• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

කලබල අස්සේ අධ්‍යාපන සහතික හොයද්දී ප්‍රේමදාස අත්අකුරින්ම සජිත්ට ලියපු ලියුම් මිටියක් හමුවෙයි! ‘පුතා…’! සජිත්ගේ දෑස් කඳුලින් තෙත් කළ ප්‍රේමදාස ලියලා තිබුණු සංවේදී කතා මෙන්න! I Sri Lanka Latest News

December 22, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

සජිත් අධ්‍යාපන සහතික දෙන්න පරක්කු වුණේ ඇයි?

ආචාර්ය කතා අස්සේ රනිල් බොර දියේ මාළු බායි!

ඉන්දියාවට අනුර දෙන්න පොරොන්දු වූ දේ!

.
මාළිමාවේ කැළල

මාලිමා ආණ්ඩුවට ආරම්භයේදීම බරපතළ කැළලක් එක්කළ අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධි නාටකය අවසන් වූයේ හෙතෙම සිය තනතුරෙන් ඉවත් වී නව කතානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කතානායක පුටුවේ අසුන් ගැනීමෙන් පසුවය. ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි කෙටිම කතානායකවරයා ලෙස වාර්තා අතරට එක්වීමට අශෝක රංවලට සිදුවිය. කෙසේ වෙතත් අශෝකගේ ආචාර්ය උපාධිය ප්‍රශ්න කිරීම හරහා පසුගිය සතිය වනවිට ආණ්ඩුව පත්ව සිටියේ දැඩි පීඩනයකටය. විශේෂයෙන්ම එම ප්‍රශ්න කිරීම මුලින්ම ආණ්ඩුවට සහාය දුන් පිරිස් වෙතින්ම එල්ල වීම මෙහි තිබූ බරපතළම තත්ත්වය විය. ඒ අනුව පළමුව අශෝකට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මාලිමාවේ ප්‍රධානීහු ඉන් අනතුරුව ප්‍රශ්නය වෙනතකට හැරවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම විපක්ෂයේ අනෙකුත් යම් යම් තනතුරු ඇති මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට සැලසුම් කළහ.Sri Lanka Latest News

මේ බව පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ සටහනක් තබමින් අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවට සාකච්ඡා වූ බවත්, එමෙන්ම එදා අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විපක්ෂ නායකවරයාට ප්‍රහාර එල්ල කළ යම් යම් කණ්ඩායම්වලටම අද එය පාරා වළල්ළක් වී ඇති බවට සජබ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට දැනුම් දුන් බවත්ය. එහිදී සජිත් සිනාසෙමින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඔවුන්ටම ඔප්පු කිරීමට ඉඩ දිය යුතු බව පැවැසූ බවක්ද එප එහිදී සඳහන් කර සිටියෙමු.

සජිත්ට කැරකෙයි

කෙසේ වෙතත් සජබය අශෝක රංවලට එරෙහිව විශ්වාසභංගය සකස් කරද්දී ඉකුත් සිකුරාදා දින තමන් කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රංවල දැනුම් දී සිටියේය. එය එක්තරා ආකාරයකින් සජබය ලැබූ ජයග්‍රහණයක් විය. නමුත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනිද්දී නියත වශයෙන්ම ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රහාර එල්ල කරනු ඇති බවත්, කල්තියාම ඊට මුහුණ දීමටත් සජිත් සැලසුම් සකස් කර තිබිණ. නමුත් අශෝකගේ ඉල්ලා අස්වීමත් සමග විශ්වාසභංගය අත්හැරීමට සිදුවීම නිසා බොහෝ දෙනා සජිත්ට කතාකොට කියා සිටියේ ආණ්ඩුවේ මඩවලට පිළිතුරු දීම සඳහා සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට මේ හොඳම අවස්ථාව යැයි කියාය. විශේෂයෙන්ම 2019 ජනාධිපතිවරණ සමයේ සිටම සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇදගනිමින් ඇතැම්හු සජිත් සාමාන්‍ය පෙළ අසමත් බව කීහ. සජිත්ට උසස් පෙළ නැති බව කීහ. උපාධියක් නැති බව කීහ. පසුගිය දිනෙකදී එක්තරා ප්‍රසිද්ධ ආචාර්යවරයෙක් සජිත්ට සාමාන්‍ය පෙළට ඇත්තේ උ නවයක් බව කියමින් එක්තරා ව්‍යාජ සහතිකයක්ද රටට පෙන්වීමට කටයුතු කළේය.

ඒ අනුව සජිත් මුලින් සැලසුම් කර තිබුණේ මෙවර පාර්ලිමේන්තුව 17-18 දෙදින රැස්වීමෙන් පසු යළිත් රැස්වන්නේ ජනවාරි මාසයේ නිසා නව වසරේ අලුත් පාර්ලිමේන්තු රැස්වීමේදී සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ඒ අනුව සජිත් පසුගිය දින කීපය පුරාම සිය නිවෙසට ගොස් ඒ සඳහා අවශ්‍ය සියලු සහතික එකතු කරගැනීමට පියවර ගත්තේය. එහිදී සජිත් නිවසේ ආරක්ෂිතව තබා තිබූ ලිපිගොනු එකින් එක පෙරළද්දී ඔහුට පෙරපාසලේදී පවා තමන් ලබාගත් සහතික සුරක්ෂිතව තිබෙන ආකාරය දැකගත හැකි විය.

ප්‍රේමදාසගේ ලියුම

මේ ආකාරයට සිය අධ්‍යාපන සහතික සහිත ලිපිගොනු එකින් එක පෙරළාගෙන යද්දී සජිත් එක්වරම ගල් ගැසෙන සිදුවීමක් සිදුවිය. ඒ, සිය සහතික අතර තිබූ අත් අකුරින් ලියන ලද ලිපි කිහිපයක් හමුවීමත් සමගය. ඒ ලිපි ලියා තිබුණේ වෙන කවුරුවත් නොව සජිත්ගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. ඒ ලිපි එකින් එක පෙරළාගෙන යද්දී තමන් 1981 කාලයේදී එංගලන්තයේ ඉගෙනුම ලබද්දී සිය පියා විසින් එවනු ලැබ තිබූ ලිපි සහ තමන් පෙරළා පියාට ලියා තිබූ ලිපි සියල්ල ආරක්ෂිතව එහි තිබූ බවක් සජිත්ට දැකගත හැකි විය.

ඒ අනුව එහි තිබූ එක්තරා දීර්ඝ ලිපියක් අතට ගත් සජිත් එක හුස්මට එය කියවාගෙන යන්නට විය. එහි ප්‍රේමදාස සජිත් ආමන්ත්‍රණය කර තිබුණේ ‘පුතා’ යනුවෙනි. ආරම්භයේ සිට ලියුම කියවාගෙන යද්දී සජිත් අවස්ථා කිහිපයකදීම ඉතා හැඟුම්බර වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ලිපිය ආරම්භයේදීම ප්‍රේමදාස සඳහන් කොට තිබුණේ තමන් එම ලිපිය සුචරිතයේ සිට ලියන බවකි. හොඳට ඉගෙනගන්නා ලෙස සජිත්ට උපදෙස් දෙමින් ලියා තිබූ එම ලිපියෙහි සජිත් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ තාත්තා කෙනකු වශයෙන් තමන් ඉතා සතුටට පත්වන බවත්, ඉගෙනීමට අමතරව අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්ද ඉතා හොඳින් කරන ලෙසත් ප්‍රේමදාස එහි සඳහන් කොට තිබිණි විශේෂයෙන්ම ක්‍රීඩා අංශයෙන් ඇති තරම් ඉහළට යන ලෙසද ප්‍රේමදාස එහිදී සජිත්ට උපදෙස් දී තිබිණි. කිසිදු අවස්ථාවක ආපස්සට නොයන ලෙසත්, ඊළඟ වතාවේ නිවාඩුවට සජිත් ලංකාවට පැමිණි විට මව, නැගණිය සමග එක්ව යාල වනෝද්‍යානයේ සංචාරය කිරීමට තමන් සැලසුම් කර ඇති බවත් ප්‍රේමදාස එම ලිපියේ සඳහන් කොට තිබිණි. ඊට අමතරව නිවාඩුවට පැමිණි විට සංගීතය ඉගෙනීම සඳහා තමන් දැනටමත් සංගීත ගුරුවරයකු සමග කතාකොට ඇති බවද ප්‍රේමදාස එම ලිපියේ සඳහන් කොට තිබිණි.

සජිත්ගේ දෑස් තෙත්වෙයි

මීට අමතරව සජිත් එවා තිබූ ලිපියක ඇති වැරැදි යෙදුම් පිළිබඳවද ප්‍රේමදාස එහි සඳහන් කොට තිබිණි. සජිත් ඉංග්‍රීසි භාෂාවෙන් එවා තිබූ ලිපියේ ‘ස්විමිං‘ යන වචනයෙහි අකුරු වැරැදි බවත්, සිංහලෙන් ලියා තිබූ ලිපියෙහි ‘නිවාඩු‘ යන වචනය වැරැදි ලෙස ලියා තිබූ බවත් ප්‍රේමදාස සඳහන් කොට තිබිණි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම මවු භාෂාව වන සිංහලද චතුර ලෙස ලිවීමට සහ කියවීමට ඉගෙනගන්නා ලෙස උපදෙස් දී තිබූ ප්‍රේමදාස, දුරු රටක සජිත් සිටීම පිළිබඳ දුක් වන ආකාරය සහ සජිත්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා විදෙස්ගත කරවූ බවත් එහි සඳහන් කොට තිබිණි.
මේ ආකාරයට සිය පියාගේ ලිපිය එක හුස්මට කියවාගෙන යද්දී අධ්‍යාපන සහතික සොය සොයා සිටි සජිත්ගේ දෑස් කඳුළින් තෙත් වන ආකාරයක් දැකගත හැකිවිය. ඒ වනවිට එහි සජිත්ගේ බිරිය වූ ජලනිද සිටි නිසා සජිත්ගේ මෙම වෙනස දුටු ඇයද දැඩි විමතියටත්, කලබලයටත් පත්වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව වහාම සජිත්ව සන්සුන් කිරීමට කටයුතු කළ ජලනි, ලිපි සියල්ල පසෙක තබා සජිත්ගේ අධ්‍යාපන සහතික සෙවීමේ කටයුත්ත කෙරෙහි ඔහුගේ සිත යෙදවීමට කටයුතු කළාය.

රනිල් වැඩට බහී

කෙසේ වෙතත් රංවලගේ සිද්ධිය මුල්කොට ගෙන සජිත්ව ඉලක්ක කොට බොර දියේ මාළු බෑමට සූදානමින් සිටි පුද්ගලයෙක් තිරය පිටුපස සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහය. රනිල් එදා සිටම සිටියේ මොන යම් හෝ තුරුම්පුවක් ලැබුණු විට ඒ හරහා සජිත්ට පහර දී සජිත්ව විනාශ කිරීමේ මෙහෙයුමකය. ඒ අනුව අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මතුවීමත් සමග රනිල් කළේ සජබය ඇතුළේ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් වූ කබීර් හෂීම්ටත්, කාවින්ද ජයවර්ධනටත් කතාකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරකසභාවක් පත්කරන ලෙස සජබය පැත්තෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී සිටීමය. රනිල් මෙය ආණ්ඩුව ඉවර කරන ලෙසට ගෙන එන යෝජනාවක් ලෙස පෙනෙන්නට සැලැස්වුවත් ඔහුගේ යටි අරමුණ වී තිබුණේ ඒ හරහා සජිත්ව තේරීම් කාරකසභාව හමුවට ගෙනැවිත් මඩවා සජිත්ව ඉවර කිරීමය. නමුත් රනිල්ගේ මේ යෝජනාව ඉදිරියට ගෙන යෑමට කබීර් හෝ කාවින්ද ඉදිරිපත් වූයේ නැත.

ඔස්තාර්ටත් කතා කරලා?

ඒ අනුව, එම මෙහෙයුම අසාර්ථක වීමත් සමග අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සජබයේ සිටින ඔස්තාර් කෙනකු ලවා මෙම යෝජනාව ගෙන ඒමට රනිල් සූදානම් වූ බවකි. මේ සම්බන්ධයෙන් තවමත් අපට නිල තොරතුරු නොමැති නිසා ඒ සම්බන්ධයෙන් මෙවර අප වැඩිදුර තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයේ සටහන් කිරීමට කටයුතු කරන්නේ නැත. නමුත් මේ කියන ඔස්තාර්ද සිටින්නේ කොයි අවස්ථාවක හෝ සජිත් ඇදගෙන වැටෙන තෙක්ය. එම නිසා රනිල් තැන් කිහිපයකදීම මේ ඔස්තාර්ගේ නම සඳහන් කරමින් ඔහුද තේරීම් කාරකසභාවක් පත්කිරීමේ යෝජනාවට එකඟ බව කියා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් මෙම ඔස්තාර් රනිල්ට තමන්ට එම යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බවත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සහාය දැක්වීමට සූදානම් බව කියා ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෙසේවෙතත් මෙම මෙහෙයුම් දෙකම අසාර්ථක වූ තැන රනිල් තවත් ගේමක්ද ඊට ගැසුවේය. එවර රනිල් ඇම දැම්මේ වෙන කාටවත් නොව, රවී කරුණානායකටය. සාමාන්‍යයෙන් රවී සැලකෙන්නේ සජිත් සමග ජන්මාන්තර වෛරයකින් සිටින අයකු ලෙසටය. රනිල්ද සිතා සිටින්නේ තවමත් රවී, සජිත් සමග දේශපාලන වෛරයකින් පසුවනවා යැයි කියාය. ඒ අනුව රනිල්ගේ මල් පාරේ කාර්යාලයෙන් රවීට පණිවුඩයක් ගෙන ආ අයකු කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයන්නට තේරීම් කාරකසභාවක් සෙවීමේ යෝජනාව සිලින්ඩරයෙන් ඉදිරිපත් කොට එහි ක්‍රෙඩිට් එක ගැනීමට කටයුතු කරන්නැයි කියාය. එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් සජබයෙන් ඊට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් ගණනාවක්ම සිටින බවද එම පණිවුඩය ගෙන ආ තැනැත්තා රවීට දැනුම් දී සිටියේය.

රවී දීපු උත්තරේ

කෙසේ වෙතත් මෙම පණිවුඩය ලැබුණු සැණින් රනිල් ගහන්නට යන ගේම කුමක්දැයි රවීට අවබෝධ විය. මෙය තමන් හා සජිත් අතර ගැටුමක් නිර්මාණය කිරීමට රනිල් ගහන්න යන ගේමක් බව තේරුම් ගත් රවී වහාම පණිවුඩය ගෙන ආ තැනැත්තාට කියා සිටියේ තවදුරටත් තමන් මෙවැනි කුණු කොන්ත්‍රාත් ඉටුකරන්නේ නැති බවය.

‘මම තවදුරටත් ඔය එක එක්කෙනාගේ කුණු කොන්ත්‍රාත් කරන්න බාරගන්නේ නෑ. ඕවා කරන්න ගිහිල්ලා මම හොඳටම මට්ටු වෙලා ඉන්නේ. ඒ හින්දා ඔයා ගිහින් කියන්න සිලින්ඩරයේ වැඩ ටික මම කරගෙන යන්නම් කියලා. ඒ වගේම මීට පස්සේ ඔය වගේ කුණු කොන්ත්‍රාත් මට ගේන්න ලෑස්තිවෙන්නත් එපා…’ යනුවෙන් එහිදී රවී එම පණිවුඩය ගෙන ආ තැනැත්තාට දැනුම් දී සිටියේය.
මේ ආකාරයට පාර්ලිමේන්තුව ඇතුළේ සජිත්ට අංචියක් අදින්නට කෙනෙක් සොයාගන්නට නොහැකි වීමෙන් දැඩිව කෝපයට පත්වූ රනිල්, කෙසේ හෝ සජිත්ව ඉවර කිරීමේ අදහස ඇතිව ඊළඟ ගේම ගැසීමට පියවර ගත්තේය. ඒ අනුව රනිල් කළේ තමන්ට අතිශය හිතවත් අයකු වූ ආශු මාරසිංහ ලවා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආශු මාරසිංහ මැතිවරණ කොමිසමට ගොස් මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් හෙළිකරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේ ඒ අනුවය.

අභියෝගය නලින්දගෙන්

කෙසේ වෙතත් තිරය පිටුපස රනිල් ගැසූ මේ ගේම් සියල්ල පිළිබඳ තොරතුරු එකින් එක සජිත්ටද වාර්තා නොවූවා නොවේ. මේ සියල්ල හරහා රනිල් සූදානම් වන්නේ තමන්ව කොටුකිරීමට බව සජිත්ට පැහැදිලි වී තිබිණි. ඒ අනුව සජිත් තීන්දු කළේ ජනවාරි මාසයේදී සිය සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා වෙනුවට මෙම පාර්ලිමේන්තු සතියේදීම සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. සජිත් ඉකුත් අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තුවට ගියේද පෙරපාසලේ සිට ආචාර්ය උපාධිය දක්වා සහතික සියල්ල සකස් කරගෙනය. එහිදී දැකගන්නට ලැබුණු හොඳම සිදුවීම වූයේ ඉබ්බා දියේ දාද්දී ඇන්නෑවේ කීවා සේ රංවලගේ ආචාර්ය තනතුර මුල්කරගෙන විශාල දේශපාලන සංවාදයක් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර පාර්ලිමේන්තුවේදී මතුවීමය. එහිදී නලින්ද ජයතිස්ස අහක යන කෝච්චියකට බෙල්ල තිබ්බා සේ සිය කතාව අතරතුරදී සමාජය තුළ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවද බරපතළ ප්‍රශ්නයක් ඇති බවත්, ඇතැමුන් සජිත්ට සාමාන්‍ය පෙළ සහතිකය පවා නොමැති බව ප්‍රකාශ කරන බවත්, එම නිසා සජිත්ද සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කටයුතු කළයුතු බවත් කියා සිටියේය. එය නලින්ද කළේ සජිත්ට එක්තරා ආකාරයක අභියෝගයක් කරන්නා සේය.

නලින්ද මේ අභියෝගය කරද්දී සජිත්ද සිටියේ සිය අසුනේය. ඒ අනුව සියල්ලන්ම පුදුමයට පත්කරමින් වහාම නැගී සිටි සජිත් කියා සිටියේ බොහෝ කාලයක් පුරා ඇතැමුන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවත්, මෙතෙක් කල් තමන් එය එතරම් ගණනකට නොගත් බවත්, නමුත් ආණ්ඩුවෙන්ද මේ වනවිට ඒ සම්බන්ධයෙන් අභියෝග කරන නිසා ඊට පසු දිනම තමන් සිය අධ්‍යාපන සුදුසුකම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය. සජිත්ගේ මේ ප්‍රකාශය නිසා නලින්ද පමණක් නොව, සජබයේ ඇතැමුන්ද සිටියේ බොහෝ විමතියට පත්වය. මන්ද, ඔවුන් පවා සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නිසි අයුරින් දැනුවත් වී නොතිබීම ඊට හේතුව වී තිබිණි. නමුත් ඒ වනවිටත් සජිත් තමන්ට අවශ්‍ය සියලු සහතික සූදානම් කොටගෙන තිබූ නිසා සජිත්ගේ මුහුණේ බියක කිසිදු සේයාවක් නොවීය.

අනුරගෙන් ඉඟියක්

ඒ අනුව බදාදා දිනයේදී සජිත් පාර්ලිමේන්තුවට පැමිණියේ විශාල ලිපිගොනුවක්ද අතේ තබාගෙනය. සිය ඉන්දීය සංචාරය නිමවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඟහරුවාදා රාත්‍රියේ ලංකාවට පැමිණි අතර, බදාදා පෙරවරුවේ ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් යුතුවය. සිය ප්‍රකාශයේදී ආදායම් බද්ද අඩුකිරීම, වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදීම, බදු වර්ග කීපයක් ඉවත් කිරීම යනාදී වශයෙන් ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කොට ඒ හරහා විශාල දේශපාලන ගැම්මක් ලබාගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබිණි.

මේ අතරවාරයේ සජිත්, කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය හමුවී තමන්ට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා කාලවේලාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව ඒ පාර්ශ්වයන්ගෙන් කියැවුණේ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව සජිත්ගේ කතාව ඉදිරිපත් කරන ලෙසටය.

ඒ අනුව, සභාවේ කටයුතු ආරම්භ වීමත් සමග ජනාධිපතිවරයාගේ කතාවට පළමුවෙන් අදහස් දැක්වීමට සජිත්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව ඉතා සැහැල්ලුවෙන් සිනාසෙමින් සිය කතාව ආරම්භ කළ සජිත්, මෙතුවක් කල් තමන්ට එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් පෙරපාසල් සහතිකයේ සිට එංගලන්තයේ උපාධි සහතික දක්වා සියලු සහතික එකින් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් ඉතා සැහැල්ලුවෙන් මෙම කතාව කරගෙන යද්දී විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත් සහතිකය පිළිබඳ සඳහන් කරද්දී ඉදිරිපස අසුනේ සිටි ජනාධිපතිවරයා සජිත්ට අතින් අගමැතිනි හරිනි අමරසූරියව පෙන්වීමට කටයුතු කළේය. ජනාධිපතිවරයාගේ එම ඉඟිය නිවැරැදිව තේරුම් ගත් සජිත් එතෙක් කවුරුත් නොදැන සිටි තවත් විශේෂ රහසක්ද සභාවට හෙළිකිරීමට කටයුතු කළේය. ඒ, තමන් විවෘත විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හදාරද්දී අගමැතිනියද එකල කථිකාචාර්යවරියක් ලෙස එහි සේවය කළ බවත්, ඇගේ දේශන කිහිපයකටම තමන් සහභාගි වූ බවත්ය. මෙය කවුරුත් නොදැන සිටි රහසක් වීම නිසා සජිත්ගේ පිටුපස සිටි සජබ මන්ත්‍රීවරුන්ද අත්පොළසන් දෙමින් කියා සිටියේ, ‘ඒක අපිවත් දන්නේ නෑනේ’ යැයි කියාය. එවිට සජිත් ඊටද සිනාසෙමින් කියා සිටියේ ඒවා රාජ්‍ය රහස් බවය.

කට්ටියම මීක් නෑ

කෙසේ වෙතත් සජිත් තමන්ගේ මෙම අධ්‍යාපන සහතික ඉදිරිපත් කරද්දී සජිත්ට අභියෝග කළ නලින්ද ජයතිස්ස හෝ මාලිමාවේ මන්ත්‍රීවරුන් කිසිවකු හෝ ඊට කිසිදු බාධාවක් නොකොට සාවධානව සවන් දී සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සිය කතාව අවසන් කිරීමට පෙරාතුව සජිත් තවත් අපූරු ප්‍රකාශයක්ද සිදුකළේය. ඒ, සිය උප්පැන්න සහතිකයද සභාවට පෙන්වමින් කාට හෝ සැකයක් තිබේ නම් ඒ පිළිබඳවද සොයාබැලීමක් කළ හැකි බව කියමින්ය. ඊටද සජබ මන්ත්‍රීවරුන් සියලු දෙනා සිනාසෙමින් අත්පොළසන් දුන් ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් එදා මෙදාතුර දේශපාලනයේදී මඩ අවලාද චරිත ඝාතන යනු ප්‍රේමදාසලාට අලුත් දේවල් නොවේ. සියල්ලන්ම දන්නා පරිදි සජිත්ට මෙන්ම සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාසයන්ටද දේශපාලනයේදී මේ ආකාරයටම මඩ ප්‍රහාර අවලාද එල්ල විණි. ප්‍රේමදාස නූගත් මෝඩයෙක් යැයි එදා සමහරු කීහ. ලැවරියා විකුණපු කොල්ලා යැයි සමහරු කීහ. සුචරිතයේ මඩුවක ජීවත් වූ කොල්ලා යැයි කීහ. ප්‍රේමදාස නයිට් ක්ලාස් ගියා යැයි කීහ. පසු කලෙක ප්‍රේමදාස ගී පද රචනා කරද්දී ඇතැමුන් ඊටද අවලාද නගමින් ඒවා ප්‍රේමදාසගේ නොව අරිසෙන් අහුබුදුගේ ගී පද රචනා යැයි කීහ. එකල සමාජ මාධ්‍ය නොතිබූ නිසා මේ අවලාද ජනතාව අතරට ගෙන ගියේ විකල්ප ධාරාවේ පුවත්පත් දෙක තුනකි. අද මෙන්ම එදාත් ප්‍රේමදාසලාට පහර දීම පසුපස සිටියේ වලව් පැලැන්තියය. ඒ වලව් පැලැන්තිය නියෝජනය කරමින් අද ඉතිරිව සිටින්නේ එකම එක් අයෙකි. ඒ, රනිල් වික්‍රමසිංහ පමණකි. එම නිසා එදා ප්‍රේමදාසට අවලාද නැගූවාක් මෙන් අද සජිත්ටද ඒ වලව් පැලැන්තියෙන් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. නමුත් කනගාටුවට කරුණ වන්නේ දැන හෝ නොදැන, නියමින් හෝ අනියමින් පුංචි මිනිසුන්ගේ ආණ්ඩුවක් සහ පොඩි තැනකින් ආ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින්ද සජිත් ඉලක්ක කොට එවැනි ප්‍රහාර එල්ල වීමය.

මඩ ගැහිල්ල දිගටම

කෙසේ වෙතත් සජිත් සිය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමෙන් පසුවද ආණ්ඩුව පැත්තෙන් සජිත් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර අවසන් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. බදාදා සවස් වරුවේම සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ අධ්‍යාපන සහතික සභාගත කරන බවට සජිත් සඳහන් කළද බදාදා පස්වරුව වන තෙක්ම සජිත් එය සිදුකර නොමැති යැයි කියාය. එමෙන්ම බ්‍රහස්පතින්දා දිනයේදී කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ නලින්ද ජයතිස්ස කියා සිටියේ තවමත් සජිත් සිය අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ලබාදී නැතැයි කියාය.

නමුත් ඊට බලපෑ විශේෂ හේතුවක් තිබිණි. ඒ, විවිධ පාර්ශ්වවලින් සජිත්ට ලැබී තිබූ උපදෙස් කීපයකි. එහිදී බොහෝ දෙනා සජිත්ට දැනුම් දී තිබුණේ යම් හෙයකින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහතික සභාගත කිරීමට කටයුතු කළහොත් ඕනෑම අයකුට එම අධ්‍යාපන සහතික විකෘති කොට සජිත් ඉලක්ක කොට මඩ ප්‍රචාරයක් ගෙන යා හැකි යැයි කියාය. ඒ අනුව සජිත් කළේ බ්‍රහස්පතින්දා දිනයේදී පෞද්ගලිකවම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට ගොස් සිය අධ්‍යාපන සහතික සියල්ල හැන්සාඩ් කාර්යාලයට භාරදීමය. එමෙන්ම ඒවා භාරගත් බව ලිඛිතව සහතික කරගැනීමටද සජිත් පියවර ගත්තේය. ඒ අනුව සජිත් අධ්‍යාපන සහතික ඉදිරිපත් නොකළ බවට ආණ්ඩුව පැත්තෙන් ගෙන ගිය මඩ ප්‍රචාරයද ඒ සමගම අවසන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

අධිනීතීඥ ප්‍රශ්නය

රංවලගේ ආචාර්ය උපාධිය මුල්කරගෙන මාලිමා ආණ්ඩුව බරපතළ අර්බුදයකට යෑමත් සමග සජිත් පමණක් නොව, සජබයේ සිටින තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ අනුව අධිනීතිඥ තනතුර භාවිත කළ බව කියමින් අජිත් පී. පෙරේරාටත්, චමින්ද්‍රානි කිරිඇල්ලටත්, දොස්තර තනතුර භාවිත කරන බව කියමින් කාවින්ද ජයවර්ධනටත් අණ්ඩුව පැත්තෙන් ප්‍රබල ප්‍රහාරයක් දියත් විය. මීට අමතරව නාමල් නීති විභාගය ලියූ ආකාරය සම්බන්ධයෙන්ද ආණ්ඩුව පැත්තෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.

නලින්ද මෙම ප්‍රහාරය එල්ල කරද්දී කාවින්ද සභා ගැබේ සිටියේ නැත. නමුත් සිදුවීම දැනගත් වහා සභා ගැබට පැමිණි කාවින්ද, තමන් ඉන්දියාවේදී අදාළ විභාගය සමත් වූ ආකාරයත්, තමන් කොතැනකවත් ලංකාවේ වෛද්‍ය උපාධිය හැදෑරූ බවක් ප්‍රකාශ කොට නොමැති බවත් කියා සිටියේය. එමෙන්ම ඊට අදාළ හැඳුනුම්පත් පවා සභාවට ඉදිරිපත් කිරීමට කාවින්ද පියවර ගත්තේය.
මාලිමාවේ මෙම ප්‍රහාරය එල්ල වෙද්දී අජිත් පී. පෙරේරාද සභා ගැබේ සිටියේ නැත. ඒ අනුව අජිත් ඊට පිළිතුරු දුන්නේ ඊට පසු දිනය. අජිත් නීති පොතේ ඇති වගන්ති පවා පෙන්වමින් අධිනීතිඥ තනතුර භාවිත කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කියා සිටිද්දී ඔහු සමග වාදයට පැටලුණේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරය. එහිදී අජිත් කියා සිටියේ හර්ෂණ නානායක්කාරද කලෙක සිය ෆේස්බුක් පිටුවේ අධිනීතිඥ යන නාමය භාවිත කරමින් සිටි බවකි.

කාවින්ද, අජිත් මෙන්ම චමින්ද්‍රානි කිරිඅල්ලද ආණ්ඩුවේ මෙම ප්‍රහාරය එල්ල වන විට සභා ගැබේ සිටියේ නැත. එම සිදුවීම දැනගත් වහා සිය ෆේස්බුක් පිටුවේ සියලු උපාධි සහතික ප්‍රසිද්ධ කළ චමින්ද්‍රානි තමන් ලන්ඩනයේ බැරිස්ටර් උපාධිය සමත්ව ඇති බවත්, බැරිස්ටර් යනු අධිනීතිඥ බවත් සඳහන් කර සිටියාය. එමෙන්ම තමන් ලන්ඩනයේ නීති වෘත්තියේ යෙදී ඇති බවත්, අදටත් තමන්ට එම කටයුත්ත සිදුකළ හැකි බවත්, එම නිසා අධිනීතිඥ නාමය භාවිත කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

සජිත්-අනුර හමුව

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව සජිත් ඉලක්ක කර ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් බරපතළ ප්‍රහාරයක් දියත් කළත් කිසිවකුත් නොදත් හමුවක් ජනාධිපතිවරයා හා විපක්ෂ නායක සජිත් අතර බදාදා දිනයේ සිදුවිය. නමුත් එය පෞද්ගලික හමුවක් නම් නොවීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සජිත් ජනාධිපතිවරයා මුණගැසීමට ගියේ මේ වනවිට පාර්ලිමේන්තු කමිටු සංඛ්‍යාව අඩුකිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමටය. එමෙන්ම කමිටුවල විපක්ෂයේ සාමාජිකත්වය වැඩිකර ගැනීම සම්බන්ධයෙන්ද සභාපති තනතුරු විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම එහි අරමුණ විය. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා සුහද එකක් වූ අතර, එහිදී ජනාධිපතිවරයා සජිත්ගේ බොහෝ යෝජනාවන්ට සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ ආකාරයක්ද දැකගත හැකි විය. ඇතැම් යෝජනාවන්ට ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට පිළිතුරු ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී සජිත් ඇතුළු කණ්ඩායමට දැනුම් දී සිටියේය.

අනුර ඉන්දියාවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදෙස් සංචාරය වූ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ යම් කතාබහක් මතුවෙමින් තිබේ. ඒ, අදාළ සංචාරය සම්බන්ධයෙන් විපක්ෂයේ යම් යම් පාර්ශ්වයන් දැනටමත් ප්‍රශ්න කරමින් සිටින නිසාය. විශේෂයෙන්ම කලකට පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි හිටපු මන්ත්‍රීවරුන් පවා අනුරගේ ඉන්දීය ගමන පිළිබඳ අදහස් පළකරමින් කියා සිටියේ එට්කා ගිවිසුම ඇතුළු රටට අහිතකර ව්‍යාපෘති රැසකට අනුර මෙම සංචාරයේදී එකඟතාව පළකොට ඇතැයි කියාය. නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ.

මේ සම්බන්ධයෙන් ගැටලුව පැනනැගුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කතාව අතරතුරදී දැක්වූ අදහස් මුල් කරගෙනය. එහිදී මෝදිගේ කතාවේදී එට්කා ගිවිසුම, නළ මාර්ගයෙන් දෙරට අතර තෙල් ප්‍රවාහනය, ඉන්දියාවෙන් විදුලිය ලබාදීම ආදිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ප්‍රකාශ විය. නමුත් ඒවා තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ මිස අවසන් එකඟතාවන්ට පැමිණ නොවේ. නමුත් මෝදිගේ මේ කතාව අල්ලාගෙන මෙරට යම් යම් පිරිස් අනුර ඉන්දියාවේ සිටියදීම එට්කා ගිවිසුම ගැසීමට ආණ්ඩුව සූදානම් බව කියමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබිණි. ඊට අමතරව අතීතයේදී එට්කා ගිවිසුමට විරුද්ධව අනුර ඇතුළු ජවිපෙ ප්‍රධානීන් කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍යයේ සැරිසරන්නට විය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉන්දියාවට ලබාදීම හැරුණු විට වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් මෙම සංචාරයේදී අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවකි.
කෙසේ වෙතත් ඉන්දීය සංචාරය ආරම්භයේදී මෝදිගෙන් ජනාධිපතිවරයාට ලැබුණේ ඉතා ඉහළ පිළිගැනීමකි. ආචාර වෙඩිමුර, අශ්වාරෝහක කණ්ඩායම් ඇතුළු ත්‍රිවිධ හමුදා උත්තමාචාරයන්ගෙන් පසුව මෝදි ජනාධිපතිවරයාව කැඳවාගෙන ගියේ කරට අතකුත් දමාගෙනය. ඒ හරහා මෝදි හා ජනාධිපතිවරයා අතර දැඩි සබඳතාවක් ඇති බවක් ඉඟිකෙරිණි. කෙසේ වෙතත් ඉන්දියාව ලබාදුන් මේ ඉහළ ගනයේ ප්‍රතිචාරය මුල්කරගෙන ඉන්දියාවේ පසමිතුරා වූ චීනය කනස්සලු වේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් සැකයක්ද මතුනොවී තිබුණා නොවේ. ඒ, ඉන්දීය සංචාරයෙන් පසුව ලබන ජනවාරියේදී ජනාධිපතිවරයා චීනය බලා යෑමට සැලසුම් කොට තිබීමත්, එහිදී චීනයෙන් විශාල වශයෙන් ලංකාවට වාසිදායක ආයෝජන සහ ව්‍යාපෘති ලැබීමට නියමිතව තිබීමත් නිසාය. ඒ අනුව පසුගිය සතියේදී ආණ්ඩුව පැත්තෙන් චීනය මුල්කරගෙන විශේෂ සිදුවීම් දෙකක් විය.

චීනය සනසයි

ඉන් එකක් වූයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට සහභාගි වූ අමාත්‍ය වසන්ත සමරසිංහ ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට සූදානමින් සිටින බවට ප්‍රකාශයක් සිදුකිරීමය. දෙවැනි සිදුවීම වූයේ ආණ්ඩුව ඉන්දියාව සමග ඇතිරගෙන ඇති ගිවිසුම් සම්බන්ධයෙන් විපක්ෂය කළ ප්‍රකාශයන්ට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදීමය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ මාලිමාවේ නීතිඥවරියක වූ ලක්මාලි හේමචන්ද්‍රය. එදින ඇගේ කතාව අතරතුරදී ඇගේ යාබද අසුනේ සිටියේ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මන්ත්‍රී නජිත් ඉන්දිකය. ඒ අවස්ථාවේ නජිත් යම් යම් ලිපි කිහිපයක් ලක්මාලිට ලබාදෙමින්, ඇගේ කතාවේදී ඒවා සඳහන් කරන ලෙස උපදෙස් දෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ලක්මාලි කියා සිටියේ විපක්ෂය කියන කිසිවක් ඉන්දියාවේදී සිදුවී නොමැති බවකි. ඒ අනුව බොහෝ දෙනාට සැක මතුවූයේ චීනය ෂේප් කරගැනීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකෙරෙව්වාදැයි කියාය.

රනිල් ආපහු ආවා

මේ අතර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වා තිබීම විශේෂ සිදුවීමක් විය. රනිල් මෙසේ අස්සන් නොකළ එට්කා ගිවිසුමක් ගැන නිවේදනයක් දැම්මේ වෙන කිසිවක් නිසා නොව රටම ආණ්ඩුවට එරෙහිව ඇවිස්සීම සඳහාය. එමෙන්ම රනිල් ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට ප්‍රථම පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගියේ ජනාධිපතිවරයාට පෙර තමන්ට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබුණු බව රටට පෙන්වීම සඳහාය. නමුත් රනිල්ගේ එම සංචාරයට ඉන්දීය රජයෙන් හෝ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් කිසිදු සහායක් ලැබී නොතිබූ බව පසුව වාර්තා විය.

ඒ අනුව රනිල් දැන් නැවතත් සූදානම් වන්නේ ජනාධිපතිවරයා පෙරළා ලංකාවට පැමිණීමෙන් පසු නැවත වතාවක් ඉන්දියාව බලා පිටත්ව යෑමටය. රනිල් එය කරන්නේද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙරත්, ඉන් පසුවත් ඉන්දීය ආණ්ඩුවන් තමන්ව කැඳවූ බව රටට පෙන්වීම සඳහාය. එසේත් නැත්නම් ‘රනිල් තමයි පොර’ කියා පෙන්වීම සඳහාය. නමුත් මෙවරද රනිල්ගේ ඉන්දීය සංචාරයට ඉන්දීය රජය පැත්තෙන් කිසිදු සහායක් ලැබී නැත. රනිල් මෙවර ඉන්දියාවට යන්නේ ඉන්දීය අගමැතිවරයාගේ ගුරුවරයා වන හිටපු අගමැති අතල් බිහාර් වජ්පායිගේ අනුස්මරණ උත්සවයේ දේශනයකට සහභාගි වීම සඳහාය.

නන්දලාල්ගේ කතාව

මේ ආකාරයට එට්කා ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වතාවක් සමාජයේ කතිකාවක් ඇතිවෙද්දී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පළමු වතාවට සාකච්ඡාවක් සඳහා පුවත්පත් කර්තෘවරුන් මහබැංකු පරිශ්‍රයට කැඳවීමට පසුගිය සතියේදී පියවර ගෙන තිබිණි. ඉතා සුහද අයුරින් පැවැති මෙම සාකච්ඡාවේදී එක් කර්තෘවරයෙක් මතුව ඇති මෙම එට්කා සංවාදය පිළිබඳවද මහබැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් මුලින්ම මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම ගැටලුව තමන්ට අදාළ නැතැයි කියාය. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වූ තීන්දුව ආණ්ඩුව සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගත යුතු දෙයක් බවද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් එට්කා සම්බන්ධයෙන් සිය පෞද්ගලික අදහසද මහබැංකු අධිපතිවරයා මෙහිදී කර්තෘවරුන් හමුවේ තැබුවේය.

‘මගේ අදහස නම් මේ වෙළෙඳ ගිවිසුම ඉතා හොඳ දෙයක්. අද ඉන්දියාව තමයි ලෝකයේ ඉතා ශීඝ්‍රයෙන්ම දියුණු වන ආර්ථිකයකට හිමිකම් කියන රට. ඒ වගේ මාර්කට් එකක් තියෙන රටකට අපි වගේ ළඟ ඉන්න රටවල් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් ඒක ලොකු හානියක්. මගේ අදහස නම් මේ වෙළෙඳ ගිවිසුම අස්සන් කරන්න ඕනෙ කියලයි. ඒකේ ඩ්‍රාෆ්ට් එකේ යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා සංශෝධනය කරලා ඒ ගිවිසුම්වලට යන්න ඕනේ. මොකද ලෝකෙ ඔක්කොම රටවල් බලන්නේ ඉන්දියාව වගේ ලොකු මාර්කට් එකක් තියෙන රටකට ඇතුළු වෙන්න. මම නම් පිළිගන්නේ නෑ ඒ වෙළෙඳ ගිවිසුම ඇතිකර ගත්තා කියලා ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙයි කියලා….’ යනුවෙන් මහබැංකු අධිපතිවරයා නොබියව එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වද්දී බොහෝ දෙනාට සැක මතුවූ කාරණාවක් වූයේ එදා එට්කා ගිවිසුමට විරුද්ධව ජවිපෙ නායකයන් පාරට බැස කොපමණ කෑගැසුවත් අනුරගේ මාලිමා ආණ්ඩුව එට්කා ගිවිසුම අස්සන් කිරීමට තීන්දු කර ඇතැයිද යන්න කියාය.

අවුල් ගොඩක්

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ චීනය විසින් ලබාදුන් පාසල් ළමුන්ගේ නිල ඇඳුම් පරිත්‍යාගයේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පැයක් ප්‍රමාදවී ඊට සහභාගි වූ ආකාරය වාර්තා කර සිටියෙමු. ඒ හේතුවෙන් චීන තානාපතිවරයා උත්සවයට පැමිණ යළිත් පිටව ගොස් නැවත වතාවක් පැමිණි බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. මීට අමතරව එම උත්සවයට ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය ගෙන්වා ගැනීම සඳහා චීන තානාපති කාර්යාලය පැත්තෙන් විශාල උත්සාහයක් දරා තිබූ බවක්ද අපි එහිදී වාර්තා කර සිටියෙමු.

මීට අමතරව පසුගිය සති අන්තයේ ඉංග්‍රීසි පුවත්පත් මේ හා සමානවම මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු දෙකක් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ ඉරාකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආරම්භ කොට වසර 100ක් පිරීම නිමිත්තෙන් කොළඹ හෝටලයක පැවැති උත්සවයට ආරාධනා ලැබ තිබියදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට සහභාගි නොවී සිටීමය. සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට මේ මාසයේදී එවැනි උත්සව සඳහා සහභාගි වීම භාරව සිට ඇත්තේ හඳුන්නෙත්තිය. නමුත් හඳුන්නෙත්ති එම උත්සවයට සහභාගි නොවී සිටියා පමණක් නොව, ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා වෙනත් අයකු සහභාගි කරවා හෝ තිබුණේ නැත. බොහෝ දෙනා එය හඳුන්වා දි තිබුණේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ආණ්ඩුව පැත්තෙන් සිදුවූ ලොකු අතපසුවීමක් ලෙසටය. කෙසේ වෙතත් එම උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.

දෙවැනි සිදුවීම වාර්තා කොට තිබුණේ ‘මෝනිං’ පුවත්පතය. එහිදී ඔවුන් කියා තිබුණේ රුසියානු රජයෙන් ප්‍රදානයක් ලෙස ලබාදුන් පොහොර නැවක් මුල්කරගෙන පසුගිය සතියේ බරපතළ ගැටලුවක් මතුවී තිබූ බවකි. මෙම පොහොර නැව බාරදීමේ උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වනු ඇති බවක් රුසියාව මුලින් සිතා සිටියද, පසුව ආණ්ඩුව පැත්තෙන් ඊට සහභාගි වී ඇත්තේ ඇමැති ලාල්කාන්තය. එය හේතුකොට ගෙන රුසියාව කෝපයට පත්ව සිටීමත්, රුසියානු තානාපතිවරයා අදාළ උත්සවයට සහභාගි වන්නේද යන්න සම්බන්ධයෙන් විශාල දෙගිඩියාවක සිට ඇති බවත් එම පුවත්පත වාර්තා කොට තිබිණි. නමුත් එහි බරපතළම ගැටලුව වී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අදාළ පොහොර නැව ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු එකක් බවට වාර්තා කොට තිබීම නිසාය. එම සිදුවීමත් සමග රුසියාව නිල වශයෙන් ඊට විරෝධය පළකිරීමට කටයුතු කොට තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත් ආත්‍යාංශය පැත්තෙන් ඊට සමාව ඉල්ලා සිටීමට පියවර ගෙන තිබුණත්, උත්සවයට සහභාගි වූ රුසියානු තානාපතිවරයා එම සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් යුතුව අදහස් දක්වා සිටි බවක්ද පුවත්පත වාර්තා කොට තිබිණි.

සජබයට දිනුමක්

ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් අනතුරුව පවත්වන සියලු මැතිවරණ එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් ජයග්‍රහණය කිරීමය. මෙවරද එය තහවුරු වූයේ මාලිමාව ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැති මහ මැතිවරණයෙන් ආණ්ඩුවවත් නොසිතූ පරිදි තුනෙන් දෙකක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවී තිබීම හරහාය.

කෙසේ වෙතත් එවැනි වාතාවරණයක් පැවැතියද පසුගිය සතියේ පැවැති සමුපාකාර කොට්ඨාස මැතිවරණයේදී මීට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් දැකගන්නට ලැබිණි. ඒ, මොරටුවේ පැවැති සමුපකාර කොට්ඨාස ඡන්ද විමසීමේදීය. අනෙකුත් සියලු සමුපාකාර ඡන්ද කොට්ඨාස ජයගැනීමට මාලිමාව සමත් වුණද මොරටුව සමුපකාර කොට්ඨාසයේදී සජබය හමුවේ මාලිමාව පරාජයට පත්ව තිබිණි. ඒ, 51ට 49ක් වශයෙනි. මේ සිදුවීමෙන් අනතුරුව බොහෝ දෙනා කියා තිබුණේ මාලිමාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයකින් පසුව පවා සජබය මෙවැනි ආකාරයට දේශපාලන ජයග්‍රහණයක් ලැබීම විශේෂ සිදුවීමක් යැයි කියාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

තහනම ඉවත් කළා විතරයි! චීන නාවික හමුදාවේ නෞකාවක් කොළඹ වරායට ඇවිත්! PHOTOS I VIDEO I Sri Lanka Latest News

Next Post

සජබෙන් අලුතින් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා ආණ්ඩුවට හදිසියේම ස්තූති කළේ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.