නාවික හමුදාව විසින් දෙවුන්දර සිට දකුණු දෙසින් කීලෝමීටර 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ රුපියල් බිලියන 4.5 (කෝටි 450) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634ක තොගයේ මෙරට ඇණවුම්කරුවන් ලෙස බූස්ස බන්ධනාගරයේ රඳවා සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයට සම්බන්ධ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.Sri Lanka Latest News
මීට පෙර අත්අඩංගුවට ගෙන 22 වෙනිදා දෙවුන්දර ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය කිලෝ 200 ග්‍රෑම් 310ක තොගයේද ඇණවුම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ ඔවුන් වන අතර, අවස්ථා දෙකේදීම අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙරටට රැගෙන ඒමේ කටයුතු පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධිකරණය කර ඇත්තේ ඩුබායිහී රැඳී සිටින මෙරට ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු ද අනාවරණය වී ඇත.
පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණි බහුදින යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු දෙකට පටවා ඇති බවද අනාවරණය වී තිබේ. මෙම බෝට්ටු දෙක හැරුණු කොට තවත් බෝට්ටුවකට ද මත්කුඩු කොටසක් පටවා ඇතැයි සැක කරන තොරතුරක් අනාවරණය වි ඇති බැවින් නාවික හමුදාව එම බෝට්ටුව සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම බෝට්ටු සියල්ලම හෙරොයින් පටවා ගැනීමට ගොස් ඇත්තේ කුඩාවැල්ල ධීවර වරායෙන් බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
ඊයේ (24) ගොඩබිමට රැගෙන පැමිණි බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 219කට අධික ප්‍රමාණයකි. පසුගිය 22 වෙනිදා ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 179යි ග්‍රෑම් 14ක් සහ හසීස් කිලෝ 31යි ග්‍රෑම් 296කි.
මෙම බෝට්ටු දෙකේම සැකකරුවන් පස්දෙනා බැගින් සිට ඇති අතර, ඔවුන් 10 දෙනාම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇත. ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් ඊයේ ගොඩබිමට රැගෙන ආ බෝට්ටුව කොටුකරගෙන තිබේ. එහි තිබී ඇත්තේ මුළුමනින්ම හෙරොයින්ය. මෙම බෝට්ටුව කොටුකරගෙන ඇත්තේ පසුගිය 19 වෙනිදාය.
කොළඹ වරායට ඊයේ රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද සහභාගි විය.
ඊයේ (24) උදෑසන අදාළ බහුදින ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙනවිත් සිදු කළ පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර නවයක් (09) තුළ පාර්සල් දෙසීයක (200) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබී ඇත.










