සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ඇතැයි, ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මහජන එක්සත් පෙරමුණේ සීතාවක බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.
රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ සහතිකයක් ලබාදිය යුතු බව, ම.එ.පෙ. මතය සහ අදහස බවත්, එය රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවත්, ඔහු අවධාරණය කළේය.
එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා, හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බවත්, ම.එ.පෙ. නායකයා කියා සිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි ම.එ.පෙ. බලාපොරොත්තු වන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට ම.එ.පෙ.කැපවී ඇති බවද අවධාරණය කළේය. ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන්, ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි, ම.එ.පෙ. අපේක්ෂාව බවද, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
කෝවිඩ් අර්බුදය පැමිණි අවස්ථාවේ, කිසිදු විදේශ රටක් ප්‍රතික්ෂේප නොකර ජනාධිපතිතුමා, ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ අතීතය අමතක නොකර යළි සිහිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මුදල් ඇමතිවරයා අය වැය තුළින් ඉදිරිපත් කළ දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද ඔහු කීය.
පාසල් හමාර කළ රැකියා නොමැති තරුණ පිරිස ප්‍රායෝගික වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු කිරීමද 2022 ඇති අභියෝගයක් බව පැවසූ ඔහු, ඒ සඳහා පොතේගුරුවාදයෙන් බැහැරව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතු බවද කියා සිටියේය. මේ තරුණ තරුණියන් රටේ අනාගතය වන නිසා ඔවුන් බලවත් කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද අවධාරණය කළේය. මීට ප්‍රාදේශීය සභා පවා සහභාගී කරගත යුතු බවද ම.එ.පෙ. නායකයා කීය. ග්‍රාමීය ඉල්ලුම සපුරාලීමට ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළට නිෂ්පාදනය වැඩිකර, පශ්චාත් කොවිඩ් ආර්ථිකය ගොඩනැගීමට, පොතේගුරුවාදයෙන් තොරව ප්‍රායෝගිකව වැඩ කළ යුතු බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය ඉරිදා (2021.12.26) සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල උත්සව ශාලාවේදී පැවති, ම.එ.පෙ. සීතාවක බල මණ්ඩල සභාවාරයට ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම.යදාමිණි ගුණවර්ධන, බල මණ්ඩල සභාපති සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රොහණ යන මහත්තුරුද සහභාගි වූහ.
එමෙන්ම, හිටපු පළාත් සභා මන්ත්‍රී ලයනල් කාරියවසම් මහතා, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමන්ත ගමගේ ( බල මණ්ඩලයේ ලේකම්), නන්ද කුමාර, චින්තක දේවේන්ද්‍ර, එස් ඒ ප්‍රේමරත්න මෙන්ම සීතාවක නාගරික මන්ත්‍රී සිසිර ජයසිංහ යන මහත්තුරුද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වැලිකල මහතාද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි රන්ජනි ඉද්දගොඩ මහත්මියද මීට එක්ව සිටියහ.