කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන් ආදහනය කිරීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
නිවසේදී මියගොස් ඇති සිය සැමියාගේ සිරුර මුලතිව් දිසා රෝහල වෙත රැගෙන එමෙන් පසු පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකොට තිබියදී එහි ප්‍රතිඵල පැමිණීමට පෙර සෞඛ්‍ය සේවකයන් සිරුර ආදාහනය කොට ඇති බව මියගිය පුද්ගලාගේ ඥාතීහු පවසති.
සිරුර ආදාහනය කිරීමෙන් අනතුරුව කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් තමන්ට රැගෙන යන ලෙසට රෝහල් සේවකයන් පැවසූ බවද ඥාතීන් සඳහන් කළේය.
එලෙස අදාහනය කොට ඇත්තේ මුලතිව් , තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි කුමරන් ගෝපාලන් (74) නැමැත්තාගේ සිරුර වන අතර කොවිඩ් ආසාදිත මළසිරුරක් ලෙස හදුන්වා දේහය වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අදාහනයකර තිබුණි.
සිද්ධිය සැලවීමත් සමඟ ඥාතීන් හා රෝහල් සේවකයන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර පොලිසිය මැදිහත්ව සමතයකට පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ සිරුර හදුනාගැනීමෙන් අනතුරුව ආදාහනය කළ බව මෘත ශරීරාගාරයේ සේවය කළ සේවකයින් පැවසූ බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් මෙය මෘතදේහයන් මාරුවීමෙන් සිදුවූ අත්වැරුද්දක් බවට සැක පලකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.










