මත්වතුර බෝතලය මත ස්ටිකරය හොරට ඇලවීම තවමත් ක්‍රියාත්මක වන බවත්, පසුගියදා මෙලෙස හොරට මුද්‍රණය කළ ස්ටිකර් තොගයක් හසුව ඇති නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව ඔවුන්ට ස්ථානීය දඩයක් පමණක් අයකර සිද්ධිය යටගැසූ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
මෙම වැරැද්ද හොර සල්ලි මුද්‍රණය කිරීම තරම්ම බරපතල වරදක් වුවත් ඒ පිළිබඳ සුරාබදු නිලධාරීන් කිසිදු සැලකීමක් නොදක්වන බවත්, ඔවුන් තමන්ගේ සේවා දිගුව හෝ වෙනත් තතුරු වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කරන බවත් චෝදනා කළ අතර, සුරාබදු නිලධාරීන් බරපතල දෝෂ දර්ශනයට ලක් කළේය.
දැන් බලන්න අපට ඉන්ධන ගත්තම කෝඩ් එකෙන් ඒ වෙලාවෙම අපේ දුරකථනවලට කෙටි පනිවිඩය එනවා. නමුත් මත්පැන් නිෂ්පාදකයන් කරන හොර වැඩ නිසා අහිමි වන රුපියල් බිලින 40ක මුදල රජයට ලබාගන්න ක්‍රියාත්මක කළ මත්වතුර බෝතලවල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ යෝජනාව බලාත්මක කරන්න මහ ලොකු කයි ගහන මුදල් අමාත්‍යංශයට තාම බැරිවෙලා…
එහෙම වෙලා තිබෙන්නේ ඇයි මත් වතුර බෝතලේ කෝඩ් එක ජංගම දුරකථනවලින් කියවන්න බෑ. හේතුව ස්ටිකර් හොරට ගහනවා. දෙපාර්තමේන්තුවට එකක්. පිට පාරෙන් යවන ඒවට තව එකක්. කෝඩ් දෙකක්. පහුගියදා හොරට ස්ටිකර් ගෙනාවා. ඒව අහුවුණා. මොකද කළේ සුරාබදු නිලධාරීන් ස්ථානීය දඩයක් ගෙවල මේක යට ගැහුවා.
ඊයේ අයවැය විවාදය අතරේදී මේ කතාව කී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ කතාව අතරේ නැගී සිටි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද මේ චෝදනාව තහවුරු කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ටිකර් ම්‍රදුණය කරන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගම මේ ආකාරයට හොරට ස්ටිකර් ලබාදීමේ ජාවාරම් සිදුකිරීම හේතුවෙන් රටවල් තුනක අසාදු ලේඛනගත කළ සමාගමක් බවයි. එම සමාගමට එරෙහිව තමන්ද අභියාචනාධිකරණයේ නඩු කී බව සඳහන් කළ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම නඩුවද ඉදිරියට කරගෙන යාමට ඔවුන් ඉඩ නොදුන් බව ප්‍රකාශ කළේය.
ඔය ස්ටිකර් හඳුන්වා දෙන්නට කටයුතු කළේ මේ රටේ මත්පැන් ව්‍යාපාරිකයො රජයට බදු ගෙවන් නැතිව හොරට කොටසක් වෙළෙඳපොළට නිකුත් කරන බවට වාර්තා වෙලා තිබුණා නිසා. මේ නිසා රුපියල් බිලියන 40ක පමණ බදු අලාභයක් අපට සිදුවනවා. මේ තත්ත්වය නැති කරන්න තමයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ටිකරයක් සෑම මත්පැන් බෝතලයකටම හඳුන්වා දෙන්නට කටයුතු කළේ.
නමුත් මේ වැඩේ පැවරුවේ ලෝකයෙන්ම අසාදු ලේඛනගත වෙලා ඉන්න සමාගමකට. දැන් වාර්තා වෙනවා මේවා රහසේ මෙරට මත්පැන් ව්‍යාපාරිකයන්ගේ අතටත් යනව කියලා.
ඔය ස්ටිකරය ගහන්න දුන්නු සමාගම ලෝකයේ රටවල් තුනක මේ විදිහට හොර කරලා ඒ රටවල බදු ආදායම් අහිමි කිරීම සම්බන්ධයෙන් හසුවෙලා බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්. අපේ සුරාබදු නිලධාරීන්ට මේ සමාගම හැර ලෝකයේ වෙන කිසි සමාගමක් තිබුණේ නෑ මේ වැඩේ පවරන්න. ඕක ස්ටිකරය නිකං දිනමිණ පත්තරේ ගහනව වගේ කඩදාසියක මුද්‍රණය කරන එකක්. ලේක්හවුස් එකෙත් ඕක ගහන්න තිබුණා.
දැන් මේ ස්ටිකරයට බිලියන ගාණක් වියදම් කර තිබෙනවා. තවමත් වංචා සිදුවෙනවා… යැයිද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
lankasara