පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් විමසීමට පියවර ගෙන ඇති බව වාර්කා වේ.
ලංකාවේ සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Paola Pampaloni මහත්මයි සහ මෙරට විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර පැවැති සාකච්ඡාවකදී මේ බව විමසීමට පියවර ගෙන ඇත.
මෙහිදී ලංකාව පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් එහි තීන්දුව එනතුරු බලා සිටින බවකි.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පැවැති සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.
මෙහිදී ඔවුන් සංහිඳියාව, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව ඇතුලු විශේෂ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙහිදී නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් කරන ලද පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ අරමුණින් අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නිරීක්ෂණ අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ආනයන සීමාවන් හේතුවෙන් බොහෝ යුරෝපීය නිෂ්පාදන ලංකාවේ වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇති බව පෙන්වා දී ඇති අතර 2023 ජුනි මාසය වන විට ආනයන සීමාවන් ඉවත් කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ කටයුතු කරන බව එහිදී දැනුම් දී ඇති බව වාර්තා වේ.