හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන මස (මැයි) 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29දා) නියම කළේය.Sri Lanka Latest News
නෙදර්ලන්ත රජය විසින් ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවද ෆවුසි මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළ අතර ඒ පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කෙරිණ.