණද තවමත් ලංකාවට විශාල ආධාර මුදලක් අනුමත කළ බවක් වාර්තා වී නොතිබිණි.
IMF සජිත් පස්සේ!
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයකුගෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකුට විශේෂ දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ, වෙන කාටවත් නොව සජබයේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන කථිකයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටය. මූල්‍ය අරමුදලෙන් හර්ෂට කතාකොට දැනුම් දී සිටියේ එහි ප්‍රධානීන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කතා කිරීමට අවශ්‍යව ඇතැයි කියාය. ඒ අනුව හර්ෂ මේ බව වහාම සජිත්ට දැනුම් දී සජිත් හා මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් සූදානම් කළේය. මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සජිත්ගෙන් විමසා තිබුණේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් සහ එහි කටයුතුවල විනිවිදභාවය පිළිබඳවය.
තව වැඩ තියෙනවා!
මෙ අතර බ්‍රහස්පතින්දා සවස් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කණ්ඩායම තීන්දු කොට තිබුණේ දෙවැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල ගිවිසුමකට එළඹීමටය. එසේ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළැඹුණද ලංකාවට දෙවැනි වාරිකය ලබාදීමට නම් එම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ කමිටුවෙන් සහ විධායක සභාවෙන් එම යෝජනවා අනුමත විය යුතුය. එමෙන්ම අපට දැනගන්නට ඇත්තේ මෙවර මූල්‍ය අරමුදල ණය වාරිකය ලබා දීමට කාර්ය මණ්ඩල එකගතාවට පැමිණ ඇත්තේ තවත් මාස 6කින් පැමිණෙන දෙවන සමාලෝචනයට පෙර සියලු කොන්දේසි ඉටු කළ යුතු කොන්දේසිය යටතේය. එමෙන්ම මෙවර අයවැය පරතරය අවම කරගන්නා කොන්දේසිය යටතේය.