රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.Sri Lanka Latest News
මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් පැවැසීය.
මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙනි.
නිතිපතාම පාහේ ලොතරැයි පත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලාය.
පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන බව කියති.
ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.
රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැවසේ.
වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් කියති.
දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සඳහාය.
කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප්‍රදේශවාසීහු කියති.
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.









