ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය මැයි 12 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්විණි. මෙහිදී මරණකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී මතුවී ඇති තාක්ෂණික බාධාවක් පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුවත් කළේය. එම දුරකතනය සඳහා මුහුණ හඳුනාගැනීමේ මුරපදයක් (Face ID) යොදා ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ සඳහා අදාළ නිෂ්පාදිත සමාගමේ හෝ නිසි ආයතනයක සහාය ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. Sri Lanka Latest News
සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් මරණකරුගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජයනායක මහත්මිය සඳහන් කළේ, මියයාමට පෙර දින රාත්‍රියේ කපිල චන්ද්‍රසේන මහතා දැඩි මානසික පීඩනයකින් පසුවූ බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශනයකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු, ඇප මත නිදහස් වී මැයි මස 06 වැනි දින තම නිවසට පැමිණි බව ඇය පැවැසුවාය. වෙන්වී සිටි සිය බිරිඳ සහ දරුවන් විදේශගතව සිටීම හේතුවෙන් ඔහු තාවකාලිකව තම නිවසේ නැවතී සිටි බවද ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ අනාවරණ කළාය.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාගැනීම සඳහා තමන් පෞද්ගලිකව මැදිහත් වූ බවයි. ඇප ලැබීමෙන් පසු ඔහු නිදහස්ව පැමිණියද, නැවතත් අධිකරණමය කටයුත්තකට පෙනීසිටීමට සිදුවීම පිළිබඳ ඔහු දැඩි ලෙස කලබලයට පත්ව සිටි බව අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. විශේෂයෙන්ම තමාට නැවත බන්ධනාගාරගත වීමට සිදුවේ යැයි යන බියෙන් චන්ද්‍රසේන මහතා පසුවූ බවත්, ඒ පිළිබඳ තමා ඔහුව අස්වැසීමට උත්සාහ කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
මරණය සිදුවූ දින රාත්‍රියේ සිදුවීම් මාලාව විස්තර කළ සාක්ෂිකරුවන් කියා සිටියේ, මරණකරු සිය නිවසේ සේවිකාවක ලවා තම පෞද්ගලික නිවසේ තිබූ ඖෂධ, ඇඳුම් සහ ජිම් මැට් (ඨහප ඵ්එ) එකක් ගෙන්වාගත් බවයි. එදින රාත්‍රී 11ට පමණ ඔහු නින්දට ගිය බවත්, පසුදා උදෑසන නීතිඥවරයා පැමිණි අවස්ථාවේ ඔහු සිටි කාමරයේ දොර විවෘත නොකිරීම නිසා මාස්ටර් යතුරක් යොදා දොර විවෘත කළ බවත් ඔවුහු පැවැසූහ. ඒ වනවිටත් ඔහු කාමරය තුළ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත්, පසුව වෛද්‍යවරුන් පැමිණ ඔහු මියගොස් ඇති බව තහවුරු කළ බවත් සාක්ෂිවලින් හෙළි විය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළේ අපරාධය සිදුවූ ස්ථානයේ තිබී ගෙල බැඳි පටියක්, විවිධ ඖෂධ වර්ග සහ හඳුනා නොගත් පෙති වර්ග කිහිපයක් අඩංගු කඩදාසියක් හමුවූ බවයි. මෙම ද්‍රව්‍ය සහ මරණකරුගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදුන්නේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙතද එම ඖෂධ යොමුකර ඇති අතර, ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ඉදිරියේදී කැඳවීමට නියමිතය.
සමස්ත සාක්ෂි විමසීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියට අදාළ සෙසු සාක්ෂිකරුවන් පස්දෙනා ලබන මැයි 14 වැනි දින අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බවයි. එදිනට විමර්ශනවල ප්‍රගතිය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල අතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කිරීම හරහා මරණයට පෙර ඔහු සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඔහුගේ මානසිකත්වය පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළකරයි.










