• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

83 ජුලි කලබලයේදී වැලිකඩ හිරගෙදරදී පහරදී මරා දැමුණු කුට්ටිමනී ඇතුළු 53ක් හොර රහසේම වළදැමූ කොළඹ සමූහ මිනීවළක තොරතුරු පළමුවරට එළියට එයි! PHOTOS I Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 32 mins read
A A
83 ජුලි කලබලයේදී වැලිකඩ හිරගෙදරදී පහරදී මරා දැමුණු කුට්ටිමනී ඇතුළු 53ක් හොර රහසේම වළදැමූ කොළඹ සමූහ මිනීවළක තොරතුරු පළමුවරට එළියට එයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිවු දශකයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේදී සිංහල සිරකරුවන් විසින් පහර දී, කෲර වධහිංසාවන්ට ලක් කොට දෙදිනක් තුළදි මරා දැමුණු දෙමළ සිරකරුවන් සමූහය වළ දැමූ තැන හෙළිකොට ජාත්‍යන්තර වෝහාරික විශේෂඥ අධීක්ෂණය සහිත පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.Sri Lanka Latest News

1983 කළු ජූලියේ කොළඹ නගරයේ ජාතිවාදි ප්‍රහාර උත්සන්න වෙමින් තිබෙන අතරවාරයේදී බන්ධනාගාර නිලධාරින්ගේ ද සහාය සහිතව එසේ මරා දැමු 53 ක් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටින්නේ ඝාතනය වුණු සිරකරුවන්ගේ ඥාතීන් සහ දෙමළ ජාතික දේශපාලන ක්‍රියාධරයන් පිරිසකි.

ජාත්‍යන්තර විමර්ශනයක්


yogarajan

යෝගචන්ද්‍රන් මදිවන්නන්“

එදා තිබුණු ආණ්ඩුව, මගේ අප්පා ඇතුළු මරලා දාපු අනෙක් හැමෝම වළ දැම්මේ කොහෙද? ඒ අයගේ මළ සිරුරුවලට මොකද කළේ කියලා අපි කවුරුත් හරියට දන්නේ නෑ. අපි ඉල්ලන්නේ ඒ සංහාරය ගැන ජාත්‍යන්තර මට්ටමේ විධිමත් පරීක්ෂණයක් පවත්වලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියලා විතරයි” යැයි 1983 වැලිකඩ සංහාරෙය්දි මරා දැමුණු කුට්ටිමනී නමින් ප්‍රකට සෙල්වරාජා යෝගචන්ද්‍රන් ගේ පුතු යෝගචන්ද්‍රන් මදිවන්නන් අප හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

දේශපාලන සිරකරුවකු වූ තම පියා මරා දැමුණු බව රටින් පලාගොස් ඉන්දියාවේ අනාථ කඳවුරක සිටියදී දැන ගන්නට ලැබුනේ ගුවන් විදුලිය ඔස්සේ බවත්, ඒ හැරුණු කොට රජය කිසිදු ආකාරයකින් තම පවුල්වලට ඒ බව දැනුම් නොදුන් බවත් මදිවන්නන් කීය.

“මගේ අප්පාවයි , අනෙක් අයවයි සිංහල සිරකරුවෝ මරලා දැම්මට පස්සේ ආණ්ඩුව හිතාමතාම ඒ අපරාධය හැංගුවා. මැරුණේ කොහොමද? අවසන් කටයුතු කරේ කොහොමද? වළ දැම්මේ කොහෙද ඒ කිසිම දෙයක් කිවුවේ නෑ. අදටත් අපිට ඒ ගැන තියෙන්නේ කම්පාවක්,” යනුවෙන් සිය පියා ඇතුළු පිරිස ඝාතනය වන අවස්ථාවේ 12 වියේ පසුවු මදිවන්නන් පැවසුවේ බිඳුණු හඬිනි.

බොරැල්ල කනත්තේ

එම සමූහ ඝාතනය පිළිබඳව ලියැවී ඇති, අතීත ස්වාධීන විමර්ශන වාර්තා සහ සිද්ධිය ඇසින් දුටු අතැමුන්ට අනුව මරා දැමුණු රැඳවියන් බන්ධනාගාර ට්‍රක් රථයක පටවා බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් රහසිගත ස්ථානයක කණින ලද වළක් තුළට දමා දර ගොඩ ගසා පුලුස්සා දමා තිබේ.

sivajilingamඑම්.කේ  සිවාජීලිංගම්

දෙමළ ජන අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬ නගන ප්‍රකට දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයකු වන එම්.කේ  සිවාජීලිංගම් ද පවසන්නේ ආණ්ඩු ගණනාවක් විසින්  දශක 4ක් තිස්සේ සඟවාගෙන ඉන්නා මේ අපරාධය ගැන දැන්වත් ඇත්ත ප්‍රකාශ කරමින් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව මේ ආණ්ඩුව සතු බවයි.

“හැම රජයක්ම මේක හැංගුවා. මේ ආණ්ඩුව කියනවනේ වැළලුනු අපරාධ හොයනවා කියලා. අපි කියන්නේ එහෙනම් මේ සමුල ඝාතනයත් හොයන්න අවසර දෙන්න. මොකද මේ හැමෝම මරලා දැම්මේ අධිකරණ නියෝග යටතේ බන්ධනාගාරයේ ඉන්දදී. ඒ කියන්නේ රජයේ පාලනය යටතේ. එහෙනම් රජයට වගකීමක් තියෙනවා ඒ ගැන හොයන්න. ඒ කොයි රජයද කියන එක අදාල නෑ, ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවාජිලිංගම් අවධාරණය කරයි.

මදිවන්නන් මෙන්ම සිවාජිලිංගම් ද එක හඬින් කියා සිටින්නේ මරා දැමුවන්ට යුක්තිය ඉටු වීමට නම් කිසිවක් නොසඟවා නිර්ව්‍යාජ විමර්ශනයක් කළ යුතු බවකි. එය එසේ වීමට නම් ශ්‍රී ලංකා රජයේ තනි අයිතියෙන් තොරව ජාත්‍යන්තර විශේෂඥයන්ගේ දායකත්වය සහිත විමර්ශනයක් සිදුවීම අනිවාර්ය බවද ඔවුහු දෙදෙනාම අවධාරණය කරති.  

“මම හිතන්නේ මේ අපරාධය ගැන හරියට හොයන්න නම් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුමයි. අඩුම ගානේ මළ සිරුරුවලට මොකද කළේ කියන එකවත් එතකොට අපිට දැන ගන්න පුලුවන් වෙයිනේ” යි මදිවන්නන් කීය.

එම සමූහ ඝාතනය වසර 40 ත් තිස්සේ සිංහල අධිපතිවාදී ආණ්ඩු 11 ක් සහ පාලකයන් 8 දෙනකු යටතේ නොවැදගත් අපරාධයක් ලෙසට යටපත් කොට දමා තිබුණේ ගෙවුණු කාලය තුළ උතුරු නැගෙනහිර ද ඇතුළුව රට පුරාම සමූහ සංහාරක මිනී වළවල් මතු වෙමින් ද, ඒවා පිළිබඳව අවිධිමත්ව හෝ විමර්ශන ද සිදුවෙමින්  තිබෙන අතරවාරයේ ය. මේ ගෙවෙමින් තිබෙන්නේ සංහාරයෙන් පසු  12 වැනි ආණ්ඩුකරණයේ 9 වැනි පාලකයාගේ රාජ්‍ය සමය යි. මෑතදීම සාම්පූරයෙන් මතුවුයේ හත්වැනි සමූහ මිනීවලයි.

පලමු සංහාරය

1983  ජූලි 25 දින වැලිකඩ බන්ධනාගාරයේ බිම් මහලේ පිහිටි චැපල් වාට්ටුවේ සිර මැදිරිවල රඳවා සිටි දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් 35 දෙනකු එම සිර කූඩුවලින් එළියට ඇද පොලු, මුගුරු, යකඩ කූරු ඇතුළු ආයුධවලින් පහර දී එම ස්ථානයෙදී ම මරා දැමුණු අතර, ඉන් දෙදිනකට පසු ඒ අයුරින්ම තවත්  දෙමළ ජාතික සිරකරුවන් 18  දෙනකු ද  මරා දැමුණේ බන්ධනාගාර නිලධාරීන් සහ ආයුධ සන්නද්ධ යුද හමුදා සෙබළුන් බලා සිටියදී ය. ඝාතනය කෙරුනු 53 දෙනාගෙන් වැඩි පිරිසකගේ අත් පා කඩා බිඳ දමා, ඇස් උගුල්ලා බන්ධනාගාරයේ ඉදිරිපස එළිමහන් භූමියේ ඇදගෙන ගොස් ඇති බවටත් ස්වාධීන විමර්ශන වාර්තාවලින් පසුව හෙළිදරව් කෙරුනි.  

“මගේ අප්පාගේ ඇස් පණපිටින්ම උගුල්ලලා තිබුණා. එහෙමයි අපිට දැන ගන්න ලැබුණේ. මැරෙන්න කලින් ඊළම දකින්න ඕනේ කියලා අප්පා කියලා තිබුණු හින්දයි ඒ විදිහට ඇස් උගුල්ලලා තියෙන්නේ,” යි කඳුළු පිරි දෙනෙතින් මදිවන්නන් පැවසීය.

kuttimani 
චැපල් වාට්ටුව නම් අංශයේ A, B, C, D යනුවෙන් කොටස්  හතරක සිර මැදිරි පිහිටා තිබූ අතර, එහි බිම් මහල A3,  B3, C3,  සහ D3 ලෙස තවත් සිරමැදිරි 4 කින් සමන්විත ය. නීර්වේලි බැංකු මංකොල්ලය වෙනුවෙන් 1981 දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් මරණීය දණ්ඩනයට යටත් කොට සිටි දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනි), නඩරාජා තංගවේලු  (තංගතුරෛ) සහ ගනේෂනාදන් ජෙගනාදන් (ජෙගන්) ඇතුළු රැඳවියන් 6 දෙනකු රඳවා තබා ඇත්තේ බිම් මහලේ පිහිටි B3  සිර මැදිරියේ ය. ඔවුන් සියල්ලෝම මරණ දණ්ඩනයට එරෙහිව අභියාචනා කොට සිටි අය වූහ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA)  යටතේ අත් අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතිකයන් 29 දෙනකු D3 සිරමැදිරියේත්, තවත් 28 දෙනකු C3 මැදිරියේත් රඳවා තබා තිබුණේ යැයි වාර්තාවල  සඳහන් ය.

KjuyoImage © JDS lanka


එයට අමතරව තවත් සිරකරුවන්  9 දෙනෙකු රඳවා තිබී ඇත්තේ තරුණ රැඳවියන් ගේ වාට්ටුවේ ය. වෛද්‍ය ධර්මලිංගම්, කෝවයි මහේෂන්, වෛද්‍ය සෝමසුන්දරම්  රාජසුන්දරම්, ඒ. ඩේවිඩ්, නිත්‍යානන්දන්,  සිංගරයාර් පියතුමන්, සින්නරාසා පියතුමන්, ජෙයතිලකරාජ් පියතුමන් සහ වෛද්‍ය ජෙයකුලරාජා ඒ අතර විය. D3 මැදිරියේ රඳවා සිටි බොහෝ අය සැකපිට අත්අඩංගුවට ගෙන හෝ  කඩිකමින් නිදහස් කිරීමේ අරමුණින් හෝ  රඳවා තබා ගෙන සිටි අය යැයි එවකට සිටි බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් ක්‍රිස්ටෝපර් තියඩෝර් ජෑන්ස් විසින් පසුව තහවුරු කොට තිබුණි.

නමුත් A 3 සිර මැදිරිය එසේ නොවීය. දරුණු ගණයේ සහ පැන යාමට උත්සාහ දැරූ සිරකරුවන් එහි රඳවා සිටි බව ප්‍රකාශිතය. ඔවුන් සියල්ලන්ම සිංහල ජාතිකයන් ය. වාර්තාවන්ට අනුව A 3 සිර මැදිරියේ රඳවා සිටි සිංහල ජාතික සිරකරුවන් බොහෝ දෙනකු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වී තිබේ.

සේපාල ඒකනායක1982 දී ඉතාලියේ අලිතාලියා ගුවන් යානය පැහැර ගැනීමට වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි සේපාල ඒකනායක ද එම විශේෂ අපරාධකරුවන් අතර සිටි අයෙකි. එම සමූල ඝාතනය සිදු කිරීම සඳහා ඔහු විසින් සිංහල ජාතිකයන් උසිගන්වමින් මෙහෙයවා ඇති බවටත් පසු කලෙක සඳහන් වුණි.

පසුව ප්‍රකාශයට පත් කෙරුනු ස්වාධීන විමර්ශන වාර්තා අනුව චැපල් වාට්ටු කොටසේ ඉහළ සහ පහළ මහල්වල සිරි මැදිරි අසල දිවා කාලයේදී ද බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් සැලකිය යුතු පිරිසක් මුර සේවයෙහි යෙදී සිටි බවත්, විශේෂයෙන්ම බිම් මහලේ පටු කොරිඩෝවේ යකඩ කූරු සහිත සිර මැදිරි ආසන්නයේ දිවා කාලයේදී රැඳවියන් නිදැල්ලේ ගැවසෙන බැවින් අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 15ක් පමණ නිරන්තරයෙන් රාජකාරියෙහි යොදවා සිටි බවත් පැවසෙයි. නමුත් මුල්ම ප්‍රහාරය එල්ල කෙරුනු 25 දා එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහල දමා තිබුණු බවටත් සඳහන්  ය.
 
ජූලි 24 දා බොරැල්ල පොදු සුසාන භූමිය අසල එක් රැස් වුණු සිංහල ජාතිවාදී මැර පිරිසේ මෙන්ම එයින් පසුව කොළඹ නගරයේ තැන තැන ඒ වන විටත් ඇති වෙමින් තිබුණු දෙමළ විරෝධී ජාතිවාදි ප්‍රහාරවල උණුසුම ඒ වන විටත් වැලිකඩ බන්ධනාගාර අභ්‍යන්තරයට ද දැනී තිබුණු මානව හිමිකම් පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරු (UTHR-Jaffna) පවසති.

එවැනි භීෂණකාරී සහ ගැටුම්කාරි වාතාවරණයක් තිබියදීම පහල කොටසේ රැඳවියන් විශාල පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි. ඒ කුමක් නිසාදැයි අපහැදිලිය. නමුත් එසේ රැගෙන යාම ප්‍රචණ්ඩකාරි සිංහල සිරකරුවන්ට යම් ජවයක් සපයන්නට ඇති බව නම් පැහැදිලිය. ඒ අතරේම මරණීය දණ්ඩනය නියමව සිටි දෙමළ ජාතික සිරකරුවන් හට දිනපතා පුවත්පත් ලැබී තිබුණි.

කළු ජූලියේ ගොදුරක් වු ලාංකීය සිනමා කර්මාන්තය
ඒ අනුව කොළඹ නගරයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩතා උත්සන්න වෙමින් තිබෙන බවට ඔවුන්ට අවබෝධ වන්නට වැඩි කාල වේලාවක් ගත වූයේ නැත.  එදින පෙරවරු 10 ත් 11 ත් අතර කාලයේදී  බන්ධනාගාර අභ්‍යන්තරයෙන් යම් නොසන්සුන්කාරී තත්වයක් පැන නැගෙමින් තිබුණු බවටත්, පස්වරු 2 ට පමණ B 3 සිරමැදිරිය දෙසින් සිංහල ජාතික සිරකරුවන් විශාල පිරිසක් එකවරම පැමිණෙමින් ද්‍රවිඩ ජාතික සිරකරුවන් රඳවා සිටි සිර මැදිරිවල දොරවල් සහ අගුළු කඩා බිඳ දැමීමට උත්සාහ දරා ඇති  බවටත් යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ වාර්තාවෙහි  සඳහන් කොට තිබේ.

මාණික්කදාසන්  C 3 සිරමැදිරියේ සිටි මාණික්කදාසන් නම් රැඳවියා අසල කවුළුවකින් පහළ බැලීමේදි දැක ඇත්තේ ඒ වන විටත් මරා දැමුණු හෝ පහර දී බරපතල තුවාල සිදුවූ දෙමළ සිරකරුවන්, සිංහල සිරකරුවන් විසින් බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදීම අත් පා වලින් බිම දිගේ එළිමහන් භූමියට ඇද ගෙන යන ආකාරයයි.

සැලසුම් සහගත සංහාරයක්
 
බන්ධනාගාර අභ්‍යන්තරයේ දෛනික ආරක්ෂක විධි විධාන සැලසුම් සහගතව වෙනසකට ලක් කොට ඇති බව පැහැදිලි වන අතර, වඩාත් පුදුම සහගත තත්වය නම් බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත ඒ වන විටත් ස්ථානගත කොට සිටි ආයුධ සන්නද්ධ නිත්‍ය හමුදා අණු ඛණ්ඩයේ පිරිස ප්‍රහාරය සිදුවන අතරවාරයේ කුමක් සිදු කළේද යන්නයි.  

ගේට්ටුවේ රැකවල්ලා සිටි හමුදා සෙබළුන් කැඳවන්නැයි තමන් කෑගසා ඉල්ලා සිටි බව බන්ධනාගාර අධිකාරි ලියෝද සිල්වා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයේදි ලබා දී ඇති කට උත්තරයේ සඳහන් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසති.  එහෙත් ඔහුම පවසා ඇත්තේ පිරිස් බලයෙන් වැඩි රැඳවියන් පාලනය කිරීමට එම සෙබළුන් ට අපහසු වූ බවකි.

මහල් දෙකකින් සමන්විත චැපල් කොටසේ ඒ වන විටත් රැඳවියන් 800 ට අධික ප්‍රමාණයක් රඳවා තබා සිටි බවටද වාර්තා වේ. එසේම ඉහළ මහ‌ලේ කොරිඩෝවේ බිම මළ සිරුරු කිහිපයක් වැටී තිබියදීම සෙබළුන් එම ස්ථානයෙන් බැහැරට ගොස් සිටි බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. නමුත් වඩා වැඩි සංඛ්‍යාවකින් යුතු හමුදා ඛණ්ඩයක් හෝ ප්‍රධාන දොරටුව අසල රැකවල්ලා සිටි හමුදා අණු ඛණ්ඩය හෝ නිසි පරිදි තත්වය මැඩ පවත්වන්නට රාජ්‍ය බලධාරීන් හෝ ඉහළ ආරක්ෂක ප්‍රධානීන් හෝ විසින් යොදවා ඇති බවක් නම් පෙනෙන්නට නොමැත.

black july wdfudf

ඇතැම් විට ප්‍රධාන පිවිසුම් දොරටුවේ සෙබළුන් ද සිංහල සිරකරුවන්ගේ කෝපය සංසිඳෙන තුරු ඔවුන්ට  කැමති අයුරින් ප්‍රහාර සිදුකරන්නට ඉඩ දී බලා සිටියා ද විය හැක. මන්දයත්, කොළඹ ප්‍රහාර ඇරඹෙන්නේ උතුරේ යුද්ධයෙන් මිය ගිය හමුදා භටයන් 13 දෙනකුගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරුනු බොරැල්ල කනත්ත අසල ඇති වු ප්‍රචණ්ඩත්වයත් සමඟින් වන බැවිනි.

එම හමුදා අණු ඛණ්ඩය ඉදිරිපස මුර රාජකාරියෙහි යෙදවීමට හේතු ලෙස බලධාරීන් විසින් ප්‍රකාශ කොට තිබුණේ ත්‍රස්ත මර්දන පනත යටතේ ඒ වන විටත් රඳවා සිටි දෙමළ ජාතික සිරකරුවන්  බන්ධනාගාරයෙන් පැන යාවි යැයි යන සැකයයි. නමුත් එම රැඳවියන්ගේ ජීවිත අනතුරේ හෙලා, විශේෂයෙන්ම ඉහළ අධිකරණවලට අභියාචනා කර මෙන්ම නිදහස් වීමට ආසන්නයේ සිටි රැඳවියන් පවා ම්ලේච්ඡ ලෙස පහර දී මරා දමන අතරවාරයේදි අදාල හමුදා සෙබළුන් බන්ධනාගාර අභ්‍යන්තරයට කැඳවා ප්‍රචණ්ඩත්වය මැඩ පවත්වන්නට කටයුතු නොයෙදුවේ ද, එසේ නම් ඒ කවර හේතුවක් මතද  යන වග පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් බලධාරීන් වෙතින් මේතාක් සිදුවී  නොමැත.

මහින්ද හතුරුසිංහබන්ධනාගාරයේ ඉදිරිපස ආරක්ෂාව භාරව තිබුණේ  4 වැනි කාලතුවක්කු බලකායේ හමුදා අණු ඛණ්ඩයක් වෙතය. එහි අණ දෙන නිලධාරිවරයා වූයේ ලුතිනන් මහින්ද හතුරුසිංහ යි. ලුතිනන්වරයා, මහේස්‍ත්‍රාත් හමුවේ දී ඇති ප්‍රකාශයට අනුව ප්‍රහාරයට මද වෙලාවකට පෙර ඔහු තවත් සෙබළුන් 15 දෙනකු සමඟ රැඳී සිට ඇත්තේ  ඒ ආසන්නයේ පිහිටි හමුදා විවේකාගාරයේ ය. ඒ වන විටත් හමුදා සෙබළුන් 5 දෙනකු ඉදිරිපස ප්‍රධාන ගේට්ටුව අසල මුර රාජකාරියේ නිරතව සිටි බවද හෙතෙම පවසා ඇත. ඒ,  හමුදා විවේකාගාරයට මීටර් 200ක් පමණ ඈතින් පිහිටි තවත් මුර කුටියක රැඳි සිටි හමුදා බෙළුන් 25 දෙනාට අමතරවය.

කෙසේ නමුත් ප්‍රධාන ගේට්ටුවේ මුර සේවයෙහි යෙදි සිටි සෙබලෙක් දිව විත් තමන්ට සිද්ධිය පිළිබඳව සැළ කළ බවත්, ඒ අනුව තමන් තවත් සෙබළුන් 7 දෙනකු සමඟ බන්ධනාගාර පරිශ්‍රයට ගිය බවත් ලුතිනන් හතුරුසිංහ පවසයි. හමුදා සෙබළුන් දුටු සැනින් ප්‍රහාරකයන් පසු බැස ගිය බවද ලුතිනන්වරයා අවධාරණය කොට තිබුණි.
 
ලුතිනන් මහින්ද හතුරුසිංහ
 
නමුත් ස්වාධීන විමර්ශකයන්ට අනුව එය පිළිගැනීමට අපහසු ප්‍රකාශයකි. මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් (UTHR – Jaffna) ට අනුව බන්ධනාගාර අධිකාරි ලියෝ ද සිල්වාගේ කට උත්තරය සමඟ සසඳා බැලීමේදි ලුතිනන් වරයාගේ ප්‍රකාශය පිළිගත හැකි මට්ටමේ එකක් නොවේ. ලියෝ ද සිල්වාගේ ප්‍රකාශය අනුව යමින් UTHR -Jaffna පවසන්නේ ප්‍රහාරක රැඳවියන් මෙල්ල කිරීමට හමුදා සෙබළුන් මැදිහත් වීමක් නොකළ බවට තොරතුරු පවතින බවයි.
 
යුද හමුදා සෙබළුන් අත පැවතියේ  SLR වර්ගයේ ස්වයංක්‍රීය රයිෆල්ය. ඒ වන විටත් මිනිස් ඝාතන ගණනාවක්ම සිදුව තිබුණද ඉතිරි රැඳවියන් හෝ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෙබළුන් එකදු වෙඩි උණ්ඩයක් හෝ භාවිතා නොකර බලාගෙන සිටි බව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (Civil Rights Movement-CRM) ලේකම්ව සිටි සූරියා වික්‍රමසිංහ විසින් විමර්ශනයක් තුළින් හෙළිදරව් කොට තිබු බව ද UTHR  මතක් කොට දෙයි.

තියඩෝර් ජෑන්ස්බන්ධනාගාර නියොජ්‍ය කොමසාරිස් ( වැඩබලන) ක්‍රිස්ටෝපර් තියඩෝර් ජෑන්ස් විසින් මරණ පරික්ෂණයේදී ලබා දී ඇති ප්‍රකාශයට අනුව, ඔහු තත්වය පාලනය කිරීමට උදව් ඉල්ලා වහාම බොරැල්ල පොලීසිය වෙත ගොස් නියෝජ්‍ය පොලිස්පති ආර්. සුන්දරලිංගම් ට සිද්ධිය සැල කර තිබේ. පසුව පොලිස් කණ්ඩායමක් බන්ධනාගාරය වෙත පැමිණියද හමුදාව පොලිස් නිලධාරීන් හට බන්ධනාගාර අභ්‍යන්තරයට ඇතුළු වීම සඳහා ඉඩ නොදුන් බව ද පවසයි. එමෙන්ම තත්වය පාලනය කිරීම සඳහා හමුදා සෙබළුන් හෝ බන්ධනාගාරයේ සෙසු පිරිස් වෙතින් තමන්ට කිසිදු සහායක් නොලැබුණු බවටද නියෝජ්‍ය කොමසාරිස්වරයා  පවසා තිබුණි.

මෙය සම්පූර්ණයෙන්ම බන්ධනාගාර ආඥා පනත උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දී ඇති සූර්යා වික්‍රමසිංහ, බන්ධනාගාර නිලධාරින්ට පාලනය කළ නොහැකි යම් තත්වයක්  ඇති වුයේ නම් ඔවුන්ගේ වගකීම පොලීසිය කැඳවීම යැයි අවධාරණය කරන්නීය. එමෙන්ම එයට එරෙහිව කටයුතු කිරීමට යුද හමුදාවට කිසිදු නෛතික බලයක් හෝ අයිතියක් නැති බවත් ඈ විසින් පෙන්වා දී තිබේ.
 
හමුදාව ජාත්‍යන්තර මානුෂිය නීති උල්ලංඝණයක

පහර කෑමට ලක්ව ඒ වන විටත් අසාධ්‍ය තත්වයේ සිටි රැඳවියන් කඩිනමින් රෝහල් ගත කොට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජෑන්ස් දැඩි උත්හයක් ගෙන තිබුණි. ඔහුගේ සාක්ෂියට අනුව හමුදාව දිගින් දිගටම ඒ සඳහා බාධා පමුණුවා තිබුණේ ඒ වන විටත් රැඳවියන් මිය ගොස් තිබුණු බව අඟවමිනි. අනෙක් පසින් බාහිර ආධාර ලබා ගැනීමටද ලුතිනන් හතුරුසිංහ ඉඩක් සපයා නැත. නමුත් ජෑන්ස් ඔහුගේ උත්සාහය අත් නොහැර යුද හමුදාවේ මේජර්වරයකුට දුරකතනයෙන් කතා කොට තුවාලකරුවන් රෝහල් ගත කිරීමේ කටයුතුවලට බාධා නොපමුණවන්නැයි ද ඉල්ලා තිබුණි. නමුත් එම මේජර්වරයා ද  ජෑන්ස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ තුවාල ලත්  රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගන්නේ නම් ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය වන  බවයි.

ස්වාධීන විමර්ශකයන්ට අනුව එය අතිශයින්ම බරපතල කරුණකි. තුවාල ලත් රැඳවියන් ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගැනීම අවහිර කොට ඇත්තේ ලුතිනන් මහින්ද හතුරුසිංහ යි. බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් සී.ටී ජෑන්ස්ගේ නිලය යුද හමුදාමය තත්වයෙන් ගත් විට මේජර් ජනරාල්වරයෙකුගේ හෝ ජ්‍යෙෂ්ට බ්‍රිගේඩියර්වරයෙකුගේ නිලයට සමාන බව බවත්, එසේම ඉතා පළපුරුදු අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ට නිලධාරියකු වන ඔහුගේ කාර්යයට බාධා පමුණුවීමට හමුදා ලුතිනන් වරයකුට නොහැකි  බවත් විමර්ශකයන් කරුණු ඉදිරිපත් කොට ඇත.

වඩාත් වැදගත්ම දෙය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සූරියා වික්‍රමසිංහ විසින් ගෙන හැර දක්වන තර්කය යි. සිරකරුවන් පිළිබඳ එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සම්මුතිය ලුතිනන් මහින්ද හතුරුසිංහ ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් විසින් බරපතල ලෙස උල්ලංඝණය කොට ඇතැයි ඈ චෝදනා කරන්නීය. කවර හෝ පාර්ශවයක සිරකරුවන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය සහ එසේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ වගකීම පැහැර හැරීමට හෝ උල්ලංඝණය කිරීමට හමුදාවට නොහැකිය. එමෙන්ම එවැනි කාර්යයකට මැදිහත් වන කවර හෝ හමුදා සමාජිකයකු ඒ සඳහා තම ඉහළ නිලධාරීන් වෙතින් අවසර ලබා ගැනීමට හෝ අණක් ලෙස පිළිපැදීමට හෝ බැඳි නැතැයි ද සූර්යා වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඒ අනුව ගත් විට ලුතිනන් මහින්ද හතුරුසිංහ ප්‍රමුඛ හමුදා සහ පොලිස් ප්‍රධානීන් චේතනාන්විතව එකී නියමය උල්ලංඝණය කොට මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දී තිබේ.
 
එම තත්වය වඩාත් පැහැදිලි වන්නේ අවසානයේ සිදුවු දේ පිළිබඳව ජෑන්ස් විසින් ඔහුගේ සාක්ෂියෙන් හෙළිදරව් කරන කරුණු මතය.
 
තුවාලකරුවන් කෙසේ හෝ ඉතා කඩිනමින් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය තමන් ඉහළ හමුදා නිලධාරීන් කිහිප දෙනකුගේම අවධානයට යොමු කළද පළක් නොවුණු තැන එදිනම යාපනයේ සිට පැමිණි යුද හමුදාපති තිස්ස වීරසූරිය අමතා සිද්ධිය සැළ කළ බවත්, ඔහුද ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළ බවත් ජෑන්ස් පවසයි.

විශ්ව විද්‍යාලයේ තම සගයකු වූ නියෝජ්‍ය පොලිස්පති අර්නස්ට් පෙරේරා හට මෙන්ම, පොලිස්පති රුද්‍රා රාජසිංහම් වෙතද ඉල්ලීම් කළ බවත් තුවාලකරුවන් රෝහල් ගත කිරීමේ බලාපොරොත්තුව සහිතව වහාම ජාතික රෝහලටද ගොස් එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ලූෂන් ජයසූරිය මුණ ගැසි එහි කටයුතු ද සංවිධානය කළ බවත් හෙතෙම කියා ඇත.

බ්‍රැඩ්මන් වීරකෝන්මේ සියල්ල සිදුවන අතරවාරයේ ජනාධිපති ජේ ආර් ජයර්ධන, ආරක්ෂක ලේකම් කර්නල් සී.ඒ. ධර්මපාල ඇතුළු  රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්  සමඟ යුද හමුදා මුලස්ථානයේ රැඳි සිටිය බව ද ජනාධිපති ලේකම්වරයාව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් ගේ සාක්ෂියේ සඳහන්ව තිබේ.

පළමු පශ්චාත් මරණ පරීක්ෂණය
 
මරා දැමුණු සිරකරුවන්  35 දෙනාගේ මළ සිරුරු පැය කිහිපයකින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට භාර දෙනු ලබන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ උදෙසාය. ඒ සමයෙහි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ එම්. එස් ලක්ෂ්මන් සල්ගාදු මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන නියෝගය පොලිසියෙන් ඉල්ලා ඇතත් එය ලබා දීමෙන් වැලකී මඟ හරින්නට පොලිසිය බලවත් උත්සාහයක් ගෙන තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නම් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන නියෝගය පොලීසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ලබා දීම අනිවාර්යය. මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ නියෝගයක් ලබා නොදෙන්නේ නම් හෝ එවැනි නියෝගයක් ලබා ගැනීමට විමර්ශන භාර පොලිසිය විසින් කටයුතු නොකරන්නේ නම් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නොකිරීමේ අයිතිය වෛද්‍යවරයා සතුය.
 
vq3ysalgadoවෛද්‍ය සල්ගාදුඑවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වූයේ කීර්ති ශ්‍රී ලාල් විජේවර්ධන යි. වෛද්‍ය සල්ගාදු, කොළඹ හැව්ලොක් ටවුන් හී පිහිටි විනිසුරු විජේවර්ධනගේ නිවසට යන්නේ මරණ පරීක්ෂණ නියෝගය ලබා ගැනීම වෙනුවෙනි. සැබවින්ම එය ඔහුගේ කාර්යයක් නොවේ. නමුත් සිදුව ඇති සංහාරයත්, එයට ගොදුරු වූ මිනිසුන්ට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාවයත් හේතුවෙන් වෛද්‍ය සල්ගාදු පොලිසිය කෙසේ වගකීම් විරහිතව කටයුතු කළද තමා ම පෞද්ගලිකව විනිසුරුව හමුවී නියෝගය ඉල්ලා සිටිම යෙහෙකි යැයි සිතන්නට ඇත.

පළමු ප්‍රහාරයෙන් නිරායුද මිනිසුන් දුසිම් දෙකකට වැඩියෙන් මරා දමා තිබියදීත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණේ වෙනත් ග්‍රහ ලොවකින් පැමිණිය අයකු ලෙසය. සිදුව ඇත්තේ සහ සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි ඔහුට වගේ වගක් තිබී නැත. නොඑසේ නම් ඔහුව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීම සහිත පොලිසිය එය නිසි පරිදි නොකළා ද විය හැකිය. සැබවින්ම පොලිසීය කිසිදු අවස්ථාවක පශ්චාත් මරණ පරීක්ෂණයක් වෙනුවෙන් නියෝගයක් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබී නැත.

කෙසේ නමුත් වෛද්‍ය සල්ගාදු තමන් පැමිණි කාරණය මහේස්ත්‍රාත්වරයා හට පැවසීමට දිගින් දිගටම උත්සහ දරා ඇතත් එය ව්‍යවර්ථ වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා විසින් වෙනත් කරුණු කාරණා වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට උනන්දුවක් දක්වා තිබීම හේතුවෙනි. කොළඹ නගරයේ දිනෙන් දින උත්සන්න වෙමින් තිබෙන මත් උවදුර පිළිබඳව මහත් උනන්දුවෙන් කතා බස් කොට ඇති හෙතෙම තමන් හා සැන්ඩ්විච් කා තේ පානය කරන්නැයි ද වෛද්‍ය සල්ගාදුට ආරාධනා කර ඇත. අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තමන්ට ඉක්මන් නියෝගයක් අවශ්‍ය යැයි වෛද්‍ය සල්ගාදු කියා ඇති විට,  “මම ඔබ සමඟ ඔබේ කාර්යාලයට එන්නම්. නමුත් මරණ පරීක්ෂණ නියෝගයක් ලබා දෙන්නට නම් පොලිසිය මට කරුණු වාර්තා කරලා ඔවුන් විසින් නිල වශයෙන් එය ඉල්ලිය යුතුයි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ. එයින්ම ගම්‍ය වන්නේ ඒ වන විටත් පොලිසිය කිසිදු ඉල්ලිමක් කර නැති බවකි.  
 
පසුව විනිසුරු විජේවර්ධන පශ්චාත් මරණ පරීක්ෂණ නියෝගය නිකුත් කරන්නේ බොරැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වූ හයිඩ් ද සිල්වා විසින් නිල වශයෙන් කරන ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසිනි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවන අතරවාරයේදි අධිකරණ වෛද්‍ය නිලධාරි සල්ගාදුගේ සහායක, වෛද්‍ය බාලචන්ද්‍රා විසින් මළ සිරුරුවල ඡායාරූප ගැනීමට කටයුතු කර තිබුණේ එය අපරාධ පරීක්ෂණයකදී අත්‍යාවශ්‍ය වන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් වන බැවිනි.  මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුව හොත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුවන් සාක්ෂිකරුවන් ලෙස කැඳවීම අනිවාර්යය. එවැනි විටෙක වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ලෙස මළ සිරුරුවල  ඡායාරූප ඉදිරිපත් කිරීම අතිශය සුලබ සහ වැදගත්ම දෙයකි. නමුත් වෛද්‍ය බාලචන්ද්‍රා විසින් මළ සිරුරුවල ඡායාරූප ලබා ගැනීම ගැන සැක පළ කොට ඇති අධිකරණ වෛද්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය බන්ධනාගාර නිලධාරීන් මඟින් වහාම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තිලක් මාරපනට පැමිණිලි කොට ඇත්තේ දෙමළ ජාතික වෛද්‍යවරයකු සිංහලයන්ට එරෙහිව සාක්ෂි එකතු කරන බවට චෝදනා කරමිනි.

නමුත් මළ සිරුරුවල ඡායාරූප ගැනීමට වෛද්‍ය බාලචන්ද්‍රා හට පැවසුවේ තමන් විසින් යැයි, අධිකරණ වෛද්‍ය නිලධාරි සල්ගාදු විසින් මාරපන වෙත දැනුම් දීමක් නොකරන්නට දෙමළ වෛද්‍යවරයකු වූ බාලචන්ද්‍රා හටද “දරුණු වන්දියක්” ගෙවිමට සිදුවන නොඅනුමානය. ඇතැම් විට එය මරා දැමුනු සිරකරුවන්ට අත්වු ඉරණම ම හා සමාන වන්නට ද ඉඩ තිබුණි.
 
වෛද්‍ය සල්ගාදු ද මරණ පරීක්ෂණයේ අනාගතය පමණක් නොව තමන්ගේ අනාගතය ගැන පවා සැකමුසුව බැලූ බවක් පෙනීයයි. අකාලයේ තමන් මියගියහොත් පලකරන ලෙස ඉල්ලා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව වෝහාරික ව්‍යාධි විශේෂඥ මහාචාර්ය බර්නාඩ් හෙන්රි නයිට් වෙත යවන ලද බව ඇතැම් වාර්තාවල දැක්වේ.
 
Thilak Marapana1තිලක් මාරපනමහේස්ත්‍රාත් කීර්ති විජේවර්ධන විසින් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන්නේ 26 දා සවස් වරුවේ ය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මර්වින් විජේසිංහ ද එම අවස්ථාවේ එහි සිට ඇත. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි මෙහෙයවීම කර තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තිලක් මාරපන සහ ඔහුගේ සහායක රජයේ ජ්‍යෙෂ්ට අධිනීතිඥ සී.ආර් ද සිල්වා ය. නමුත් එම සාක්ෂි විමසීම අතිශයින්ම පක්ෂත්ග්‍රාහි සහ ඒක පාර්ශවිය වී තිබුණේ මරණ පරීක්ෂණයේදී රජය පමණක් නියෝජනය කිරීම හේතුවෙනි.

මහේස්ත්‍රාත් විසින් පවත්වන මූලික මරණ පරීක්ෂණයකදී වින්දිත පාර්ශවයේ අදහස් දැන ගැනීම හෝ එයට නියෝජනයක් ලබා දීම අතිශයින්ම වැදගත් නෛතික සිද්ධාන්තයකි. මන්දයත් එය මූලික සාක්ෂි මෙහෙයවිමක් ලෙස ගැනෙන බැවිනි. නමුත් වැලිකඩ දෙමළ සිරකාර සංහාරයේදී එවැන්නක් සිදුවී නොමැත. ස්වාධීන විමර්ශකයන්ට අනුව ඝාතනය වුණු එකදු සිරකරුවකුගේ  අයිතිවාසිකම්  වෙනුවෙන් හෝ  නීතිඥ මැදිහත්වීමක් හෝ පවුලේ සමීපතමයන් වෙතින් ප්‍රකාශ ලබා ගැනීමක් හෝ සිදුවී නොමැත. එම මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වඩාත් පුදුම සහ අනීතික ස්භාවය වන්නේ ප්‍රහාරයෙන් තුවාල ලද හෝ සිද්ධිය ඇසින් දුටු හෝ දෙමළ ජාතික එකදු සිරකරුවකුවත් සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවා නොතිබීමයි.

සාක්ෂිකරුවන් මරා දැමීම  
 
දිවි ගලවා ගත් රැඳවියන්ගේ හැඟීම්, ඔවුන් සැබවින්ම අත්දුටු ඒ බිහිසුණු දෑ හෙළිදරවු කරන්නට, පවසන්නට කිසිදු ඉඩක් නොවීය. ප්‍රහාරයෙන් දිවි බේරා ගන්නට සමත් වූ කන්දයියා රාජේන්ද්‍රන් (රොබට්)  බොහෝ දේ දැක තිබුණි. නමුත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදි ඔහුගේ සාක්ෂියට කිසිදු ඉඩක් නොදුන්නා සේම එම සාක්ෂිය සදහටම වසං කර දැමීමේ අරමුණෙන් හෝ දෙවැනි ප්‍රහාරයේදි කන්දයියා ද මරා දමා තිබුණි.
 
කවර හේතුවක් මත හෝ මහේස්ත්‍රාත් විජේවර්ධන 27 දා පොලීසියට නියෝග කර ඇත්තේ සැකකරුවන් වෙතොත් වහාම තමන් හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

නමුත් මහේස්ත්‍රාත් නියෝගයෙන් මද වෙලාවකට පසුව සිදුවන්නේ වෙනෙකකි. එය නම් පොලිස් අධිකාරි හයිඩ් සිල්වා විසින් හදිසි නීති රෙගුලාසි පනතේ 15 A වගන්තිය යටතේ මළ සිරුරු බැහැර කිරීම සඳහා නියෝගයක් ඉල්ලා සිටීම ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තිලක් මාරපන එයට කිසිදු විරෝධයක් දක්වා නැත. ගැසට්ටුව ප්‍රකාරව එම ඉල්ලීමට විරෝධය දැක්වීමේ කිසිදු නෛතික හිමිකමක් මහේස්ත්‍රාත්වරයා සතුව නොවුණු නිසාම ඔහු එම ඉල්ලීමට අවසර ලබා දෙන්නේ තව දුරටත් අධිකරණ මැදිහත්වීමට ඇති ඉඩ ද වසා දමමිනි. සැබවින්ම ජයවර්ධන රජයට අවශ්‍ය වූයේ ද එයයි.

“මහජන ආරක්ෂාවට” මුවාවී මළ සිරුරු සැඟවීම
 
ජයවර්ධන රජය, පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මළ සිරුරු බැහැර කිරීමේ නියෝගය සහිතව 1983 ජූලි 18 දාතමින් අංක 254/03 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබුණි. එම ගැසට් නියෝගයට අනුව කවර හෝ අපරාධමය සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණමය හෝ වෛද්‍යමය විමර්ශනයකින් තොරව ඥාතීන්ට භාර නොදී මළ සිරුරු බැහැර කිරීමේ  අධිකාරිය රාජ්‍ය බලධාරීන් වෙත පවරන ලදී. එය රටේ මූලිකම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අනෙක් පසින් අපරාධ නීතියත් අභිබවා යමින් විධායක මුක්තිය මතින් සම්මත කළ වූ ගැසට් නියෝගයකි.

Gazette page 0001Gazette page 0002Gazette page 0003

එය, ඒ වන විටත් සම්මතව තිබුණු  මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ ගැසට් පත්‍රයකි. එහි 15 / A දරණ හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරි නිලයකට අඩු නොවන අයකු හෝ  ආරක්ෂක  අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය සහිත බලලත් නිලධාරියකු විසින් හෝ  කරනු ලබන ඉල්ලීමක් මත ඔනෑම මළ සිරුරක් සන්තකයේ තබා ගැනීමට, එසෙත් නොවේ නම් බැහැර කිරීමට හෝ හැකි බව දැක්වෙයි. එම නියෝගය වෙනයම් කිසිදු නීතියකට හෝ අණ පනතකට හෝ යටත් නොවන එකක් බවටත් සඳහන්ය. එම අත්තනෝමතික නීතිය යටතේ 1983 වැලිකඩ සමූල ඝාතනය “අපරාධයක් නොවේ” යනුවෙන් නොතකා හැර වළදමන්නට රාජ්‍ය බලධාරින්ට හැකිවිය.

අපරාධයක්, අපරාධයක් නොවන බවට තීරණය කිරීමේ බලය අධිකරණ ව්‍යුහයෙන් පිටස්තරව දේශපාලන විධායකයට හෝ ඒ යටතේ ඇති පරිපාලනයට ලබා දුන් විට නීතියේ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය සහ යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලියම සහමුලින්ම බිඳ වැටෙන්නේ ය. මනුෂ්‍ය ඝාතනයක්, විශේෂයෙන්ම අධිකරණ නියෝග මත රාජ්‍ය රැකවරණය යටතේ බන්ධනාගාර ගත කොට සිටින නිරායුද රැඳවියන් පිරිසක් කෲර වධ බන්ධනයන්ට ලක් කොට සමූල ඝාතනය කිරීමක්  නීති විමර්ශනයකට ලක් නොකොට  යටපත් කර හරින්නට තරම් විධායකය විසින් හඳුන්වාදෙන අණ පනතක්, ගැසට්ටුවක් බලවත් වන්නේ නම් රටේ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලිය පිළිබඳව තවත් කවර නම් කවර කතාද?

“මරලා දාපු හැමෝම හිටියේ බන්ධනාගාරයේ. ඒ මරණවලට රජය වගකිව යුතුයි. අධිකරණය කොහොමද ඒ මිනිස් සංහාරය අපරාධයක් නෙමෙයි කියලා කියන්නේ? එතකොට ඒ ඝාතනවලට වග කියන්න කෙනෙක් නැද්ද?” එසේ දැඩිව සහ ආවේගයෙන් යුතුව විමසන්නේ ම්ලේච්ඡ ලෙස මරා දැමුණු කුට්ටිමනී ගේ පුත්‍ර මදිවන්නන් ය.

 
දෙවැනි සංහාරය

be6878uknnImage © JDS lanka
පළමු සංහාරයෙන් අනතුරුව බන්ධනාගාරයේ තත්වය පමණක් නොව ඉන් පිටත ද දැඩි කලහාකාරී ස්වභාවයක් දිස් වූයේ ඒ වන විටත් රට පුරා ඇති වෙමින් තිබු දෙමළ විරෝධී ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි. පහරදීම්, පලවා හැරීම්, දේපල මංකොල්ල කෑම් වල සිට අතිශය කෲරතර ආකාරයට මිනිස් ඝාතන සිදු කිරීම දක්වාම ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් තිබුණි.

25 වැනි දින සිදුවු මනුෂ්‍ය ඝාතනවලින් පසුව හෝ යළි එවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කරනු වෙනුවට ජයවර්ධන රජය වගකීම් විරහිතව කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ බොහෝ නිලධාරීන් තවදුරටත් සිංහල සිරකරුවන් උසිගන්වා ඇති ආකාරයක් දක්නට ලැබුණු බව දිවි ගලවා ගත් රැඳවියන් විසින් පසුව පවසා තිබුණි.

එයින් පසු ගෙවුනු පැය 24 ක කාලය අනෙකුත් දෙමළ ජාතික සිරකරුවන්ට ඉතාම තීරණාත්මක හෝරා කිහිපයක් වන්නට ඇත. එයට පැය 24 ට පමණ පෙර තම සහෝදර සිරකරුවන් මරා දැමුණු බිහිසුණු ආකාරය ඔවුන්ට අමතක වන්නට කිසිදු ඉඩක් නැත. දෙමළ ජාතික සුළු පිරිස ඒ වන විටත් රැඳි සිටියේ මනුෂ්‍ය ඝාතක ජාතිවාදය ලේ නහරවලටම කාවද්දා ගත් සිය ගණනක් වූ සිංහල ජාතික සිරකරුවන් බහුතරයක් මධ්‍යයේ ය. එනිසාම ඔවුන්ට යළිත් මරණ බය ඇතිවීම අහේතුක කාරනාවක් නොවන්නේ ය.
 
ඒ වන විටත් පළමු ප්‍රහාරය  ලෝක අවධානයට ලක්ව තිබුණි. මන්දයත් එය හුදෙක් සිරකරු ඝාතනයක්ම නොව ජාතියක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයක් වීමත්, ඒ සමඟම එය මැඩ පවත්වන්නට ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරයේ සැකමුසු තැනුත් හේතුවෙනි. පළමු ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සිරකරුවන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන ලෙස කරනු ලැබු ඉල්ලීම්ද ප්‍රබල විය. යුද හමුදා මූලස්ථානයේ  27 දා පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවට බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් ජෑන්ස්ද කැඳවා කරුණු විමසා තිබුණි.

 
පළමු ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දෙමළ ජාතික සිරකරුවන් ට එරෙහිව ඊළඟ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම පිළිබඳව ජෑන්ස් ඒ වන විටත් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මර්වින් විජේසිංහ හට අනතුරු අඟවා තිබුණි. සැබවින්ම දෙවැනි ප්‍රහාරයකට පෙර දිවි ගලවාගත්ත වූවන්ගේ ජීවිතාරක්ෂාව සඳහා කඩිකම් ආරක්ෂිත වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට පැවති කාලය ප්‍රමාණවත් විය. අනතුරක් පිළිබඳව සැක කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ද විය. ඒ වන විටත් පළමු ප්‍රහාරයේ ප්‍රහාරකයන් කවුද, එය මෙහෙය වන්නට ඇත්තේ කවුරන් විසින් ද, ප්‍රහාරකයන් මැඩ පවත්වන්නට හමුදාව කටයුතු නොකලේ මන්ද? යන ආදිය පමණක් නොව තුවාල ලද්දවුන් ගේ දිවි බේරා ගන්නට වගකිව යුතු පාර්ශව විසින් කටයුතු නොකළේ මන්ද යන ආදී සියල්ලම පිළිබඳ පැහැදිලි සහ නිරවුල් තොරතුරු රාජ්‍ය බලධාරීන් සතුව නොතිබුණා යැයි පැවසීම ම මුසාවකි. යුද හමුදාපති, පොලිස්පති, බන්ධනාගාර විෂය භාර අධිකරන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම ඉහළ පෙලේ ආරක්ෂක බලධාරීනුත්  රටේ විධායක ජනාධිපතිවරයා දක්වා දේශපාලන බලාධිකාරියත් ඒ වන විටත් සිදුවූයේ කුමක් දැයි දැන සිටි බවට සැකයක් නැත.

පළමු ප්‍රහාරයෙන් දිවි බේරා ගත්ත වුවන් තව දුරටත් කොළඹ බන්ධනාගාරවල රඳවා තැබීම මඟින් ඔවුන් ගේ ජීවිත අනාරක්ෂිත විය හැකි බවට ආරක්ෂක මණ්ඩලය හමුවේදී සාකච්ඡාවට බඳුන්ව තිබුණි. දිවි බේරා ගත් සිරකරුවන්  යාපනය බන්ධනාගාරයට ගුවන් මගින් යැවීමට මුලින් යෝජනා කෙරී ඇතත් පසුව එය මඩකලපුව බන්ධනාගාරයට මාරු කිරීමට තීරණය කෙරෙන්නේ ය. නමුත් ඉතිරි සිරකරුවන්  ආරක්ෂිතව මඩකලපුව බන්ධාගාරය වෙත මාරු කර හැරීමටත්  පෙරම දෙවැනි ප්‍රහාරයෙන් තවත් සිරකරුවන් 18 දෙනකුගේ ජීවිත විනාශ කර දමන්නට සිංහලයන්  කටයුතු කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් පූර්ණ අනුග්‍රහයෙනි.

දෙවැනි මරණ පරීක්ෂණය
 
පළමු ප්‍රහාරයෙන් මරා දැමුනු රැඳවියන්ගේ ලේ වල උණුහුම නිවී යාමටත් මත්තෙන් දෙවැනි ප්‍රහාරයෙන් මරා දැමුනු රැඳවියන් 18 දෙනාගේ මරණ පරීක්ෂණය වෙනුවෙන් යළිත් වතාවත් ඉල්ලීමක් කරන්නට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මර්වින් විජේසිංහට සිදුවිය. දෙවැනි මරණ පරීක්ෂණයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි මෙහෙයවා තිබුණේ තිලක් මාරපන සහ සී. ආර් ද සිල්වා විසිනි. එයද වින්දිත පාර්ශවයේ සහාභාගිත්වයකින් තොරවය.
 
සිංහල සිරකරුවන් විසින් යළිත් ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත් එය නොතකා හැර කටයුතු කිරීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ බලධාරීන් වක්‍රාකාරව ඒ සඳහා ආධාර අනුබල සපයා ඇති බව මිස වෙනකක් නොවේ. වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙවැනි ප්‍රහාරයක්ද සිදු වන්නට ඉඩ හැර බලා සිට ඇති බව අතිශයෝක්තියක් නොවේ. ඒ බව මනා ලෙස සනාථ වන්නේ දෙවැනි මරණ පරීක්ෂණයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ලබා දුන් සාක්ෂි දෙස බැලීමේදී ය.

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වූ ඩබ්.එම් කරුණාරත්න සාක්ෂි දෙමින් පවසා ඇත්තේ දෙමළ සිරකරුවන් ඉලක්ක කරමින් යම් ප්‍රචණ්ඩකාරි තත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙන බවට බුද්ධි තොරතුරු ඇසුරින් තමන්ට දැන ගන්නට ලැබුණු බවයි. එසේ දැන ගත් පසුව තමන් එදින පෙරවරුවේම ජෑන්ස් දැනුවත් කළ බවත් ප්‍රධාන ජේලර්වරයා වැඩි දුරටත් කියා ඇත. නමුත් ඔහු සාක්ෂි දෙන විට  ත්‍රස්ත මර්දන පනත යටතේ රඳවා සිටි දෙමළ ජාතිකයන් හඳුන්වා තිබුනේ  ‘ත්‍රස්තවාදීන්’ ලෙසිනි. එහි සරල හැඟවුම නම් ප්‍රහාරක සිංහල සිරකරුවන්ට  වඩා PTA යටතේ රඳවා සිටි දෙමළ ජාතිකයන් භයානක පුද්ගලයන් බව ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම දරන්නවුන්ම පිළිගන්නා වග නොවේද? අනෙක් පසින් එම ඝාතන යුක්ති සහගත කිරීමක්ද එම හැඳීන්වීමෙන් අර්ථ ගැන්වෙන්නේ ය.

ට්‍රක් රථයෙන් කනත්තට  
 
අවසානයේ  සුදු රෙදි වලින් ඔතනු ලැබු මළ සිරුරු ට්‍රක් රථයක පටවා බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යන ලදී.  මළ සිරුරු ට්‍රක් රථයේ පටවා තිබෙනු ජෑන්ස් ද දැක ඇත. බන්ධනාගාර වෛද්‍යවරයා වූ  පෙරින්පනායගම් එම සිරුරු පරික්ෂා කොට සියල්ලන්ම මිය ගොස් ඇති බවට තහවුරු කරන අයුරු තමන් හට දැක ගන්නට ලැබුණේ යැයි බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ සාක්ෂියේ සඳහන් ය.  

සුදු රෙදිවලින් ඔතා ට්‍රක් රථයේ පටවා තිබුණු මළ සිරුරු බොරැල්ල කනත්ත කෙලවරක පිහිටි පටු බිම් තීරුවක හාරන ලද වළකට දමා දරා අතුරා පුළුස්සා දමා ඇත්තේ පොලිස් සහ හමුදා ආරක්ෂාව මධ්‍යයේ ය. මළ සිරුරු ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් තවදුරටත් ජීව විද්‍යාත්මක සාක්ෂි කිසිවක් ඉතිරි නොවන බව ජයවර්ධන රජය සිතන්නට ඇත.

අපරාධයක සාක්ෂි යනු ජීව විද්‍යාත්මක සාක්ෂි පමණක්ම නොවේ. එයින්ම මෙලොව කිසිම අපරාධයක් සදහටම වළ දමන්නට ද නොහැකිය. කවර හෝ අපරාධයක සාක්ෂි කෙසේ සඟවන්නට උත්සාහ කළද මේ මිහිතලයේ, වා ගැබේ පමණක් නොව මිනිසුන්ගේ හදවත් තුළද සඟවා ගත්, ඉතිරි කර ගත් සාක්ෂි අපමණය. 1983 වැලිකඩ සංහාරයේ ද එවන් සාක්ෂි ඇවැසි තරමට තිබෙන්නට පුලුවන. මරා දැමුණේ කවරෙක්ද යන වග මුළු ලොවම දනී. එසේ මරා දැමුවන්ගේ සිරුරු ඔවුන්ගේ සමීපතමයන්ට නොදී රහසේම දවා අළු කළද මරා දැමුවේ තම ස්වාමී පුරුෂයන්, පියවරුන්, සොහොයුරන්, හිත මිතුරන් යැයි කියන්නට ඔවුන්ගේ සමීපතමයෝ දනිති.

ඒ මතකය දවා අළු කරන්නට කිසිදු රාජ්‍ය පාලනයකට, අණ පනතකට නොහැකිය. දෙවනුව කවර හෝ මට්ටමින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයක, මහේස්ත්‍රාත් පරීක්ෂණයක තොරතුරු, ලිඛිත වාර්තා ය. එහෙත් මළ සිරුරු දවා අළු කළ පාලකයන්ට විමර්ශන වාර්තාද දවා අළු කරන්නට වැඩි වෙහෙසක් ගත යුතු නැත. නමුත් ඉන් ඔබ්බට ද ගොස් බැලු විට මෙවන් අපරාධයක් සම්බන්ධයෙන් වසර ගණනාවකට පසුව හෝ විමර්ශනය කිරීමට අවැසි තාක්ෂණය, දත්ත විශ්ලේෂණ ක්‍රමවේදයන් නූතන ලෝකය සතුය. අනුර කුමාර දිසානායකගේ රජයේ ද ශර්ලොක් හෝම් පරයන පරීක්ෂකවරුන් සිටින බවට බොහෝ සේ උදම් අනති. මේ අපරාධ විමර්ශනය පිළිබඳව ඔවුන්ගේ තීක්ෂණ දැනුම සහ බුද්ධියේ මහිමය පෙන්වීමට අවස්ථාවකි.

මේ වන විට රට පුරා ගොඩ ගැනෙන සමූහ මිනිවල්වළ හෑරෙමින් පවතී. ඒවායේ සැතපෙන්නේ අනන්‍යතාවය විද්‍යාත්මකව තහවුරු නොකළ පිරිසකි. එහෙත් වැලිකඩ සංහාරයේ තත්වය එයට වෙනස් ය. වළ දමා ගිනි තැබු ස්ථානය මේ වන විටත් රහසක් නොවේ. මන්ද යත් මෙයට කලකට පෙර සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක්  මාධ්‍ය හමුවේ එදා ඔහු දුටු දේ පවසා තිබුණි. හෙතෙම බොරැල්ල පොදු සුසාන භූමියේ සේවය කළ කම්කරුවෙකි. ඔහු පවසන පරිදි ඒ අවාසනාවන්ත ජූලියේ මහ රෑක පොලොව කණින බර වාහනයක් පදවාගෙන ආ හමුදා සෙබලෙක් කිසිදු අවසරයකින් තොරව බොරැල්ල කනත්තේ කෙලවරක දිගින් පළලින් හා ගැඹුරින් අඩි දහයක් වූ වළවල් හාරා තිබේ.

බොරැල්ල කනත්තේ භාරකරු ඒ බව දැනුම් දුන් විට එවක නගරාධිපති රත්නසිරි රාජපක්ෂ නියම කර ඇත්තේ ‘හමුදාව කරන වැඩේ කරගෙන යන්න ඉඩ දෙන’ ලෙසයි.
 
“ඊට පස්සේ ආමි ට්‍රක් දෙකක් ආවා. මම නැගලා බැලුවාම ලේ පිටින් පිරිමි 35 දෙනකුගේ බොඩීස් තිබුණා. හමුදාව ඒ ටික වලට පෙරළුවා,” යි අනීස් තුවාන් නම් කොළඹ මහනගර සභා කම්කරුවා එයින් දශක තුනකට පමණ පසු මාධ්‍යයට පවසා තිබුණි. හමුදා සෙබළුන් විසින් ඉන් පසුදා තවත් සිරුරු 18ක් වළ දමන ලදී. මේ නම් වැලිකඩ සංහාරයෙන් මියගිය කුට්ටිමනී ඇතුළු දෙමළ සමූහය බව තුවාන් ට විශ්වාසය.  
 
ඔහුගේ හෝ බොරැල්ල කනත්තේ භාරකරුගේ හෝ පුරපති රත්නසිරි රාජපක්ෂගේ හෝ සාක්ෂි මහේස්ත්‍රාත් විභාගයේදී විමසන ලද බවක් දැනගන්නට නැත.    
 
මරා දමා ඇත්තේ කවරෙක්ද යන වගත්, ඔවුන්ව වළ දැමුවේ හෝ අළු කළේ හෝ කවර නම් ස්ථානයකද යන වගත් රහසක් නොවේ.

“අපි ඉල්ලන්නේ එකම දෙයයි. කරුණාකරලා දැන්වත් මේ ගැන විමර්ශනයක් පවත්වන්න. අපි දන්න විදිහට බොරැල්ල කනත්තේ තමයි වළ දමලා තියෙන්නේ. පුච්චලා දැම්මා කියලත් කියනවා. ඒ කොහොම වුණත් පරණ වාර්තා තියෙන්න ඕනේ නේ. ආණ්ඩුවයි, බොරැල්ල කනත්ත අයිති කොළඹ නගර සභාවයි කියන්නේ දැන් එකක්. ඉතින් ඒ අයට පුලුවන් දැන් විමර්ශනයක් කරලා ඇත්ත හෙළි කරන්න,” යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් අවධාරණය කරයි.

එසේ නම් දැන් සිදු කළ යුතු වන්නේ ඒ පිළිබඳව පාරදෘශ්‍ය විමර්ශනයක් සිදු කිරීමයි. වින්දිත පාර්ශවවල එකම සහ දැඩි ඉල්ලීම ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥවරුන්ගේ දායකත්වය සහිත විමර්ශනයකි. එය කෙසේවත් බැහැර කළ නොහැකි ඉල්ලීමකි. මන්ද යත් වසර හතලිහක් පුරා දේශිය යාන්ත්‍රණයක් මඟින් යුක්තිය ඉටු නොවුණු, එසේම අපරාධය සිදු වී පළමු පැය කිහිපය තුළදිම රාජ්‍ය මැදිහත්වීම මතම යටපත් කළ අපරාධයකට යළි එම සිංහල රාජ්‍යකරණය තුළින්ම යුක්තියක් ඉටු කර ගැනීමට හැකිවීම පිළිබඳ සැකයේ සහ අවිශ්වාසයේ ඔවුහු ගැලී සිටිති.


මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන ජාත්‍යන්තර විමර්ශනයකදි ලොවේ කොතැන ජීවත් වුණද  සාක්ෂි දෙන්නට, තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන්නට ඔවුන් සුදානම් ය. තම සමීපතමයන් මරා අළු කර ඇතැයි දැන දැනම තම කෙස්, ඇට කැබලි, රුධිරය හෝ වෙනයම් ඕනෑම දෙයක් පරිත්‍යාග කරමින් යුක්තිය වෙනුවන් සටන් කරන්නට ඔවුන් සුදානම් ය.
 
ඇස්, ඉස්, මස්, ලේ පුදා සොයන යුක්තිය

“මගේ අප්පා ඇතුළු මරලා දාපු හැමෝම වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුලුවන්, ඒ හැමදේම කරන්න අපි ලැහැස්තියි. අපේ ලේ, මස්, ඇට මිඳුළු වුණත් පරිත්‍යාග කරලා මේ අපරාධය වෙනුවෙන් සාක්ෂි හොයන්න අපි ලැහැස්තියි,” යැයි කම්පිත හඬින් කී මදිවන්නන් ඉන් නොනැවති කියා සිටියේ, “අපි සිංහල ආණ්ඩුවෙන් නම් යුක්තියක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි දන්නවා ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි කියලා,” යනුවෙනි.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ

ජයවර්ධන රජය වැලිකඩ සංහාරය  කිසිදු අධිකරණමය මැදිහත් වීමකට ඉඩක් නොතබා යටපත් කොට දැමුවද  සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සූරියා වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් දැඩි වෙහෙසකර අරගලයකින් පසු ඇසින් දුටු පුද්ගලයන් ද ඇතුළුව සාක්ෂිකරුවන් එකතු කොට අධිකරණය හමුවේ නඩු 35 ක් ගොනු කර ඇති බව ද දැන ගන්නට තිබේ. ඉතිහාසය හාරා අවුස්සා බලන්නේ නම් මේ සා විශාල අපරාධයකට යුක්තිය ඉටු කිරීමේ අපහසුතාවයක් වසර 40 ට පසුව හෝ පැන නොනගින්නේ ය.      
 
1983 වැලිකඩ සංහාරය අහම්බයක් හෝ අත්වැරදීමක් හෝ නොවේ. සංවිධානාත්මකව සිදු කළ මහා මිනිස් සංහාරයකි. ඒ සංහාරයේ සජීවි කොටස් කරුවන් වූයේ සිංහල ජාතික සිරකරුවන් පමණක් ම නොවේ. මළ පොතේ අකුරක් නොදන්නා ලුම්පන්වාදි ඇතැම් සිරකරුවන් ගේ සිට නීතිවේදී අධ්‍යාපනය ලත් ඉංග්‍රිසි පන්තියේ රටේ විධායක ජනාධිපතිවරයා වු ජූනියස් රිචඩ් ජයවර්ධන දක්වාම එහි පංගුකරුවන් ය.

සාක්ෂි මෙහෙයවීම සිදුකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ තිලක් මාරපන එක්සත් ජාතික පක්ෂයේ උග්‍ර සමාජිකයෙකි. සංහාරයෙන් ඉතාම කෙටි කලකට පසුව ඔහු නීතීපති ධූරයට පත් කෙරෙන්නේ ය (1992/95). පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු ප්‍රබල ඇමැති ධූර කිහිපයකම කටයුතු කරන්නේ ය.  2001 වසරේදි පත් වු  ආරක්ෂක ඇමැති ධූරයත්, 2015 වසරේ කුප්‍රකට යහපාලන රජයේ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ධුරයටත් පත් වෙන්නේ අතීත කළු මතක සියල්ලේ බල මහිමයෙනි. රජයේ ප්‍රධානම නීති උපදේශක, එනම් නීතිපතිගේ ප්‍රධාන භූමිකාවක නිරත වෙමින් මහා මිනිස් සංහාරයක් යට ගසන්නට කටයුතු කළ අයෙක් එයින් දශක දෙකකට පමණ පසුව එම විෂය භාර අමාත්‍යවරයා ලෙසම පත්වීම ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චයේ සැබෑවත්, ඒ සම්බන්ධව ඇති රාජ්‍ය බැඳියාවත් මනා ලෙස පෙන්නුම් කරන්නකි.

රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට වඩා රාජ්‍ය අපරාධකරණය සහ ඒ හා බැඳුණු පරිපාලන යාන්ත්‍රණය කෙතරම් බලවත්ද යන වගත් 1983 වැලිකඩ මිනිස් සංහාරය අපිට නැවත වතාවක් පෙන්වා දෙයි. සංහාරය වන විට රටේ බොහෝ බලවත් තනතුරු  දෙමළ ජාතිකයෝ ද දැරූහ.එහෙත් රාජ්‍ය අපරාධ හා බැඳුනු දේශපාලන මුක්තිය විසින් ඔවුන් සියල්ලන්ම අවලංගු රබර් මුද්‍රා බවට පත් කොට තිබුණි.

ශිවා පසුපතිවැලිකඩ සංහාරය සිදුවන විට රටේ පොලිස්පතිවරයා වූයේ  රුද්‍රා රාජසිංහම් ය. කොළඹ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියකු වූයේ ද දෙමළ ජාතිකයෙකි. ඒ නියෝජ්‍ය පොලිස්පති ආර් සුන්දරලිංගම් ය. නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් තිලක් මාරපනගේ ආයතන ප්‍රධානියා නොඑසේ නම් නීතිපතිවරයා වූ‌යේ ශිවා පසුපතිය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඉහළ පුටුවල දෙමළ ජාතිකයන් සිටි පමණින් සිංහල රාජ්‍ය යාන්ත්‍රණය තුළ යුක්තිය උදෙසා ඔවුන්ට කළ හැකි කිසිවක් නොවන බවය.

වැලිකඩින් නොනැවතුනු සංහාර මතක
 
වැලිකඩ සංහාරය පමණක් නොව ඉන් අනතුරුව ගෙවුණු දශක කිහිපයේදී දෙමළ ජාතිකයන් පමණක් ඉලක්ක කොට බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථාන වල සිදුවු ඝාතන, සංහාර එකකට හෝ තවමත් කිසිදු යුක්තියක්, සාධාරණයක් ඉවු වී නොමැත.

* 1997 කළුතර බන්ධනාගාරයේ දෙමළ ජාතික රැඳවියන් ඉලක්ක කරමින් එල්ල කෙරුනු ප්‍රහාරය,

* 2000 ඔක්තෝබර් මස 24 දා බිඳුණුවැව තරුණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ඉලක්ක කරමින් ගම්වාසින් එල්ල කළ ප්‍රහාරය මෙන්ම

* 2012 වසරේ වව්නියාව බන්ධනාගාරයේ ජේලර්වරුන් විසින් පහරදී මරා දැමුණු දේශපාලන සිරකරුවන් වූ ගනේෂන් නිමලරූබන් සහ මරියදාස් ඩෙල් රුක්ෂන් යන අයගේ ඝාතනයන්ද කිසිදාක යුක්තිය ඉටු නොවුණු සංහාර වෙයි.

බිඳුණුවැව කඳවුරු ප්‍රහාරයේදි වයස අවුරුදු 21 ට අඩු තරුණයන් 26 දෙනකු දරුණු වධහිංසාවන්ට ලක් කර පහර දී මරා දැමුණු අතර ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් කඳවුරු භාර නිලධාරීන් සියළු දෙනාම පසුව අධිකරණය විසින් නිදහස් කර හරින ලදී.

Nimala Reuben 2022.10.29

වව්නියාව බන්ධනාගාරයේ ජේලර්වරුන් විසින් මරා දැමු නිමල රූබන්ගේ මව විසින් සිය පුතුගේ ඝාතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම එක පෑන් පහරින් ප්‍රතික්ෂේප කළ එවක අගවිනිසුරු මොහාන් පීරිස් විසින් පවසන ලද්දේ නිමල රූබන් වැනි ත්‍රස්තවාදින්ගේ ඥාතීන් මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපක් කර විදෙස් රටවල දේශපාලන රැකවරණ ලබා ගන්නට උත්සාහ ගන්නා බවයි. එමෙන්ම නිමල රූබන් ත්‍රස්තවාදියකු යැයි තමන් ‘හොඳින්ම දන්නා’ බව කියා සිටි උග්‍ර රාජපක්ෂවාදියකු වූ මොහාන් පිරීස්, බන්ධනාගාරයේ සිදුවන ගැටුම්වලදි මරණයට පත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවටද කීය.

ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස පත්කර යවනු ලැබූ ඔහු ජාතික ජන බලවේග පාලනය යටතේද අට මසක් එම තනතුරේ සිටියේය.
 
කුට්ටිමනි පුත්‍ර මදිවන්නන් ඉතා හැඟුම්බරව බිඳුණු හඬින් අවසානයට මෙසේ කීය.
 
“අපිට සිංහල පාලකයන්ගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් මගේ අප්පා ඇතුළු හැමෝම මරලා වළ දාපු හරි පුච්චපු හරි තැනවත් අපිට කියන්න. ඒ අයගේ ආත්මයට සැනසීමක් දැනෙන්න  මලක්, පානක් තියලා අපිට එතකොට හිත හදාගන්න පුලුවන්” .

(ගවේෂණය | කේ. විජේසිංහ)
නිදහස් මාධ්‍යවේදී

SendShareShare
Previous Post

`ට්‍රම්ප්ගේ බද්දෙන් ඉන්දු-චීන නයි වෛරය අවසන්! අවුරුදු 7කට පසු මෝදි චීන ජනපති ජින්පින්ට අතට අතදෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආගම ටුවරිසම් කරලා ගේමක් ගහන එක මරු වැඩක්! දැනටමත් ලක්ෂ ගාණක් එනවා! ලෝකෙටම කතා කරනවා! ලෝකෙ හුඟක් රටවල් දැනටමත් කරනවා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.