ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය ගැන මේ වනවිට නැවත වතාවක් රට තුළ කතාබහක් මතුවෙමින් තිබෙනවා. ඇතැමුන් පවසන්නේ එම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවයි. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සිරිමන්ත රත්නසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා සමග කළ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි. Sri Lanka Latest News
සිරිමන්ත රත්නසේකර
ඔබට අනුව කවුද ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කළේ?
ධර්මන් වික්‍රමරත්න
ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වුණේ 1989 ජූලි 31 වැනිදා. එතකොට ජවිපෙ දෙවැනි කැරැල්ල තුළම ඝාතනයට ලක්වෙච්ච කලාකාරයෝ සංඛ්‍යාව 19 දෙනෙක් පමණ වුණා. රජයේ ආරක්ෂක අංශ සහ කැරැලිකරුවන් අතින්. මේකෙන් 9 දෙනෙක් ඝාතනයට ලක්වුණේ කැරැලිකරුවන් අතින්. ප්‍රේමකීර්තිට ඒ කාලේ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදනය සහ වෙනත් වැඩසටහන්වලට සහභාගි වෙන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණේ මිලිටරි අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දැනුම්දීමක් කළා. හැමෝටම ඒක ලියුම් මගිනුත් එව්වා. මට මතකයි මගේ ලොකු ගවේෂණයක් තිබුණා ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන්. මම ඒ වෙච්ච සම්පූර්ණ ක්‍රියාදාමය දන්නවා. ප්‍රවීණ ක්‍රිකට් විචාරක පාලිත පෙරේරාට සහ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ වසන්ත ලංකාතිලකටත් ඒ ලියුම එවලා තිබුණා. ප්‍රේමකීර්තිගේ සමහර වෙලාවට පොඩි මුරණ්ඩු ගතියක් තිබුණා. ඔහු ඒ ලියුම ඉරලා කුණු බක්කියට දැම්මා කියලා මට කීප දෙනෙක් කිව්වා. එතකොට පාලිත පෙරේරා ඒ ලියුම ආවට පස්සේ තමන්ගේ රුක්මල්ගම නිවස අතහැරලා ගියා. ගුවන්විදුලියට ආවෙත් නෑ. වසන්ත ලංකාතිලක දෙමටගොඩ ගෙදරින් ගියා. මේ දෙන්නා අදත් ජීවතුන් අතර ඉන්නවා. ඕනේ නම් ඒ අයගෙන් අහලා බලන්න පුළුවන් මේ ගැන.
ප්‍රේමකීර්ති විතරක් ගුවන්විදුලිය කරමින් ඒ අභියෝගයට මුහුණ දුන්නා. මේවා තටු ලැබිලා වගේ ඉක්මනටම ඇතුළේ ඉන්න අය වාර්තා කරනවනේ. එතකොට තමයි ප්‍රේමකීර්තිව ඝාතනයට ලක්වෙන්නේ, හරියටම ජූලි 31 වැනිදා. ඒ ජූලි 31 වැනිදා ඝාතනය වෙනකොට ඒහා සමානව ඇතිවෙච්ච අනෙක් දේවලුත් අපි බලන්න ඕනේ. ජූලි 23 වැනිදා ස්වාධීන රූපවාහිනියේ බලධාරියා වගේම එවක ලංකාවේ හිටපු ප්‍රවීණතම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානියෙක් වුණු තේවිස් ගුරුගේ ඝාතනයට ලක්වුණා. ඊට පස්සේ ප්‍රේමකීර්ති ඝාතනයෙන් පස්සේ අගෝස්තු 13 වැනිදා කුලසිරි අමරතුංග ඝාතනය කළා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 13 වැනිදා සාගරිකා ගෝමස් ඝාතනයට ලක්වුණා. ඒවත් මේ ජවිපෙ කැරැලිකරුවන් කරපු ඝාතන. තමන්ගේ නියෝගවලට අවනත නොවීම නිසා.
සිරිමන්ත රත්නසේකර
ප්‍රේමකීර්ති ද අල්විස්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලියුම ලැබිලා දවස් කීයකට විතර පස්සෙද ඔහුව ඝාතනයට ලක්වුණේ?
ධර්මන් වික්‍රමරත්න
ඒ දවස්වල තිබුණු දෙයක් තමයි ගුවන්විදුලිය, රූපවාහිනිය අහන්න බලන්න එපා කියලා කැරැලිකාරයෝ නීති දාලා තිබුණා. ගුවන්විදුලිය රූපවාහිනිය අහපු බලපු 219 දෙනෙක් ඝාතනයට ලක්වුණා, සාමාන්‍ය ජනතාව. ලේක්හවුස් පුවත්පත් තහනම් කරලා තිබුණා. ‘ඇත්ත’ පුවත්පතත් තහනම් කරලා තිබුණා. ලේක්හවුස් පුවත්පත් විකුණපු ඒජන්තවරු සහ බයිසිකල්වලින් ගිහින් පත්තර බෙදාහැරපු 27 දෙනෙක් මරලා දාලා තිබුණා. මේවා නිල තොරතුරු. එවැනි වාතාවරණයක් රට තුළ තිබුණා. ප්‍රේමකීර්තිට ගුවන්විදුලිය තහනම් කළාම, මේ තීරණය ආවේ පක්ෂය හරහා. ප්‍රේමකීර්ති ඝාතනය කරන්න ආවේ කණ්ඩායමක්. ඒකේ නායකයෝ දෙන්නෙක් හිටියා මිලින්ද සහ ඒකනායක කියලා. එක්කෙනෙක් හෝමාගම ප්‍රදේශයේ ජාතික කම්කරු මධ්‍යස්ථානයේ. අනිත් එක්කෙනා ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක්. ඒගොල්ලෝ හෝමාගම ප්‍රදේශයේ සන්නද්ධ අංශයේ තමයි වැඩ කළේ. ඔවුන් ඒ තීරණය අරගෙන තිබුණා. ඒකට සම්බන්ධ පිරිසක් මම මුණගැහුණා.
සිරිමන්ත රත්නසේකර
ඝාතනය සිදුකළ දෙන්නද ඔබට හමුවුණේ?
ධර්මන් වික්‍රමරත්න
මට ඒක මේ වෙලාවේ කියන්න බැහැ. ඝාතනයට සම්බන්ධ වුණා කියලා මහාධිකරණ නඩුවෙදී ප්‍රියංකර තමයි අන්තිමට අහුවුණේ. හය දෙනෙක් හඳුනාගත්තා. ප්‍රියංකර, මිලින්ද, වික්‍රම, ලක්ෂ්මන්, ප්‍රේමසිරි සහ ජගත්. මම හොයාගත් තොරතුරුවලට අනුව. මේ හයදෙනාගෙන් මිලින්ද විතරයි අල්ලගන්න පුළුවන් වුණේ. අනිත් ඔක්කොම පිට පළාත්වලින් ආපු පූර්ණකාලීනයෝ. මිලින්ද ගමේ මිනිහා. මිලින්ද තමයි ඒ පැත්තේ හංගපු තුවක්කු ටික භාරව හිටියේ. මේ තීරණය අරගෙන ඒගොල්ලෝ එනවා. දවල් 11ට තමයි තීරණය ගත්තේ. හෝමාගම ස්ටුඩියෝ එකක තමයි තීරණය අරගෙන තියෙන්නේ. නියෝගය ආවේ ප්‍රේමකීර්ති සහ ඔහුගේ පවුලේ සියලු දෙනා ඝාතනය කරන්න කියලා. නමුත් ඝාතනයට ලක්කළේ ප්‍රේමකීර්ති විතරයි.
දවල් දෙකට විතර මේ දෙන්නා පාපැදියකින් ප්‍රේමකීර්තිගේ ගෙදර ලිපිනය හොයාගෙන එනකොට පාසල් ශිෂ්‍යයෙක් මගදී මුණගැහෙනවා. ඔහුගෙන් තමයි අහගන්නේ ගෙදර තියෙන තැන. ඊට පස්සේ එදා රාත්‍රියේ මිලින්ද, ඒකනායක, වික්‍රම, ලක්ෂ්මන්, ප්‍රේමසිරි එනවා. ප්‍රියංකරට කියනවා තුවක්කු ගේන්න කියලා. තුන්දෙනෙක් තුවක්කු අරගෙන ප්‍රේමකීර්තිගේ ගෙදරට යනවා. ගෙදර ප්‍රේමකීර්ති, ඔහුගේ බිරිය සහ මාස 11ක පුංචි පුතා හිටියේ. ඒ දරුවා ඉස්සරහා ඔහුව ඝාතනය කරන එක සුදුසු නෑ කියලා ඔවුන් ප්‍රේමකීර්තිව එළියට අරගෙන ඇවිල්ලා තමයි මරලා දාන්නේ. ඊට පස්සේ ඝාතකයන් විසිරිලා යනවා. අවසානයේ ඝාතනයට චෝදනා ලබන්නේ ප්‍රියංකර පමණයි. මිලින්ද, වික්‍රම, ලක්ෂ්මන්, ප්‍රේමසිරි කවුරුවත් අහුවෙන්නේ නෑ. මොකද ඒ අය වෙනිත් ප්‍රදේශවලින් ආපු පූර්ණකාලීනයෝ. බොරු නම් තමයි දීලා තිබුණේ. ප්‍රියංකරගේ නම විතරයි ඇත්ත නම. එයා ගමේ කෙනානේ.
ප්‍රේමකීර්තිට තර්ජනය කරලා ලියුම ලිව්වා කිව්වේ ඒ දවස්වල ඩිවිෂන් එකේ වැඩකරපු හේමමාලි කියලා පූර්ණකාලීනයෙක්. එයා තමයි ගොඩක් ලියුම් ලියලා තියෙන්නේ එයාගේ අත්අකුරු ලස්සන හින්දා. ඇයත් කැරැල්ලෙදී ඝාතනයට ලක්වුණා. මට ලැබිච්ච තොරතුරු අනුව මේකෙන් ප්‍රියංකර අපිට හමුවුණා. ඔහුට නඩුවක් පැවරුවා. ප්‍රියංකර හැර අනෙක් පස්දෙනාගෙන් දෙන්නෙක් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා.
ප්‍රේමකීර්ති ඝාතනයට ලක්වුණේ 1989 ජූලි 31 වැනිදා. ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රියංකර විතරයි අහුවුණේ. ප්‍රියංකරට නීතිපති අධිචෝදනා ගොනුකළා 1992 දෙසැම්බර් 17 වැනිදා. ඒ කියන්නේ ප්‍රේමකීර්ති ඝාතනයෙන් වසර තුනහමාරකට පස්සේ. ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් 1994 මාර්තු 18 වැනිදා මහාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. එමගින් ප්‍රියංකරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදුන්නා. ඒ තීන්දුවට එරෙහිව ප්‍රියංකරගේ නීතිඥයා ඉහළ අභියාචනාධිකරණයට ගියා 1994 අප්‍රේල් 04 වැනිදා. අභියාචනාධිකරණයෙන් තීන්දුව ආවා 2000 ජනවාරි 15 වැනිදා, මහාධිකරණය දීපු තීන්දුව තහවුරු කරලා. ප්‍රියංකරගේ සාක්ෂිවලදී ඔහු පිළිගන්නවා පැලවත්තේ කඳවුරේ හිටියා කියලා. ජවිපෙ පන්තිවලට ගියා කියලා. කොහොම නමුත් ඔහු සිරගත වෙලා ඉඳලා, යහපත් කල්ක්‍රියාව නිසා නිදහස් වෙලා ඇවිත් විදේශගත වෙලා ඉන්නවා.
සිරිමන්ත රත්නසේකර
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ ඝාතනය සම්බන්ධයෙන් තුන්වැනි පාර්ශ්වයකටත් චෝදනා එල්ල වෙනවනේ. ඒ පාර්ශ්වය විසින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමක් ගැන වාර්තා වෙනවද?
ධර්මන් වික්‍රමරත්න
ඔව්. නඩු කටයුත්තක් දාලා තියෙනවා චෝදනා එල්ල වෙන තෙවැනි පාර්ශ්වයෙන්. මට ඒක පුවත්පතකින් දැකගන්න ලැබුණා. ඒ නඩුව පවරලා තියෙන්නේ වෙච්ච අලාභයට, ප්‍රේමකීර්තිගේ වැන්දඹු බිරියගෙන් වන්දියක් ඉල්ලලා, තමන්ට කරපු අපහසාය සම්බන්ධයෙන්. ඒ වගේම තවත් අවස්ථාවක පුවත්පතක දැක්කා ප්‍රේමකීර්තිගේ ගීත සම්බන්ධයෙන් ලොකු ප්‍රසංගයක් තිබුණා කොළඹ. එම ප්‍රසංගයට යොදාගත් ප්‍රේමකීර්තිගේ ගීත සම්බන්ධයෙන් තමන්ටත් අයිතියක් තියෙනවා කියලා ප්‍රේමකීර්තිගේ දියණිය තමයි නඩුව ගොනුකරලා තියෙන්නේ. ඒ හේතුව නිසා එම ප්‍රසංගය දිගටම පවත්වාගෙන යෑම නැවතුණා.
සිරිමන්ත රත්නසේකර
ප්‍රේමකීර්තිගේ පවුලේ සාමාජිකයන් කිව්වා නේද මේ ඝාතනය සිදුකළේ ජවිපෙ නෙවෙයි, තනතුරු බලාපොරොත්තුවෙන් සිටි වෙනත් පාර්ශ්වයක් විසින් කියලා?
ධර්මන් වික්‍රමරත්න
ඒ කාලේ ගාමිණී ෆොන්සේකා 1988 මහ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඔහුගේ නිවේදන කටයුතුවලට ප්‍රේමකීර්ති සම්බන්ධ වුණා. ඒ සම්බන්ධය උඩ ප්‍රේමකීර්ති නැතිවුණාට පස්සේ ගාමිණී ෆොන්සේකා එවක කැබිනට් ඇමැති ඒ.ජේ. රණසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කළා ප්‍රේමකීර්තිගේ බිරියට ගුවන්විදුලි සංස්ථාවේ රැකියාවක් ලබාදෙන්න කියලා. ඒ අනුව ඇයට රැකියාවක් දුන්නා. ඒ විතරක් නෙවෙයි ප්‍රේමකීර්තිගේ දරුවන් දෙදෙනාටත් බිරියටත්, ප්‍රේමකීර්තිගේ වැටුප සමාන කොටස් වශයෙන් බෙදලා ලබාදෙන්නත් ආණ්ඩුව පියවර ගත්තා.
නමුත් දැන් මේ චෝදනාව කරන්නේ ප්‍රේමකීර්තිගේ වැන්දඹු බිරිය නිර්මලා විසින්, ප්‍රේමකීර්තිව ඝාතනය කළේ අසවලා විසින් කියලා. ප්‍රේමකීර්තිගේ බිරිය ජවිපෙ රැස්වීමකට ඇවිල්ලා කිව්වේ මෙයාව මැරුවේ අසවල් පුද්ගලයා කියලා. එතකොට ඒක තමයි ආන්දෝලනයට ලක්වෙලා ආවේ. මේක දේශපාලන වශයෙන් ඇස්බැන්දුමක් විදියට විවිධ දේශපාලන කණ්ඩායම් පාවිච්චි කළා. එහෙනම් කොහොමද තේවිස් ගුරුගේ මැරුණේ? කවුද ඔහුව මැරුවේ? කුලසිරි අමරතුංගව මැරුවේ කවුද? සාගරිකා ගෝමස්ව මැරුවේ කවුද? එක පෙළට ආපු ඝාතන රැල්ලක්.
සිරිමන්ත රත්නසේකර
මේ සම්බන්ධයෙන් පොතක් එළිදක්වන්න ඔබතුමාගේ අදහසක් තියෙනවද?
ධර්මන් වික්‍රමරත්න
මේකේ මුළු නඩු තීන්දුවම මම අධ්‍යයනය කළා. ඊට අමතරව ගවේෂණය කළා. මේ ගැන මම පොතක් තව මාස කීපයකින් එළිදක්වනවා ‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල’ කියලා.
සිරිමන්ත රත්නසේකර
මේ ග්‍රන්ථ සම්පාදනය කරද්දී ඔබතුමාට කාගෙන්වත් තර්ජන එල්ල වෙලා නැද්ද?
ධර්මන් වික්‍රමරත්න
තර්ජන එල්ල වෙලා නෑ. එක වතාවක් 1990 අගෝස්තු මාසේ මම ජර්මනියේ ශිෂ්‍යත්වයක් සඳහා යන්න පිටත්වෙලා ගුවන් යානයේ ඉන්නකොට, එතකොට ගුවන් යානය පියාසර කරමින් තිබුණේ. පයිලට්ට කතා කරලා ඒ යානය නැවත හරවාගෙන ඇවිත් මාව අරගෙන ගිහින් සපුගස්කන්ද පොලිසියේ තියාගත්තා. රිචඩ් ද සොයිසා මැරුණෙත් ඒ අවුරුද්දේ මාර්තු මාසේ. මාව අල්ලාගත්තේ අගෝස්තුවල. ඊට පස්සේ මගෙන් පිටු 31ක විතර කටඋත්තරයකුත් ගත්තා සී.අයි.ඩී. එකෙන් ඇවිල්ලා. මම පැහැදිලිව ඒවට උත්තර දුන්නා.
මම කියන්නේ, මේ සත්‍ය තොරතුරු අපි සමාජයට හෙළිදරව් කළ යුතුයි. එතකොට අපිට ඒවා කතිකාවකට ලක්කරන්න පුළුවන්. ප්‍රේමකීර්තිට ආපු තර්ජන ගැන අහන්න ඕනේ තරම් අය අදටත් ජීවතුන් අතර ඉන්නවා. වසන්ත ලංකාතිලක, පාලිත පෙරේරා වගේ අයගෙන් අහලා බලන්න. මේ ඉතිහාසය විකෘති කරන්න එපා කියලයි මම කියන්නේ.
Sirimantha Rathnasekara යූටියුබ් නාලිකාවෙනි










