තිස් වසරක කුරිරු යුද්ධය රට වෙලාගෙන තිබූ අවස්ථාවේ අපේ රණවිරුවන්ගේ උණ්ඩයට පැරැදී මියගිය කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉන්දියානු සාමසාධක හමුදාව රැවටූ අවස්ථාවක් තිබිණි. ඒ, 1987 අගෝස්තු මාසයේ ඉන්දියානු සාමසාධක හමුදාව ඉදිරියේදී පසුබෑ අවස්ථාවක් ව්‍යාජව පෙන්නුම් කරමිනි. ආසියාවේ තුන්වැනි බලගතු හමුදාවක් ලෙස නම්දරා සිටි ඉන්දියානු සාමසාධක හමුදාව එම යුගf්ය ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ලංකාවට පැමිණ කඳවුරු බැඳගත්තේ ප්‍රභාකරන්ව පාලනය කොට ජනතාවට සාමය උදාකරවීමටය. (Sri Lanka Latest News)
ඉන්දියානු හමුදාව සමග හැප්පෙන එක සුළුපටු නොවන බව දැනගත් නිසාදෝ ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව එම සාමසාධක හමුදාවට අවි ආයුධ බාරදීමට ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ යාපනය ජනතාවට කීවේ 1987 අගෝස්තු 05 වැනිදාය. උතුරේ ඝන කැලෑ තුළ හැංගි හැංගී ගරිල්ලා සටන් වැදුණු ප්‍රභාකරන් සහ කොටි නායකයන් එළියට ආවේ එදාය. උතුරේ ජනතාවත් ඔහු දකින්නට එදා මනිපායි සූදුමලෙයි අම්මාන් කෝවිල අසලට පැමිණියහ. ඉන්දියනු සාමසාදඛ හමුදාව ලංකාවට පැමිණ කඳවුරු බැ`1දගත් අවදියේ පලාලි සහ තමිල්නාඩු (චෙන්නායි) අතර ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එහෙ මෙහේ ගියේ ඉන්දියානු හමුදා භටයන් සහ උසස් නිලධාරීන් රැගෙන ඒමට සහ රැගෙන යෑමටය. යාපනය පලාලි ගුවන් තොටුපළේ වැඩි ඉඩකඩක් වෙන්වූයේද ඉන්දීය හමුදා ගුවන් යානාවලටය.
ඉන්දු-ලංකා ගිවිසුම පිළිගැනීම හැර කළ හැකි වෙන දෙයක් නොමැති බැවින් ද්‍රවිඩ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඉන්දියාව භාරගනු ඇතැයි යන විශ්වාසය මත අපි ඉන්දියානු සාමසාධක හමුදාව වෙත ආයුධ භාරදීමට තීරණය කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කරමින්, එය සංකේතවත් කරමින් ආයුධ භාරදීමට තෝරාගෙන තිබුණේ යාපනය මනිපායි සූදුමලෙයි අම්මාන් කෝවිල ආසන්න භූමි භාගයයි. එය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්කිරීමට ඉන්දියානු සාමසාධක හමුදාව මාර්ගයෙන් මාධ්‍යවෙදී පිරිස් උතුරට ගෙන්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය පියවර ගෙන තිබිණි. එම මාධ්‍ය පිරිසට ‘දවස’ පුවත්පත වෙනුවෙන් මමත්, ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් සිල්වාත්, ‘සන්’ පත්‍රයේ මාධ්‍යවේදීන් ඇතුළු දෙස් විදෙස් මාධ්‍යවේදීන් 40කට ආසන්න පිරිසක් ඇතුළත් විය. එම පිරිස උතුරට රැගෙන යෑමේ කටයුතු පැවැරී තිබුණේද ඉන්දියානු ගුවන් හමුදාවටය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය උපදෙස් දී තිබුණේ පලාලි සිට කිලෝමීටර් 18ක් දුරින් වූ මනිපායි දක්වා අප කැඳවාගෙන එන ජීප් රථවල සුදු කොඩියක් ඔසවා සලකුණු කරගෙන මාධ්‍යවේදීන් රැගෙන ආ යුතු බවටයි. ප්‍රභාකරන් එදා යාපනය ජනතාව අමතා කරන කතාව පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 4ටය. මාධ්‍යවේදීන් රැගත් ඉන්දියානු ගුවන් යානය 1987 අගෝස්තු 05 වැනි බදාදා දහවල් 12.30ට පමණ කටුනායකින් පිටත්වී පලාලි ගුවන් තොටුපළ වෙත ළඟා වෙද්දී සවස 2 පසුවී තිබිණි. එතැන් සිට සූදානමේ තිබූ සුදු කොඩි එල්ලන ලද ජීප් රථ කිහිපයකින් අපව සූදුමලෙයි අම්මාන් කෝවිල් භූමිය ආසන්නයට කැඳවා යනු ලැබිණි.
අප ගමන්ගත් මග දෙපස නවීන පන්නයේ අවිගත් එල්.ටී.ටී.ඊ. භටයන් දහසකට අධික පිරිසක් මනිපායි දක්වා වූ ගමන් මග රැකවල්ලා සිටියහ. ඒ සෑම එල්.ටී.ටී.ඊ. භටයකුම අතැති ගිනි අවි සියල්ල නවීන පන්නයේ අලුත්ම ගිනි අවි වීම ගැන මම වවිතයට පත්වීමි. ඔවුන් කිසිවකුට පිටස්තර අයකු සමග කතාබහ කිරීමට තහනම් විය. ඒ තරමට ඔවුන්ගේ නීති තද බවද පසුව දැගන්නට ලැබිණි.
අප සියලු දෙනාම කෝවිල් භූමිය අසලට යද්දී මාධ්‍යවේදීන් සඳහා වෙන්කර තිබූ කොටසේ සිට අප ඉදිරියට ආවේ එල්.ටී.ටී.ඊ. මිලිටරි ලීඩර් රහීම් නමැති අයෙකි. ඔහුට සිංහල, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාවන් මෙන්ම තවත් විදේශ භාෂා කිහිපයක්ම හොඳින් කතාකිරීමට හැකියාව තිබිණි. රහීම් ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු ත්‍රස්තවාදී ව්‍යාපාරයට බැඳීමට පෙර නුවර පළාතේ ප්‍රධාන පෙළේ පාරිමි පාසලක ඉගෙනගත්, ඉතා කඩවසම් පෙනුමකින් යුතු අයකු බවයි.
කොළඹ සිට ගිය මාධ්‍යවේදීන් සියලු දෙනා යාපනයට පැමිණීමට පෙර සෑම මාධ්‍යවේදියකුගේම නම, හැඩරුව සියල්ල දැන සිටි රහීම්, ඒ අවස්ථාවේ කැමරාවක් කරේ එල්ලාගෙන සිටි තරමක වයස්ගත අයකු දෙස පමණක්ම සිය උකුසු ඇස යොමුකරගෙන සිටින අයුරු දැකගත හැකි විය. අපද සිතා සිටියේ ඔහු මාධ්‍යවේදියකු කියාය. එහෙත් ඔහු ළඟට ගිය රහීම්,
‘ඔයා මාධ්‍යවේදියෙක් නෙවෙයි. ඔයා රහස් ඔත්තු සේවාවෙ නියෝජිතයෙක්. ඒක මම දන්නවා. නමුත් අපි ඔයා ගැන තරහක් නැහැ. මෙතැන වෙන දේ නිවැරැදිව රජයට වාර්තා කරන්න…’ යනුවෙන් ඔහුගේ පිටට තට්ටුවක් දමමින් සිනහමුසු මුහුණින් යුතුව කීවේය. ඔහු ළඟ සිට ආපසු හැරී අප ළඟට ආ රහීම් අපට පවසා සිටියේ,
‘අද ප්‍රභා කියන දේ මමයි ඔයාලට සිංහලට පරිවර්තනය කරන්නේ. ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහාත් දෙන්නෙක් යොදවලයි ඉන්නේ…’ යනුවෙනි.
සවස 3 පසුවෙද්දී ඉන්දීය සාමසාධක හමුදාවේ උසස් නිලධාරීන් පස්දෙනකු රැගත් ජීප් රථයක් ප්‍රභාකරන් ජාතිය ඇමතීමට ඉදිකර ඇති අඩි 6ක් පමණ උසැති වේදිකාව අසල නතර විය. ඒ අසල පනවා තිබූ විශේෂ ආසනවල අසුන්ගත් ඔවුහු ප්‍රභාකරන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටියහ. හරියටම 5.45ට පමණ විවෘත ලොරි තුනක සිටි එල්.ටී.ටී.ඊ. භටයන් පනස් දෙනකු පමණ මැදිකරගත් අඳුරු වීදුරු සහිත ඩෙලිකා වර්ගයේ වෑන් රියක් වේදිකාව අසල නතර විය. ප්‍රභාකරන්ගේ සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂක භටයන් පස්දෙනකු මැදිකරගෙන ප්‍රභාකරන් වේදිකාවට ගොඩවිය. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ උතුරේ ජනතාව විශාල පිරිසක් කෝවිල ඉදිරිපට රැස්කකා සිටියේ කෙදිනකවත් දැක නැති ප්‍රභාකරන් දැකගන්නටත්, ඔහු රැස්වීමේදී කියන දේ අසන්නටත්ය.
එදා රහීම් සිංහල භාෂාවට පරිවර්තනය කර, මා වාර්තා කළ ප්‍රභාකරන්ගේ කතාවේ මෙසේද සඳහන් කොට තිබිණි.
‘මෙම ගිවිසුම මගින් අපගේ ජනතාවගේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ලැබේදැයි අපට සැක ඇතිවිය. මේ නිසා ගිවිසුම පිළිගත නොහැකි යැයි අපි ඉන්දීය රජයට පැහැදිලිව ගෙනහැර දැක්වීමු. එහෙත් අපි පිළිගත්තත් නොපිළිගත්තත් මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අධිෂ්ඨන කරගෙන සිටියා. ඉන්දියානු රජයයේ ස්ථාවරය පිළිබඳ අප පුදුම වන්නේ නැහැ. අද අපගේ විමුක්ති අරගලයේ මහා පරිවර්තනයක් ඇතිවී තිබෙනවා…’
පැය භාගයක පමණ උතුරේ ජනතාව ඇමතූ ප්‍රභාකරන් වේදිකාවෙන් බිමට බැස තවත් කොටි නායකයන් කිහිප දෙනකු ලවා සංකේතාත්මකව ගිනි අවි කිහිපයක් එහි පැමිණ සිටි සාමසාධක හමුදාවට භාරදෙන ලදී. ඒ සමගම එතැනට පැමිණියේ ප්‍රභාකරන් රැගෙන ආ වහනය නොව වෙනත් වෑන් රියකි. එයට නැඟුණු ප්‍රභාකරන් සහ ආරක්ෂක භට පිරිස රැගත් අනෙකුත් විවෘත ලොරි රථ වෙනත් මාර්ගයකින් කැලෑවැදී නොපෙනී ගියේය.
1987 අගෝස්තු 05 වැනිදා යාපනයේ සිට වාර්තා කළ එම සිද්ධිය පසු දින වූ අගෝස්තු 06 වැනිදා ‘දවස’ ප්‍රධාන පුවත වශයෙන් පළකිරීමට හැකි වීම මා ලද තවත් විශේෂ මාධ්‍ය අත්දැකීමකි. මෙය ප්‍රභාකරන්ට ප්‍රශස්ති ගැයීමක් නොව, ප්‍රභාකරන් එකල ඉන්දියානු සාමසාධක හමුදාව නොමග යැවූ ආකාරය විදහා දක්වන අවස්ථාවකි.

ප්‍රේමලාල් විජේරත්න










