දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී බියගැන්වීම් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාවලට ලක්ව සිටින, වත්මන් අම්පාර මහාධිකරණ විනිසුරු ඇන්තනි ජයලක්ෂි ද සිල්වා නමැත්තා නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණි.Sri Lanka Latest News
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙනී සිටියේය.
මීට අමතරව නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති, SSP, ASP, OIC සහ නඩු මෙහෙයවන පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් අධිකරණයේ රැඳී සිටීමෙන් පෙනී යන්නේ මෙම නඩුව කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දක්වන බවයි.
මෙය මෙම අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමක් ලෙස තමා දකින බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් වාර්තා වන පරිදි:-
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී බියගැන්වීම් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාවලට ලක්ව සිටින, වත්මන් අම්පාර මහාධිකරණ විනිසුරු ඇන්තනි ජයලක්ෂි ද සිල්වා නමැත්තා නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණි.
2026.03.30 වන ඊයේ දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, වින්දිත පාර්ශවය වන මහදේවන් මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා, ගරු කල්මුණේ මහේස්ත්‍රාත් කේ.එල්.එම්. සාජිත් මහතා ඉදිරියේ සිය දැඩි විරෝධය පළ කළේය.
නීතිඥ සුමන්තිරන් මහතා සිය තර්ක ඉදිරිපත් කරමින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනු කළ අතර ඒ සඳහා පහත කරුණු ඉදිරිපත් කළේය:
• සැකකරු වසර 20ක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර දැනට අධිකරණ සේවයේ නියුතු අයෙකි.
• මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නොතාරිස්වරයා විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ අධිකරණ අපහාස නඩුවේදී, ඇතැම් විනිසුරුවරුන් සැකකරු සමඟ නීතිපති කාර්යාලයේ එකට සේවය කර ඇති බැවින් එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වී ඇත.
• දැනට සිව්වන වතාවටත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉදිරියේ නව විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස එම නඩුව ඉදිරිපත් කර ඇත.
• සැකකරුගේ මව්පියන්ට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකදී (B/406/2011), තෙවන සැකකාරිය වූ මවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් වූ වහාම නීතිපති කාර්යාලය විසින් නඩු ගොනුව ගෙන්වා ගෙන ඔවුන් නිදහස් කිරීමට උපදෙස් දී ඇත. එම නඩුව යළි ආරම්භ කිරීමේ අයදුම්පත තවමත් විභාග වෙමින් පවතී.
• නීතිපති කාර්යාලයේ නඩු සිය ගණනක් ගොඩගැසී තිබියදී, මෙම නඩුවේ සැකකරු නිදහස් කිරීමේ උපදෙස් ඉතා කඩිනමින් ලබාදීම වින්දිතයා තුළ දැඩි සැකයක් ඇති කරන අතර, නීතිපතිවරයා මෙයට මැදිහත් වීම පැහැදිලි “පරස්පර උනන්දුවක්” (conflict of interest) බව ඔහු පැවසීය.
තවදුරටත් කරුණු දක්වමින්, 2025.10.29 දින සැකකරු ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළද, පසුව පොලිසිය නීතිපති උපදෙස් පැතූ බව සඳහන් කළේය. 2026.01.07 දින අධිකරණය නියෝග කළේ සැකකරුගේ ප්‍රකාශය සටහන් කර නොගෙන නීතිපති උපදෙස් පැතීම අසම්පූර්ණ බවත්, වහාම ප්‍රකාශය සටහන් කරන ලෙසත්ය.
කෙසේ වෙතත්, 2026.01.21 දින පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු සෘජුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත්, ඔහුගේ ආරක්ෂක නිලධාරියා හරහා කළ දැනුම්දීමේදී “නීත්‍යානුකූලව ප්‍රකාශය සටහන් කරගන්නා ලෙස” සැකකරු පැවසූ බවත්ය. මේ දක්වා සැකකරු ඉදිරිපත් කිරීමට හෝ ඔහුගේ ප්‍රකාශයේ සාරාංශයක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම බරපතල කරුණක් බව සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව නීතිපති උපදෙස් අධිකරණය බැඳී නොසිටින බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 (3) වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට ස්වාධීන බලතල ඇති බවත් ඔහු අවධාරණය කළේය. එබැවින් නීතිපති උපදෙස් මත සැකකරු නිදහස් කිරීමට විරුද්ධ වන බවත්, සම්පූර්ණ වාර්තාවක් සහ සැකකරුගේ ප්‍රකාශය ලබාගෙන අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රකාශ කළේ, නීතිපතිවරයාගේ නිදහස් කිරීමේ උපදෙස් සහ ඒ සඳහා වූ හේතු ඉදිරිපත් කිරීමට තමා පැමිණි බවයි. එම උපදෙස් සම්බන්ධයෙන් විරෝධතාවක් ඇත්නම් එය අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කළ හැකි බවත්, අධිකරණය මෙම උපදෙස් අනුගමනය නොකළහොත් එය “නරක පූර්වාදර්ශයක්” (opening flood gate) විය හැකි බැවින් සැකකරු නිදහස් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
නඩුවේ පසුබිම සහ චෝදනා
කොළඹ 06, වැල්ලවත්ත, කොලින්වුඩ් ප්ලේස් හි පදිංචි ව්‍යාපාරික මහදේවන් මුරලිදරන් විසින් 2022 වසරේදී මෙම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෙරියනීලාවණෙයි පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව 2022.11.08 දින කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට B-වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
එම වාර්තාවට අනුව, අදාළ ඔප්පුව සහතික කළ නොතාරිස්වරයා බියගැන්වීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 486 සහ 344 වගන්ති යටතේ නොතාරිස්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් විනිසුරුවරයාට චෝදනා එල්ල වී තිබුණි.
පසුගිය 11 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී, පෙරියනීලාවණෙයි පොලිස් ස්ථානාධිපති පී. ගජේන්ද්‍රන් මහතා අතිරේක වාර්තාවක් ඉදිරිපත් කළේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අත්සන් කර අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යැවූ උපදෙස් ලිපිය ඉදිරිපත් කරන ලදී. එම ලිපියෙන් කියවුණේ සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට අදහස් නොකරන බැවින් ඔහුව නිදහස් කළ හැකි බව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
අධිකරණ නියෝගය
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පහත නියෝග නිකුත් කළේය:
1. නඩුව එළඹෙන අප්‍රේල් 20 වන දින දක්වා කල් තැබීම.
2. එදිනට සැකකාර මහාධිකරණ විනිසුරුවරයාගෙන් ලබාගත් ප්‍රකාශය ඇතුළු අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙරියනීලාවණෙයි පොලිසියට නියෝග කිරීම.
3. ඉන්පසු මැයි මස 04 වන දින නඩුව යළි කැඳවන බවත්, එදින ඉදිරි පියවර සම්බන්ධ නියෝගය ප්‍රකාශ කරන බවත් දැනුම් දෙන ලදී.
වින්දිත පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සමඟ නීතිඥවරුන් වන එන්. සිවරංජිත්, ඒ.එල්. ආසාද්, සුහයිල්ස් පීර්දවුස්, ඩී. මතිවදනන්, පී. තුෂාන්, ඒ. නිදාන්ෂන් සහ රිෆ්කාන් කරීම් පෙනී සිටියහ. පෙරියනීලාවණෙයි පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.










