ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක සහතික කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙතත්, යුක්රේන සහ ඉරාන යුද්ධ හේතුවෙන් ඇමෙරිකානු අවි සැපයුමට එල්ල වී ඇති පීඩනයත් හමුවේ පෝලන්තයේ සිට පිලිපීනය දක්වා වූ ඇමෙරිකානු මිත්‍ර රටවල් ජපානය දෙසට යොමු වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය සිය අවි අපනයන නීති ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය මෙලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.Sri Lanka Latest News
අගමැතිනී සානේ ටකායිචිගේ රජය විසින් ජපානයේ හමුදා කාර්මික පදනම ශක්තිමත් කිරීම සඳහා වන නව නීතිරීති මෙම මස අගදී නිල වශයෙන් සම්මත කිරීමට නියමිතය. දශක ගණනාවක් පුරා ජපානය අනුගමනය කළ සාමකාමී ප්‍රතිපත්තිය මධ්‍යයේ වුවද, ටොෂිබා සහ මිට්සුබිෂි ඉලෙක්ටි්රක් වැනි ජපාන සමාගම් උසස් මිලිටරි නිෂ්පාදන නිපදවීමේ හැකියාව තවමත් රඳවාගෙන සිටියි. පෝලන්තය සහ පිලිපීනය වැනි රටවල් ජපානයේ උසස් තාක්ෂණයෙන් යුත් ආරක්ෂක උපකරණ ලබාගැනීමට දැනටමත් උනන්දුව පළකර ඇති අතර, ඇමෙරිකාව මත පමණක් යැපීම අවදානම් සහගත බවත්, යුද්ධ දෙකක් හේතුවෙන් ඇමෙරිකානු සැපයුම් ජාලය අඩාළ වී ඇති බවත් මිත්‍ර රටවල් කනස්සල්ල පළකරයි.
මේ වන විට ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සහ නව සේවකයන් බඳවා ගැනීමට ජපාන ආරක්ෂක නිෂ්පාදන සමාගම් කටයුතු කරමින් සිටින අතර, ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකානු ආරක්ෂක ප්‍රතිපත්තියේ ඇති විය හැකි වෙනස්කම්වලට පිළියමක් ලෙස, ආසියා-පැසිෆික් කලාපය තුළ ජපානය ප්‍රබල අවි සැපයුම්කරුවකු ලෙස නැගී සිටීමට මෙම තත්ත්වය මග පාදා තිබේ.










