පෙරදිග ධාන්‍යාගාරය යැයි කී ශ්‍රී ලංකාව පසුගියදා අභිමානයෙන් නිදහස සැමරු බවත් ඒ ධාන්‍යාගාරයේ පාරිභෝගික ඇමතිවරයා ජීවත් වෙන්නට පාකිස්තානයෙන් සහල් ඉල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පෙරදිග ධාන්‍යාගාරයේ අද තත්වය එහෙම යැයි පැවසූ විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව අන්තනෝමතික ලෙස ගොවි ජනතාව විනාශ කිරීමේ ප්‍රතිඵලය මෙය යැයි ද පැවසීය.
නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්‍යා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්‍රකාරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්‍රති ආශ්‍රිත ජල පෙරනය) ලබා දීමට කටයුතු කරනු ලැබීය.
මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය දිලිප් වෙදාරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිළමේ ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
ජනතාව ජීවත් කරන ව්‍යාපෘති වලට අත තබනවාට වඩා කොමිස් කුට්ටි එන ව්‍යාපෘති වලට අත තැබීමට ආණ්ඩුව දෙවරක් නොසිතන බවද විපක්ෂ නායකතුමා පැවසීය.
හොරකම් කරන්නට හැකි අල්ලස් ගන්නට හැකි කොමිස් කුට්ටි ගිලින්නට හැකි ගුවන් පාලම් වැනි දැවැන්ත ව්‍යාපෘති වලට දක්වන අභිරුචිය ජනතාව ජීවත් කරන ව්‍යාපෘතිවලට ආණ්ඩුව දක්වන්නේ නැති බව පුදුමයක් නොවන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
ලක්ෂ 1190 ක රෝහල් උපකරණ පමණක් මේ වන විට මිනිස් ජීවිත රැක ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය ලබාදී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව එවැනි වැඩ ගැන හිතන්නෙවත් නැති බවද පැවසීය.
වැඩ ලක්ෂයක් යනුවෙන් මහා පරිමාණයේ ව්‍යාපෘතියකට අත ගැසීමට ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා, වැඩ ලක්ෂ කෙසේ වෙතත් එක වැඩකට සිමෙන්ති කොට්ටයක් හොයාගන්නට බැරි තරමට රට පත්ව ඇතැයිද පැවසීය.

















