කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත නොතිසි ද නිකුත් කර තිබේ.
2020 මැයි මස 20 දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැනවැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත්කරන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාර මන්ත්‍රීවරයා තමන්ව ඉවත් කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.










