වත්මන් ආණ්ඩුවේ දේශපාලන ගමන්මග සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් මහතා පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් සිදුකර තිබිණි. එම සාකච්ඡාවෙන් කොටසක් Lanka Voice යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News
ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් තියෙන පක්ෂයක්. දැන් ඒ පක්ෂය පාලන බලයට සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් දැන් සමාජයේ තියෙන එක මතයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂයක් තියෙනවද කියන එක?
මම හිතන්නේ පහුගිය කාලේ අපේ රටේ තිබිච්ච ගොඩක් සම්ප්‍රදායික පක්ෂ අහෝසි වෙලා ගියා. ඒ අතර රට පුරා පැතිරිච්ච තාමත් සජීවීව තියෙන එකම පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ එහෙම අහෝසි වෙන, අහෝසි කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බිම් මට්ටමේ ජනතාවගේ සිට ඉහළ දක්වාම පැතිරිච්ච මධ්‍යගත වෙච්ච සංවිධානයක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කලින්ටත් වඩා ශක්තිමත්ව දැන් තියෙනවා.
පක්ෂයේ තවදුරටත් ඉන්නවා පිරිසක් තනතුරු නොගන්න, මැති ඇමැතිකම් නොගන්න සහ මැතිවරණ දේශපාලනයට ආපු නැති. ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා ඉවත් වෙච්ච සාමාජිකයෝ, කණ්ඩායම් සහ ජවිපෙ නොවන දේශපාලන ව්‍යාපාරවලින් පවා නැගෙන චෝදනාව තමයි, මේ ජවිපෙ යටින් තව පක්ෂයක් තියෙනවා. ඒකට බෝල්ෂෙවික් පක්ෂය කියනවා, අභ්‍යන්තර පක්ෂය කියනවා, යටිබිම්ගත පක්ෂය කියනවා. එක එක නම්වලින් හඳුන්වන ඒවා තියෙනවා. ඔබ කියන්නේ ඔය ඒ පක්ෂය ගැනද? එහෙම එකක් තියෙනවද?
නැහැ. අපිට පක්ෂ දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒක ලියාපදිංචි පක්ෂයක්. ඒ පක්ෂයේ විශාල පිරිසක් වැඩ කරනවා. එතකොට ඒ පක්ෂයේ වැඩකරන අයට එකිනෙකාට ලැබිච්ච වගකීම් තියෙනවා. සමහරු ප්‍රසිද්ධ දේශපාලනයේ වැඩකරන අය. සමහරු සංවිධාන වැඩකරන අය. ඒ නිසා සමහරුන්ව රට දන්නවා. සමහරුන්ව රට දන්නේ නැහැ. ඒ ඇරෙන්න වෙන මොකක්වත් වෙනසක් නැහැ. ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් වුණොත් එයාව රට හඳුනා ගන්නවා. හැබැයි ඒ එක්කම වැඩකරන ක්‍රියාකාරී සහෝදරයෙක් ඉන්න පුළුවන්. එයාව රටේ අය දන්නේ ටිකක් අඩුවෙන්. ඒ ඇරෙන්න අපිට අර උඩ පක්ෂයයි, යට පක්ෂයයි, පක්ෂ දෙකක් ඒ කතන්දර නැහැ.
ජවිපෙ මුල් වෙලා එන්.පී.පී. එක හදලා බලය ගත්තට පස්සෙ විරුද්ධ පක්ෂ පවා බලාපොරොත්තු වුණා, ජවිපෙන් ඉවත්වෙලා ගිය කණ්ඩායම් පවා හිතුවා ඇත්තටම රටට ලොකු වැඩක් වෙයි වගේ එකක්. නමුත් මේ වෙද්දී එන්.පී.පී. එක රටට යමක් කරයි කියන විශ්වාසය ජනතාව තුළ බිඳවැටිලා වගේ තත්ත්වයක් තියෙනවා නේද?
ඔව්. මට ඕකට දෙපැත්තකින් උත්තර දෙන්න පුළුවන්. පළවෙනි එක අර මුලින් කියපු කාරණය ඇත්ත නෙවෙයි. අපෙන් ගිය කණ්ඩායම් දෙකයි ඉන්නේ. ඕගොල්ලෝ කවුරුත් දන්නවා. පෙරටුගාමී, ඊට කලින් විමල් වීරවංශලා. ඒ දෙගොල්ලොම බලාපොරොත්තු වුණේ මුලින් අපි දිනන්නේ නැහැ කියලා. දිනන එක වළක්වන්න උත්සාහ කළේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ වෙනම ඡන්ද ඉල්ලුවේ. වෙනම තරග කළේ. හොයලා බැලුවොත් ඒගොල්ලන්ගේ කතා හැම එකේම තිබ්බේ අපිට දිනන්න බැහැයි කියන එක. දිනුවට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව වුණේ අපි දිනපු ගමන් අපේ ආණ්ඩුව සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඇනගනී කියලා. කරගන්න බැරි වේවි, කඩා වැටේවි. ඒක තමයි ප්‍රාර්ථනාව. ඉතින් ඒක එහෙම වුණේ නැහැ. දැන් ඔය සමහර අය අපි දන්නවා අපිට කලින් ගිය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මුලදී පොඩ්ඩක් සද්ද නැතුව හිටියා. මොකද ඒගොල්ලෝ පැරදිලා හිටියේ. බින්දුවට වැටිලා. කතා කරන්න වෙලාවකුත් නැහැ. දැනුත් ඒගොල්ලෝ අපට චෝදනා කරනවා නෙවෙයි. බැලුවොත් ඒ චෝදනාවල හඬ අරගෙන හෙමින් ඒක ගත්තහම මට හිතෙන්නේ පොඩි වැළපිල්ලක් නේද තියෙන්නේ? මොකද නඩු වැටිලා තියෙනවා. නඩු ඇහෙන්න යනවා. නඩු ඇහුණොත් හිරේ යන්න වෙනවා. එතකොට බයක් ඇති වෙනවා. එතකොට වෙන කරන්න දේකුත් නැහැ. ඉතින් බණින එක තමයි කරන්න වෙන්නේ. ඉස්සර ඇත්තට මවාගත්තු පෞරුෂයක් තිබ්බනේ. ඒ වගේ ඒවා නැතුව දැන්නේ පොඩි වැළපෙන හඬකින් එක එක ඒවා කියනවා. ඉතින් ඒ ඒකට හේතුව තමයි ඒ සමහර අයට, හැමෝටම නෙවෙයි, පහුගිය ආණ්ඩුවත් එක්ක හිටපු අයට චෝදනා එල්ල වෙමින් තියෙනවා. ඒකට බයවෙලා තියෙනවා. අනික තමයි ආණ්ඩුව දිනෙන් දින ශක්තිමත් වෙමින් ඉස්සරහට යනවා.
අනිත් කණ්ඩායම ගත්තමත් එහෙමයි. අතිවාමාංශික හැඩයකින් හිතපු අය හිතුවා මේක ගත්තට පස්සේ කරගන්න බැරි වෙනවා, ඔක්කොම අත්අරිනවා අපෙන්, බිඳ වැටෙනවා. අපි බිඳවැටුණට පස්සේ ඒගොල්ලන්ට අවස්ථාවක් එනවා වම ගොඩනගන්න. එහෙම හිතන් හිටියානේ. එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට දුකයි ඒගොල්ලන්ට. වම අපි තමයි. ආයේ වෙන කාටවත් අවස්ථාවක් එන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ ජනතාව අවංකව ගත්තොත්, ඔබ හිතන්න අපි වෙනස් කරන්න පටන් ගත්තේ කොහොම රටක්ද? මේක කසළ ගොඩක්. ඔබ හිතන්න දැන් මේ වෙනකොට පොලිස්පතිට නඩු වැටිලා වැඩ තහනම් වෙලා ඉන්නේ. ඊට පස්සේ බන්ධනාගාර අධිකාරිවරයා රිමාන්ඩ් එකේ. තව පිරිසකුත් ඉන්නවා. හමුදාවේ ඉහළ පෙළේ අයට පරීක්ෂණ යනවා වංචා දූෂණ පිළිබඳව. ඊට පස්සේ ආර්.එම්.වී. එකේ හිටපු ප්‍රධානියට පරීක්ෂණ යනවා. රේගුවේ පරීක්ෂණ යනවා. ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච ප්‍රධාන ආයතන හැම එකේම හිටපු ලොක්කෝ ඔක්කොම දැන් එක්කෝ රිමාන්ඩ් එකේ, නැත්නම් පරීක්ෂණ මත ඉන්නේ. ශ්‍රී ලංකන් එයාර් එකේ හිටපු සභාපති රිමාන්ඩ් එකේ. ඉතින් එහෙම රටක් මේක. එතකොට ඒ නිසා වැටිලා තිබුණේ බින්දුවට. බංකොලොත් වෙලා තිබුණේ. ඉතින් ඒක මේ ගොඩ ගන්නේ අපි. එතකොට ඒක ගොඩගන්න එක ලේසි නැහැ. මොකද ඒගොල්ලන්ගේ බාධාත් එක්ක ගොඩ ගන්න වෙලා තියෙන්නේ අපිට. දේශපාලකයෝ ගොඩක් රිමාන්ඩ් එකේ. නැත්නම් හිරගත වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ බලපෑම් කරනවා අපිට. එහෙම තියෙද්දිත් අපි අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා.
දැන් අපි ඩොලර් එකකට රුපියල් 300 ප්‍රමාණය තියන් යනවා. ගොඩක් එහෙට මෙහෙට යන්නෙ නැති වෙන්න. අපි අපේ රටේ ජනතාවට මේ අමාරු තත්ත්වය තුළ සහන ගොඩක් දීලා තියෙනවා. වැටුප් වැඩි කරලා තියෙනවා. අපි අපේ රටේ ලොකුම ප්‍රශ්න වෙලා තිබිච්ච වංචා දූෂණ නවත්තලා තියෙනවා උඩින්. කාටවත් කියන්න බැහැ කටක් කරලා නැහැ වංචා දූෂණ තියෙනවා කියලා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් වෙන්වීමේ මූලික අදියරේදී ඔබ හිටියේ ඒ පාර්ශ්වයේ කියලා කියනවා?
මම මගේ ජීවිතයේම කවදාවත් මම පාර්ශ්වවල ඉඳලා නැහැ. මම පක්ෂෙට ආවා. අපි කිසියම් දෙයක් කරන්න විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මම පක්ෂයත් එක්ක හිටියේ. එතකොට අපි දන්නවා පක්ෂයක් ඇතුළේ වැඩකරන්න ගියාම සමහර උපක්‍රම ක්‍රියාමාර්ග තෝරද්දී අපි අතර තියෙනවා වෙනස්කම්. එතකොට ඒ වෙනස්කම්වලදී මමත් එක එක ස්ථාවරවල ඉඳලා තියෙනවා. ඒකේ හිටියට ඒ ස්ථාවර දිනපු වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා. ඒක වෙනම කාරණයක්. මම කොහෙවත් පාර්ශ්වයක හිටියේ නැහැ. ඉතින් පාර්ශ්වයක හිටිය නම් මම ඒගොල්ලොත් එක්ක යන්න ඕනනේ. එහෙම නැහැ. මම හිතන්නේ අපි ඕය ගැන කතාකරන එකේ තේරුමකුත් නැහැ. මොකද දැන් එහෙම සංවිධානයක් අපේ රටේ නැහැ.
ඔබ කියන්නේ පෙරටුගාමී කියන එක?
ඔව්, සංවිධානයක්. නමක් තියෙනවා ලියාපදිංචි වෙච්ච. සංවිධානයක් නැහැ. ඔබ හිතන්නකෝ මේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ රටේම එකතු කරලා ගත්තොත් මන්ත්‍රී කීයක් ගත්තද? අපෙන් ගැළවිලා යනකොට ඒගොල්ලොන්ට විශාල පිරිසක් එකතු වෙලා හිටියා.
දැන් ශානි අබේසේකර වගේ කෙනෙක් ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකමට පත්කරන්නේ. ඒ සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නිත්‍ය සේවයේ නැද්ද? විශ්‍රාම ගිය කෙනෙක්ව ආයේ පත්කරන්නේ. සහ එන්.පී.පී. එකත් එක්ක ඔහු ඍජුවම ප්‍රසිද්ධියේ දේශපාලනය කරපු කෙනෙක්. එතකොට ඔහු විසින් මෙහෙයවන පරීක්ෂණ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුකරන්න අවස්ථාවක් ලැබෙනවා නේද විරුද්ධ පාර්ශ්වයන්ට? මොකද ශානි අබේසේකර ගත්තහම අපි දන්නවා රන්ජන් රාමනායකත් එක්ක කෝල් රෙකෝඩින් එළියට ආවා?
එහෙම නම් ඒගොල්ලෝ සතුටු වෙන්න එපැයි. ඒ වගේ කෙනෙක් නම් පත්වුණේ. මෙතැන තියෙන්නේ ඒක නෙවෙයි. ශානි කාලයක් තිස්සේ පරීක්ෂණ කරපු නිසාම ඒ ආණ්ඩුවෙන් පීඩාවට පත්වෙච්ච, දඬුවම් ලැබිච්ච කෙනෙක්නේ. අපි කතාවක් කියනවානේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. හොරු අල්ලන්න හොරු පත්කරගෙන බැහැ. මිනිස්සු එක පැත්තකින් කෑ ගහනවා අපිට හොරු අල්ලන්නේ නැහැ, ප්‍රමාදයි, අල්ලන්නේ නැද්ද කියලා. එතකොට ඒකට අදාළ යාන්ත්‍රණය හදන්න ගියාම කෑගහනවා ඔන්න දේශපාලන පත්කිරීම් කියලා. ඒ මොන කතාව කිව්වත් අපිට වැඩක් නැහැ. අපි හිතනවා අපි හැම තිස්සේම ගැළපෙන කෙනා පත්කරගන්නවා. ඉතින් එයාව පත් කරලා ඒ වැඩේ කරන් යනවා. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් ඒ පරීක්ෂණ වැරදියි කියලා, මම හිතන්නේ ඒකට යන්න පුළුවන් තැනක් තියෙනවා අපේ රටේ. අධිකරණය තියෙනවා. අධිකරණයට යන්න පුළුවන්. ගිහින් කියන්න පුළුවන් පලිගන්නවා, මේක පරීක්ෂණය වැරදියි කියලා. ඒකට ඉදිකරලා තියෙනවානේ. එහෙම නැතුව අර පරීක්ෂණ අඩාළ කරවන්න පත්කරන කෙනාට විරුද්ධව කෑගහන එකට අපි එකඟ නැහැ.
ඔබ කිව්වා ජනාධිපති ලේකම් පත්කිරීම් එහෙම වෙනදාත් වුණේ එහෙම තමයි කියලා. ඒ කියන්නේ වෙනද පත්වුණු විදියටමද එන්.පී.පී. එකත් කරන්නේ? අනිත් එක එන්.පී.පී. එක ජනතාවට පොරොන්දු වුණා, වෘත්තීමයභාවයෙන් යුක්ත නිලධාරීන් පත්කරනවා මේ තැන්වලට කියලා. එතකොට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගෙන තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්කමට ගේන්නේ. එතකොට ඕකම තමයි අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවෙන් අයින් කරලා මහ බැංකුවේ අධිපති බවට පත්කරන්නේ. එතකොට ඒකමද යන පියවර?
අපි ආණ්ඩුව ගන්නකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ කවුද කියලා කියන්නකෝ. මහින්ද සිරිවර්ධන මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්මයලා ඉන්න කාලේ හිටපු කෙනා. ඔහුව අපි අයින් කළේ නැහැ.
හැබැයි ඡන්ද දවස්වල අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා මහින්ද සිරිවර්ධන හිරේ දාන්නත් වෙයි කියලා?
වැරදි කරලා තිබ්බොතින්. අපි මහින්ද සිරිවර්ධන අයින් කරලා දේශපාලන පත්කිරීමක් කළේ නැහැ. අපි එයාත් එක්ක වැඩ කරන් ගියා. මහ බැංකුවේ අධිපති. එයාත් එක්ක අපි වැඩ කරන් යනවා. ඒ විෂය දන්න කෙනා, නීතියෙන් පත්වෙච්ච කෙනා අපි අයින් කරන්න ගියේ නැහැ. දැන් එතුමා මේ විශ්‍රාම ගත්තා. විශ්‍රාම ගත්තහම හිස් තැනක් තියෙනවා. එතකොට ඒ හිස් තැන පුරවන්න ඕනෙ අපි මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයේ බර දරන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ වෙනකොට අයි.එම්.එෆ්. සාකච්ඡාවලට දිගටම ගිහිල්ලා, අමෙරිකාවත් එක්ක තියෙන සාකච්ඡාවලට ඔක්කොටම ගිහිල්ලා මේ පිළිබඳ හොඳම අවබෝධය තිබිච්ච කෙනා තමයි නියෝජ්‍ය ඇමැතිතුමා ලෙස හිටියේ. ඒ නිසා අපි කතා කළාම එයා කැමැති වුණා නියෝජ්‍ය ඇමැතිකමත් අත් හැරලා මේ වගකීම් භාරගන්න. සාමාන්‍යයෙන් වෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. මේක දාලා එන්න ඕනෙ නියෝජ්‍ය ඇමැතිකමට. හැබැයි අපි ගියා අනිත් පැත්තට. නියෝජ්‍ය ඇමැතිකමක් කියන ලොකු වගකීමක් දාලා අරක භාරගත්තා. මොකද මේක ගොඩගන්න ඕනෙ නිසා. ඒ නිසා අපි හැමවිටකම රට ගැන හිතලා මේ ප්‍රශ්නයට හොඳම උත්තරේ හොයන්න උත්සාහ කරනවා මිසක් අපි දේශපාලන පත්කිරීම් කරන්න ගියේ නැහැ. ඒ සමහර පත්කිරීම් දේශපාලන ඒවා තමයි. මොකද අපි දේශපාලකයන් නේ කරන්නේ. අපේ ඇමැතිවරු ඔක්කොම දේශපාලනිකයිනේ. අපි ආණ්ඩුවක් කරනකොට දේශපාලන පත්කිරීම් කරන්න ඕනෙ නැති තැන් තියෙනවා. අධිකරණයට එහෙම කරන්න ඕනෙ නැහැ. පොලිස්පතිට එහෙම කරන්න ඕනෙ නැහැ. හමුදාපතිට එහෙම කරන්න ඕනෙ නැහැ. සිවිල් සේවයේ තැන් තියෙනවා ඒවා කරන්න ඕනෙ නැහැ. ග්‍රාම සේවකයෙක් පත්කරන්න ඕනෙ නැහැ. ඒක හරි. ඒක රාජ්‍ය සේවයනේ. අනිත් ඒවා දේශපාලන පත්කිරීම්. ඒවා සහ දේශපාලනය අතර සම්බන්ධයක් තියෙනවා.
ඔබ කිව්වා ආගමන විගමන පාලකවරයත් රිමාන්ඩ් එකේ. එතකොට පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවලා. ආගමන විගමන පාලකගේ කතාව ගත්තම, ඒ නිලධාරියා ගැන කතාකරනවා. මේ වෙනකොට මැති ඇමැතිවරු කීප දෙනෙකුත් හිරේ. සමහරුන්ට නඩු පැවරිලා තියෙනවා. රිමාන්ඩ් එකේ ඉන්නවා. නමුත් ආගමන විගමන පාලකවරයා ඊ-වීසා සිද්ධිය සම්බන්ධයෙන්වත් කිසිම වෙලාවක ඒ අදාළ විෂයභාර ඇමැතිවරයාට ඇඟිල්ලක් දිගු වෙන්නේ නැහැ ආණ්ඩුව පැත්තෙන්. ඒ කියන්නේ හර්ෂ ඉලුක්පිටිය මහත්මයා අධිකරණයේදී වරද පිළිගත්තමත් අපි දැක්කා සමාජ මාධ්‍යයේ සමහර අය කතා කරලා තියෙනවා, ආණ්ඩුවට හිතවත් අය පවා මත පළකරලා තිබ්බා ඇයි මේක හර්ෂ තනියෙන් කන්නේ කියලා වගේ කතාවක්. ඇයි ටිරාන් අලස් මහත්මයා ගැන…?
අපි ඒක අහන්න ඕනේ හර්ෂගෙන්ම තමයි නේද? ඒ කියන්නේ දැන් ඔබ අහන ප්‍රශ්නවල පරස්පරෙකුත් තියෙනවානේ. එක පැත්තෙන් අහනවා දේශපාලන මැදිහත් වීමෙන් පලිගැනීම් කරනවා නේද කියලා. අනිත් පැත්තෙන් අහනවා ඇයි අරයාව ගන්නේ නැත්තේ කියලා.
ගන්නේ නැත්තේ කියලා නෙමෙයි මම අහන්නේ?
ඔව්, එයාට ඇඟිල්ල දිගු වෙන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ, අපි පරීක්ෂණ පටන් ගන්නේ අපිට ප්‍රශ්නේ ආපු තැනින්. පරීක්ෂණ කරන් ගියාම කිසියම් කෙනෙක් වැරැද්දක් කළාම ඒ වැරැද්ද කරන්න කිව්වේ වෙන කවුරුහරි නම් එයා කියන්න ඕනේ මට මේක කිව්වේ අහවලා කියලා. එයා කිව්වේ නැතුව වරද භාරගන්න බැහැනේ. එයා වරද භාරගත්තොත් එහෙම මම තමයි මේ කළේ කියලා අපිට එතැනින් එහාට යන්න බැහැ. අපි එතැන නතර වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ අපේ නෙවෙයි තියෙන්නේ. එයාගේ. එයා වරද භාරගත්තා. එයා කිව්වා නම් නැහැ මේකට මම නෙවෙයි වැරදිකාරයා, මට මේක කිව්වේ ඇමැතිවරයා. එතුමාගෙන් අහන්න. එහෙනම් අපි යනවා ඇමැති ගාවට. අපට ටිරාන් අලස් හරි, කවුරුවත් ලොකු නැහැ. කිසි කෙනෙක් එක්ක අපිට කිසිම බැඳීමක් නැහැ. හැබැයි අපි ඕනෙ කෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ චෝදනාවක් නිශ්චිතව තියෙන්න ඕනෙ. පැමිණිල්ලක් මොකක් හරි නිශ්චිතව තියෙන්න ඕනෙ. ඒක පටන් අරන් යන්න. නැත්නම් එන්නේ මොකක්ද අපි දේශපාලන පලිගැනීම් කරනවා කියලා. මොකද තව ඇමැතිවරු ගොඩක් ඉන්නවනේ ටිරාන් විතරක් නෙමෙයිනේ ඉන්නේ. දැන් ගත්තොත් ඇත්තටම සමහර ඒවා තියෙන්නේ පහුගිය කාලේ පරීක්ෂණ කරලා අතරමග නතර වෙච්ච ඒවා. ඔය රාජපක්ෂලාට විරුද්ධව යන ගොඩක් ඒවා අපි පරීක්ෂණ කරපුවා නෙමෙයිනේ. කලින් පටන් ගිහිල්ලා නතර වෙච්ච ඒවා. ඉතින් අලුතින් පරීක්ෂණ පටන් ගන්න පුළුවන්. එතකොට පටන් ගත්තහම කවුරු හෝ ඒකට සම්බන්ධයි නම් ඉතින් ඒ සම්බන්ධ කෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නැතුව අපිට අර තෝර තෝරා, අපි කැමැති කට්ටිය ඇතුළට ගන්න එහෙම සිස්ටම් එකක් අපිට නැහැ.
නීතිපති දෙපාර්තමේන්තුවත් ජනාධිපතිතුමාට කියලා තිබුණා අපිත් ස්ථාවරව කියනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපි නඩුවක් දාලා ඒ නඩුව පරදින්න නඩු දාන්න හොඳ නැහැ කියලා. එතකොට වෙන්න පුළුවන් දේ තමයි එකක් ඒ කියන්නේ වැරදිකාරයෙක් නිදහස් වෙන එකත් හොඳ නැහැ. නිවැරදිකාරයෙක් හිරේ යන එකත් හොඳ නැහැ. මොකද දෙකම හොඳ නැහැනේ. ඒ නිසා අපි මොකක් හරි කරන්න ඕනෙකම තියෙන්නේ නිශ්චිත ලෙසම තොරතුරු, දත්ත, සාක්ෂි සියල්ල තියෙනවා නම් විතරයි. ඒ නිසා අපි සමහර පරීක්ෂණ කරත් අපිට ඒක නඩුවක් දාන තරම් දේවල් නැත්නම් මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව කියනවා, ඔය නඩුව පවරන්න බැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම දාන්නේ නැහැ. ඔහොම තමයි මේක යන්නේ.
දැන් ලොකු ප්‍රශ්නයක් ආපු කතාවක් තමයි කන්ටේනර් මුදාහැරීමේ ප්‍රශ්නය. දැන් ඒකෙදි පළවෙනි පියවරේදීම නියෝජ්‍ය ඇමැතිවරයා කිව්වා ඔව්, අපි කිව්වා මේක නිදහස් කරන්න කියලා. අපි වගකීම ගන්නවා කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදීත් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනකොට ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඒ වෙනුවෙන් පෙනීහිටියා. දැන් අන්තිමට නිලධාරීන් මතට ඇවිල්ලා වගේ නේද ඒක?
නෑනේ, වරායේ කලින් ඉඳලම තදබදය වැඩි වුණාම ඒගොල්ලෝ අර බලන ක්‍රමයක් බලලා නිදහස් කරලා යවනවා. එතකොට දැන් මේ වෙලා තියෙන්නේ මොකක්ද? මේ දැන් විපක්ෂයේ ඉන්නවනේ බංකොලොත් වෙච්ච පිරිසක්. ඒගොල්ලන්ට චෝදනා නැති වුණහම ඒගොල්ලෝ මොකක් හරි අරගෙන ලොකු බිල්ලෙක් මවලා චෝදනාවක් හදනවා. දැන් කන්ටේනර් ගැන මොනවද කලින්ම කිව්වේ? කලින්ම කිව්වා මේකේ හොර බඩු ගියා, ආයුධ ගියාද දන්නෙත් නැහැ. මේවා බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාට සම්බන්ධයි කියලා කිව්වා.එතකොට තමයි අපේ අය කිව්වේ නැහැ, එහෙම එකක් නැහැ, අප භාරගන්නවා වගකීම. වැරැද්දක් වුණොත් ඇමැති භාරගන්න එපැයි.
ඊට පස්සේ කිව්වා උතුරේ කොහේ හරි තැනකට ආයුධ ගියාද කියලා සැකයි කියලා. දැන් ඒකත් අහුලන් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා බිමල් රත්නායක සහෝදරයා ඇමැතිවරයා ලෙස එයාගේ අවබෝධයෙන් එයාගේ යාළුවෙක්ට මේක අරන් දුන්නා කියලා කිව්වා. දැන් හොයලා බලනවා එහෙම මොකක්වත් ඇත්තෙත් නැහැ. ඕනෙ නම් නැවත පරීක්ෂා කරන්න පුළුවන් අය. ඉතින් මේ ප්‍රශ්නේ බරපතළ වුණාම අපි පරීක්ෂණ කමිටුවක් පත් කළා ආණ්ඩුවෙන්. ඒ පරීක්ෂණ කමිටුව විසින් පරීක්ෂණ කළා. දැන් එතකොට අරගොල්ලන්ගේ සද්දේ නතර වෙලා තියෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණ කමිටුව කියලා තියෙනවා සමහර ඒවා නිලධාරීන් අතින් වෙච්ච අතපසුකම් තියෙනවා කියලා. ඒකෙන් කියන්නේ හොර බඩු එළියට ගිහිල්ලා කියලා නෙවෙයි. ක්‍රමවේදයේ යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා. මොකද හැම තිස්සේම මේකේ තදබදයක් තියෙනවා. තදබදය උත්සන්න වුණහම එළියෙන් කෑ ගහනවා. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල, දවස් තුනක විතර තදබදයක් ආවා වරායේ කන්ටේනර්වල. ලුණු වැඩිපුර ගෙන්නපු එකත් එක්ක. එතකොට වෙන්නේ මොකක්ද? ට්‍රක් රථ රියැදුරෝ, එළියේ ඉන්න අය ඔක්කොම කෑ ගහන්න පටන් ගන්නවා වරායේ තදබදයක්. දවස් දෙකක් අපි මහා පාරේ. එතකොට මොකද කරන්නේ? ඒකට උත්තරයක් හොයන්න ඕනේ. ඊට පස්සේ අරගොල්ලෝ බලනවා, එතකොට නිදහස් කරලා යවන්න පුළුවන් කට් ටික ඉක්මනින් නිදහස් කරලා යවන්න. එතකොට මේ පැත්තෙන් කෑ ගහනවා, මෙන්න නිදහස් කරලා යැව්වා පරීක්ෂා නොකර කියලා. ඔහොමනේ තියෙන්නේ. ඉතින් ආණ්ඩුවකට වැඩකරන්න බැහැ චෝදනා අහන්නේ නැතුව. ඒ නිසා චෝදනා නගන අය චෝදනා නගපුවාවේ. අපිට හෘද සාක්ෂියේ ඇත්ත තියෙනවා. අපට වරදින්න පුළුවන්. හැබැයි අපි වැරදි කරන්නේ නැහැ. වරදින්න පුළුවන් කියන එකයි වැරදි කරනවා කියන එකයි දෙකක්. ඕනෙ කෙනකුට වරදින්න පුළුවන්නේ. වැරැද්ද දැක්කොත් අපි ටක් ගාලා ඒ වෙලේම හදාගන්නවා. අපි වරද්දන්නේ නැහැ. වැරදි කරන්නේ නැහැ. අපි හෘද සාක්ෂිය තියෙනවා අපි වැරදි කරන්නේ නැහැ. ඉතින් ඒකට අනුව අපි වැඩ කරන් යනවා. ඉතින් කෑ ගහන කට්ටිය, විවේචනය කරන කට්ටිය ඒගොල්ලෝ විවේචනය කරපුවාවේ. මොකද ඔය හැම විවේචනයක්ම කිසියම් වෙලාවකදී අසත්‍ය වෙලා, බංකොළොත් වෙලා යනවා.
පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, පශ්චාත් මැතිවරණ තත්ත්වය ගැන කතා කරද්දී අපි දකිනවා ජාතික ජන බලවේගයට කොහොම හරි බලය ගන්න ඕනේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. එක තැනකදී පොහොට්ටුවේ මිනිස්සුන්ව ගන්නවා, එක තැනකින් සජබේ මිනිස්සු ගන්නවා, තොණ්ඩමන්ලාගේ අය ගන්නවා. සමහරු කියනවා පිල්ලෙයාන්ගේ අයත් එක්කත් සාකච්ඡා කළා කියලා. රටේ විධායක ජනාධිපති ධුරය තියෙනවා ඔබේ පක්ෂයට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලය තියෙනවා. ඇයි තමන්ගේ පක්ෂයේ තියෙන ඒ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරලා ඒ වගේ පියවරක් ගන්නේ?
ඇත්තටම හිතන්නේ ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ අපෙන් නෙවෙයි. ඒ කියන්නේ මැතිවරණයකදී ජනතාව ඡන්දය දීලා, කිසියම් දේශපාලන පක්ෂයකට වැඩිපුර බලය දුන්නට පස්සේ ඒ වැඩිපුර බලය ලැබිච්ච පක්ෂයට බලය පවත්වන්න ඉඩ දෙන්නේ නැතුව, අර ජනතාව ප්‍රතික්ෂේප කරපු පොඩි පොඩි කෑලි ඔක්කොම එකතු කරලා එකක් ගොඩක් ගහලා, ඒ ගොඩ බලයට ගන්න ගියාම ඒක හරි කියලා ඔබ හිතනවද? ඒක හරි නැහැ. එතකොට අපිට ඔය ප්‍රශ්නේ මොකක්වත් එන්නේ නැහැ. හැම දෙනාම අවංකව තමන්ට ලැබිච්ච දේ පිළිවෙළ අරගෙන, අපිට මෙතැන බහුතරය තියෙනවා. අපි ආණ්ඩුව හදනවා. මේකේ අපි දිනලා නැහැ. ඒ නිසා දිනපු කට්ටිය හදාගත්තුවාවේ. එහෙම හිතුවා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මේ පැරදිච්ච සුන්බුන් එකතු වෙලා දිනපු අපේ සභාවේ බලය අත්පත් කරගන්න හදනවා නම් ඔබ කියන්නේ අපි අත් දෙක බැඳන් බලන් ඉන්න ඕනෙ කියලාද? නැහැ. අපි එහෙම පක්ෂයක් නෙවෙයි. අපි මේ බලය වෙනුවෙන් සටන් කරන්නේ. ඒ නිසා අපි බලය ගන්නවා. අනුන්ගේ බලය නෙවෙයි ගන්නේ. අපට අයිති, අපට ලැබිච්ච බලය වෙනස් ක්‍රමයකට, සදාචාර විරෝධීව කවුරු හරි ගන්න හදනවා නම් අනිත් පැත්තට අපිට බලය ගන්න ඕනෙ. අනිවාර්යයෙන්ම අපි තීන්දුවක හිටියා, පක්ෂත් එක්ක අපි සාකච්ඡා කරන්න එකඟ නැහැ කියලා. නමුත් ඔය පක්ෂ ඇතුළේ සමහර මිනිස්සු ඉන්නවනේ, කතා කළාම කැමැතියිනේ. අපි කතා කරලා ගත්තා. අපි ඒගොල්ලන්ට කියනවා ඒ නිසා, අපිත් එක්ක එහෙම සෙල්ලම් කරන්න එන්න එපා. හරිද? අපි ඒ වෙනුවෙන් සටන් කරන්නේ නැති, ඒගොල්ලෝ කරන ඕනෙ එකකට ඉඩ දීලා ඉන්න පක්ෂයක් නෙවෙයි. රට හදන්න අපි යන්නේ. ජනාධිපති බලයත් ඕනෙ අපිට. පාර්ලිමේන්තු බලයත් ඕනෙ අපිට. පළාත් පාලන ආයතනත් අපිට තිබ්බොත් තමයි අපිට ලේසි අපේ වැඩපිළිවෙළක් අරගෙන යන්න.
සමහර තැනක අපට 21ක් විතර ලැබිච්ච තැනක, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපිට 21ක් ද කොහෙද. පොහොට්ටුවට හයයි. පොහොට්ටුව සභාපති පත් කරගන්නවා. ඔබ කියන්නේ සාධාරණද ඒක? නැහැ, ඒක වැරදියි. හයක් ලැබිච්ච කෙනා සභාපති වෙනවා, 21 පැත්තක ඉන්නේ.
නමුත් ඔහුට කැමැති අය ඉන්නවා?
ජනතාව නෙවෙයිනේ. ජනතාව දීලා නැහැ ඒගොල්ලන්ට. මම කියන්නේ මෙහෙමනේ, ඔය ඡන්දය දෙන්නේ ජනතාව නෙවෙයිනේ. පොහොට්ටුවට ඡන්දය දීපු කෙනා, සජබේට ඡන්දය දීපු ජනතාව වෙනස්නේ. ජනතාව දුන්නනම් පොහොට්ටුවටම ඔය ඔක්කොම ටික, ප්‍රශ්නයක් නැහැනේ.
නමුත් පොහොට්ටුවේ කෙනාට සජබෙ කෙනා කැමැති වෙනවා කියන එක රට දැනගන්නවා. ඒ කියන්නේ සජබේට ඡන්දය දුන්න ඡන්දදායකයා දන්නවා තමන්ගේ නියෝජිතයා කාටද සහාය පළ කරන්නේ කියලා විවෘතයි. නමුත් දැන් කොළඹ මහනගර සභාවේ එන්.පී.පී. නගරාධිපතිනියට සහාය දුන්නේ විපක්ෂයේ කවුද කියන එක ජනතාව දන්නේ නැහැ?
කමක් නැහැ ඒකට. මොකද ඒ සහාය දීපු අයගේ මන්ත්‍රීකම රැකෙන්නත් ඕනනේ. ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙවෙයි. මේවා පත්වෙන්නේ ජනවරමෙන්. එතකොට ජනවරමෙන් පත්වෙන්න නම් ජනතාවගේ බහුතරයක් ඡන්දය දීපු පක්ෂය තමයි පත්වෙන්න ඕනේ. ජනතාවගේ බහුතරයක් ඡන්දය ලැබිච්ච නැති පක්ෂයක් පත්වුණාම සභාවේ නායකත්වයට, එතැන ජනවරමක් නැහැ. දැන් ඔය තර්කය හරි යනවා මෙහෙම වුණා නම්, ඒගොල්ලෝ ඡන්දෙට කලින් කිව්වා නම්, අපි ඔක්කොම එකතු වෙලා ඉල්ලන්නේ. මාලිමාව තියෙනවා පරද්දන්න ඕනෙ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා අපිට ඡන්ද දෙන්න. එතකොට ඒකෙන් ඒගොල්ලෝ දිනුවම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩුව පිහිටුවනවා. මොකද ඒගොල්ලෝ ජනතාව අතරට යන්නෙම එකතු වෙලා. හැබැයි වෙන වෙනම ඡන්දෙ ඉල්ලලා, සජබේට වෙනම ඡන්ද ගන්නවා, අරකට වෙනම ගන්නවා, මෙයාට වෙනම ගන්නවා, අරගෙන ඊට පස්සේ සභා පිහිටුවන්න ඒවා එකතු කරගන්නවා කිව්වට පස්සේ දැන් ඡන්ද දීපු කෙනාට පුළුවන්ද කියන්න, එපා අපි ඕකට නෙවෙයි දුන්නේ කියලා? කියන්න බැහැනේ. ඒ නිසා මේ තියෙන්නේ වෙන කතන්දරයක්. ඒ කතාවට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඕකට මැදිහත් වෙනවා. ඕකට මොන විවේචන ආවත් අපි ඕක කරනවා අනිවාර්යයෙන්.
මතුවෙච්ච තත්ත්වයට අනුවනේ ඒ වැඩේ කළා කිව්වේ. කාගෙන් හරි, මොන පක්ෂයේ හරි කමක් නැහැ, ඒ කියන්නේ හොරු වුණත් කමක් නැහැ, ඒ පුද්ගලයෝ අරගෙන අපි බලය ගන්නවා කියලා. මම කිව්වොත් මැතිවරණයට කලින් ඉඳලම එන්.පී.පී. එකේ තිබුණේ මොකෙන් හරි බලය ගන්නවා වගේ කතාවක් කියලා. ඒ කියන්නේ අපිට මතකයි ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී කිව්වා, වෙන අයට ඡන්දෙ දුන්නොත් අපි සල්ලි දෙන්නේ නැහැ මධ්‍යම ආණ්ඩුවෙන් කියලා. එහෙම පොඩි තර්ජනයක් කළා. දැනටත් මම දැක්කා නලින් ජයතිස්ස ඇමැතිවරයා කියනවා විපක්ෂය විසින් බලය ගත්ත ආයතන ගැන කියනකොට, බලමුකෝ කරන හැටි කියලා. ඒකේ පොඩි තර්ජනාත්මක ස්වරූපයක් තියෙනවා නේ? ඒ ආයතනවලට වැඩකරන්න දෙන්නේ නැති වෙයිද?
එකක් තමයි ඔබ කියපු අදහස විකෘති කරපු අදහසක්නේ. අනුර සහෝදරයා කිව්වේ මෙහෙමයි, අපේ රටේ මේ පළාත් පාලන ආයතන ප්‍රසිද්ධ හොරකමටනේ. මහජන මුදල් හොරාකාපු තැන්. ඒක වෙනස් කරන්න අපි යන්නේ. ඒ නිසා ඒවා පරණ අය ගත්තොත් සල්ලි හොරාකනවා. හොරාකන්න සල්ලි නම් අපි දෙන්නේ නැහැ. ඕක තමයි කිව්වේ. ඕක තමයි කිව්වේ. මොකද හොරාකන්න දෙන එක වැරදියි. ඊළඟ කාරණය තමයි, අපි සටන් කළේම මේ සභා ටික අපිට ගන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එතැන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතා සදාචාරසම්පන්නව හිතන්නකෝ, දැන් කිසියම් සභාවක අපි තනියම දහයක් දිනනවා. අනිත් ඔක්කොම එකතු කළාම එකොළහක් තියෙනවා. එතකොට මේ තනියම දිනපු දහයට නොදී ඔක්කොම එකතු කරලා එකොළහක් සභා පිහිටුවන එක මොන පැත්තෙන් බැලුවත් සදාචාර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඉතින් එහෙනම් මොකද අපි කරන්න ඕනෙකම තියෙන්නේ? කැමැති කෙනෙක් මේ පැත්තට අරගෙන එකොළහ හදලා අපි බලය ගන්න එක. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒගොල්ලන්ට මොනවක්වත් වරප්‍රසාද දීලත් නැහැ. සමහරු අපිට ආවේ ඇයි දන්නවද? කැමැති වුණේ. දැන් සමහරු දේශපාලනයෙන් විරුද්ධයි පොහොට්ටුවේ සමහර අයට, මාර විරුද්ධයි සජබේට. හැබැයි දැන් සජබෙයි ඒගොල්ලොයි එකතු වෙලා සභා පිහිටුවන්න යනකොට ඇතුළෙම අකැමැත්තක් ආවා. සමහරු අපට කතා කරලා කිව්වා මේකට නම් අපිට දෙන්න බැහැ. සහෝදරයා අපිට මොකක්වත් ඕන නැහැ, අපි ඕගොල්ලන්ට උදව් කරන්නම් කියලා. හැබැයි අපිට ප්‍රසිද්ධියේ උදව් කරන්න බැහැ. මොකද මන්ත්‍රීකම නැති වෙයි අපේ. ඒ නිසා අපි රහස් ඡන්දයක් තිබ්බොත් දෙන්නම් කියලා. එහෙම තමයි මේක වෙලා තියෙන්නේ.
කිසිම වරප්‍රසාදයක් වරදානයක් දුන්නේ නැහැ?
කිසිවක් නැහැ.
දැන් තව එක එක කතා ආණ්ඩුව ගැන එළියට එනවා. අර ජනාධිපතිවරයා කිව්ව කතාවත් ඒකට සම්බන්ධ කරගන්නවා, අර පාපිසි කතාවක් කිව්වයි කියලා. ඒ කියන්නේ එන්.පී.පී. සහ ජේ.වී.පී, විරසකයක්, පරස්පරයක් තියෙනවා කියලා. පහුගිය දවසක මම සාකච්ඡාවක් කළාම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග ඔහු කියනවා, ටිල්වින් කරන්නෙත් බැසිල් කරපු දේම තමයි. පක්ෂය විසින් ආණ්ඩුව හයිජැක් කරලා තියෙනවා කියලා. ඒක එහෙමද?
ඉස්සෙල්ලාම කියන්න ඕනෙකම තියෙනවා, මම කරන්නේ බැසිල් කරපු දේ නෙවෙයි. මොකද බැසිල් කළේ හොරකම් කරන එකනේ. රටට එන්න බැරි වෙන්න හොරකම් කළා. මම සත පහක්වත් හොරකම් කරලා නැහැ, සල්ලි එකතු කරලා නැහැ, දේපළ එකතු කරලා නැහැ. මට දැනුත් ඉඩම් කෑල්ලක් නැහැ, බැංකු ගිණුමක් මොකක්වත් නැහැ. ඒ නිසා චම්පිකලාගේ කුහකකම්වලට අපි උත්තර දෙන්න යන්න ඕනෙ නැහැ. ඒගොල්ලෝ තමයි හැම තැනම ලැගලා දේශපාලනයෙන් පරාජික වෙලා දැනුත් ඔය ඉවසන්න බැරුව ඉන්නේ. ඔබ ඔය කියපු කතා, එන්.පී.පී., ජේ.වී.පී, ගැටුම කියන එකට මේ ඒක මම හිතන්නේ අපේ සාහිත්‍යයේ තියෙන එළුවගේ මොකක්ද වැටෙනකන් හිටියා කියලා කවුරු හරි? ඒ වගේ එකක් ඕක. අපේ විරුද්ධවාදීන්ගේ ඔහොම ප්‍රාර්ථනාවක් තියෙනවා. මේක වැටෙන්න නම් හොඳම දේ තමයි ජේ.වී.පී. එකයි එන්.පී.පී. එකයි ගැටුණොත් ආණ්ඩුව කඩන් වැටෙනවා. එහෙම අහිංසක ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව විඳගෙන ඒගොල්ලෝ ඉතින් ඒක විටින් විට කියනවා. ඉතින් අපට ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එන්.පී.පී. එක සහ ජේ.වී.පී. අතර කිසිම ගැටලුවක්, පරස්පරයක්, මොකක්වත් නැහැ. අපි කියන සමහර කතාත් ඒගොල්ලෝ එකට ගළපා ගන්නවා.
මට මතකයි ඡන්දයටත් කලින් හරිනි අමරසූරියයි, මායි අතර ගැටුමක් තියෙනවා කියලා කිව්වා. හරිනි, අනුර අතර ගැටුමක් තියෙනවා කියලා කිව්වා. හරිනි අගමැතිකමෙන් අයින් කරන්න යනවා කියලා කිව්වා. ඉතින් මොකක්වත් වෙලා නැහැනේ එහෙම නේද? අපි බොහොම සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන්, හොඳ යාළුකමෙන් මේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා මම නම් කියන්නේ ඒගොල්ලෝ ඒ වගේ හීන දැකලා ඉන්න එක හොඳයි. නමුත් අපි එහෙම නෙවෙයි. අපි මොකද මේවා අපි තනතුරු බෙදාගෙන හදාගත්තු සංවිධාන නෙවෙයි. පුද්ගලික දේවල් ගන්න හදාගත්තු ඒවා නෙවෙයි. මේවා අපි කැපකිරීම් කරලා, මේ රට හදන්න ඕනෙ කියන විශ්වාසයෙන් හදපු සංවිධානයක්. ඒ නිසා මේක ඇතුළේ හැමෝම මේ වෙනුවෙන් කැප කරන්න ලෑස්තියි. ඉතින් අපි ඒක කරනවා. අපිට ඕනෙකම තියෙනවා, අපිට බණින අයටත් ජීවත් වෙන්න පුළුවන් විදියේ හොඳ රටක් හදන්න. අපි මේ රට හදන්නේ අපිට විතරක් නෙවෙයි. ඒගොල්ලන්ටත් එක්ක. ඒගොල්ලන්ගේ දරුවන්ටත් එක්ක.
ළඟදී චීනෙට ගියානේ ඔබ. යනකොට 29 දෙනෙක්ගේ ලොකු කණ්ඩායමකුත් ගියා. මේ කණ්ඩායම තෝරගත්ත පදනම මොකක්ද? ඒක අහන හේතුව තමයි, අනුර පිල සහ ටිල්වින් පිල කියලා දෙකක් තියෙනවා, ටිල්වින් තෝරගෙන අරන් ගියේ තමන්ට විශ්වාස, තමන්ගේ කණ්ඩායමෙන් කට්ටියක් කියලා කතාවක් තියෙනවා?
මේක තියෙන්නේ මෙහෙමයි. චීනයේ, චීන ආණ්ඩුවයි කොමියුනිස්ට් පක්ෂයයි දෙකක් තියෙනවනේ. ආණ්ඩු කරන්නේ කොමියුනිස්ට් පක්ෂය. හැබැයි ඒ අස්සේ කොමියුනිස්ට් පක්ෂය වෙනම තියෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි අතර ඇති කරගත්තු එකඟතා ගිවිසුමක් තියෙනවා අපි එකිනෙකාට උදව් කරගන්නවා, අධ්‍යාපන වැඩවලට උදව් කරනවා කියලා. ඒ නිසා අපිට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවෙන් තමයි ආරාධනාව ආවේ, අධ්‍යයන චාරිකාවකට පක්ෂයෙන් මගේ නායකත්වයෙන් පිරිසක් අරන් එන්න කියලා 30ක විතර. අපි 29ක් තෝරගත්තා. ඒ තෝරගන්නකොට අපි අධ්‍යාපනය ලබන්න අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ කීප දෙනෙකුත් තෝරගත්තා. ඉතින් එතන ජේ.වී.පී. නොවන අයත් ඉන්නවා. අපේ දිස්ත්‍රික්කවල වැඩකරන සංවිධායකවරු ඉන්නවනේ, ඒගොල්ලන්ට මේක හරි වැදගත්නේ. ඒගොල්ලන්වත් තෝරගෙත්තා, අපේ සහෝදරියන් පිරිසකුත් තෝරාගත්තා, කාන්තාවොත් යන්න ඕනේ නිසා, එහෙම තමයි 29 හදාගත්තේ. අපි කවුරුත් කතා වෙලා හදාගත්තු කට්ටියක් නෙවෙයි මේ. ඉතින් 29 දෙනා ගියා. ඊට පස්සේ ඒක ඉවර වෙනකොටම තව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් චීනෙට ගියා. තාමත් ඒගොල්ලෝ චීනයේ ඉන්නේ මම හිතන්නේ. එහෙම මිසක් ඉතින් අනුරගේ, මගේ කණ්ඩායම් කියලා වර්ග දෙක තුනක් නැහැ. මම හිතන්නේ අපේ රටේ දේශපාලන පක්ෂවලට ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒක තියෙන්නත් ඕනෙ. අපි හිතනවා ඒක තියාගන්න, අපි ආසයි ඒකට. ඒ තමයි අපේ පක්ෂයේ තියෙන මේ සමගිය, සහෝදරත්වය ඒගොල්ලන්ට හිතන්නත් බෑ. තේරුණාද? මම හිතන්නේ අපෙන් ගිය සමහරු දන්නවා ඕක. ඒ කියන්නේ අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක නැති සහෝදරත්වයක්, බැඳීමක්, සමගියක් අපට තියෙනවා.
ඒත් පක්ෂය දෙපාරක් විතර කැඩුණා?
ඔව්, කැඩෙනවා ඉතින්. එහෙමනේ. සමහර ගැටලු ආවහම අපි ඒ යාළුකම් පැත්තක දාලා ඒකට හැපෙනවා. එහෙමනේ වෙන්න ඕනේ. හැබැයි එතකන් සහෝදරත්වයක් තියෙන්නේ. අපි හැමෝම එකට ඉන්නේ. අපි එකට මැරෙන්න ආපු මිනිස්සු එක වෙලාවක. එකට හිරේ හිටපු මිනිස්සු අපි එක වෙලාවක. එකට සටන් කරලා මේ රට හදන්න ඇවිල්ලා ඉන්නේ අපි. ඒ බැඳීම අපිට තියෙනවා. අපිට වෙන මොකක්වත් නැහැ. අපිට සර්ලා, මැඩම්ලා එහෙම මොකක්වත් නැහැ. ඒක සමහරුන්ට දරාගන්න බැහැ. ඊර්ෂ්‍යයි. ඒ නිසා ඒගොල්ලෝ කියනවා, අනුරට වෙනම කණ්ඩායමක්, ටිල්වින්ට වෙනම කණ්ඩායමක්, හරිනිට තව කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් මම ආයිත් කියන්නේ, එහෙම හිතන අයට බාධා කරන්න ඕනෙ නැහැ අපි. මොකද දන්නවද? අපිට එහෙම එකක් නැහැනේ. අපිට එහෙම එකක් නැති නිසා ඉතින් එහෙම හිතන අයට හිතන් ඉන්න දීලා, අපිට වැඩ කරන් යන්න තියෙන්නේ.
ඔබ කලින් කිව්වා ‘අපි එක වෙලාවක එකට මැරෙන්න හිටපු කට්ටිය’ කියලා. එහෙම මැරුණු දහස් ගානක් ඉන්නවා. පක්ෂයේ මතවාදය පිළිඅරගෙන සහ පක්ෂයට කිසිම සම්බන්ධයක් නැතුවත් ඒ පක්ෂය නිසා මියගිය පිරිස් ඉන්නවා. ඒ මතවාදයෙන් ජවිපෙ වෙනස් වුණේ කොහොමද මේ තරම් දුරට? ඉන්දියානු ව්‍යාප්තවාදය කියන වදන, ඒ සංකල්පය ලංකාවේ දේශපාලන ශබ්දකෝෂයට ගෙනාවේ ජවිපෙ. කොහොමද ඒක ඒ තරම් අමතක වුණේ කොහොමද? ඒ මතවාදය වෙනුවෙන් ජීවිතය පූජා කරපු පක්ෂයේ නායකයා, නිර්මාතෘගේ සිට ගමේ සාමාන්‍ය සාමාජිකයා දක්වා ඉන්නවා ඒ අතරේ?
පක්ෂ ඉතිහාසය ගැන නොදන්න, නැත්නම් එහෙන් මෙහෙන් අහුලා ගත්තු අයට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ගත්තොත් අපිට ඉන්දියානු ව්‍යාප්තවාදය කියන අදහස අත්හැරලා තියෙන්නේ 1976 කාලේ. මොකද 1968, 69 විතර කාලේ අපි අපේ පක්ෂ සාමාජිකයන්ට අධ්‍යාපනය දෙන්න සාකච්ඡා පහක් හැදුවා. ඒ සාකච්ඡා පහෙන් එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. මොකද ඒ වෙනකොට, දැනුත් තියෙනවා කිසියම් ප්‍රමාණයකින් ඉන්දියාව තමන්ගේ අසල්වැසි රටවලට කිසියම් ආධිපත්‍යවාදී බලපෑමක් තිබුණා. නමුත් ඒ සාකච්ඡාව කරන්න ගියාම ඒ කාලේ හිටපු නායකයෝ දැකලා තිබුණා, ඒක කරන්න ගියාම කිසියම් ප්‍රමාණයකින් කරන අය අතින් කිසියම් වැරදි පවා මේක සිද්ධ වීමෙන් තිබුණා කියලා. ඒ නිසා 1976, අපි නැවත වැඩපටන් ගත්තු වෙලාවේ නැවත මේවා සාකච්ඡා කරද්දී, රෝහණ සහෝදරයා ඉන්නැද්දීම, අර ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය පැත්තක තිබ්බා. මොකද ඒක, අපිට වෙනම විස්තර කරන්න පුළුවන්, ඒක විස්තර කරන්න ගියාම ඒක වැරදියට විග්‍රහ වෙයි කියන කාරණය මත. ඒ නිසා එහෙම අත්හැරියා කියලා කියනවා නම්, ඒක අත්හැරියේ ඒ කාලේ.
ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුම් ටික ඇයි රටට කියන්නේ නැත්තේ?
මම හිතන්නේ මේක පාර්ලිමේන්තුවෙත් කිව්වා. එළියෙත් කිව්වා. මෙන්න මේවා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ඊට අමතරව අපිට තේරෙන්නේ නැහැ එච්චර විශ්වාසයක් නැද්ද අපි ගැන? කෙනෙකුට ඕනෙ නම් අවුරුදු පහක් බලන්නකෝ මොකක් හරි නරක දෙයක් කරයිද කියලා. එහෙම වෙන්නේ නැහැ.
Lanka Voice
සැකසුම – චානක ලියනගේ










