අපේ රටේ මහජන මුදල් කොල්ලකන ප්‍රධාන ක්‍රමයක් ලෙස දූෂණය හඳුනාගෙන තිබෙනවා. කොහොමද අපි රටේ හිටපු ඉහළම බලධාරීන් මේ මහජන මුදල් දූෂණයට සහ නාස්තියට ලක්කළේ? මෙන්න ඒකට හොඳම උදාහරණයක්.
මතකද මහජන මුදල් ගිලගත්ත රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල?
එතෙක් බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයේ පිහිටුවා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියට ගෙනයන්න 2015 යහපාලන ආණ්ඩුවේ ඉහළම නායකයන් තීරණයක් ගත්තා. ඒ, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරකසභාව ඇතිකිරීමට ගොවිජන මන්දිර ගොඩනැගිල්ල අවශ්‍ය බව කියමින්. මේ කටයුත්තේදී එවක හිටපු අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර, අනතුරුව එවක හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව පසුව 2015-2018 වසරවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණා.
ඒ තීරණයට අනුව මේ ගොඩනැගිල්ල 2015 ආණ්ඩුවේ කුලියට ගත්තේ මාසෙකට රුපියල් මිලියන 21ක් එනම්, මාසෙකට රුපියල් දෙකෝටි දසලක්ෂයක කුලියකට. හැබැයි රජයේ තක්සේරුව මාසෙකට රුපියල් මිලියන 13.4යි. ඒ කියන්නේ එක්කෝටි තිස්පන් ලක්ෂයක්. නියමිත වටිනාකමට වඩා මිලියන හතහමාරක් වැඩියෙන් ගෙව්වා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු 5ක කාලයක් සඳහා ගොඩනැගිල්ල වෙනුවෙන් ගිවිසුමකට එළඹී තිබුණේ මුදල් රෙගුලාසිවල දැක්වෙන උපරිම බදු කාලය වසර 3ක් වියයුතුයි කියන නියමයන්ද කඩකරලා. මාසෙකට ගෙවූ කුලිය රුපියල් මිලියන 21 බැගින් මුල් අවුරුදු 3 සඳහා ගෙවපු මුළු මුදල රුපියල් මිලියන 756ක්. ගොඩනැගිල්ලකට වසරකුත් මාස 4ක් කුලී වියදම් ගෙව්වේ එය භාවිතයටද නොගෙන. තුන්වැනි අවුරුද්දෙන් පස්සේ තවත් 15%ක් මාසෙ කුලියට එකතු වුණා. ඒ අනුව ඉතිරි වසර දෙක සඳහා ගෙවීමට සිදුවූ මුදල රුපියල් මිලියන 579.6ක්.
ඇතිවුණු සමාජ විරෝධය හමුවේ පෙර අමාත්‍යාංශය පැවැති ගොවිජන මන්දිරයටම මෙම කාර්යාලය ගෙනයෑමට කටයුතු කළේ 2020 ජනවාරි 31 වැනිදා. ඒ අවස්ථාව වන විටත් 2020 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා රුපියල් මිලියන 28.05ක මුදලක් බදු කුලී හා සේවා ගාස්තු ලෙස ගෙවා තිබුණා. මේ මුදල් අවභාවිතය පිළිබඳ කෝප් කමිටුව හමුවේ මෙන්ම වංචා දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේද කරුණු අනාවරණ වුණා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ ගොඩනැගිල්ලට රජය කළ මුළු වියදම රුපියල් බිලියන 2යි මිලියන 100කට ආසන්නයි.
මේ වියදම කොයි තරම් විශාලද?
ගිය මාසේ 29 වැනිදා රටේ වී ගොවීන්ට දෙන කෘෂි පොහොර සහනාධාරය වෙනුවෙන් වෙන්කළ මුදල රුපියල් මිලියන 57ක්. මේ වැඩකට නැති නාස්තිකාර කෘෂිකර්ම ගොඩනැගිල්ල කුලියට ගන්න නාස්ති කළ මුදලින් 36 වතාවක් පොහොර සහනාධාරය දෙන්න තිබුණා. ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම් සඳහා නීතිපති අනුමැතිය පවා ලැබිලා තිබුණේ නැහැ. මේ ගොඩනැගිල්ල තෝරාගෙන තිබුණේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව. මේ ගොඩනැගිල්ලේ තාක්ෂණික සහ නීතිමය ගැටලු රැසක් ඇති බවද ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා.
පාඩුව එච්චරද?
නැහැ. පසුගිය මාසේ 21 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා හෙළිකළේ මේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගැනීමේදී ගොඩනැගිල්ලේ හිමිකරුවන් භාරයේ තැබූ කෝටි 66ක තැන්පත් මුදල තවමත් රජයට ලැබී නොමැති බවයි. එවිට අහිමි වුණු මුදල රුපියල් මිලියන 2760ක් පමණ වනවා. ඒ මුදලින් මේ කන්නය වගේ කන්න 48කට පොහොර සහනාධාරය දෙන්න තිබුණා. ඉතින් රටේ ගොවි ජනතාවට සේවය සලසන්න තිබුණු ප්‍රකෝටි ගණන් මුදල් නාස්ති කරපු මේ නායකයන් බත් කන අය නම් වෙන්න බෑ. හැබැයි මේ නාස්තිකාර වැඩේ නිසා තුන්වේල නැති වුණේ මේ නාස්තිකාරයන්ට නෙවෙයි. එදා වේල හොයාගෙන කන සාමාන්‍ය ජනතාවට.
රටේ ගොවීන්ට යනඑන මං නැතිව අසරණව සිටිද්දී අමාත්‍යාංශ ගොඩනැගිලිවලට බිලියන ගණනින් මහජන මුදල් යටකළ අයට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණාද?
Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි










