සජිත් ප්‍රේමදාස පහුගිය අඟහරුවාදා කොළඹට සෙනඟ අරන් ආවේය. ඒ විතරක් නොව, සජිත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියටම ඇවිත් උද්ඝෝෂණ කරන්නත් පියවර ගත්තේය.
මේ කොළඹට සෙනඟ අරන් එන සෙල්ලම ලංකාවේ දේශපාලනයට අලුත් දෙයක් නොවේ. මේ වගේ කොළඹට සෙනඟ ගෙන ආ අවස්ථා බොහොමයක් ලංකා ඉතිහාසයේ ඇත. නමුත් එහෙම කොළඹට සෙනඟ ගෙනාවාට ඊළඟ ඡන්දයෙන් ආණ්ඩු බලය අල්ලන්න පුළුවන් කියා සහතිකයක් කවුරුවත් දී නැත. ඉතිහාසයේ එහෙම වෙලාවත් නැත.
මේ කොළඹට සෙනග අරන් එන සෙල්ලම ඒ ඒ පක්ෂවලට දෙන ඉන්ජෙක්ෂන් එකක් වුණාට ඡන්දයක් තිබ්බාම රටේ ජනතාව හැසිරෙන්නේ වෙනස් ආකාරයකටය. ඇත්තම කතාව නම් මෙහෙම දේශපාලන පක්ෂත් එක්ක මිනිස්සු කොළඹට එනවා නොව, කොළඹට අරන් එනවාය. ඒ එන්නෙත් ඒ ඒ පක්ෂවල ඉන්න උණ තියෙන පාක්ෂිකයන්ය. ඔවුන් කොළඹට ගෙන ඒමට බස් යොදවා තිබේ. ඒවාට වියදම් කරන්නේ ඒ පක්ෂය. හැබැයි ඒ එන සෙනඟින් රටේ ජනමතය කිසිසේත්ම මනින්න බැරිය.
හොඳම උදාහරණය පසුගිය ජනාධිපතිවරණයට කලින් සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම සඳහා ගෝල්ෆේස් පිටියට අරන් ආ මහා සෙනඟ කන්දරාවය. නමුත් ඒ ජනාධිපතිවරණයෙන් සජිතුත් එක්සත් ජාතික පක්ෂයත් අන්ත පරාජයකට පත්විය. පාක්ෂිකයෝ කොළඹට අරන් ආවා කියා රටේ ජනමතය වෙනස් කරන්න බැරි බව මේකෙන් හොඳටම පැහැදිලිය.
එහෙම ජනමතය වෙනස් කරන්න පුළුවන් වන්නේ වෙන මොකකටවත් නොව, ඡන්ද මැෂිමකට විතරය.
ඒ වගේ ජනමතය වෙනස් කරන්න පුළුවන් ඡන්ද මැෂිමක් මුලින්ම තිබ්බේ ප්‍රේමදාසටය. ඒ ඡන්ද මැෂිමේ නියමුවා සිරිසේන කුරේය. රටේ ප්‍රේමදාසට විරුද්ධව ලොකු ජනමතයක් තිබුණත්, 88 ජනාධිපතිවරණයේදී කුරේ, ප්‍රේමදාසව දිනවලා පෙන්නුවේය. ඒ, කුරේගේ ඡන්ද මැෂිමෙන්ය.
ඊළඟට ඒ වගේ ඡන්ද මැෂිමක් තිබ්බේ එස්.බී. දිසානායකටය. ඒ ඡන්ද මැෂිම එස්.බී. දිවෙව්වේ චන්ද්‍රිකාව දිනවන්නටය. ඒ කාලේ විපක්ෂයේ හිටපු එජාපය චන්ද්‍රිකාට විරුද්ධව අවස්ථා කිහිපයකදීම කොළඹට දැවැන්ත සෙනඟ කන්දරාවක් අරගෙන ආවත් එස්.බී. තම ඡන්ද මැෂිම උපයෝගී කරගෙන චන්ද්‍රිකා තිබ්බ සෑම ඡන්දයක්ම චන්ද්‍රිකාට දිනවා දුන්නේය. ඒ වෙලාවේ තිබ්බ සෑම ජනමත විමසුම් ප්‍රතිඵලයකින්ම පවා කියැවුණේ එජාපය දිනනවා යැයි කියාය. හැබැයි එස්.බී.ගේ ඡන්ද මැෂිම ඒ සියලු ජනමත විමසුම් ප්‍රතිඵල කුඩුපට්ටම් කර දැම්මේය. අන්තිමේදී එස්.බී.ම චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට බැස ඒ ඡන්ද මැෂිම දුවවපු ආකාරය ගැන රටටම කියා සිටියේය.
එස්.බී.ගෙන් පසු ආ අලුත්ම ඡන්ද මැෂිම වූයේ බැසිල්ය. බැසිල් තමන්ගේ ඡන්ද මැෂිම යොදවා මහින්ද යටතේ තිබ්බ සෑම පළාත් සභා ඡන්දයක්ම, පළාත් පාලන මැතිවරණයක්ම, මහ මැතිවරණයක්ම ජයග්‍රහණය කර පෙන්නුවේය.
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු 2018 දක්වා බැසිල් කළේ මේ ඡන්ද මැෂිම ඉතා සූක්ෂ්ම ආකාරයෙන් අලුත් කෑලි යොදා ප්‍රතිනිර්මාණය කරපු එකය. බැසිල්ගේ මේ ඡන්ද මැෂිම කොච්චර තියුණු එකක්ද කියනවා නම් මැතිවරණයකින් දිනන ආසන ගණන සහ ලබාගන්නා ප්‍රතිශතය පවා ටක්කෙටම කීමට හැකියාව තිබිණි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු බැසිල්ගේ ඡන්ද මැෂිම කළ පුරෝකථනයන් සහ ප්‍රතිඵල හරියටම සමපාත වී තිබීම විශේෂ සිදුවීමක් විය.
2018 සිට මේ දක්වා ආණ්ඩුව දිව්වේ බැසිල්ගේ මේ ඡන්ද මැෂිමෙන්ය. ඒ ඡන්ද මැෂිමෙන් බැසිල් ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ආණ්ඩුවක් පුංචි ඡන්දයේදී පරාජයට පත්කර දැමුවේය. විපක්ෂයේ සිට ජනාධිපතිවරයෙක් බිහිකර පෙන්නුවේය. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කවදාවත් ගන්න බෑ කී තුනෙන් දෙකක ඡන්ද බලයක් අරගෙන පෙන්නුවේය.
ඒ වගේම දැන් තියෙන්නේ ආණ්ඩුව විසින් පත් කළ මැතිවරණ කොමසාරිස්වරයෙක්ය. මැතිවරණ කොමිසමේ සිටින්නේද ආණ්ඩුවේ සාමාජිකයන්ය. ඒ නිසා විපක්ෂය කොළඹට සෙනඟ ගෙනාවා කියා බැසිල්ගේ මේ ඡන්ද මැෂිමත් එක්ක හැප්පෙන එක ලේසි නැත.
‘අපි දැන් පුංචි ඡන්දයට ලෑස්ති වෙන්න ඕනෙ..’
බැසිල් පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ බව දැනුම් දුන් බවක් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඒ කියන්නේ තවමත් බැසිල්ට තමන්ගේ ඡන්ද මැෂිම ගැන විශ්වාසයක් තියෙනවා කියන එකය.
‘ඒ කියන්නේ කොළඹට සෙනඟ ගෙනල්ලා ආණ්ඩුවට තරු පෙන්නන්න ගිය කට්ටියට බැසිල් තරු පෙන්නන්නද හදන්නේ?’
පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් බැසිල් රටටම පෙන්නන්න යන්නේ ඒකය.
විමලසිරි ජයලත්