රනිල් ජනාධිපතිවරණෙට එන්නෙ නෑ!
ඩලස්ලා අලුත් සටනක් පටන් ගනී!
ජනපති කාර්යාලයෙන් ෆොටෝ තහනමක්!
සටන පටන් ගන්නවා!
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තුළින් පෙන්වා දුන් විශේෂ කරුණක් වූයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා හරියටම තවත් දින 365ක් පමණක් ඉතිරිව ඇති බවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හරියටම ලබන අගෝස්තුව වන විට ජනාධිපතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට සිදුවන බවත්, තවත් මාස 06ක් ගිය තැන ජනාධිපතිවරණ උණුසුම රට ඇතුළේ පැතිරී යෑම ආරම්භ වනු ඇති බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු.Sri Lanka Latest News
සටනට එන නායකයන්!
ඒ අනුව දැනට පවතින වාතාවරණයට අනුව ප්‍රධාන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපිවරණ සටනට පිවිසුණු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ අරමුණින් රනිල් වෙනුවෙන් මේ දිනවල ලහිලහියේ පොහොට්ටුවේ එවක ප්‍රබල මන්ත්‍රීවරයකු වූ නිමල් ලන්සා විසින් දේශපාලන සන්ධානයක් බිහි කරමින් සිටින අතර, ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 40ක් පමණ බිලීබා ගැනීම ලන්සාගේ අරමුණ වී ඇති බව වතාවන් කිහිපයකදී අපි මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු. ඒ අනුව රනිල් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් රැසකගේ ආශීර්වාදය ඇතිව ජනාධිපති සටනට පිවිසෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
උදයංගගෙන් අනාවැකියක්!
නමුත් පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ ළඟම දේශපාලන ඥාතියකු වන උදයංග වීරතුංග කළ අනාවරණයක් මේ වන විට ආණ්ඩුව ඇතුළේත්, පොහොට්ටුව ඇතුළේත්, පොදුවේ දේශපාලන ක්ෂේත්‍රයේත් දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. කවුරුත් දන්නා පරිදි උදයංග වීරතුංග යනු රාජපක්ෂ පවුලේ පළමු ඥාති පුත්‍රයාය. එවක 2009-2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රුසියානු තානාපතිවරයා වශයෙන් කටයුතු කළ උදයංග පසුව ගෝඨාගේ පාලන සමයේදී මෙරටට රුසියානු සහ යුක්රේන සංචාරකයන් රැගෙන ඒමේ අතරමැදියා ලෙස කටයුතු කිරීමට පියවර ගෙන තිබිණි.
රනිල් එන්නෙ නෑ!
කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ අති සමීපතමයකු ලෙස සැලකෙන උදයංග, පසුගිය සතියේදී අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ඊළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බවට තමන් කැට තියා ප්‍රකාශ කරන බවකි. ඊට හේතු වශයෙන් උදයංග පෙන්වා දී තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට පොහොට්ටුවේ සහාය හිමි නොවනු ඇති බවත්, පොහොට්ටුව වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇති බවත්ය. ඒ අනුව රනිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා අඩියක් පෙරට තබමින් ගෞරවනීය සමුගැනීමක් සිදුකරනු ඇති බවද උදයංග කියා සිටියේය.
ගෞරවණීය සමුගැනීමක්!
‘මම කැට තියලා කියනවා ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ තරග කරන්නේ නෑ කියලා. මොකද රනිල් දන්නවා පොහොට්ටුවේ පාක්ෂිකයන් රනිල්ට ඡන්දෙ දෙන්නෙ නෑ කියලා. පොහොට්ටුවේ නායකයන් කීප දෙනෙක් රනිල්ට ඡන්දෙ දෙන්න කියලා කිව්වත් ගමේ ඉන්න පොහොට්ටු පාක්ෂිකයන් රනිල්ට ඡන්දය දෙන්නෙ නෑ. ඒ නිසා මම කැට තියලා කියනවා රනිල් ජනාධිපතිවරණයට එන්නෙ නෑ කියලා. එතුමා මහින්ද ජනාධිපතිවරයාට වඩා අඩියක් ඉදිරියට තියලා ගෞරවනීය විදියට දේශපාලනයෙන් සමුගන්නවා….’ යනුවෙන් එහිදී කී උදයංග තවත් විශේෂ කරුණු කිහිපයක්ද එහිදී අනාවරණ කළේය.
ගෝඨා ගැන කියපුවා හරි!
‘මම මීට ඉස්සර කියපු කිසිම දෙයක් බොරු වුණේ නෑ. මම කිව්වා ගෝඨා අයියා දේශපාලනයට අරගෙන එද්දී එයාට දේශපාලනය හරියන්නේ නෑ කියලා. එයාට මුලින්ම ගෙදර යන්න වෙනවා කියලා මම කිව්වා. ඊළඟට ගෝඨා අයියා ජනාධිපතිකම අතහැරලා යන්න මාසෙකට කලින් මම හරියටම කිව්වා මේ රටේ මිනිස්සු ගෝඨා අයියාට ගහලා පන්නනවා කියලා. ඉතින් මම කියපු කිසි දෙයක් වැරැදුණේ නෑ…’
‘අනෙක දැන් ඔය රනිල් ළඟ ඉන්න පොහොට්ටුවේ හුඟ දෙනෙක් බැසිල් අයියව හම්බවෙලා කියන්නේ අපි නම් රනිල් එක්ක යන්නෙ නෑ, අපි පොහොට්ටුවේ කියලා. ඊයේ පෙරේදා ගම්පහ ඉන්න ප්‍රබලයෙකුත් බැසිල් අයියා හම්බවෙලා කිව්වේ අපි පොහොට්ටුවේ කියලයි…’ යනුවෙන්ද උදයංග එහිදී සඳහන් කර සිටියේය.
කව්රුත් නෑ කිව්වේ නෑ!
ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස රනිල් ඉදිරිපත් නොවන කතාව රාජපක්ෂ පවුල ඇතුළේ ළඟම ඥාතියකුගෙන් එළියට ඒමත් සමග පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් පාර්ලිමේන්තු සභාවේත්, පාර්ලිමේන්තු ලොබියේත්, පාර්ලිමේන්තු කැන්ටිමේත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ උදයංග කී මේ ආන්දෝලනාත්මක කතාවය. විපක්ෂයේ බොහෝ දෙනකු එහිදී පාර්ලිමේන්තුවේ තැන් තැන්වල කියනු පෙනුණේ උදයංග යනු රාජපක්ෂ පවුලේ ළඟම සහ හිතවත්ම දේශපාලන ඥාතියකු වන නිසා රාජපක්ෂවරුන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි කතාවක් කියනු ඇතැයි සිතිය නොහැකි යැයි කියාය. එමෙන්ම උදයංග කී පොහොට්ටුවේ සහයෝගය ලබන ජනාධිපතිවරණයේදී රනිල්ට හිමි නොවනු ඇති බවට වූ කතාව මෙතෙක් රාජපක්ෂ පවුල පැත්තෙන් හෝ පොහොට්ටුව පැත්තෙන් ප්‍රතික්ෂේප කොට නැති බවද එහිදී බොහෝ දෙනා කියා සිටිනු දැකගත හැකි විය. විශේෂයෙන් පොහොට්ටුව සම්බන්ධයෙන් මතුවන සෑම කාරණාවකදී වාගේම ප්‍රතිචාර දක්වන පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ද උදයංගගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීමවද මන්ත්‍රීවරුන්ගේ පුදුමයට හේතු වී තිබිණි.
රනිල් මොනවා කරයිද?
ඒ අනුව උදයංග කී මේ කතාව ඇත්තක් නම්, රනිල්ට ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය හිමි නොවනු ඇති නම් ඊළඟට රනිල් කුමක් සිදු කරනු ඇද්ද?
මේ පසුගිය පාර්ලිමේන්තු සතියේ තැන් තැන්වල කතාබහට ලක්වුණු ඊළඟ මාතෘකාවය. ඒ සම්බන්ධයෙන් ඉතා රසවත් සංවාදයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සිදුවනු දැකගත හැකි විය. එහිදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් මෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සජබ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද එක්ව දිවා ආහාරය ගනිමින් සිටියදී උදයංග කී මෙම කතාව ඇදී ආ ආකාරයක් දැකගත හැකිවිය. එහිදී සජබ තරුණ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන් කාරණාව වූයේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවත්, යළිත් වරක් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලන ගේමක් ගැසීමට සැලසුම් කර ඇති බවත්ය.
මෙන්න ගේම් ප්ලෑන් එක!
‘අපිත් කියන්නෙ ඔය කතාවම තමයි. අපි දන්නවානේ පොහොට්ටුවේ ඔබතුමාලට වඩා රනිල් ගැන. ජනාධිපතිවරණයට එන්නෙ නැතිව එතුමා දැන් ප්ලෑන් කරන්නෙ කොහොම හරි ඊළඟ මහ ඡන්දෙන් තව යූ.ඇන්.පී. තුන් හතර දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුව ඇතුළේ ආයෙත් මේ වගේ ගේමක් ගහන්න. අනෙක එතුමා හිතනවා ඊළඟ ජනාධිපතිවරණයේදී කාටවත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැරි වෙයි, දෙවැනි මනාපය ගණන් කරන්න සිද්ධ වෙයි කියලා. ඉතින් රනිල් බලන්නෙ ජනාධිපතිවරණය මහහැරලා කොහොම හරි මහ ඡන්දෙන් පාර්ලිමේන්තුවට රිංගගෙන ආයෙත් ගේමක් ගහන්න පුළුවන්ද කියලා…’ යනුවෙන් එක් සජබ මන්ත්‍රීවරයෙක් පෙන්වා දෙද්දී තවත් සජබ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ අවසන් වතාවට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තේරීම ඉවත් කර ඇත්තේද ඉදිරියේ මතුවන කුමන තත්ත්වයක් යටතේ හෝ පක්ෂ නායකත්වය තමා අතේ තබාගැනීමට යැයි කියාය.
නායකයා රනිල්මයි!
‘දැන් බලන්න අන්තිමට තිබ්බ වර්කින් කමිටි එකේදී මෙච්චර කල් පක්ෂ නායකයා තෝරන බලය වර්කින් කමිටි එකෙන් ගලවලා පක්ෂයේ විධායක සභාවට දෙන්න රනිල් කටයුතු කළා. මොකක්ද ඒකෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ කාටත් එතුමා පක්ෂ නායකත්වය කවදාවත් දෙන්න සූදානම් නෑ කියලයි. මොකද එතුමා දන්නවා ලබන ජනාධිපතිවරයෙන්, මහ මැතිවරණයෙන් පස්සේ ආයෙත් එතුමාගේ නායකත්වයට එරෙහිව වර්කින් කමිටි එක ඇතුළේ කැරැල්ලක් එනවා කියලා. පසුගිය කාලෙ එතුමාගේ නායකත්වයට එරෙහිව කැරැලි එද්දී එතුමා උත්සාහ කළා නායකයා තෝරන එක වර්කින් කමිටි එකෙන් අයින් කරලා පක්ෂයේ විධායක සභාවට දාගන්න. නමුත් එතුමට ඒක කරන්න බැරිවුණා. දැන් එතුමා දන්නවා වර්කින් කමිටි එකේ රවීලා, හරීන්ලා, මනුෂලා ඉන්න නිසා ආයෙත් ඉස්සරහට නායකත්වය ගැන කැරැල්ලක් එනවා කියලා. ඉතින් එතුමා ගිය සතියේ පක්ෂ නායකත්වය තෝරන එක වර්කින් කමිටි එකෙන් අයින් කරලා පක්ෂයේ විධායක සභාවට දැම්මා. ඉතින් රනිල්ටම ඇති කියලා හිතෙනකම් එතුමා තමයි මේ පක්ෂයේ නායකයා. ඒක වෙනස් වෙන්නෙ නෑ…’ යනුවෙන් මේ සජබ මන්ත්‍රීවරයා කියද්දී පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් ආහාර ගැනීම පසෙක තබා සජබ මන්ත්‍රීවරයාගේ විග්‍රහයට සවන් දී සිටිනු දැකගත හැකි විය.
මහින්ද රනිල් ෂැංග්‍රිලාවේ!
මේ අතරවාරයේ පසුගිය සතියේ පාර්ලිමේන්තු ලොබියේදී තවත් විශේෂ රහසක් හෙළිවිය. මෙම රහස් හෙළිකර සිටියේ රාජපක්ෂ පවුලට සමීප පොහොට්ටුවේ තවත් තරුණ මන්ත්‍රීවරයෙකි. මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ ලොබියේදී සිය හිතවත් මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද සහ රනිල් අතර ඉතා රහසිගත හමුවක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සිදුව ඇතැයි කියාය. මෙම හමුව මහින්දගේ එවක කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ විසින් සංවිධාන කොට ඇති බවද එම තරුණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එහිදී එම කතාව අසාගෙන සිටි තවත් පොහොට්ටු මන්ත්‍රීවරයකු කියා සිටියේ තමන්ටද එම කතාව ආරංචි වූ බවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට තරමක් අකැමැත්තෙන් සිටින බවට තමාට දැනගන්නට ලැබී ඇති බවත්ය.
නාමල් අප්සට්ලු!
‘මටත් ආරංචියි ඒ කතාව. යෝෂිත තමයිලු ඔය මීටින් එක කෝඩිනේට් කරලා තියෙන්නේ. හැබැයි නාමල් නම් ටිකක් අප්සට් ගිහින්ලු ඒ මීටින් එකට. නාමල් එච්චර කැමැති නෑලු මහින්ද ගිහින් රනිල්ව හම්බවුණු එකට…’ යැයි මේ පොහොට්ටු මන්ත්‍රීවරයා කියද්දී තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියා සිටියේ, ‘ඒ කියන්නේ දැන් යෝෂිතද මහින්දව කන්ට්‍රෝල් කරන්නේ…?’ යැයි කියාය. ඒ පිළිබඳ යම් කසුකුසුවක්ද ඒ මොහොතේ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර සිදුවන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බැසිලුත් ගිහින් හමුවුණා!
කෙසේ වෙතත් අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර අතිශය රහසිගත හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුව ඇති බවත්, බැසිල්ගේ ළඟම හිතවතුන් දෙතුන් දෙනකු හැරුණු විට අඩුම තරමින් මහින්ද හෝ ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි බවත් අනාවරණ කර සිටියෙමු. පසුගිය සතියේ කිසිදු සති අන්ත සිංහල පුවත්පතක එම හමුව පිළිබඳ තොරතුරු වාර්තා කර නොතිබූ අතර, අප වැඩිදුරටත් එහිදී කියා සිටියේ මහින්දට එම හමුව පිළිබඳ තොරතුරු වෙනත් මාර්ගවලින් ආරංචි වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සියලු විස්තර සොයාගැනීමට මහින්ද කටයුතු කොට තිබූ බවකි. අවම වශයෙන් මහින්ද ඒ ගැන බැසිල්ගෙන් වචනයක් හෝ විමසා නොසිටි බවක්ද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
සාගල යෝෂිතත් ඇවිත්!
කෙසේ වෙතත් මහින්ද හා ජනාධිපතිවරයා අතර රහස් හමුව ෂැංග්‍රිලා හෝටලයේ සංවිධාන වූයේ බැසිල් හා ජනාධිපතිවරයා අතර පැවැති මෙම රහස් හමුවෙන් අනතුරුව වීම විශේෂ සිදුවීමකි. එම හමුවට මහින්ද සමග යෝෂිත එක්ව සිටි අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට එක්ව සිටියේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාය. බැසිල් හා ජනාධිපතිවරයා අතර අවසන් වරට පැවැති සාකච්ඡා දෙකේදීම ජනාධිපතිවරයාගේ යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන් පොහොට්ටුව පත්වන අසීරුතාවන් පිළිබඳවත්, පොහොට්ටුවේ ඉල්ලීම් පිළිබඳවත් බැසිල් වැඩි වේලාවක් සාකච්ඡා කොට තිබූ බැවින් ජනාධිපතිවරයා එම සාකච්ඡාවලට එක්වී තිබුණේ වැඩි කැමැත්තකින් නොවන බවක් ආරංචිය. එහෙත් මහින්ද සමග සාකච්ඡාවට ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් සහභාගි වී සිටි බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සෙල්ෆිය ගිය දුරක්!
මිට සති දෙකකට ඉහතදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා වනවාටු රටෙහි පැවැති හමුවකට සහභාගි වී යළි පැපුවා නිව්ගිනියා ඇතුළු රටවල් කිහිපයක් බලා ගමන් ගන්නා අතරවාරයේදී සිය ගුවන් යානයට ඉන්ධන පුරවා ගැනීම සඳහාත්, කෙටි විවේකයක් ලබාගැනීම සඳහාත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. ‘ට්‍රාන්සිට්’ මගියකු ලෙස පැමිණි බැවින් ගුවන් තොටුපළ පරිශ්‍රයේම රැඳී සිටි ප්‍රංශ ජනාධිපතිවරයා නිල වශයෙන් රටට ඇතුළු වීමට කටයුතු කළේ නැත. නමුත් ආණ්ඩුව පැත්තෙන් එය එසේ ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනවලින් කියැවුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ලංකාවට පැමිණෙන බවත්, ප්‍රංශ ජනාධිපතිවරයකු ලංකාවට පැමිණෙන මුල්ම අවස්ථාව මෙය වන බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට ගොස් ප්‍රංශ ජනාධිපතිවරයා සමග කතාබහ කරන ඡායාරූප විශාල ප්‍රමාණයක් මාධ්‍ය වෙත මුදාහරිමින් ආණ්ඩුවේ මාධ්‍ය කියා සිටියේ ලංකාවේ වැඩපිළිවෙළට ප්‍රංශය සහාය ලබාදීමට සූදානමින් සිටින බවකි.
ප්‍රොටෝකෝලය කඩලා!
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ මාධ්‍ය මගින් මෙතෙක් එළියට නොආ ප්‍රංශ ජනාධිපතිවරයාගේ කටුනායක ගමනේදී සිදුවූ වෙනත් විශේෂ සිදුවීමක් පිළිබඳවය. මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ ඡායාරූප ගැනීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එම ගමනට එක්ව සිටි ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ද ප්‍රංශ ජනාධිපතිවරයා සමග එක්ව ඡායාරූප ගැනීම සහ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීමය. මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයාද යම් අපහසුතාවකට පත්වුවත් ඒ මොහොතේ කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කොට නොතිබිණි.
ආරක්ෂාවටත් තර්ජනයක්!
කෙසේ වෙතත් ප්‍රශ්නය පැනනැගුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ පිළිබඳ සිය අප්‍රසාදය ප්‍රකාශ කිරීමත් සමගය. ඔවුන් පෙන්වා දී තිබුණේ විදෙස් රටක ජනාධිපතිවරයකු යම් රටකට පැමිණි පසු ‘ප්‍රොටෝකෝලයට’ අනුව, එසේත් නොමැති නම් ධුරාවලියට අනුව එරට ජනාධිපතිවරයා සහ ඉහළ මට්ටමේ මැති ඇමැතිවරුන්, නිලධාරීන් හැරුණු විට වෙනත් සාමාන්‍ය මට්ටමේ පුද්ගලයන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාවට එක්විය නොහැකි බවකි. විශේෂයෙන්ම පෞද්ගලික ඡායාරූප හෝ සෙල්ෆි ඡායාරූප ගැනීම සෙසු නිලධාරීන්ට තහනම් බවත්, එසේ කිරීම ප්‍රොටෝකෝලය බිඳදැමීමක් බවත් එම නිලධාරීන් පෙන්වා දී තිබිණි. අනෙක් අතට ප්‍රංශය වැනි ප්‍රබල රටක ජනාධිපතිවරයකු ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සාමාන්‍ය පුද්ගලයන් ජනාධිපතිවරයා සමග පෞද්ගලික ඡායාරූප ගැනීම එම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද එම නිලධාරීන් පෙන්වා දී තිබිණි.
ෆොටෝ තහනම්!
ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ ප්‍රංශ ජනාධිපතිවරයා සමග සෙල්ෆි ගැසූ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඒවා සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ පළකිරීමට කටයුතු කොට තිබීම හේතුවෙනි. එහිදී විවිධ පුද්ගලයන් එම ඡායාරූපවලට විවිධ අදහස් දක්වා තිබීමද යම් ගැටලුකාරී තත්ත්වයක් මතුකොට තිබිණි.
ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය සිය සමස්ත කාර්ය මණ්ඩලයට බලපාන පරිදි නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එම නිවේදනයෙන් කියැවුණේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිම සේවකයකු මින් ඉදිරියට රාජ්‍ය නායකයන් සමග ඡායාරූප ගැනීම හෝ ඒවා ප්‍රචාරය කිරීම සපුරා තහනම් යැයි කියාය. අදාළ රාජ්‍යතාන්ත්‍රික හමු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පළකළ නොහැකි බවත්, නිල නිවේදන මගින් පමණක් ඒවා සිදුවිය යුතු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
ලන්සාගේ වැඩේ බකල්ද?
‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පොහොට්ටුවේ නිමල් ලන්සා විසින් රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපතිවරයා ලෙස අභිෂේක ගැන්වීම සඳහා පිහිටුවීමට නියමිත නව දේශපාලන පෙරමුණ පිළිබඳ අවස්ථා කිහිපයකදීම කරුණු අනාවරණ කළෙමු. ලන්සා විසින් මෙවැනි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බවත්, ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ නිල නිවෙස මෙන්ම රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි නව පක්ෂ කාර්යාලයක් විවෘත කළ බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 40ක් 50ක් පමණ ඊට එක්වීමට සූදානමින් සිටින බවත්, ගම් මට්ටමේ පොහොට්ටු නියෝජිතයන්ට මෙම කාර්යාල හරහා නිතරම ඇමතුම් ලබාදෙමින් මෙම නව සන්ධානය සමග එක්වන ලෙස දැනුම් දෙන බවත් රටට පළමු වරට හෙළිකළේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය. මුල් කාලයේදී පොහොට්ටුව බරපතළ දේශපාලන අර්බුදයක සිරවී සිටි බැවින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද, ගම් මට්ටමේ බිම් මට්ටමේ පොහොට්ටු නියෝජිතයන්ගෙන්ද ඊට ඉහළ ප්‍රතිචාරයක් දැකගන්නට ලැබුණද, මේ වන විට එය යම් තරමකින් පහළ බැස ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, පසුගිය මාස කිහිපය පුරා රට වටා ආසන බලමණ්ඩල පවත්වමින් මේ වනවිට පොහොට්ටුව දේශපාලන පිටියේ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබීම හේතුවෙනි. මේ හේතුවෙන් වෙනදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, ලේක් ඩ්‍රයිව් කාර්යාලයෙන් පොහොට්ටුවේ ගම් මට්ටමේ මන්ත්‍රීවරුන්ට ඇමතුමක් එද්දී ඉහළ ප්‍රතිචාර ලැබුණද මේ වන විට එය විශාල වශයෙන් පහත බැස ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එපමණක් නොව එසේ එන ඇමතුම්වලදී ගම් මට්ටමේ මන්ත්‍රීවරුන් මෙම නව දේශපාලන සන්ධානයේ නායකයා කවුරුන්ද යන්න ප්‍රසිද්ධියේම විමසා සිටින ආකාරයක්ද එහිදී දැකගන්නට පුළුවන.
නායකයා ලන්සාද අනුර යාපාද?
‘කවුද ඔය පක්ෂයේ නායකයා? එක්කෙනෙක් කියනවා නිමල් ලන්සා කියලා. තව කෙනෙක් කියනවා අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයා කියලා. මේකෙන් ඇත්ත කතාව මොකක්ද? මේ සන්ධානයේ නායකයා අනුර යාපාද, එහෙම නැත්නම් නිමල් ලන්සාද…?’ යනුවෙන් මෙම මන්ත්‍රීවරුන් එසේ කතා කරන ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසා සිටින බවක්ද ආරංචිය.
වීඩියෝ ප්‍රසන්ටේෂන් එකක්!
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ මීට සති කිහිපයකට ඉහතදී ලන්සා ජනාධිපති ලේකම් කාර්යාලයේදී තවත් විශේෂ කටයුත්තක් සිදුකොට තිබිණි. ඒ, නව පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට වීඩියෝ ‘ප්‍රසන්ටේෂන් එකක් සිදුකිරීමය. මෙම ප්‍රසන්ටේෂන් එක මගින් ලන්සා, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නව පෙරමුණට ගොනුකර ගන්නා ආකාරය, පොහොට්ටුවේ බිම්මට්ටමේ හිටපු මන්ත්‍රීවරුන් නව පෙරමුණට එක්කර ගන්නා ආකාරය, පක්ෂ ජාලය සමග ඔවුන් සම්බන්ධ කරගන්නා ආකාරය, පියවරෙන් පියවර නව සන්ධානය ගොඩනගන ආකාරය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
විපක්ෂයත් ලෑස්තියි!
ජනාධිපතිවරයා නැවත ජනාධිපති කරවීම සඳහා ලන්සාගේ ප්‍රධානත්වයෙන් ඒ ආකාරයේ දේශපාලන සන්ධානයක් ගොඩනැගෙමින් පවතිද්දී විපක්ෂය ප්‍රධාන කොට ගෙන දැවැන්ත දේශපාලන පෙරමුණු කිහිපයක්ම හීන්සීරුවේ ගොඩනැගෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට පුළුවන. ඉන් ප්‍රධානම දේශපාලන සන්ධානය වන්නේ සමගි ජන බලවේගයත්, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම නියෝජනය කරන නිදහස ජනතා සන්ධානයත් අතර බිහිවෙමින් පවතින නව දේශපාලන සන්ධානයය. එහි අවසන් අදියරේ සාකච්ඡා මේ දිනවල සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාත්, ඩලස් පිලේ ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාත් අතර පැවැත්වෙමින් තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත එම සන්ධානයේ ව්‍යවස්ථාව මෙන්ම, සන්ධානයේ වැඩපිළිවෙළ නිල වශයෙන් ජනගත කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩලසුත් අලුත් වැඩක!
මීට අමතරව ඩලස් පිල පසුගිය සතියේදී තවත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී ඩලස් පිලේ සැලසුම වී ඇත්තේ එක් පොදු වැඩපිළිවෙළකට සමස්ත විපක්ෂයම ගොනුකර ගැනීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමය. ඒ අනුව පසුගිය සතියේ ඩලස් ඇතුළු කණ්ඩායම කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව පසුගිය අඟහරුවාදා දිනයේදී ඩලස්, නාලක ගොඩහේවා සහ වසන්ත යාපා බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් මුණගැසීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට යෑමට පියවර ගත්හ. ඒ, විපක්ෂ සන්ධානය පිළිබඳ ශ්‍රීලනිප නායකයන් සමග සාකච්ඡා කිරීම සඳහාය. එම සාකච්ඡාවට ශ්‍රීලනිප පාර්ශ්වයෙන් සහභාගි වී සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාත්, තිලංග සුමතිපාල මහතාත්ය.
ක්‍රියාකාරී කමිටුවක්!
මෙහිදී රටේ පවතින තත්ත්වය පිළිබඳ දෙපිරිස අතර දීර්ඝව කරුණු හුවමාරු විය. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳවත්, නීතියේ කඩාවැටීම පිළිබඳවත් දෙපිරිස දීර්ඝව අදහස් හුමවාරු කරගත්හ. මෙහිදී ඩලස් පිල පෙන්වා දුන්නේ මේ වසරේ ආණ්ඩුවේ ආදායම් ඉලක්කය බිලියන 900ක් වුවත්, මේ වන විටත් ආදායම් උපදවා ඇත්තේ බිලියන 400කට ආසන්න ගණනක් පමණක් බවය. එමෙන්ම 2024 ආදායම් ඉලක්කය බිලියන 1,500 ඉක්මවා යන බවත්, 2025 ආදායම් ඉලක්කය බිලියන 2000 ඉක්මවා යන බවත් ඩලස් පිල ශ්‍රීලනිප නායකයන්ට පෙන්වා දුන්හ. මෙම ආදායම ඉපයිය හැක්කේ ජනතාව මත පටවන බදු මුදල්වලින් බව මෙහිදී පෙන්වා දුන් ඩලස් ඇතුළු පිරිස පවතින තත්ත්වය යටතේ ජනතාවගෙන් මේ අයුරින් බදු ආදායම් ලබාගැනීමට ගියහොත් රටේ බරපතළ තත්ත්වයක් උදාවීම නොවැළැක්විය හැකි බවත්, ජනතාව නිසැක වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව පාරට බසිනු ඇති බවත් මෙහිදී ඩලස් ඇතුළු කණ්ඩායම ශ්‍රීලනිප නියෝජිතයන්ට පෙන්වා දුන්හ. ඒ අනුව ඉදිරියේදී මේ සියලු මර්දනයන්ට එරෙහිව විපක්ෂය පොදු වැඩපිළිවෙළක් යටතේ එක හඬින් ආණ්ඩුවට එරෙහිව නැගී සිටිය යුතු බව ඩලස් පිලේ යෝජනාව විය.
වමට මොකද වෙන්නේ?
එහිදී ශ්‍රීලනිපය එම යෝජනාවට එකඟතාව පළකළ අතර, ඊට තවත් අලුත් යෝජනාවක්ද එක් කිරීමට මෛත්‍රී ඇතුළු පිරිස පියවර ගත්හ. ඒ, වම නියෝජනය කරන දේශපාලන පිරිස් සමගද සාකච්ඡා කළ යුතු බවය. ඒ අනුව ඔවුන්ගේ යෝජනාව වූයේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරී කමිටුවක් පත්කොට මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු යැයි කියාය. ඩලස් පිලද ඊට එකඟතාව පළකළ ආකාරයක් දැකගත හැකි විය.
ජවිපෙත් දින දෙයි!
ශ්‍රීලනිපය මුණගැසීමෙන් පසු ඩලස් පිල බ්‍රහස්පතින්දා දිනයේදී චම්පික රණවක මහතාගේ දේශපාලන පක්ෂය සමග මෙම වැඩපිළිවෙළ සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඩලස් පිල දැනටමත් කාලවේලාව වෙන්කරගෙන ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ජගත්ගෙන් රනිල්ට ලියුමක්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවට පැමිණ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගත්තේය. සිය කතාව අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිය නිල කාර්යාලයට ගියේ කෙටි විවේකයක් ලබාගැනීම සඳහාය.
එහිදී ජනාධිපතිවරයා නිල කාර්යාලයේ රැඳී සිටියදී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයා මුණගැසීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ඒ ආවේ හිස් අතින් නොව ලිපි ගොනුවක්ද රැගෙනය. එම ලිපිගොනුවේ සඳහන්ව තිබුණේ අස්වැසුම සහන වැඩසටහන මුල්කරගෙන මතුව ඇති බරපතළ අර්බුදය මුල්කරගෙන ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ඉල්ලා පොහොට්ටු මන්ත්‍රීවරුන් 60කට ආසන්න පිරිසක් අස්සන් තබන ලද ලිපියකි. එම ලිපිය ජනාධිපතිවරයා අතට පත්කළ ජගත්, අස්වැසුම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාට දීර්ඝව කරුණු පැහැදිලි කර දීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා අවසානයේදී කියා සිටියේ තමන් එම ලිපිය අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවකි.
රනිල්ගේ කාමරයේ සජබ 3ක්!
ඒ අනුව එම සාකච්ඡාව අවසන් කොට ජගත් කුමාර ජනාධිපති කාර්යාලයෙන් නික්ම ගිය පසු තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ජනාධිපති කාර්යාලයට ඇතුළු වනු දැකගන්නට ලැබිණි. එහි සිටියේ සජබය නියෝජනය කරන ගම්පහ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ කුරුණෑගල එක් මන්ත්‍රීවරයෙකි. මීට අමතරව දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද එම කණ්ඩායමේ සිටිනු දැකගන්නට ලැබිණි. එම පිරිස ජනාධිපතිවරයා සමග සැලකිය යුතු වේලාවක් නිල කාමරය තුළ දොර වසාගෙන කතාබහ කළ ආකාරයක් දැකගත හැකි විය.
චාමර එළියේ!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අතරතුරදී මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද ජනාධිපතිවරයා මුණගැසීම සඳහා නිල කාර්යාලයට පැමිණෙමින් සිටියේය. නමුත් ඔහුට මගදීම දැනගන්නට ලැබුණේ සජබ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටි බවය. මෙම තොරතුර දැනගැනීමත් සමග චාමර සම්පත් දසනායකට තරමක් කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
අපි එළියේ සජබ ඇතුළේ!
‘මොන මගුලක්ද යකෝ මේ? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙදී ඡන්දෙ දීලා පත්කරගත්තෙ අපි. දැන් උන් ඔක්කොම ගිහිල්ලා ඒක අස්සෙ රිංගගෙන ජනාධිපතිතුමාව ඒගොල්ලන්ගෙ කරගෙන. ඒ අය එළියට එනකන් ඉන්න ඕනෙ අපිට ජනාධිපතිතුමා එක්ක කතා කරන්න…’ යන්න එහිදී චාමර සම්පත් ජනාධිපති කාර්යාලය පිටත සිටි මැති ඇමැතිවරුන්ට ඇසෙන සේ තරමක් උස් හඬින් කියනු දැකගන්නට ලැබිණි.