ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් ලොව නැගී එන ආර්ථිකයන් සහිත රටවල මූල්‍ය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.Sri Lanka Latest News
‘ඉරාන ගැටුම නැගී එන වෙළෙඳපොළවල් සඳහා නව ණය අවදානම් මතු කරයි’ මැයෙන් නිකුත් කළ වාර්තාවක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, ගල්ෆ් කලාපයෙන් සිදුවන බලශක්ති සැපයුම් අඩාළ වුවහොත් බලශක්ති ආනයනය මත යැපෙන රටවලට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.
විශේෂයෙන්ම බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා අදාළ රටවල මූල්‍ය පීඩනය සහ ගෙවුම් ශේෂ අර්බුද උග්‍ර වියහැකි බව ෆිච් ආයතනය අවධාරණය කරයි.
මේ හරහා ගෝලීය ආයෝජක විශ්වාසය බිඳවැටීමක්ද සිදුවිය හැකි අතර, එය නැගී එන වෙළඳපොළවල විදේශ ප්‍රේෂණ, විනිමය අනුපාත සහ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව කෙරෙහි සෘජුව බලපානු ඇත.
බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය පාලනය කිරීම සඳහා ලොව පුරා මහ බැංකුවලට සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමටද සිදුවනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මෙම ගැටුම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර ණය නිකුත් කිරීමේ වෙළෙඳපොළ දුර්වල වීම සිදුවිය හැකි බව ෆිච් ආයතනය පුරෝකථනය කරයි.










