‘පිස්සෙක් රජු වුණත් එකයි, රජු පිස්සෙක් වුණත් එකයි’ යැයි එක්තරා අපූරු ලෝක කියමනක් ඇත. එම කියමනටම සමාන අරුතක් ගෙනෙන තවත් කියමනක්ද ඇත. එය නම් ‘පිස්සෙකුට රජෙක් වෙන්නත් බෑ, රජෙකුට පිස්සෙක් වෙන්නත් බෑ’ යන වදනයි. යම් කාලවකවානුවලදී ලෝකයේ විවිධ විද්වත් පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන ලද මෙම කියුම් ලෝකයේ විවිධ භාෂාවලින්ද ප්‍රචලිත වී ඇත. මෙම කියමන් ගත්කල අපට එහි සාරාංශයක අරුතක් ගත හැක්කේ ‘රජෙකු හා පිස්සෙකු’ ගැන පැවසෙන යම් කතාවකි. තවත් අයුරකින් රජෙකු යනු කවරෙක්ද සහ පිස්සෙකු යනු කවරෙක්ද යන්න අරුත් ගෙනහැර දැක්වීමකි. රජෙකු යනු යම් රාජ්‍යයක ප්‍රධානියාය. තවත් අයුරකින් යම් දේශයක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාය. තවත් ලෙසකින් එම රාජ්‍යයේ පාලනය ගෙනයන මහා බලවතාය. දැන් එසේ නම් පිස්සෙකු යනු කවරෙක්ද? ‘පිස්සා’ යන්න අප අර්ථ දක්වන්නේ කෙසේද?Sri Lanka Latest News
සමාජයීය ව්‍යවහාරයෙන් හඳුන්වන ‘පිස්සා’ යන වදන සමහර පුද්ගලයන් උදෙසා භාවිත කෙරෙයි. එනම් යථාර්ථයට පටහැනිව හැසිරෙන, සිතන හෝ ක්‍රියා කරන, යම් මානසික සෞඛ්‍ය අසමතුලිතතාවක් ඇති පුද්ගලයකු මෙලෙස හඳුන්වා දෙයි. තවත් අයුරකින් මෙම පුද්ගලයන් ‘උන්මත්තක’ තත්ත්වයේ සිටින අය ලෙසටද අර්ථ නිරූපණය කරයි. මෙවැනි පිරිස්වලට තවත් සාමාජයීය අර්ථකථනයක් වන්නේ අනෙක් අයගේ දැනුමට ගරු නොකරන, තමාගේම වරද සාධාරණීකරණය කරන සහ අතාර්කිකව සිතන පුද්ලගලයන් යන්නය. පිළිගත් වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය යම් පුද්ගලයකුට ඇති වන්නේ මානසික සෞඛ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙනි. එහෙයින් එවැනි පුද්ගලයකුට උපහාසාත්මකව හෝ පරිභවශීලීව සලකන්නට එපා යැයිද වෛද්‍ය මතයක් ඇත. එසේ වුවද යම් අවස්ථාවලදී මෙවැනි පුද්ගලයන්ගෙන් පොදු සමාජයට හානිකර තත්ත්වයන්ද උදාවෙයි. මෙම කතාවේ මුලින් ලියා තැබූ ‘රජ හා පිස්සා’ වතගොත මගින් කියාපාන්නේ එවැනි වටාපිටාවකි. එනම් එය මුළුමහත් සමාජයකටම බලපාන අර්බුදයකි.
දැන් ඔබ මෙම කතාවෙහි යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නෙහිය. එනම් වත්මන් අපගේ මුළුමහත් ලෝකයටම මෙම අර්බුදය බලපාන්නට වී තිබෙන ආකාරය මේ වනවිට ඇස්පනාපිටම දක්නට හැකිය. එම තත්ත්වය නම් වෙනත් කිසිවකුත් නොව, දැනට ලෝකවාසී ජනතාවම පීඩා විඳින මැදපෙරදිග යුදමය තත්ත්වයයි. ඇමෙරිකාව-ඊශ්‍රායලය-ඉරානය එක්ව ඇතිවී තිබෙන මෙම ශෝකජනක තත්ත්වය හේතුවෙන් ලෝකයේ රටවල් සිය ගණනක් පීඩාවට පත්ව ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටියි. ඉහත රටවල් තුනට අමතරව මේ වනවිට තවත් රටවල් ගණනාවක්ම මෙම මැදපෙරදිග යුද්ධයට මැදිවී සිටියි. තත්ත්වය එසේ වුවද මෙවැනි යුද්ධයක් ආරම්භ කිරීමට මුලින්ම කටයුතු කළේ ඇමෙරිකාව සහ එහි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යැයි ලෝකයේ විවිධ රටවල පාර්ශ්ව ගණනාවක් චෝදනා කරති. සත්‍ය ලෙසම එම චෝදනාව හැබැර කළ හැකි එකක්ද නොවේ. දැන් එසේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් වටා ගොඩනැගුණු මෙම සුවිශේෂ ආන්දෝලනාත්මක තත්ත්වය කුමක්ද? ලොව පුරා කියැවෙන එම කියුම් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
‘ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ සත්‍ය වශයෙන්ම පිස්සෙක්. ඔහුට හිතෙන දේ පමණයි ඔහු කරන්නේ. මේ කාලකණ්ණි යුද්ධයට වගකියන්න ඕනෙ ඔහුයි. ඔහු මේ අපරාධයට වන්දි ගෙවන්න ඕනෑ…’
‘ජනාධිපති ට්‍රම්ප් මින් පෙර තමාගේ 45 වැනි ජනාධිපති වාරයේදීත් එවක ඇතිවුණු මාරාන්තික කොවිඩ් වසංගතය හඳුන්වා දුන්නේ ඒක නිකම් උණක්, හෙම්බිරිස්සාවක් වගේ කියලා. ජනතාව කෙරෙහි බැරෑරුම්කමක් ගත්තේ නැහැ. අන්තිමට ඇමෙරිකාවේ ජනතාව ලක්ෂ 16ක් මැරුණා…’
‘ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වත්මන් යුද්ධයේදී හිතලා තියෙන්නේ තමන්ගේ රටේ ජනතාව ගැන පමණයි. ඔහු දුප්පත් රටවල ජනතාව ගැන හිතන්නේ නැහැ. ඒ රටවල දරිද්‍රතාව, උද්ධමනය ගැන හිතන්නේ නැහැ. ධනවත් රටවලට යුද්ධයේ ආදීනව බලපාන්නේ නැහැ ට්‍රම්ප්ට පොඩි මිනිසාගේ දුක තේරෙන්නේ නැහැ…’
‘ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බොහෝ විට අසත්‍යයට හා අසාධාරණයට එරෙහි වන නායකයන්ට පහර දෙනවා. විවේචනය කරනවා. පසුගියදා මුළුමහත් ලෝක ආගමික නායකයකු වූ ශුද්ධ වූ ලියෝ XIV පාප්වහන්සේ, මැදපෙරදිග යුද්ධය අසාධාරණ, අමානුෂික එකක් යැයි තම අදහස් ප්‍රකාශ කළ විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උන්වහන්සේව විවේචනයට ලක්කළා. ‘ලියෝ පාප්වහන්සේ අපරාධයට උදව් දෙනවා. ඔහු අපරාධය කෙරෙහි ඉතා දුර්වලයි. ඔහු විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් භයානකයි. ඔහුගේ ප්‍රකාශයන් මම කිසිවිටෙකත් පිළිගන්නේ නැහැ…’ යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඉරානයේ සම්පූර්ණ ශිෂ්ටාචාරයම අතුගා දමන බවට සිදුකළ ප්‍රකාශයට පසුවයි පාප්වහන්සේ ජනාධිපතිවරයා විවේචනයට ලක්කළේ. වත්මන් පාප්වහන්සේ තමයි මෙතෙක් එම තනතුරට පත්වූ එකම ඇමෙරිකානු ජාතිකයා. ට්‍රම්ප්ගේ වාචික ප්‍රහාරයට එරෙහිව පාප්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇමෙරිකානු පරිපාලනයට බිය නොවන බවත්, යුද්ධයට එරෙහිව දිගටම කතාකරන බවත්ය. කෙසේ වෙතත් මේ ආකාරයට පාප්වහන්සේ විවේචනයට ලක්කිරීම ඉතාලියේ අගමැතිනියද හෙළාදැක ඇත. මෙහිදී හෙළිවන අපූරු කරුණ නම් ට්‍රම්ප් ජනාධිපතිවරයා පාප්වහන්සේගෙන් සමාව ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඇත..’
ඉහත මේ ආකාරයට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දරදඬු ක්‍රියාකලාපය දෝෂාරෝපණයට ලක්කර තිබිණි. දෙවැනි වර ජනාධිපති ධුරයට පත්වන විට යුද්ධය නවතා සාමය ගෙන එනවා යැයි කියූ නායකයා දැන් පැය 24 පුරාම සිතන්නේ යුද්ධය ගැන යැයි ඔවුන් විවේචනය කර ඇත්තේය. එසේම ඔහු දෙවැනි වර ජනාධිපති වී දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ලෝකයේ දුප්පත් සහ දියුණු වන රටවල් රාශියකට බදු බර සහ විවිධ සම්බාධක පැනවූයේය. ශ්‍රී ලංකාවද ඉන් එක් රටක් වෙයි. මේ ආකාරයට ඔහු 2025 ජනවාරි 20 වැනිදා දෙවැනි වර ජනාධිපති වී මෙම කෙටි කාලයට නොයෙකුත් තර්ජන ගර්ජන රැසක් සිදුකළේය. මෙම තත්ත්වය මුළුමහත් ලෝකයට ඉතා බියකරු එමෙන්ම ඛේදජනක එකක් යැයි දේශපාලන විශ්ලේෂකයන් කියා සිටියි.
ඩොනල්ඩ් ට්‍රම්ප් නාටකයේ අපූරුතම රසවත් පුවත වාර්තා වූයේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් ට්‍රම්ප් ජනාධිපතිවරයා තමන් ශුද්ධ වූ ජේසුස්වහන්සේ වැනි චරිතයක් නිරූපණය කරන මතභේදාත්මක ඡායාරූපයක් ඔහුගේ ‘ටෲත් සෝෂල්’ (Truth Social) අන්තර්ජාල ගිණුමෙහි පළකෙරී තිබිණි. ට්‍රම්ප් සුදු සහ රතු පැහැති සළුවක් පැලඳගෙන රශ්මිය විහිදෙන දෙඅත් ඇතිව එක් අතක් රෝගී මිනිසකුගේ නළල මත තබාගෙන සිටින ආකාරය මෙම සේයාරුවෙන් දැක්වෙයි. විචාරකයන් මෙම සේයාරුව විශ්ලේෂණය කරමින් කියා ඇත්තේ ජේසුස් වහන්සේ රෝගීන් සුවපත් කරන ආකාරය පෙන්වන ඓතිහාසික කතෝලික පල්ලිවල තිබෙන සිතුවම්වලට මෙම චිත්‍රය සමාන බවයි. මෙම රූපයේ පසුබිමට ලිබර්ටි ප්‍රතිමාව, ඇමෙරිකානු ධජය, ප්‍රහාරක ජෙට් යානා, සොල්දාදුවෙක්, හෙදියක් සහ යාඥා කරන කාන්තාවක්ද යොදා තිබිණි. නූතන කෘත්‍රිම බුද්ධය (AI) භාවිතයෙන් නිර්මාණය කර තිබෙන මෙම සේයාරුව පළවී විනාඩි ගණනක් යන්නට මත්තෙන් ලොව පුරා විශාල මතභේදාත්මක තත්ත්වයක් ඇති වූයේය. විවිධ පාර්ශ්ව ගණනාවක් එම සේයාරුව දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළේය. කෙසේ හෝ මෙම තත්ත්වය ලොව පුරා ගිනි ජාලාවක් මෙන් ඇවිළෙන්නට ගත්විට, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එම සේයාරුව වහා අන්තර්ජාලයෙන් ඉවත් කර ගත්තේය. අවසානයේදී ඔහු කියා සිටියේ තමන්ගේ නිරූපණය මගින් අර්ථවත් වූයේ තමන් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු ලෙසය. එම නිර්මාණයෙහි තමන් ජේසුස් වහන්සේ යැයි තමන් නොසිතූ බැව් ඔහු ප්‍රකාශ කළේය. එය හරියට ‘තණකොළ කපන්නට කිතුලට නැග්ග මිනිසා’ගේ කතාවට සමානය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වත්මන් ජීවිත කතාවේ අනෙක් සුවිශේෂ පුවත හෙළිවන්නේ මෙතැනදීය. එනම් ඔහුගේ සමාජයීය ජනප්‍රියතාව අතිශය ශීඝ්‍ර ලෙස පහත වැටීමයි. 2026 අප්‍රේල් 15 දක්වා සිදුකෙරුණු ප්‍රධානතම සමීක්ෂණ ගණනාවකට අනුව ඔහුගේ ජනප්‍රියතාව 37% සිට 42% දක්වා දැඩි ලෙස පහත වැටී ඇත. එසේම ඔහුගේ වත්මන් රාජ්‍ය පාලන ක්‍රියාවලිය 55%ක ජනතාවක් විසින් අනුමත කර නැත. New York Times, The Economist, USA Today, CNN වැනි ප්‍රධානතම මාධ්‍ය සංවිධාන මගින් මෙම සමීක්ෂණ සිදුකර ඇත. මෙවැනි වටපිටාවකදී අපට පෙනීයන්නේ අපගේ රටේ පාලකයන්ගේද ජනප්‍රියතාව දිනෙන් දින පහත වැටෙන ආකාරයය. අපේ රාජ්‍ය පාලකයන්ද යුද්ධයක් නැතත් ජනතා රුචියෙන් ගිලිහී යෑම අසත්‍යයක් නොවේ. ‘පුරසඳ කළුවර’ එය නොවේද?

ප්‍රියන්ත හෙට්ටිගේ










