කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සහ නියෝජිතයින් අද පැය 05ක් පුරා සාකච්ඡාවක් පවත්වා තිබුණි.
ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
“ප්‍රශ්න වැඩි වෙනකොට සාකච්ඡාව දික් වෙනවා. අපේ ස්ථාවරය නිසිතැන නිසිලෙස කියාවි,” යනුවෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඉල්ලූ සාකච්ඡාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ පසුබිමක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද (23) රැස්වුණි.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කළේ,
“අපි බලාගාරයේ ගිවිසුමට විරුද්ධයි නේ. අපි ඒකමතිකභාවයකට ආවා. අත්සන් කරලා ඉවර නෑ කිසිදෙයක්. දේශපාලන බලය මතයි සියල්ල ඉවර වෙන්නේ.”








