මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ China Development Bank CDB විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වීමට පියවර ගෙන තිබිණි. ලංකාව චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගෙන තිබුණද එක්සිම් බැංකුවද පාලනය වන්නේ චීන සංවර්ධන බැංකුවේ අධිපතිවරයා යටතේය. එහි තීන්දුද ගනු ලබන්නේ චීන සංවර්ධන බැංකුව මගින්ය. ඒ අනුව මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ලංකාවට පැමිණිමට පියවර ගෙන තිබිණි. Sri Lanka Latest News
නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා කොට නොතිබූ නිසා ඔවුන් ලංකාවට පැමිණියේ ඇයි, මුණගැසුනේ කවුද? කතා කළේ මොනවාද යන්න පිළිබඳ කොතැනකවත් සඳහන් වී තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුවක් වි තිබුණේ මෙම චීන නියෝජ්‍ය අධිපතිවරයාගේ ගමන ඉතා රහසිගත ලෙස තබාගැනීමට මෙරට මහබැංකු ප්‍රධානීන් කටයුතු කර තිබීමය. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ විදෙස් නිලධාරීන් ලංකාවට පැමිණි විට මැති ඇමැතිවරුන්, මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් හමුවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙම චීන නිලධාරීන් ලංකාවේ පවත්වා තිබුණේ එකම එක සාකච්ඡාවක් පමණි. ඒ, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පමණි. මෙම සාකච්ඡාව මහබැංකුවේ නන්දලාල් මහතාගේ කාමරයේ පැවැති අතර ඊට මහබැංකුවේ වෙනත් කිසිදු නිලධාරියකු එක් කරගැනීමට නන්දලාල් කටයුතු කර තිබුණේ නැත. ඊට එක්ව සිටි එකම එක නිලධාරියා වූයේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පමණි. නන්දලාල් එසේ කොට තිබුණේ මෙම සාකච්ඡාව අතිශය රහසිගත ලෙස තබාගත යුතු වූ නිසාත්, එහි කතා කළ කරුණු මොනම ආකාරයකින්වත් එළියට නොයා යුතු නිසාත් විය යුතුය.
කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට මෙම සාකච්ඡාව පිළිබඳවත්, එහි කතාබහට ලක්ව තිබූ කරුණු පිළිබඳවත් බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලැබී තිබේ. නමුත් ඇතැම් කරුණු අතිශය සංවේදී කරුණු වීම නිසා ඒවා රටට අනාවරණ කිරීමට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අපද සූදානම් නැත. නමුත් එක් කරුණක් පමණක් මෙහිදී සඳහන් කිරීමට පුළුවන. ඒ, අප විසින් මීට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන ලද කරුණක් පිළිබඳ මෙම චීන නිලධාරීන් නන්දලාල්ටත්, මහින්ද සිරිවර්ධනටත් දැනුම් දී ඇති බවය. එම කරුණ නම් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කලින් මූල්‍ය අරමුදලේ ණය සහ ලෝක බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එම ආයතනද කටයුතු කළ යුතු යැයි කියාය. මෙම කොන්දේසිය වෙනස් කරගැනීමට නන්දලාල් සහ සිරිවර්ධන කෙතරම් උත්සාහ කළත් චීන නිලධාරීන් සිය ස්ථාවරය වෙනස් කොට නොමැති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ඇත. ඒ අනුව චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තෙන් මතුව ඇත්තේ තරමක් ව්‍යාකූල තත්ත්වයකි.
රාජ්‍ය රහස්