වවුනියාවේ වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ මහා ශිව රාත්‍රී පූජාවන් පැවැත්වීමට අධිකරණය අවසර ලබා දී තිබියදී ඊට සිදුකළ බාධාවන් පිළිබඳව ඊයේ දිනයේ වාර්තා වුණා.Sri Lanka Latest News
වවුනියාවේ වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ මහා ශිව රාත්‍රී පූජාවන් සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. සෙසු පිරිස නෙඩුන්කේනි පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බව පැවසෙනවා.
එහි දී පොලිසිය විසින් කාන්තාවන් කැලෑ ප්‍රදේශයට බලහත්කාරයෙන් තල්ලු කළ බව ද එහි සිටි පිරිස් චෝදනා කර තිබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඊයේ දවසේ සිදුකළ මෙම ක්‍රියාවෙන් මානව හිමිකම් උල්ලංගනය වී ඇති බව පැවසෙනවා.
වෙඩුක්කුනාරිමලෛ කෝවිලේ සවස හයෙන් පසුව රැඳිනොසිටින ලෙසට පොලිසිය අනතුරු අඟවා තිබුණා. ඒ අනුව සවස හයෙන් පසුව රැඳි සිටි පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසා ඇත්තේ.
මීට පෙර ලබාදී තිබූ අධිකරණ නියෝගයට පටහැනිව පොලිසිය ක්‍රියාකළ බවත්, බැතිමතුන්ට කෝවිල වෙත ජලය රැගෙන යාමට පවා අවසර ලබා නොදුන් බවත් එහි රැස්වී සිටි ජනතාව චෝදනා කරනවා. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල විවිධ බාධා කිරීම හමුවේ, එහි පුද පූජාවන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධාන කළ බවයි ඔවුන් කියන්නේ.
පූජාවන් පැවැත්වීමට සූදානම් කර තිබූ පහන් සහ පූජා තැටි ද පොලිසිය විසින් ඉවත් කර ඇති බවයි තොරතුරු අනාවරණය කරන්නේ.
වෙඩුක්කුනාරිමලෛ ආදිශිවන් කෝවිලේ ප්‍රධාන පූජකවරයා වන මදිමුගරාසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරිනු ලැබූ බව සඳහන් වෙනවා.