ලෝකයේ ඕනෑම රටක බදු නීතිය යනු මහ පාරේ දූවිලි කන දුප්පතාගේ සිට මැඳුරුවල සැප විඳින පාලකයා දක්වා එක ලෙස ක්‍රියාත්මක විය යුතු ධර්මතාවයකි. එහෙත් අපේ මහ පොළොවේ මේ නීතිය ක්‍රියාත්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනස්, අතිශය සාහසික මුහුණුවරකිනි. ඒ, බදු නීතියේ කතුර සාමාන්‍ය ජනතාවගේ ගෙල සිඳින්නටත්, දේශපාලකයාට මීපැණි පොවන්නටත් හැඩගැසී ඇති බැවිනි. දිනපතා අලුයම අවදිවී, බස් කෝච්චිවල තෙරපෙමින්, දහඩිය කඳුළු වගුරුවමින් රස්සාවට යන සාමාන්‍ය මිනිහාගේ වැටුපෙන් අනුකම්පා විරහිතව බදු කඩාගන්නා පද්ධතිය, තමන්ගේම පන්තියේ නියෝජිතයන්ට සලකන්නේ කෙසේද යන ඛේදවාචකය පසුගිය අප්‍රේල් 08 වැනිදා මුළු සමාජයටම නිරුවත් විය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා තමාගේ මාසික වැටුප් ලේඛනය මහජනතාවගේ දැනගැනීම පිණිස විවෘත කිරීමත් සමගය. එය හුදෙක් ඉලක්කම් කිහිපයක් සටහන් වූ කඩදාසියක් නොව, සාමාන්‍ය මිනිසාගේ කරපිටින් යන අපූරු බදු න්‍යායේ සැබෑ ස්වරූපය මැනවින් නිරූපණය කළ කැඩපතක් විය. Sri Lanka Latest News
මෙම වැටුප් පත්‍රිකාව පරෙස්සමින් කියවා බලන ඕනෑම අයෙකුගේ ඇස් උඩ යන්නේ මන්ත්‍රීවරයකුගේ මාසික දළ ආදායම කෙතරම් දැවැන්තද යන්න දුටු විටය. අර්චුනා රාමනාදන් මහතාගේ වැටුප් ලේඛනයට අනුව ඔහුගේ මාසික දළ ආදායම රුපියල් හාරලක්ෂ පහළොස්දහස් එකසිය හැටනවයයි ශත අනූතුනකි (රු. 4,15,169.93). මේසා විශාල මුදලක් එකතු වන්නේ සාමාන්‍ය ජනතාවට සිහිනෙන්වත් සිතිය නොහැකි ආකාරයේ දීමනා වැස්සකිනි. ඔහුගේ මූලික මාසික දීමනාව රුපියල් 54,285.00ක් පමණක් වුවද, ඊට එකතු වන සෙසු දීමනා ප්‍රමාණය මවිතකරවනසුලුය. දුරකතන දීමනාව ලෙස රුපියල් පනස්දහසක්ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 1,79,707.93ක්ද ඊට ඇතුළත්ය. මීට අමතරව පාර්ලිමේන්තු අසුන් ගැනීමේ දීමනාව ලෙස රුපියල් පහළොස්දහසක්, ප්‍රවාහන දීමනාව ලෙස තවත් පහළොස්දහසක් සහ විනෝද දීමනාව ලෙස රුපියල් දහසක් මෙන්ම තවත් සුළු බදු නැවත ගෙවීමක්ද මේ සඳහා එකතු වී තිබේ. රටේ සාමාන්‍ය මනුස්සයා තමන්ගේ යතුරුපැදියට පෙට්‍රල් ලීටරයක් ගහගන්නට, දරුවාගේ පාසල් වැඩට ඩේටා කාඩ් එකක් දාගන්නට සතෙන් සතේ ගණන් හදද්දී, ජනතාවගේම බදු මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයන් මේ ආකාරයෙන් ලක්ෂ ගණනින් ඉන්ධන සහ දුරකතන දීමනා ලබාගැනීමම එක්තරා ආකාරයක උත්ප්‍රාසයකි.
එහෙත් මේ කතාවේ හද කම්පා කරවන, කෝපය අවුස්සන හරය ඇත්තේ එතැන නොවේ. රුපියල් ලක්ෂ හතරහමාරකට ආසන්න මේ දැවැන්ත ආදායම වෙනුවෙන් මෙම මන්ත්‍රීවරයාගෙන් රජය අයකරගෙන ඇති පෞද්ගලික ආදායම් බද්ද කොපමණද යන්න ඇසූ විට ඕනෑම බදු ගෙවන්නෙකුගේ රුධිරය උණුසුම් වීම වැළැක්විය නොහැක. ඒ වෙනුවෙන් අය කරගෙන ඇත්තේ රුපියල් 7,549.57ක් වැනි අතිශය සුළු මුදලකි. දැන් අපි මේ කතාවේ අනෙක් පැත්ත, එනම් මේ රටේ සැබෑ ආර්ථික රෝදය කරකවන පෞද්ගලික අංශයේ වෘත්තිකයෙකුගේ පැත්ත දෙස බලමු. යම් හෙයකින් පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු, මෘදුකාංග ඉංජිනේරුවකු හෝ බැංකු කළමනාකරුවෙකු ඉහත කී රුපියල් 4,15,169.93ක වැටුපක් ලබාගන්නේ නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ගණනය කිරීම්වලට අනුව ඔහුට මාසිකව රුපියල් 55,461.17ක දැවැන්ත මුදලක් ආදායම් බදු වශයෙන් අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවේ. මෙහි සරල අදහස වන්නේ, එකම මාසික ආදායමක් ලබන පුරවැසියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු තවත් අයෙකුට වඩා රුපියල් 47,911.60කින් අඩු බද්දක් ගෙවීමයි. ඒ අඩු බද්ද ගෙවීමේ භාග්‍යය හිමිවී ඇත්තේ රටේ නීති හදන, වරප්‍රසාද භුක්ති විඳින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වීම අතිශය ඛේදනීය තත්ත්වයකි.
මේ සා විශාල බදු පරතරයක් නිර්මාණය වන්නේ කෙසේද? එය අහම්බයක් හෝ ගණිතමය වරදක් නොව, නීතිය සම්පාදනය කිරීමේදී තමන්ගේ ගැලවීම වෙනුවෙන් ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කර ඇති හිඩැසකි. සාමාන්‍ය පෞද්ගලික අංශයේ සේවකයකු ලබන මූලික වැටුප පමණක් නොව, ඔහුට ලැබෙන ප්‍රවාහන, දුරකතන හෝ නිවාස දීමනා යන සියල්ලම බදු අයකළ හැකි ආදායම ලෙස සලකා ඊට අනුකම්පා විරහිතව බදු පනවනු ලැබේ. නමුත් මන්ත්‍රීවරුන්ගේ වැටුප සැකසීමේදී ඔවුන්ගේ ආදායමෙන් අති මහත් බහුතරයක් නියෝජනය කරන ඉන්ධන දීමනාව, කාර්යාල දීමනාව සහ දුරකතන දීමනාව වැනි ලක්ෂ ගණනක මුදල්, ආදායම් ලෙස නොව කාර්යාලීය සහ නිල රාජකාරි වෙනුවෙන් කරන ‘ප්‍රතිපූරණ’ ලෙස වර්ගීකරණය කර ඇත. එබැවින් එම දැවැන්ත දීමනා ගොන්නට ආදායම් බදු පැනවෙන්නේ නැත. සාමාන්‍ය ජනතාවට බදු ගෙවන්නට නීති ගෙන එන මන්ත්‍රීවරුන්, තමන්ගේ වැටුපට බදු ගහන විට එයින් රිංගා යන්නට අපූරු න්‍යායක් නිර්මාණය කරගෙන ඇත්තේ එලෙසිනි.
මෙය හුදෙක් මූල්‍යමය ප්‍රශ්නයක් පමණක් නොව, දැඩි සදාචාරාත්මක සහ යුක්තිසහගත බව පිළිබඳ ගැටලුවකි. අද වනවිට සාමාන්‍ය ජනතාව තමන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම සියයට දහඅටක එකතු කළ අගය මත බද්දක් ගෙවයි. ඒ බදු මුදල් එකතු කර ගෙවන වැටුපෙන් නඩත්තු වන නියෝජිතයන් තමන්ගේ ආදායමට හරියට බද්දක් නොගෙවීම කොතරම් සාධාරණද? අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා මේ වැටුප් පත ප්‍රසිද්ධ කිරීමෙන් කළේ තමන්ට අවාසිදායක දෙයක් යැයි සමහරුන්ට සිතිය හැකි වුවත්, සැබැවින්ම එයින් සිදුවූයේ දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවගේ ඇස් වසාගෙන සිදුකළ පද්ධතිමය අසාධාරණයක් මහ දවල් හිරු එළියට පැමිණීමයි. බදු ප්‍රතිපත්තියක් යනු රටේ සියලු පුරවැසියන්ට එක සමානව බලපැවැත්වෙන, විනිවිදභාවයෙන් යුතු එකක් විය යුතුය. තමන්ට එක් නීතියකුත්, මහජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන මේ විකෘති ක්‍රමවේදය වෙනස් නොකරන තාක් කල්, යුක්තිසහගත සමාජයක් ගොඩනැගීම හුදු බොරු සිහිනයක් පමණක්ම වනු ඇත. සාමාන්‍ය ජනතාවගෙන් මිරිකා ගන්නා බදු සල්ලිවලින් සුරසැප විඳින අතරේ තමන්ගේ බදු බරත් මහජනයාගේම කරපිට පටවන මේ ක්‍රමය වහාම නිවැරදි විය යුත්තකි.










