තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ.
ඒ අය අතර ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකු සහ එංගලන්තයේ රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ මුදල් ඇති බව ද පෙනීගොස් ඇත.
මෙසේ කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් තිළිණිට දී ඇත්තේ එම කුඩු සල්ලි උණ්ඩියල් ක්‍රමයට රටින් පිට කරන ජුවලරි සාප්පු හිමිකරුවන් පිරිසක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. කුඩු සල්ලි දෙගුණ කිරීමට ගොස් මුදල් අහිමි කර ගත් ඒ කිසිවකුත් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර නැත. අහිමි වූ මුදල් ඉල්ලා මේ වන විට එම මුදල් තිළිණිට දුන් ජුවලරි සාප්පු හිමියන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවද බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තිළිණිට එරෙහිව මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 12ක් පමණක් බවය. ඇයට මුදල් දී කෝටි ගණනක් අහිමි කර ගත් 100ක් පමණ හඳුනාගෙන ඇතත් ඒ කිසවකුත් ඇයට එරෙහිව පැමිණිලි නොකරන බවත් ඒ අය පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
“අපිට බලෙන් බැහැ කාගෙන්වත් පැමිණිලි ලියාගන්න.” යැයි ද එම නිලධාරියා කීවේය.
ඇයට මුදල් කෝටි ගණනින් දී මුදල් අහිමි කරගෙන සිටින එහෙත් මෙතෙක් ඒ ගැන කිසිදු පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වී නැති අය අතර නිළියන් දෙදෙනකු සහ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
තිළිණි විසින් වංචා කර රැස්කර ගෙන ඇති මුදල් ඇය විසින් සඟවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. මෙතෙක් එම මුදල් සඟවා ඇති තැනක් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඇය මේ මුදල් තුන්වැනි පාර්ශ්වයක් ළඟ සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
ඇය විසින් සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබුණු රුපියල් කෝටි 300ක මුදලක් අත්ටහිටුවීමට මාස 6කට පෙර බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවත් එම මුදල් බැර කළ ආකාරයක් ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇගේ මේ වංචාවට සහාය දුන්නේ යැයි කියනු ලබන සමාගම් අධ්‍යක්ෂවරියක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පවත්වයි. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම පවසා ඇත්තේ තමා තිළිණිගේ වංචාවට හසු වූයේ එම සමාගම් අධ්‍යක්ෂවරිය නිසා බවයි. එම සමාගම් අධ්‍යක්ෂවරිය විසින් තිළිණිගේ වංචාවට සම්බන්ධ බව කියවෙන හඬ පට දෙකක් අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) දුන් බව එහි උසස් නිලධාරීන් සඳහන් කළේය.
මේ අතර වෙළෙඳපොළේ පවතින විනිමය අනුපාතයට වඩා අඩු රුපියල් ගණනකට අමෙරිකානු ඩොලර් දෙන බව පවසා තිළිණි ප්‍රියමාලි විසින් රුපියල් කෝටි 4ක වංචාවකට අසු කළ ජංගම දුරකතන අලෙවි ව්‍යාපාරිකයකු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම ව්‍යාපාරිකයා මොරටුවේ පදිංචිකරුවෙකි. ඔහුගේ අලෙවිසල පිහිටා ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේය. මෙරට ව්‍යාපෘතියක නිරත ඉන්දියානු සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන තැනැත්තියක හරහා තමා තිළිණි ප්‍රියමාලිව හඳුනා ගත් බව එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.
ඉකුත් මැයි මාසයේදී සමාගම් අධ්‍යක්ෂවරියගේ නිවසේදී ඇයව මුණගැසුණු බවත් එහිදී තමාගෙන් රුපියල් ලක්ෂ පනහක් ගෙන ඒ වෙනුවෙන් එම අවස්ථාවේදීම ඩොලර් නෝට්ටු තමාට දුන් බව ද ඔහු පවසා තිබේ. ඇයව මුණගැසුණු එම අවස්ථාවේදී විශාල ඩොලර් ප්‍රමාණයක් ඇය සතුව තිබුණු බවත් ඔහු පවසා තිබේ.
පසුව තමා ඇගේ ඉල්ලීම මත තවත් ඩොලර් ප්‍රමාණයක් ගැනීමට තවත් රුපියල් කෝටි 4ක මුදලක් පසු දිනෙක දුන් බවත් ඇය වංචා කරනු ලැබුවේ එම මුදල බවත් මේ ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා තිබේ.
තමාට පොරොන්දු වූ පරිදි ඩොලර් හෝ දුන් කෝටි 4 තමාට දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඇවිටිලි කළ පසු ඇය තමාට චෙක්පත් කිහිපයක් දුන් බව ද ව්‍යාපාරිකයා පවසා තිබේ. එම සෑම චෙක්පතක්ම බැංකුගත කිරීමෙන් පසු අගරු වූ බව පවසමින් ව්‍යාපාරිකයා විසින් රුපියල් කෝටි 7ක වටිනාකමක් ඇති තිළිණි ප්‍රියමාලිගේ අත්සන ඇති චෙක්පත් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ









