මාධ්‍යවේදීන්ගේ ජීවිතය ජනතා ප්‍රශ්න අතර පොරබැදි අවස්ථා එමටය. ඒ හා සම්බන්ධ අත්දැකීම් සම්භාරයක් මට ලැබුණේ ‘දවස’ ‘රිවිරැස’ පත්තරවල පෑන් තුඩ මෙහෙයවද්දීය. ‘දවස’ කෙරෙහි ජනතා විශ්වාසය නොමැකී පැවැතුණු අතීත සිද්ධීන් රසවත් වූයේ ඒවායින් ලද ප්‍රතිඵල ගැන ඇතිවන සතුට නිසාමය. ‘දවස’ වැඩක් කළහොත් වරදින්නේ නැතැයි කියන විශ්වාසය එදා ජනතා හදවත් තුළට ඇතුළුව තිබිණි. 1979-1980 දශක අතර කොළඹ දෙමටගොඩ වේළුවන කනිෂ්ඨ විද්‍යාලය පිහිටි භූමියට ආසන්නව පිහිටි ගව ඝාතකාගාරය මෙන්ම ගව ගාල්ද කොළඹින් පිටමං කිරීමේ මවුපිය පිරෝධය ඉදිරියට ගෙන ආවේ ‘රිවිරැස’ සහ ‘දවස’ පත්තර සමූහය බව එදා ඒ අතීතය දන්නා අය අදටත් කතා කරති. වේළුවනය ආසන්නයේ ගව ගාල් පිහිටා තිබුණේ දිනපතා ඊටත් නුදුරින් පිහිටි ගව ඝාතකාගාරයේ මස් කිරීමටය. ගව ඝාතකාගාරයෙන් සිදුවන පරිසර දූෂණය වේළුවන විද්‍යාලයට තදින් බලපාන්නක් විය. එයට විරෝධය දක්වමින් නැගී ආ මවුපිය ගුරු දෙගුරු විරෝධය දේශපාලන සුළිවලට හසුවෙමින් උඩුයටිකුරු වීමට යද්දී එයට යළි පණ දෙන්නට ඉදිරියට ආවේ ‘රිවිරැස’ පුවත්පතය. ‘රිවිරැස’ කර්තෘ සිරිල් ඒ. සීලවිමල මහතාද වේළුවන විදුහලේ ගුරු දෙගුරු සමිතියේ ක්‍රියාකාරිකයකු වී සිටීම ගුරු දෙගුරුන්ට ශක්තියක් වූ හැටි මා අත්දැක ඇත්තෙමි. Sri Lanka Latest News
දිනක් සීලවිමල මහතා මමත් එච්.ඩබ්ලිව්. අබේපාලත් ‘රිවිරැස’ කර්තෘ මණ්ඩලයට කැඳවා පවසා සිටියේ වේළුවන විදුහලට බලපා ඇති පරිසර දූෂණය ශුද්ධ කිරීමට පෑන මෙහෙයවන ලෙසයි. ඒ සමයේ බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශවල දේශපාලන බලය පතුරුවා හැර තිබුණේ එජාපයේ ප්‍රබලයකු වූ එම්.එච්. මොහොමඩ් මහතාය. ගව ඝාතකාගාරය සහ පිට පළාත්වල සිට මස් කිරීමට ගවයන් රැගෙන එන පිරිස් මොහොමඩ්ගේ ඡන්දදායකයන් වීම නිසා කරන දෙයක් ප්‍රවේශමෙන් කරන ලෙසද ‘රිවිරැස’ කතුවරයා අපට උපදෙස් දී තිබිණි. වේළුවන විදුහල ආසන්න භූමියක ගව ගාල පිහිටා තිබෙනු අප මීට පෙර දැක තිබිණි.
දිනක් පොහෝ දිනට පෙර දින ඒ සටන ආරම්භ කිරීමේ වෙඩිමුරය පත්තු කළේ උදෑසන 10ට පමණය. එවක ‘දවස’ කන්තෝරුවේ තිබූ වමෙන් පදවන ජීප් රථයද මේ සඳහා යොදා ගත්තෙමු. ගව ගාල්වල ඡායාරූප ගැනීම සඳහා යෑමට අනෙක් ඡායාරූප ශිල්පීන් බියක් දැක්වූයේ ගව ගාල රකින පිරිස්වලින් පිහි පාරවල් එල්ල වේය යන බිය නිසාය. ඒත් ඒ කිසි දෙයකට බිය නොවූ අබේපාල ඔහුගේ අතින් වසාගෙන ඡායාරූප ගතහැකි නවීණ පන්නයේ කැමරාවද රැගෙන මා සමග ජීප් රථයට ගොඩවූයේ දෙවරක් නොසිතාය. අප දෙදෙනා සැලසුම් කර තිබූ පරිදි එදා ජීප් රථයට නැගී දෙමටගොඩ වේළුවන විද්‍යාලයත් ගව ගාලත් මායිමේ ඇති අතුරු මාර්ගයට හරවන විට දෙමටගොඩ පොලිසියේ අවි ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපේ වෙලාවට එම මාර්ගයට හැරෙනු දුටුවෙමු. අපි ජීප් රථය නවතා සුහදව ඔවුන් සමග මිත්‍ර වූයේ අපි හඳුනන උසස් නිලධාරීන්ගේද නම විකුණමින්ය. ඔවුන්ගෙන් අප ඉල්ලා සිටියේ ඔවුන්ට තරමක් ප්‍රමාද වී සෙමින් පාරේ ඉදිරියට එන ලෙසයි. අපට යම් කරදරයක් වුවහොත් අපිව බේරාගෙන ජීප් රථයට නංවා පිටත් කරවන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු.
ඒ අනුව අපි ජීප් රථයෙන් ඉදිරියට ගොස් කම්බි වැටක් කැඩුණු තැනකින් ගව ගාල පිහිටි ප්‍රදේශයට ඇතුළු වුණෙමු. ඒ සමගම දෙපැත්ත කැපෙන පිහි අමෝරාගත් මිනිසුන් දෙදෙනෙක් අප දෙසට දිව ආහ. අප කවුදැයි ප්‍රශ්න කරන්නට පෙර මා ඔවුන්ට කීවේ, අප කොළඹ නගර සභාවේ නියමයක් මත එහි පැමිණි බවත්, පොහෝ දිනට එළිවන්නට පෙර හරකුන් මැරීමේ සූදානමක් ඇද්ද යන්න පරීක්ෂා කිරීමට බවත්, හරක් ගාලේ සිටින හරකුන් සංඛ්‍යාව ගණනය කර ඡායාරූප ලබාගැනීමට බවත්ය. එම බොරුව මා ගොතා කීවේ ඔවුන් රවටා ඡායාරූප ගැනීමේ අදහසින්ය. මඳක් වටපිට බැලූ ඒ මිනිසුන් දෙදෙනා ජීප් රථය දැක රැවැටුණු ආකාරයක් දැකගත හැකි විය. ඒත් වැඩේ ගැස්සී ඔවුන්ට සැක මතුවී ආවේ අබේපාල ගව ගාලේ එක ඡායාරූපයක් ගන්නවා වෙනුවට වේළුවන පාසල එතැනට පේන අන්දම ඡායාරූප ගතකිරීමට යෑම නිසාය. ඒ වනවිටත් අබේපාල ඡායාරූප තුන හතරක් ගෙන අවසන්ය. ඒ මොහොතේ එම ස්ථානයට පිට පළාතක සිට හරකුන් ගෙන එන වෑන් රියක් පැමිණීම ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙන්නට හේතුවක් විය. මෙහිදී ඔවුන්ට ඇතිවූ සැකය මත අප දෙදෙනාට පහර දීමටත්, අල්ලා ගැනීමටත් ළං වෙද්දී පාමුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අප සිටි තැනට දිවවිත් අපිව ඔවුන්ගෙන් බේරාගෙන ජීප් රථයට ආරක්ෂිතව නංවා අපට පලා යෑමට මග සලස්වා දුන්නේය. පසු දින ‘රිවිරැස’ පත්‍රයේ මෙම සිද්ධිය සමග ගුරු දෙගුරුන් විසින් හරක් ගාලත් ගව ඝාතකාගාරයත් ඉවත් කළ යුතු බවට නගන හඬ පත්තර පිටුවක් පුරා පළවිය.
එතැනින් නොනැවතුණු ‘දවස’ ‘රිවිරැස’ පත්තර වේළුවන විද්‍යාලයේ ළමුන් ගැන සහ මවුපියන්ගේ විරෝධතා හඬ දිගටම ගෙන ගියේය. පුවත්පතේ පළවූ ලිපි අතරේ නිහාල් නෙල්සන් ගායනා කළ බයිලා ගීතයකින් කියැවුණු ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ…’ පදවැලද අදාළ ලිපිය තුළ පළ කළේ කොයි කාටත් දුරදිග හිතන්නටය. එදා අපි දෙදෙනාට හරක් ගාල අසලදී එල්ල වීමට ගිය ප්‍රහාරය වැළැක්වූ පොලිස් රාලහාමිලා දෙදෙනා පසුදා ‘දවස’ කන්තෝරුවට ආවේ ඒ සිද්ධිය නිසා ඔවුන්ට විරුද්ධව පැනනැගුණු ප්‍රශ්නයක් විසඳා ගැනීමට අපෙන් උදව් ඉල්ලාගෙනය. ඒ සිද්ධියෙන් පසු ගව ගාල තුළ සිටි පිරිස් ඒ ගැන මොහොමඩ් ඇමැතිගේ නිවෙසට දිවගොස් පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඇමැතිට පැමිණිලි කර තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඇමැතිවරයා ඒ මොහොතේම කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා ඔවුන්ව පිට පළාතකට මාරුකර තිබිණි. පොලිසිය නිසා බේරී ආ අන්දම මම ඒ මොහොතේම එවක පොලිස්පතිව සිටි සිරිල් හේරත් මහතාට දුරකතනයෙන් දන්වා ඒ මාරුවීම අවලංගු කර දී ඔවුන්ව කන්තෝරුවෙන් පිටත් කර යැව්වෙමි. ඒ ගැන ඔවුන් අපිටත් ‘දවස’ටත් ස්තුති කර ‘දවස’ කාර්යාලයෙන් පිටව ගියේ මාරුව ක්‍රියාත්මක වූවා නම් ඔවුන්ගේ දූ දරුවන් පාසල් ගෙන යෑම ඇතුළු ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවද පවසමිනි.
කෙසේ හෝ ‘දවස’ ‘රිවිරැස’ සටන කෙළවර වූයේ ගව ඝාතකාගාරයත් හරක් මඩුත් දෙමටගොඩින් පිටස්තර ප්‍රදේශයකට ගෙන යෑමෙන් පසුය. මෙම සටනට පන්නරය දුන් එක් ප්‍රධාන පුද්ගලයෙක් මෙහිලා සඳහන් කළ යුතුව ඇත. ඒ, එවක වේළුවන විද්‍යාලයේ හිටපු විදුහල්පති සමානසිංහ මහතාය.
මේ ලිපිය ලියන අතරතුරදී මම දෙමටගොඩ පොලිසියේ උසස් නිලධාරියකුට කතා කර විමසුවේ පසුකාලීනව හෝ ගව ඝාතකාගාරය දෙමටගොඩ යළි ක්‍රියාත්මක වනවාද කියායි. එවිට ඔහු කීවේ මස් මඩුව පමණක් තවමත් එතැන තිබෙන නමුදු එහි ගව ඝාතනයක් සිදු නොවන බවයි. හරක් ගාල්ද ඒ අවට නැති බවද ඔහු පවසා සිටියේය.

ප්‍රේමලාල් විජේරත්න










