‘සියදිවි නසාගැනීමට හේතුවන, පරාජිත, ජීවිතයෙන් පලායන තරමට ගීත ලියන රචකයන්, ගායකයන් මේ සමාජයෙන් ඈත් කරන්න ඕනේ’ – මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්
මේ වචන කිහිපය සටහන් කරන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියා තිබූ මේ සටහන දැක්ක නිසයි.Sri Lanka Latest News
‘මේ වගේ බූරු කලා විඥානයක් සහිත කෙනෙක් මන්ත්‍රී වුණාට වඩා ඛේදජනක කාරණය යම් කාලයක් හෝ ගුරුවරයෙකුව සිටීම.’
මාලිමාවේ ආධාරකරුවකු වන කෙනෙක්ම මේ දේ කීම වටිනවා. අනෙක ලියනගේ අමරකීර්ති කියන්නේ අදාළ විෂයේ ප්‍රාමාණිකයෙක්.
‘ලාල් ප්‍රේමනාත්’ නමැති මේ මන්ත්‍රීවරයා උත්තරීතර පාර්ලිමේන්තුවේදී කියන්නේ ඛේදය දනවන ගීත රචකයන් වැනි අය සමාජයෙන් ඈත්කොට තැබිය යුතු බවයි.
මහාචාර්ය ලියනගේ කියන්නා සේ අප පුදුම විය යුත්තේ පෙර කල මොහු භාෂාව පිළිබඳ ගුරුවරයකු වී සිටීමයි. කලාව හෝ සාහිත්‍ය කියන්නේ සතුට පමණක් පෙන්වන තැනක් නෙවෙයි. දුක, පරාජය, අහිමිවීම, විරහව, ඛේදය වගේ අත්දැකීම් කලාවේ මූලික තේමාවන්.
එය එසේ වන්නේ ඒවා මනුෂ්‍ය ජීවිතවලට බැඳී ඇති අත්හැරිය නොහැකි සත්‍යයන් නිසයි. ගීත ඇතුළු ඔනෑම කලාවක ‘දුක’ යනු රසයක්. පෙරදිග රස සිද්ධාන්තයට අනුව කලාවේ අරමුණ හැඟීමක් නිර්මාණය කිරීමයි.
ගීතයක්, කවියක්, නාට්‍යයක් හෝ චිත්රයකින් වුව රසිකයා තුළ ‘ශෝක රසය’ ජනනය කළ හැකියි. එය හුදෙක් හඬා වැළපීමක්ම නොව, සෞන්දර්යමය අත්දැකීමක්.
අපට සමීප බෞද්ධ චින්තනය අනුවත් දුක ජීවිතයේ කොටසක්. ඒ නිසා වේදනාත්මක ප්රස්තුතයන් වුව කලා නිර්මාණවලට යොදාගැනීමෙන් ජීවිත සත්‍යය, අවබෝධය සහ විමුක්තියට යොමුවන සිතුවිලි උපද්දවන්න පුළුවන්.
ලෝකයේ අස්ථිරතාව ගැන කියවෙන නිර්මාණ ඔස්සේ ‘දුක හෝ පරාජය’ පවා අලංකාරයකට පරිවර්තනය කෙරෙනවා. උදාහරණයකට භාරතීය නාට්‍ය සම්ප්රදායේ ඛේදනීය චරිත හා අසාර්ථකත්වය රසය උපදවන අවස්ථා ලෙස යොදාගැනෙනවා.
පෙරදිග සම්ප්‍රදායේදි ශෘංගාරය හා ආකර්ෂණය පමණක් නොව වියෝගය හරහාත් ගැඹුරු අර්ථ හා රස නිෂ්පන්න කෙරෙනවා. බටහිර කලාවන් ඇසුරින් ගත්විට විලියම් ෂේක්ස්පියර්ගේ ඛේද නාට්‍ය මීට උදාහරණයක්.
ඔහුගේ ‘හැම්ලට්’, ‘ඔතෙලෝ’, ‘මැක්බත්’, ‘ලියර් රජ’ වැනි නාට්‍යවල පරාජය, වැරදීම්, වියෝගය, මෙන්ම චිත්ත අභ්‍යන්තර ගැටුම මගින් මිනිස් ස්වභාවය ගැඹුරින් විෂද කරනවා.
Lord Byron, Percy Bysshe Shelley, John Keats වැනි ලෝ ප්‍රකට කවීන්ගේ රොමාන්තික නිර්මාණවල අහිමි ප්‍රේමය, අතෘප්තිය සහ අභ්‍යන්තර වේදනාව ප්‍රබලයි.
චාල්ස් ඩිකන්ස්, මැක්සිම් ගෝර්කි, තෝමස් හාර්ඩි වැනි යථාර්ථවාදී නවකතාකරුවන් සමාජ අසාධාරණය, දුප්පත්කම ඇතුළු ජීවිතයේ බිඳවැටීම් සිය නිර්මාණ තුළ නිරූපණය කළා.
චිත්‍ර හා නාට්‍ය ආදී කලාවන්වල අඳුරු වර්ණ, ගුප්ත බව මෙන්ම ආතතීන් ඔස්සේ මනුෂ්‍ය අභ්‍යන්තරයේ ඇති වේදනාවන් හෝ පරාජයන් ඉස්මතු කොට දැක්වූවා.
බොහෝ කලා නිර්මාණවල බැඳීම් උපද්දවන ශෘංගාර හැඟීමක් හෝ වෙන්වීම ඉස්මතු කරවන ශෝකී හැඟීමක් ඇතුළත්.
ශෘංගාරය මෘදු, ආකර්ෂණීය හෝ ප්‍රියමනාප බවකට නැඹුරු වන අතර ශෝකය අහිමිවීමේ, නිහඬතාවයේ නැඹුරුවක් ප්‍රකට කරනවා. කෙටියෙන්ම කියතොත් දුකත් කලාවේ රසයක්. පරාජයත් කලාවේ අර්ථයක්.
දැන් මේ මන්ත්‍රීවරයා කියා ඇති පරිදි පරාජයෙන් පලායාමට බලකෙරෙන හෝ දුක දනවන නිර්මාණ කියලා දෙයක් අපට හඳුනා ගන්න බැහැ.
ඔය විෂය පිළිබඳ හොඳින් දන්නා සහ එවැනි නිර්මාණ නිරන්තර විචාරයට ලක්කරන සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මේ ගැන මොනවද කියන්නේ?
සති දෙකකට වරක් ගමට කලා නිර්මාණයක් ගෙන එන බව කියූ ගාල්ලේ නලින් හේවගේ දක්වන අදහස මොකක්ද?
ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පත්කෙරුණු කලා අනුමණ්ඩලවල මාලිමා සාමාජිකයන් මේ ගැන කියන්නේ කුමක්ද? අපි ඒවාත් දැනගන්න කැමැතියි.
මේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ කතාවලින් පේන්න තියෙන්නේ පැලවත්තෙදි දේශපාලනය ගැන කතා කළාට ඇතැම් විෂයන් ගැන හෝම් වර්ක් නොකරන බව.
ඒ වගේම එදා මාලිමා වේදිකාවේ සිටි බහුශ්‍රැත සාහිත්‍යධරයන්ගෙන්, කලාකරුවන්ගෙන්, ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මේ අයට දැන් උපදෙස් ලැබෙන්නේ නැද්ද?
‘අප කියන දේවල් අහන’ සහ ‘එසේ නොඅසනවා නම් අපියි මුලින්ම එරෙහි වෙන්නේ’ කියලා කියුවෙත් ඒ අයම තමයි.
ආණ්ඩුව දැන් තදින් විවේචනය කරන උවිඳු කුරුකුලසූරිය දිගටම කිව්වා බලය ලබාදීමෙන් පසු ‘වගකීමෙන් බැඳතබාගත යුතුයි’ කියලා.
ඒක කිසිවකුගෙන් දැන් සිදු නොවන බවට මේවා හොඳම සාක්ෂි. ඒ අනුව මාලිමා වේදිකාව මත සිට බොහෝ දෙනා එදා කර ඇත්තේ ජනතාව රැවටීමක්.
ඉහත සටහන ලියා තිබූ මහාචාර්ය ලියනගේ අමරකීර්තිට වුණත් මේ කතාව වලංගුයි.

මහින්ද රූබසිංහ










