පැරණි ගතානුගතික අගතීන්වලින් නිදහස්ව නව ප්‍රගතිශීලී සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ආණ්ඩුව පිහිටුවා තිබෙන බවත්, සමාජ ප්‍රගමනය සඳහා තබන පියවර ඉදිරියට ගෙන යනවා මිස ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරීපත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් සමග අරලියගහ මන්දිරයේදී පසුගිය 25 වැනිදා පෙරවරුවේ පැවැති හමුවේදීය.
මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියකුට කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙසද මෙහිදී නවක මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පුරවැසියාගෙන් නිරන්තරයෙන් ඉගෙනගත යුතු දේ ඉගෙන ගනිමින් මහජන සේවය සැලසීමට කටයුතු කරන ලෙසද නව මන්ත්‍රීවරුන්ට පැවසීය.
අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන පිරිසට පළාත් පාලන දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ 3,926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට භාරගන්නා නායකයෙක් බිහිවිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළත් කළයුතු බවත්, නව දැනුම, නව තාක්ෂණය හා නව අත්දැකීම් එකතු කිරීමෙන් රටත්, සමාජයත් වේගයෙන් ඉදිරියට ගෙන යාහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඓතිහාසික කතාවක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේද පැවැසීය.
‘අපි පසුගිය කාලයේ විශාල වෙහෙසකර ව්‍යායාමයක නිරත වුණා. මෑත ඉතිහාසය දෙස බැලීමේදී 2019 ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. අපේ දේශපාලන ව්‍යාපාරය මැතිවරණ පෙරමුණේ විශාල පසුබෑමකට ලක්වූ සංඥාවන් පෙන්නුවා. අපි 3%ක ප්‍රතිශතයක් දක්වා පසුබෑමට ලක්ව සිටියා. අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඊට කිට්ටු ඡන්ද ප්‍රතිශතයක් හා මන්ත්‍රිවරු තුන්දෙනෙකුගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළා. අනතුරුව අපි ජනාධිපතිරණය ජයග්‍රහණ කළා. එහිදී අපි ජනාධිපතිවරයා ඇතුළු තුන් දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක් හැදුවා.
එම කාලය අතරතුර අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස විශාල අපහාස හා අවලාදවලට ලක්වුණා. විටක අපට අපේ සමීපතම මිතුරන් කතා කරලා කිව්වා ජනතාවට අවශ්‍යතාවයක් නැත්නම් ඔයගොල්ලෝ ඇයි මහන්සි වෙන්නේ, පැත්තකට වෙන්න කියලා. අපේ ගමේ සාමාජිකයන්, ජාතික ජන බලවේගයේ කොඩිය ඔසවාගෙන ගමේ පෙනී සිටින කෙනා ගම තුළ කොන් වුණා. ඇතැම් විටෙක එකිනෙකාගේ ඇනුම් පදවලට, හාස්‍යයට ලක්කිරීම වැනි දේට අපි මුහුණ දුන්නා.’
ජනතාව කෙරෙහි පවතින අසීමිත ප්‍රේමය..
‘නමුත් ජාතික ජන බලවේගය ලෙස අපිත්, මෙහි රැස්වී සිටින ඔබත් මින් පරිබාහිරව අපේ ව්‍යාපාරයේ විශාල බරක් අදින සැලකිය යුත් පිරිසක් අපි ජයග්‍රහණය කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කළා. ඒ අනුව අපි ජයග්‍රහණය කළා. හැබැයි 2019 පසුව ගතවූ වසර පහකට, හයකට පසු කාලය තුළ මෙවැනි පරිවර්තනයක් අත්පත් කරගැනීමට හැකියාව ලැබුණේ 2019ට පෙර අපි ඉතිහාසයේ එක් කරගෙන තිබූ ධෛර්යය, විශ්වාසය සහ ජනතාව කෙරෙහි පවතින අසීමිත ප්‍රේමය හා මේ මාතෘ භූමිය කෙරෙහි තිබෙන අකලංක බැඳීම නිසයි. මේ මත තමයි අපිට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ.
අනතුරුව පළාත් පාලන මැතිවරණයේදී ලංකාවේ වැඩිම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ දේශපාලන ව්‍යාපාරය බවට පත්වීමට අපිට හැකි වුණා. ඒ වගේම විශාල මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන නියෝජනය කිරීමට සමත් වුණා. පළාත් පාලන ආයතන 152ක් අපිට මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තිබෙන්නේ අපටයි. නමුත් සුන්බුන් එකතු වූ විට අපි දෙක තුනට පිටුපසින් සිටිනවා. ඒ 115වම අපි සභා පිහිටුවනවා. ප්‍රජාතන්ත්‍රවාදය එයයි. ප්‍රාදේශීය සභාව තුළ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ මේ සඳහායි. කොතැනවත් මේ සුන්බුන් එකතු කර සභාවක් පිහිටුවීමට ජන වරමක් ලැබී නැහැ. ඒ නිසා ජන වරමේ බලය තිබෙන්නේ අපි ළඟයි. ලංකා ඉතිහාසයේ ප්‍රගිතිශීලී, ප්‍රගතිගාමී ජනතාවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවා තිබෙන්නේ. ඔවුන් ප්‍රගතිශීලී සහ ඉදිරිගාමී ජනතාවක්. ඔවුන් ඉදිරිගාමී වී තිබෙන්නේ ජාතිවාදයේ මහා ගෝරනාඩුවට එරෙහිවයි. මොවුන් ජාතික සමගියේ එකතුවීම අපේක්ෂා කරන ලද ජනතාවක්. පසුගිය දශක ගණනාවක් පුරා මෙරට ආණ්ඩු පිහිටුවීම, ආණ්ඩු පෙරළීම පිටුපස සොයා බැලුවොත් සෑම විටම අඩු වැඩි ප්‍රමාණයෙන් ජාතිවාදය සහ ආගමික අන්තවාද උපයෝගී වී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපිට එරෙහිව ඉදිරිපත් කළ සටන් පාඨ දෙස බැලුවොත් ඒ සියල්ල තුළ ගැබ්වී තිබුණේ නැවත ජනතාව ජාතිවාදී ග්‍රහණයකට කොටුකර ගැනීමේ ප්‍රයත්නයයි. ඒ අනුව අපිට ඡන්දය ලබාදුන් ජනතාව ප්‍රගතිශීලී, ප්‍රගතිගාමී ජනතාවක්. නායකයන් උඩට ඔසවා, මහරජාණන් යැයි සිහසුනේ වාඩි කරවා වන්දනාමාන කරන පොදු ජනතාවට වඩා ඉහළින් සිටින දේශපාලන කණ්ඩායමක් අතේ බලය තිබුණා. හැම විටම ජනතාවට ඉහළින් සිටින නායකයන් බිහි කිරීම තුළින් දේශපාලන බලය ආරක්ෂා කරගත්තා. ජනතාව එය ප්‍රතික්ෂේප කර ජනතාව සමග එකට ගැටෙන, උරින් උර ගැටී වැඩ කරන නව දේශපාලන නායකත්වයක් වෙනුවෙන් පෙරට පැමිණ අපිට ඡන්දය ලබාදුන්නා. එය අලුත් තත්ත්වයක්.’
ධනය සහ ධනය විසින් ඇති කරන ලද බලය..
‘එපමණක් නොවෙයි ධනය සහ ධනය විසින් ඇති කරන ලද බලය අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන සුක්කානම බවට පත්වුණා. අපි ධනවත් හෝ ධනය විසින් ආරෝපණය කරන ලද බලයක් සහිත මිනිසුන් නොවෙයි. ධනය, බලය විසින් නිර්මාණය කරන ලද දේශපාලනය වෙනුවට අලුත් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ජනතාව අපිව තෝරා පත්කර ගත්තා. ඒ වගේම පුද්ගලික නිදහස, විවේචනය කිරීමේ අයිතිය, යමක් පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය සහිත විචාරශීලී සමාජයක අවශ්‍යතාව මෙම ජනවරම තුළ ගැබ්වී තිබෙනවා.
සමානාත්මතාවය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාවට ගලාගෙන යාම ආදී ඉතා ප්‍රගතිශීලී වුවමනාවෙන්ගෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අපිව තෝරාගත්තා. එසේ නොමැතිව පැරණි දේ නැවත නැවත සිදුවීමට නම් අපිව තෝරගන්නේ නැහැ. ඊට අවශ්‍ය සුදුසුකම් සුපරන බොහෝ අය සිටියා.
ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීම තුළින් අපේ රටේ සමාජය සහ දේශපාලනය නව පියවරකට ඔසවා තබා තිබෙනවා. මෙය සමාජ ප්‍රගමනයේ පියවරක්. ලෝකය ඉදිරියට පැමිණ තිබෙන්නේ සමාජය ප්‍රගතිගාමී ලෙස ප්‍රගමනයට භාජනය වීමෙනුයි. අලුත් තලයකට, බලාපොරොත්තු සහ අපේක්ෂාවන් වෙත සමාජය ගෙන යාම තුළින් තමයි සමාජ සංවර්ධනය ඇති වන්නේ. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව යනු සමාජය අලුත් අදියරකට ඔසවා තැබීමේ අවස්ථාවක්. පැරණි ගතානුගතික අගතීන්වලින් නිදහස්ව නව ප්‍රගතිශීලී සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් අපේ ආණ්ඩුව පිහිටුවා තිබෙනවා. එසේනම් සමාජ ප්‍රගමනය සඳහා තබන ලද මෙම පියවර ඉදිරියට ගෙන යනවා හැරුණු විට ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි මේ රටේ ජනතාවට සහතික වෙනවා.
මේ තබා තිබෙන දියුණු පියවර ආපසු හරවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසයි අපි සෑමවිටම කියන්නේ ඔබ ආණ්ඩුවක් ගන්නවා නම් අපිට වඩා හොඳ වෙන්න කියලා. සමාජයක් රටක් ලෙස මේ තබා තිබෙන දියුණු පියවර ආපසු හරවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට විරුද්ධව දේශපාලන කඳවුරක් නැහැ. සුන්බුන් ගොඩක් පමණයි තිබෙන්නේ, මතවාදයක් සහ සමාජයේ ඉදිරි දැක්මක් සහිත කිසිවෙක් නැහැ. ඉතාමත් අපරිණත ළදරු දේශපාලනයක් එළියේ තිබෙන්නේ. එක් අයෙකුට මම අභියෝගයක් කරනවා ජනාධිපති වෙන්න නොවෙයි, මාස හයක් ඇතුළත පාර්ලිමේන්තුවට පැමිණ පෙන්වන්න කියලා. පාර්ලිමේන්තුවට එන්න විදිහක් නැහැ. හැබැයි රටේ නායකයා වෙනවලු. අප අභිමුඛව තිබෙන්නේ දේශපාලන කඳවුරක් නොවෙයි, සමාජයක් ලෙස අප අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ආපසු හැරවීම සඳහා වූ අගතීන්වල එකතුවක්. ජාතික සමගිය වෙනුවට ජාතිවාදී අගතීන්වල එකතුවක්. ජනතාව සමග එකට ගැටගැසී තිබෙන දේශපාලනයක් වෙනුවට ජනතාවට උඩින් ඉන්න මාන්නක්කාර දේශපාලනයක්. එසේනම් කිසිවිටෙක ඒ අගතීන්වල අඬහැරයට ඔබ සැලෙන්න එපා. අපි නියෝජනය කරන්නේ එතැනින් ඔබ්බට යන නව සාමජයක අපේක්ෂාවයි. ඒ නිසා කුඩා කුඩා අගතීන්ට හැරවිය නොහැකි දේශපාලන ව්‍යාපාරයක් ලෙස එම අගතීන් ඉදිරියේ සැලිය යුතු නැහැ. අපි ඝෝෂාවට කලබල වියයුතු නැහැ. ඔබ මන්ත්‍රීවරු ලෙස ගමට නායකත්වය ලබා දෙනවා. ඔබ සෘජුව ඒ සඳහා පෙනීසිටිය යුතුයි.
මේ අගතීන් ඉදිරියේ නොසැලී, ජාතිවාදයට, ගෝත්‍රිකවාදයට හෝ ප්‍රචණ්ඩකාර දේශපාලනයකට හෝ ජනතාවට උඩින් සිටින දේශපාලනයකට, මහජන ධනයෙන් විරාජමානව වැජඹෙන දේශපානලයකට යළි ඉඩ නොතබා අපි ඉතා ශක්තිමත්ව සිටිය යුතුයි. මේ රට ඉදිරියට ගෙන යන ඉදිරිගාමී බලවේග අපේ ආණ්ඩුවයි.
ඒ වගේම මහජන නියෝජිතයා පිළිබඳ නව අර්ථකථනයක් මේ සමාජයට අවශ්‍යයි. බොහෝ දුරට අපේ රටේ පුරවැසියන් මහජන නියෝජතයන් හඳුනා ගන්නා සමීපතම කැඩපත පළාත් පාලන මන්ත්‍රීවරයායි. ඔබ තුළින් තමයි ගමේ පුරවැසියාට ජාතික ජනබලවේගය ආණ්ඩුව පිළිබඳව පළමු මතය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබට පැවරී ඇති කාර්යභාරය විශාලයි. ඔබ වංචාවෙන් දුෂණයෙන් තොර විය යුතුයි. අපි ගමට අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රමිතියක් හඳුන්වාදිය යුතුයි.
ගමේ පුරවැසියාට දේශපාලනඥයා පිළිබඳ ප්‍රථම චිත්‍රය දූෂණ දේශපාලනයක් කියා හඳුන්වා දුන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායි. මෙම දූෂිත දේශපාලන කඳවුරු ඉබේ බිහිවුණේ නැහැ. උඩ සිටින අයගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොවුන් අවශ්‍ය වුණා. එම අවශ්‍යතාවය නිසාම දූෂණයට දිරි දුන්නා. ඒ නිසා ග්‍රාමීය දූෂණය එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ මෙවලමක් වුණා. ඒ වගේම ගමේ ජනතාව බියට පත්කරන චණ්ඩි නිර්මාණය වුණේ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවලින්. ඔවුන් ගමේ ජනතාව බියට පත්කරමින්, දේශපාලන ව්‍යාපාරයකට නිදහසේ වැඩකරන්න ඉඩ නොදී ගමේ විනාශකාරී බල අධිකාරිය පැවතියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ සභාපතිවරයා අතෙයි. එයට උඩ සිටින දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ලැබුණා. ඒ අයුරින් එදා සිටි නායකයන්ගේ යටත් කරගැනීමේ මානසිකත්වය වෙනුවෙන් උපයෝගී කර ගත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුයි. ඒ නිසා අපි ගමට අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රමිතියක් හඳුන්වාදිය යුතුයි.
අද අපේ රටේ ගමේ දේශපාලනයේ ප්‍රමිතිය වන්නේ වැඩි බලය සහ චණ්ඩිකමයි. ඒ වගේම වැඩි ධනය වෙනුවෙන් හොරකමයි. ඒ වෙනුවට අපි ගම තුළ නව දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. සැබෑ මහජන නියෝජිතයා යනු කවරෙක්ද, මහජනයාගේ ධනය සතයක් සොරකම් නොකරන, මහජනයාට අදාළ නීතියට යටත්වන, ඇතැම්විට පොදු පුරවැසියාටත් වඩා වැඩියෙන් ආදර්ශයක් තමන්ගේ ගමට ගෙනත් දෙන පුද්ගලයෙක් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත්විය යුතුයි. අපිට අවශ්‍යයි අපේ රටට නව දේශපාලන ප්‍රමිතියක්. එම දේශපාලන ප්‍රමිතිය ගම තුළට හඳුන්වාදිය යුතුයි.
අපි අද උඩින් ආරම්භ කර තිබෙන නව දේශපාලනඥයා පිළිබඳ අදහස බිම් මට්ටමට ගෙන ගොස් නව දේශපාලනය ධාරාව බවට පත් කරමින් රට තුළ ස්ථාපිත කළ යුතුයි. මෙම නව ප්‍රමිතීන් අපේ රටේ දේශපාලනයට හඳුන්වාදීමට සහ ගම තුළ ස්ථාපිත කිරීමට ඒ තුළම පැරණි අගතිගාමී එකතුව පරාජය වෙනවා. ඒ නිසා නව ප්‍රමිතීන් සහ නව අගයන් අපි සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. එම අගයන් නියෝජනය කළ හැකි වන්නේත්, ඒ සඳහා පෙනී සිටිය හැකි වන්නේත්, ඊට ආදර්ශයක් සැපයිය හැකි වන්නේත් අපට පමණයි කියා අප තහවුරු කළ යුතුයි.’
අප ඊට වඩා වෙන තැනකට යන්න ඕනේ…
මේ පළාත් පාලන ආයතන මොනවාද? එය ඔවුන්ට අනුව තමන්ගේ ගජමිතුරන්, තමන්ගේ ඥාතීන් ඉදිරි දේශපාලන පියවර විවෘත කරන එක. එහෙම නැතුව නව නායකයන්, නව හැකියාව සහිත කණ්ඩායම්, ප්‍රාදේශීය දේශපාලනයේදී හඳුනාගෙන ඔවුන්ට උඩට යාමට අවස්ථාව ලබාදෙමින් අපේ රටේ අනාගතය නව නායකත්වයකට භාරදීම සඳහා ගොඩනැගුණු තැන් නෙවෙයි. පළාත් පාලන ආයතනය වැදගත් වෙන්නේ අලුත්ම දේශපාලන ක්‍රියාකාරිකයන්, නව අදහස් තිබෙන, නව වුවමනාවන් තිබෙන, ප්‍රගතිශීලීත්වය නියෝජනය කරන, අලුත් තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයාට පැරණි දේශපාලනයේ කිසිදු ඉඩක් නෑ. ආසන සංවිධායකට අනුගත සාමාජිකයෙක් ඉන්නව නම් පළාත් පාලන ආයතනයේ ඔහුට තමයි තැන දෙන්නේ. එහිදී ආසන සංවිධායකවරයාගේ බලයට තර්ජනයක් නොවන නායකයකුට තමයි අවස්ථාව හිමිවෙන්නේ. ආසන සංවිධායකගේ සියලු විනාශකාරී දේවල්වලට උදව් කරන සාමාජිකයෙක් වෙන්න ඕනේ, ඥාතියෙක් ඉන්න ඕනේ, මිතුරෙක් ඉන්න ඕනේ. ඒ නිසා මේ පළාත් පාලන ඔවුන්ගේ අපරාධයන්ගේ ආරක්ෂාව සහ අපරාධ මෙහෙයවීම සඳහා උපයෝගී කරගත් ආයතන බවට පත්වෙලා තිබුණා. අප ඊට වඩා වෙන තැනකට යන්න ඕනේ.
අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන කෙනෙකුට මේ පළාත් පාලනය දොර විවෘත කරන්න ඕනේ. අලුත් අදහස්වලට ඉඩ දෙන්න ඕනේ. සංවාදවලට ඉඩ දෙන්න ඕනේ, නව නායකයන් හදන්න ඕනේ, මේ 3,926 ඇතුළේ මේ රට භාරගන්න නායකයෙක් අපි හදන්න ඕනේ. අවශ්‍ය නම් නායකත්ව මණ්ඩලයක් ගොඩනගන්න ඕනේ. සමාජයක් ඉදිරියට යන්නේ එකම මිනිස් කණ්ඩායමක් එක දිගට බලයේ සුවිශේෂ තැන් අත්පත් කරගැනීමෙන් නෙවෙයි. කොච්චර හොඳ වුණත් සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළු කරන්න ඕනේ. එවිට සජීවීකරණය වන ආණ්ඩුවක් ඉන්නවා. එය තමයි ගතික චලනය වන ආණ්ඩුවක්. අපට ඕනේ නිරන්තරයෙන් අලුත් වන පාලනයක්, නිරන්තරයෙන් අලුත් වන නායකයින් ගොඩනැගෙන පාලනයක්. නිරන්තරයෙන් වගකීම් භාරගන්නා පාලනයක්, අපට අවශ්‍ය එයයි. අපේ දේශපාලන ව්‍යාපාරය අලුත් කරන්න අලුත් නායකයන් හදන්න ඔබට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඔබ එයට ලෑස්තිද?
අපට තියෙන්න ඕනේ මහජනයත් එක්ක සමීප සබඳතාවක්. අප තාමත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට මතවාදයකින්, බලාපොරොත්තුවකින් ජනතාව පෙළගස්වා තිබෙනවා. නමුත් අපි තවමත් ජනතාව සමග ඓන්ද්‍රීය සබඳතාවක් තිබෙනවා. ජනතාවගේ වේදනාවන් සතුට බෙදා හදාගන්නා ව්‍යාපාරයක් බවට මේක පරිවර්තනය වෙන්න ඕනේ. ඒ සඳහා මහජන නියෝජිතයන්ට පැවරෙන කාර්යභාරය ඉතා විශාලයි. සීමා රහිත කණ්ඩායමකින් මහජනතාව සමග බැඳීම් ගොඩනැගෙන කණ්ඩායමක් සකස් විය යුතුයි. මහජන ව්‍යාපාරය ගොඩනගන්න නම් ජනතාව සමග සමීපව දේශපාලනයක් අපි කරන්න ඕනේ. ඒ නිසා ඔබ මහජනයා සමග ගැටෙන්න ඕනේ. සමහර විට ඔබට මහජනතාව ප්‍රශ්න ගෙන ඒවි. ඒ වෙනකොට ඊට වඩා ප්‍රශ්න රැසකට ඔබ මුහුණ දී සිටින්න පුළුවන්. ඔබ අභියෝගයකට මුහුණ දී සිටින්න පුළුවන්.
ඔබ ඉදිරියට එන පුරවැසියා ගෙන එන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රශ්නයයි. නමුත් මතක තබාගන්න ඔබ ඉදිරියට එන පුරවැසියා ගෙන එන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රශ්නයයි. අපි මනින්න ඕනේ පුරවැසියාගේ ප්‍රශ්නය පුරවැසියාගේ ලෝකයෙන් මිස අපේ ලෝකයෙන් නෙවෙයි. හැබැයි යම් ප්‍රමාණෙකට ගොඩනැගෙමින් තිබෙනවා පුරවැසියාගේ ප්‍රශ්න අපේ ලෝකයේ ප්‍රශ්නයක් ලෙස දකින්න. ඔබ පුරවැසියාගේ ප්‍රශ්නය පුරවැසියාගේ ලෝකයේ තුළදී මනින්න. පුරවැසියාට සවන් දෙන්න. පුරවැසියාගේ ප්‍රශ්නය විසඳීමට උපරිමය කරන්න. එසේ කළ නොහැකි නම් එකතුව විසඳීම සඳහා ප්‍රයත්නයක් දරන්න. මහජන ප්‍රශ්නයක් අරගෙන එන එක පුරවැසියෙක් නැවත කලකිරීමකින් යන්න ඉඩ දෙන්න එපා. සෑම පුරවැසියෙකුම ඔබ කෙරෙහි විශ්වාසය තබා පැමිණෙන බව මතක තබා ගන්න. ඔබට මිනිස්සු බනී. ඔබේ සියලු දේවල් ඉවසමින් ඉදිරියට යන්න කටයුතු කරන්න. ජනතාවගෙන් හැම වෙලේම ඉගෙන ගන්න. ජනතාවගේ හැම ප්‍රශ්නෙකටම යම් තර්කනයක් තියෙනවා. ඒ තර්කනයට අනුවයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉගෙන ගන්න. මහජනතාවගේ කෝපයට ඔබගේ ප්‍රතිචාරය කෝප ගැනීම නෙවෙයි. මහජනතාවගේ බැනීමට ඔබගේ ප්‍රතිචාරය බැනීම නෙවෙයි. මහජනතාවගේ ප්‍රතිචාරයට ඔබගේ ප්‍රතිචාරය ඉගෙන ගැනීමයි.
අපට අවශ්‍ය මහජනතාව සමග සිටින නව පුළුල් මහජන ව්‍යාපාරයක්. මෙය පරිවර්තනීය අවධියක්. රට හරි දිශාවට පරිවර්තනය වෙමින් තිබෙන අවධියක අප සිටිනවා. අප සදා නිමකර සිටින අවධියක ඉන්න අය නෙවෙයි. අප සිදු කරමින් තිබෙන්නේ ඉතාමත් නරක දේ, ඉතාමත් විනාශකාරී දේ සිදුවෙමින් තිබුණු රටක වඩාත් යහපත් දේවල් ආදේශ කිරීමේ පරිවර්තනයයි.’
උපුටාගැනීම lankaenews










