තමන් 9 වැනිදා පෙරවරුවේ කිසිදු පෙළපාලියකට කිසිදු තැනකින් ගෝල්ෆේස් පිටිය දෙසට යාමට අවස්ථාව නොදෙන ලෙසට පැහැදිලි උපදෙස් නිකුත් කර තිබූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
පසුගිය 9 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පොහොට්ටු පාක්ෂිකයන් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී පැය 4ක ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස්පතිවරයා මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
ඊට පෙර දිනයේ තමන්ට මෙම උද්ඝෝෂණය සහ පෙළපාලිය පිළිබදව බුද්ධි තොරතුරු වාර්තා වී තිබූ බවත්, ඒ හේතුවෙන් මෙම නියෝග නිකුත් කර තිබූ බවත් පොලිස්පතිවරයා සදහන් කොට තිබේ.
කෙසේවෙතත් අවම වශයෙන් තමන් නියෝග නිකුත් කළ පසු මාර්ග බාධක දැමීමත්, අධිකරණ නියෝග ගැනීමත් සිදු කළ යුතුව තිබූ නමුත් ඒ කිසිවක් කර නැති බව තමන්ට පසුව දැනගන්නට ලැබුණු බවද පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම පෙළපාලිය සම්බන්ධයෙන් ඇතමුන් තමන්ට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී පොලිස්පතිවරයා අනාවරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.










