යුගදනවි ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම තුළ තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා වරදක් සිදුකර නොමැති බැවින් අමාත්‍ය ධුරවලින් ඉවත් නොවන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙකු සිය අමාත්‍යධුරවලින් ඉවත් වී අධිකරණයේ කරුණු දැක්වීම වඩාත් සුදුසු බවට ඊයේ (27) ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ජනාධිපතිවරයා හා පුවත්පත් කතුවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාව අද (28) පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණි.
එම වාර්තාවලට අනුව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සිටිමින් යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බව ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සාමූහික වගකීමක් තුළ කැබිනට් මණ්ඩලය තුළ ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බවය.
කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක්ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
කෙසේවෙතත් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට තමාගේ අදහසක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්විය.
“නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබවින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡාව සිදුනොවුන බවත්, විදිමත්ව අනුමත කිරීමක් සිදුනොවුන බවත් පරම සත්‍යයක්. ඒ සත්‍යය රටටත් උසාවියටත් කියන්න අපි තීරණය කළා. අපි ඒ කළ දේ රට රැකගැනීම වෙනුවෙන් කළ දෙයක්, හෘද සාක්ෂියට එකඟව කළ දෙයක්. අපි විශ්වාස කරන්නේ නෑ අපි වරදක් කළා කියලා. අපි වරදක් කරලා නැතිනම් අපි අස්විය යුතු නෑ. අපි අස්වෙනවා කියන්නේ, අපි වරදක් කළාය කියලා අපි පිළිගත්තා වීමයි. අපි ගත්ත තීරණය වැරදි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ඕනෑම මොහොතක අපිව අස්කරන්න පුළුවන්. ඒ බව දනිමි. ඒ අවදානම ගනිමින් රටටත් උසාවියටත් ඇත්ත කියන්න අපි තීරණය කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් ගාමිණී දිසානායක ඇතුළු අන් අය නඩු තීන්දුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණොත් අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් පිටත දී අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා කියලා. අපි මේ අවස්ථාවේදී භාවිත කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ දේ ශුද්ධ වු අයිතියයි.”