රනිල් හදිසියේම මහින්ද හමුවෙයි!
කතානායකට එරෙහිව සජිත් විපක්ෂයම එකමුතු කරයි!
උද්දික රට පනින්න කලින් රනිල් හමුවෙලා!
සජබෙ හතර දෙනාම සූරියෝ!
ලෝකෙම හොල්ලපු පනත
මෑත කාලයේදී ආණ්ඩුව ගෙන ආ පනත්වලින් රට පමණක් නොව ජාත්‍යන්තරයද මහත් කැලඹීමකට පත් කළ පනත වූයේ වෙන කිසිවක් නොව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතය. ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ සියලු පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, මාධ්‍ය සංවිධාන ආදී සියල්ලක්ම එක හඬින් කියා සිටියේ මෙය විරුද්ධවාදීන්ගේ කටවල් වැසීමට සහ විරුද්ධවාදීන් මර්දනය කිරීමට රැගෙන එන පනත් කෙටුම්පතක් යැයි කියාය. දේශීය සංවිධාන පමණක් නොව ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපය ඇතුළු ප්‍රධාන පෙළේ රටවල්ද ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වූ ඔන්ලයින් පනතට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි. ගූගල්, ඇමසන්, ෆේස්බුක්, ට්විටර් වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල නියෝජනය කරන ආසියානු අන්තර්ජාල සංසදයද අවස්ථා ගණනාවකදී ඊට එරෙහිව නිවේදන නිකුත් කරමින් කියා සිටියේ මේ හරහා ජනතාවගේ කතාකිරීමේ අයිතිය පමණක් නොව, ලංකාවේ ඩිජිටල් ආර්ථිකයද බිඳවැටීමේ අවදානමක් පවතින බවකි. මේ නිසාම විපක්ෂය මෙම පනතට එරෙහිව අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනුකිරීමට පියවර ගත් අතර, අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ එම පනතේ අන්තර්ගත වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් ඒවා සංශෝධනය කොට හෝ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගන්නා ලෙසටය.Sri Lanka Latest News
ඒ අනුව, ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවේදී එම පනත සම්මත කරගත්තද විපක්ෂය ඒ අවස්ථාවේ බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන ඇතුළත් නොකොට ආණ්ඩුව මෙම පනත හොර පාරෙන් සම්මත කර ඇතැයි කියාය. එම නිසා අදාළ පනතට අස්සන් නොතබන ලෙසට කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමටද විපක්ෂය ඒ අවස්ථාවේදී පියවර ගත්තේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවා ගොනුකිරීමට පියවර ගත්තේය. ඒ අනුව, යළිත් වතාවක් මෙම පනතට නැග එමින් තිබූ විරෝධය හමුවේ ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කළේ එම පනතට නැවත වතාවක් සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, එම සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ඉදිරියේදී එම සංශෝධන අදාළ පනතට පාර්ලිමේන්තුවේදී ඇතුළත් කරන බවත් ආණ්ඩු පක්ෂය සඳහන් කර සිටියේය. නමුත් අවසන් මොහොතේදී මෙම සියලු විරෝධතා මැද්දේ වුවද ඔන්ලයින් පනතට අස්සන් තැබීමට කතානාකවරයා කටයුතු කළේය.
චෝදනා වැළක්
කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය මැද්දේ කතානායකවරයා ආණ්ඩුවට වාසිසහගත අයුරින් හැසිරෙන බවට චෝදනා එල්ල වූ පළමු වතාව මෙය නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවකදීම කතානායකවරයා ආණ්ඩුවට වාසිසහගත ආකාරයෙන් කටයුතු කරන බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කරනු ලැබ තිබිණි. නමුත් විපක්ෂය ඒ කිසිදු අවස්ථාවකදී ඒවා බරපතළ ලෙස ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළේ එවැන්නක් සිදුකළහොත් කතානායක තනතුරට පමණක් නොව පාර්ලිමේන්තුවටම කැලලක් ඇතිවීම වැළැක්විය නොහැකි නිසාය. නමුත් ඔන්ලයින් පනතට විපක්ෂයේ දැඩි විරෝධය මැද අස්සන් තැබීමට කතානායකවරයා ගත් තීන්දුව හරහා විපක්ෂයේ තිබූ එම ඉවසීම පුපුරා ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අදාළ පනතට ඇතුළත් නොකිරීමට කටයුතු කිරීම හරහා කතානායකවරයා සහ ආණ්ඩු පක්ෂය ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, අධිකරණය විසින් ලබා දුන් නියෝග පිළිපැද නොමැති බවත්ය. ඊට එරෙහිව කතානායකවරයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු බව විපක්ෂයේ සියලු පක්ෂ තැන් තැන්වල සාකච්ඡා කළත් එය යම් ක්‍රියාමාර්ගයක් ගන්නා තැනක් දක්වා දුරදිග ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
නමුත් තත්ත්වය වෙනස් කරමින් කතානායකවරයාට එරෙහිව පළමු ගල ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් පසුගිය සතියේ කටයුතු කළේය. ඒ, කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව කියමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම හරහාය. සුමන්තිරන් ගත් මෙම පියවරත් සමග ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඇතුළු එහි පක්ෂ නායකයෝ පසුගිය සතියේ රැස්වී කතානායකවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ අනුව සාකච්ඡා වට ගණනාවකින් පසු සජබය තීන්දු කළේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය. එම යෝජනාව සකස් කිරීමෙන් අනතුරුව සජිත්, සුමන්තිරන්, ජී.එල්., ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ශාන් විජයලාල් සහ චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් පළමුව ඊට අස්සන් තැබීමට පියවර ගත්හ.
‘පොලිස්පති’ න්‍යායපත්‍රයේ නෑ
මේ ආකාරයට කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අස්සන් කිරීමට විපක්ෂය කටයුතු කිරීමත් සමග තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය සඳුදා සිදුවිය. ඒ, නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් එවා තිබීමය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අඟහරුවාදා දිනයේදි දේශබන්දු තෙන්නකෝන් මහතා මුල්කරගෙන පවරා ඇති නඩු 07ක් විභාගයට ගැනීමට නියමිතව තිබියදී සඳුදා දින මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට යොමුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබීමය. එදින න්‍යායපත්‍රයේ එවැනි යෝජනාවක් ගැන කිසිදු සඳහනක් නොමැති වුවද අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීමට කතානායකවරයා තීන්දු කිරීම අනෙක් විශේෂ සිදුවීම විය.
ඡන්දය බෙදුණේ මෙහෙමයි
ඒ අනුව මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි සිදුවූයේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් පසු අවස්ථාවකදී පැහැදිලි කිරීමක් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ අදාළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාව තුළ බෙදීමක් මතුවූ බවකි. එහිදී යෝජනාවට පක්ෂව ආණ්ඩුව නියෝජනය කරන අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් සහ ස්වාධීන සිවිල් පුරවැසියකු ලෙස පත්කරන ලද විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට පියවර ගත් බව සජිත් කියා සිටියේය. විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි තමන් සහ මේ දිනවල විදෙස්ගතව සිටින කබීර් හෂීම් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක්වෙමින් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව සජිත් එහිදී කියා සිටියේය. එමෙන්ම සජිත් තවදුරටත් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන අනෙක් සාමාජිකයන් දෙදෙනා වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ ආචාර්ය දිනේෂා සමරරත්න ඡන්දය දීමෙන් වැළකී සිටි බවකි. ඒ අනුව ඡන්දය බෙදීගොස් තිබුණේ යෝජනාවට පක්ෂව 4ක් සහ විරුද්ධව දෙකක් ලෙසත්, ඡන්දය නොදුන් 2ක් ලෙසත් බව සජිත් තහවුරු කර සිටියේය.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාවේ යෝජනාවක් සම්මත වීමට නම් අවම වශයෙන් ඡන්ද 5ක් ලැබිය යුතුය. ඡන්ද 4-4ක් ලෙස සමාන වුවහොත් පමණක් කතානායකවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවතී, එසේ නොමැතිව කතානායකවරයාට ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නැත. ඒ අනුව සජිත් කියා සිටියේ කතානායකවරයාට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නොමැති නිසා යෝජනාව ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රතික්ෂේප කෙරුණු බවය.
ජනපති මැදුරේ කලබල
කෙසේ වෙතත් මේ ආකාරයට ව්‍යවස්ථාදායක සභාවේදී දේශබන්දුගේ නම පොලිස්පති ධුරය සඳහා සම්මත නොවීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය කාර්යබහුල තැනක් බවට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. හදිසි සාකච්ඡා කිහිපයක්ම වහාම සංවිධාන කෙරුණු අතර, ඊට ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන් මෙන්ම නීති විශාරදයන් පවා කැඳවා තිබූ ආකාරයක් පෙනිණි. එහිදී සාකච්ඡාව පැවැත්වුණේම කෙසේ හෝ දේශබන්දුගේ පත්වීම සිදුකළ යුතුය යන ස්ථාවරයේ සිට වීම විශේෂ සිදුවීමක් විය.
ආරංචිය ආවේ අනුරට
කෙසේවෙතත් සවස 5ට පමණ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය ආරංචියකින් කියැවුණේ දේශබන්දු නව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවකි. ව්‍යවස්ථාදායක සභාවේදී කතානායකවරයාද දේශබන්දුගේ නමට ඡන්දය භාවිත කිරීමෙන් පසු එම නාමයෝජනාව ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද 5කින් සම්මත වී ඇති බව එම තොරතුරෙන් වැඩිදුරටත් කියවිණ. මෙම තොරතුර මුලින්ම ලැබී තිබුණේ වෙන කාටවත් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටය. අනුර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය නොකරන නිසා එහි සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න වහාම සොයාබැලීමට පියවර ගත් අනුර කළේ තෙවැනි පාර්ශ්වයක් හරහා මෙවැනි කතාවක් යන බව සජිත්ට දැනුම්දී එහි ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගැනීමය. එහිදී පුදුමයට පත් සජිත්ද කියා සිටියේ එවැනි කිසිවක් ව්‍යවස්ථාදායක සභාවේ සිදු නොවුණු බවත්, ඡන්ද භාවිත වූයේ 4ට 2ක් ලෙස බවත්, දෙදෙනකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවත්ය. කතානායකවරයා ඡන්දය ලබාදුන් බවට වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කී සජිත් එවැන්නක් කිරීමට කතානායකවරයාට ව්‍යවස්ථාපිතව හැකියාවක් නොමැති බවද එම පණිවුඩකරුට දැනුම් දී සිටියේය. ඒ අනුව එම පණිවුඩකරු සජිත් කී තොරතුර නැවත වතාවක් අනුරට දැනුම් දීමටද පියවර ගත්තේය.
නිවේදනය නිකුත් වෙයි
කෙසේ වෙතත් කලින් ලැබුණු තොරතුර අනුවම තවත් විනාඩි ගණනාවක් ගතවෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වූයේ නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. කෙසේ වෙතත් එහිදී වචන භාවිත කිරීම සම්බන්ධයෙන් ඉතා ප්‍රවේසම් වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම නිවේදනයේ කිසිදු තැනක ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොතිබුණු අතර, ව්‍යවස්ථාව ප්‍රකාරව එම පත්වීම කළ බව පමණක් සඳහන්ව තිබිණි. පහත පළවන්නේ ඊට අදාළව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ කෙටි නිවේදනයය.
‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ’ ඡඵෘ
මෙම නිවේදනය නිකුත් කොට මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ පත්වීම් ලිපිය ලබාදෙන ඡායාරූපයද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.
විපක්ෂයම ඇවිස්සෙයි
ඔන්ලයින් පනත මුල්කරගෙන කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අස්සන් කරමින් පැවැති පසුබිමක මෙම සිදුවීමද කරළියට පැමිණීම හරහා කතානායකවරයාට එරෙහිව විශාල විරෝධයක් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මතුවූ ආකාරයක් අනතුරුව දැකගන්නට ලැබිණි. ඒ අනුව මෙම පුවත පළවී මොහොතක් යෑමට මත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත නොකළ බවත්, කතානායකවරයා විසින් දෙවැනි වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කර ඇති බවත්ය. පහත දැක්වෙන්නේ සජිත් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයය.
‘ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පති පත්වීම අනුමත නොකරන ලදී. ඡන්දය ප්‍රකාශ වීම පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් විය. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය වේ. ඡන්ද සම වීමකදී පමණක් භාවිත කළ හැකි තීරක ඡන්දයක් කථානායක සතුවේ. 4/2 යනු සමවීමක් නොවේ` දෙවන වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කෙරෙමින් පවතී. ලැජ්ජයි කථානායකතුමනි..’ යනුවෙන් එහි සඳහන්ව තිබිණි.
මීට අමතරව විපක්ෂයේ පක්ෂ නායකයන් අතර වහාම සූම් සාකච්ඡාවක් කැඳවීමටද සජිත් පියවර ගත්තේය. එහිදීද ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ සියල්ල විපක්ෂයේ පක්ෂ නායකයන්ට පැහැදිලි කළ සජිත්, ඊට එරෙහිව වහාම පියවර ගත යුතු බව පක්ෂ නායකයන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව ඊට පසු දින මහාචාර්ය ජී.එල්. පීරිස්ට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා එම සිදුවීම සම්බන්ධයෙන් රටම දැනුවත් කරන ලෙස සජිත් දැනුම්දී සිටියේය.
විමල්ලාත් පක්ෂයි
ඒ අනුව, පොලිස්පතිවරයාගේ සිදුවීමේදී සිදුව ඇති දේ වටහා ගත් විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂද වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තැන් තැන්වල සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රතන හිමි, අසංක නවරත්න යන පිරිස් මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයේදී කතානායකවරයාට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තම කණ්ඩායමද කටයුතු කරනවා යැයි කියාය.
දයාසිරි තද තැනක
මීට අමතරව මේ දිනවල ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරතව සිටින දයාසිරි ජයසේකර වහාම ‘මව්රට’ පුවත්පතට කතා කරමින් කියා සිටියේ තමන්ද කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කරනවා යැයි කියාය. එමෙන්ම විශ්වාසභංග විවාදයේදී කතානායකවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් නොදැන සිටි කරුණු රැසක් හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද දයාසිරි ‘මව්රට’ පුවත්පතට දැනුම් දී සිටියේය. ඒ අනුව අප දයාසිරිගේ ප්‍රකාශය ‘මව්රට’ වෙබ් අඩවියේ පළකිරීමෙන් අනතුරුව ශ්‍රීලනිපයද නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂයද කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂය සමග එක්ව ඊට පක්ෂව ඡන්දය දෙනවා යැයි කියාය.
විජිත සජිත්ට කතාකරයි
මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධ සිදුවීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූයේ කුමක්ද යන්න නිවැරැදිව දැනගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව තිබිණි. ඒ අනුව විජිත හේරත් පසුගිය අඟහරුවාදා දිනයේදී කෙළින්ම සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. ඒ වන විට සජිත් සිටියේ සක්වල වැඩසටහන යටතේ අනුරාධපුර දරුවන්ට බස් රථයක් ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි. උත්සව අවස්ථාවේ දී සිය ජංගම දුරකතනයට විජිතගේ ඇමතුම ලැබෙනු සජිත් දුටුවද, ඊට පිළිතුරු ලබාදීමේ හැකියාවක් නොවුණු නිසා සජිත් වහාම කළේ සිය පාර්ලිමේන්තු ලේකම් තිසත් විජේගුණවර්ධනට කතාකොට විජිත තමන්ට කතා කළ බව දැනුම් දී කාරණාව කුමක්ද යන්න සොයාබලන ලෙසටය. ඒ අනුව තිසත්ද වහාම විජිතට දුරකතන ඇමතුමක් ලබාදී ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. විජිත එහිදී පොලිස්පතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ සියල්ල විමසා සිටිද්දී එහි සිදුවූ සියල්ල අකුරක් නෑර විජිතට දැනුම් දීමට තිසත් කටයුතු කළේය. ඒ අනුව, මෙම තොරතුරු පක්ෂයට වාර්තා කිරීමෙන් අනතුරුව ජවිපෙද තීන්දු කළේ විශ්වාසභංගයේදී විපක්ෂය සමග එක්ව කතානායකවරයාට එරෙහිව සිය ඡන්දය භාවිත කිරීමටය. ඒ බව වහාම නිවේදනයක් මගින් රටට දැනුම් දීමටද ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව, කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ පුළුල් සන්ධානයක් මේ සිදුවීම් හරහා ගොඩනැගෙන ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි.
මහින්ද මහින්දගේ පැත්තේ
මේ ආකාරයට කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව සම්පූර්ණ විපක්ෂයම එකමුතු වෙද්දී ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුව කතානායකවරයා සම්බන්ධයෙන් සිටියේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකය. ඒ බව ප්‍රකාශ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙනි. පසුගිය අඟහරුවාදා මාධ්‍යවේදීන් විසින් මේ පිළිබඳ විමසා සිටිද්දී මහින්ද කිසිදු පැකිලීමකින් තොරව කියා සිටියේ ‘කතානායක අපේ කෙනෙක්. අපි එතුමාව ආරක්ෂා කරනවා’ යැයි කියාය. මහින්දට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මාධ්‍ය හමුවේ කියා සිටියේ විශ්වාසභංගයේදී කතානායකවරයාව ආරක්ෂා කරගැනීමට තමන් කටයුතු කරනවා යැයි කියාය.
සජිත්ට පණිවුඩයක්
මේ අතර, කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ සියලු දෙනාම අවි අමෝරද්දී ආණ්ඩු පක්ෂයෙ ප්‍රබලයකුගේ පැත්තෙන් සජිත්ට විශේෂ පණිවුඩයක් ලැබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ මේ වන විට ආණ්ඩුව ඇතුළේ බරපතළ ගැටුමක් මතුව ඇති බවත්, කතානායකවරයාට විශ්වාසභංගයක් ගෙන ඒම හරහා බෙදී සිටින ආණ්ඩුව එකමුතු කිරීමට කටයුතු නොකරන ලෙසත්ය. මෙම පණිවුඩය ලැබුණු වහාම සජිත් එම පණිවුඩය ගෙනා පුද්ගලයාට දැනුම් දී සිටියේ ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ටම බේරාගන්න යැයි කියාය.
‘ඒ අයගේ ප්‍රශ්න ඒ අයටම බේරගන්න කියන්න. ආණ්ඩුවත් එක්ක ඒ අයට ප්‍රශ්න තියෙනවා නම් ඒක ආණ්ඩුව ඇතුළේ ඒ අයට කතා කරගන්න කියන්න. හැබැයි කතානායකතුමාට විරුද්ධව අපි ගේන විශ්වාසභංගය අපි නවත්තන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලය මොකක් වුණත් ඒ විශ්වාසභංගය අපි ගේනවා. ඒ විවාදයේදී කතානායකවරයාගේ ඒකපාර්ශ්වික ක්‍රියාකලාපය අපි රටට පෙන්වනවා. අපි එක පාරක් බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත නැති කළාට විරුද්ධව, බාල බෙහෙත්වලින් හොරකම් කළාට විරුද්ධව කෙහෙළියටත් විශ්වාසභංගයක් ගෙනවා. හැබැයි මේ අයම තමයි ඒ කෙහෙළියව බේරගන්න පාර්ලිමේන්තුවේදී අත ඉස්සුවේ. දැන් පේනවනේ කෙහෙළියට වෙලා තියෙන දේ. කතානායකතුමාට මේවා ගැනත් කල්පනා කරන්න කියන්න…’ යනුවෙන් එහිදී සජිත් ආණ්ඩුව පැත්තෙන් තමන්ට පණිවුඩය එවූ පුද්ගලයාට දැනුම් දීමට කටයුතු කොට තිබිණි.
පොහොට්ටුව බෙදෙයි
මෙවැනි පසුබිමක් යටතේ පොහොට්ටුව ඇතුළේ මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය මුල්කරගෙන විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් පැහැදිලිවම දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව කියද්දී පොහොට්ටුව සමග සිටිින මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂකත්වය ගැන තවමත් පොහොට්ටුව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ප්‍රකාශ කිරීමය. විශේෂයෙන්ම පොහොට්ටු මහලේකම් සාගර පමණක් නොව රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ පවා ප්‍රසිද්ධියේම කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටු සලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවකි.
පසුගිය සතියේ මෙම ගැටුම ප්‍රසිද්ධියේ කලඑළි බැස්සේ දඹුල්ලෙනි. දඹුල්ලේ පොහොට්ටු දේශපාලනයේ ප්‍රබලයන් වූ තෙන්නකෝන් පවුලේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාට ඉතා සමීපවය. ඒ නිසාම ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව ප්‍රමිත කියා සිටියේ වරක් දෙවරක් නොවේ. මීට සති දෙකකට ඉහතදී දඹුල්ලේ පොහොට්ටු බලමණ්ඩලය කැඳවීමට කටයුතු යොදා තිබූ ප්‍රමිත ඊට පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංගටද ආරාධනා කළේය. ප්‍රසන්නද සිටින්නේ ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් පොහොට්ටුවෙන් ලබාදිය යුතුය යන ස්ථාවරයේ වීම ඊට හේතු වන්නට ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ප්‍රමිත ඉතා දැඩිව සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාට පොහොට්ටුව තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම පොහොට්ටුවේ ඇතැම් ප්‍රතිපත්ති දැඩිව විවේචනය කිරීමටද ප්‍රමිත එහිදී පියවර ගත්තේය. මේ අවස්ථාවේදී බලමණ්ඩලයේ සිටි ඇතැම් සාමාජිකයන් සමග තර්ක විතර්ක මතුවුවත් ප්‍රමිතගේ කතාවට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.
ප්‍රමිතට එරෙහිව නාමල්
කෙසේ වෙතත් මේ ආකාරයට ප්‍රමිත දඹුල්ලේ පොහොට්ටු බලමණ්ඩලය කැඳවා පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කොට ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහීව අදහස් දක්වා ඇති බව මොහොතක් යෑමට මත්තෙන් පොහොට්ටු ප්‍රබලයන්ට දැනගන්නට ලැබිණි. ඒ අනුව සාගර, නාමල් ඇතුළු පොහොට්ටු ප්‍රබලයන් වහාම තීන්දු කළේ පක්ෂයේ ප්‍රධානත්වයෙන් නැවත වතාවක් මාතලේ පොහොට්ටු බලමණ්ඩලය කැඳවීමටය. ඊට මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද ආරාධනා කිරීමට පියවර ගැනිණි. ඒ අනුව පොහොට්ටුවේ ප්‍රබල රාජපක්ෂවාදීන් ලෙස කටයුතු කරන තිස්ස කුට්ටිආරච්චි, ඉන්දික අනුරුද්ධ වැනි මන්ත්‍රීවරු එක්ව සිටි එම පොහොට්ටු බලමණ්ඩලයේදී පළමු වතාවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතාගේ නම සම්මත කිරීමට පියවර ගැනිණි. ඒ අවස්ථාවේදී නාමල් මූලාසනයේ අසුන්ගෙන සිටියද ජනකගේ සහ ප්‍රමිතගේ මුහුණු රැස්වීමේ දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව මෙම සිදුවීමෙන් පසු ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ පොහොට්ටුවේ ඉංජිනේරු සහ නීතිඥ සංගම් නියෝජිතයන්ද රැස්වී ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බවට යෝජනා සම්මත කිරීමට පියවර ගෙන තිබිණි. ඉදිරියේදී ආසන බලමණ්ඩල මට්ටමින් නාමල්ගේ නම පොහොට්ටු අපේක්ෂකයා ලෙස යෝජනා කොට සම්මත කරගැනීමටද මේ වන විට කටයුතු සූදානම් කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ආණ්ඩුව සහ පොහොට්ටුව අතර පමණක් නොව පොහොට්ටුව සහ පොහොට්ටුව අතරත් මේ වන විට ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැහැදිලි බෙදීමක් සිදුව ඇති ආකාරයක් දැකගන්නට ලැබේ.
බැසිල් එන්නෙ පෙරළන්න
මේ සියලු ගැටුම් මැද මාර්තු මස මුලදී පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ යළිත් ලංකාවට පැමිණීමට සැලසුම කර සිටින බව අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ අප්‍රේල් මස අවසාන සතියේ යළි ලංකාවට පැමිණීමට බැසිල් තීන්දු කර තිබුණත් මේ වන විට රට ඇතුළේ සහ පක්ෂය ඇතුළේ මතුව පවතින දේශපාලන උණුසුම හේතුවෙන් සිය දීර්ඝ නිවාඩුව අවලංගු කොට ලංකාවට පැමිණ යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බැසිල් තීන්දු කොට ඇතැයි කියාය.
කෙසේ වෙතත් බැසිල් මෙවර ලංකාවට එන්නේ අවාට ගියාට අත් දෙක වන වනා නොව, විශාල දේශපාලන පිම්මක් පැනීම සඳහා දැවැන්ත දේශපාලන සැලසුමක්ද සකස් කරගෙනය. බැසිල් මේ දේශපාලන සැලැස්ම සකක් කළේ අද ඊයේ නොව, ඇමෙරිකාවට ගිය මුල් කාලයේදීමය. ඇමෙරිකාවේ සිටියදීද බැසිල් දිනපාතම පාහේ පක්ෂ නායක මහින්දට සහ පක්ෂ මහලේකම් සාගරට කතාකොට පවතින දේශපාලන වටපිටාව සහ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් පූර්ණ විස්තරයක් ලබාගත්තේය. එපමණක් නොව රට පුරාම සිටින පොහොට්ටු දෙවැනි පෙළ නායකයන් සමග සහ ගම් මට්ටමේ සිටින පොහොට්ටු ප්‍රධානීන් සමග දිනපතාම අදහස් හුවමාරු කරගත්තේය. මීට අමතරව බැසිල් ඉතා රහසිගත ලෙස පවතින දේශපාලන වටපිටාව යටතේ ඉදිරි මැතිවරණයකදී ඡන්ද බෙදී යෑම සම්බන්ධයෙන් මත විමසුම් දෙකක්ද සිදුකළේය.
මත විමසුමේ ප්‍රතිපලය
මෙම මත විමසුම් දෙකේම ප්‍රතිඵල පසුගිය සතිය වන විට බැසිල් අතට ලැබී තිබුණු අතර, ඉන් අතිශය වැදගත් කරුණු 2ක් අනාවරණ කොට තිබිණි. ඉන් පළමුවැන්න වී තිබුණේ තවදුරටත් පොහොට්ටුව ආණ්ඩුව ඇතුළේ සිටීම පක්ෂයට ඉතා අවාසිසහගත යැයි කියාය. දෙවැන්න වී තිබුණේ කුමන පසුබෑම් පැවැතියද තවමත් ගම් මට්ටමින් පොහොට්ටුවට 20%ක 22%ක ඡන්ද ප්‍රතිශතයක් පවතින බවත්, තනිකරම එය මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සාධකය හේතුකොට ගෙන පවතින බවත් අනාවරණය කොට තිබීමය.
මෙම ප්‍රතිඵල අතේ තබාගෙන දින ගණනාවක් විශ්ලේෂණය කළ බැසිල් මහින්ද සමගද ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී බැසිල්ගේ ගණන් හැදිල්ල වී තිබුණේ මේ අවස්ථාවේදී පොහොට්ටුවට ජනාධිපතිවරණයකට යනවාට වඩා මහ මැතිවරණයකට යෑම ඉතා වාසිදායක බවකි. එය මහින්දටද දැනුම් දුන් බැසිල් මෙවර ලංකාවට එන්නේ ඊට අදාළ දේශපාලන සැලැසුමද, ඒ සැලැසුම දියත් කරන කාලවකවානුවද නිශ්චය කරගැනීමෙන් අනතුරුවය.
බහුතරය නැතිවෙයි?
ඒ අනුව ලංකාවට පැමිණෙන බැසිල් ගහන්න යන දේශපාලන ගේම කුමක්ද?
මහ මැතිවරණයක් ඔළුවේ තබාගෙන එන බැසිල්ගේ සැලසුම වී ඇත්තේ මාර්තු අග හෝ අප්‍රේල් මුල වන විට පොහොට්ටුව නිල වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු සැලැස්වීමය. ඒ හරහා ආණ්ඩුවට බහුතරය අහිමි කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන තැනට කටයුතු කිරීම බැසිල්ගේ සැලසුම වී තිබේ. බැසිල් මෙම තීන්දුව තනිව ගත් එකක් නොව, මහින්ද සමගද දීර්ඝව සාකච්ඡා කොට ගත් එකක් බව අපට ඇති තොරතුරුවලින් ආරංචිය.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගන්නා තීන්දුවට පොහොට්ටුවේ 100%ක් මන්ත්‍රීවරු එකඟ නොවන බව බැසිල් නොදන්නවා නොවෙ. විශේෂයෙන් ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන් පක්ෂයේ තීන්දුවට පිටින් යා හැකි බවටද බැසිල් ගණන් බලා තිබේ. ප්‍රසන්න රණතුංග, ප්‍රමිත බණ්ඩාර, දිලුම් අමුණුගම වැනි පොහොට්ටු ප්‍රබලයන්ද, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, අනුර යාපා, සුසිල්, ප්‍රියංකර ජයරත්න යන කණ්ඩායමද මෙසේ පොහොට්ටුව සමග විපක්ෂයේ අසුන් ගැනීමට කටයතු නොකරනු ඇති බවට බැසිල් ගණන් හදා තිබේ. නමුත් පක්ෂය ගන්නා තීන්දුවට අනුව විපක්ෂයේ අසුන් ගැනීමට පැමිණෙන්නේ මන්ත්‍රීවරු 20ද, 25ද ඔවුන් සමග ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමට බැසිල් දැනටමත් සැලසුම් හදා අවසන්ය.
නොඑන අයට වෙන දේ
එමෙන්ම පක්ෂයේ තීන්දුව අනුව කටයුතු නොකරන කිසිදු අයකුට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට බැසිල් දැනටමත් දැඩි තීන්දුවක් ගෙන තිබේ. එසේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමග සිටින පොහොට්ටු ප්‍රබලයන් වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල දෙවැනි පෙළ නායකයන් මහ මැතිවරණයේදී ඉදිරියට ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇත. සාමාන්‍යයෙන් බැසිල් හැමදාම දේශපාලනය කළේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා ගමේ දේශපාලන නායකයන් සමගය. 2018දී පොහොට්ටුවේ ජයග්‍රාහී දේශපාලන ගමන සනිටුහන් කරමින් පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටු ලකුණ ජයග්‍රාහී ලකුණක් බවට බැසිල් පත් කළේ මේ ගමේ නායකයන් හරහාය. ඒ අනුව බැසිල්ගේ සැලසුම වී ඇත්තේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටු ඇමැතිවරුන් වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල දෙවැනි පෙළ පොහොට්ටු නායකයන් ඉදිරියට ගෙන ඔවුන්ට නාමයෝජනා ලබා දීමත්, ආණ්ඩුව සමග සිටින කිසිවකුටත් නාමයෝජනා ලබා නොදීමටත්ය.
එසේ ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටු මැති ඇමැතිවරුන් ඉදිරි මහ මැතිවරණයේදී අලියාගෙන් හෝ වෙනත් ලකුණකින් තරග වැදුණහොත් ඒ සියලු දෙනාම නියත වශයෙන්ම පරාජයට පත්වනු ඇති බවත්, ඔවුන්ට කිසිදු දිස්ත්‍රික්කයක 2%ක හෝ 3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් බැසිල්ගේ ගණන් හැදීම වී තිබේ. නමුත් පොහොට්ටුව සෑම දිස්ත්‍රික්කයකින්ම සැලකිය යුතු මන්ත්‍රීවරු ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ජයග්‍රහණය කර පාර්ලිමේන්තු යැවීමට හැකි බවද බැසිල්ගේ ගණන් හැදීම වී ඇත. ඒ අනුව බැසිල් මෙවර ලංකාවට පැමිණෙන්නේ නිකම් නොව ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පොහොට්ටුව විපක්ෂයේ අසුන් ගන්වා ආණ්ඩුවට බහුතරය අහිමි කොට මහ මැතිවරණයට අවශ්‍ය පාර කපාගැනීමේ සැලසුමද අතැතිවය.
රනිල් මහින්ද හමුවක්
මේ ආකාරයට බැසිල් පොහොට්ටුව ආණ්ඩුවෙන් ගැලවීමට සූදානම් වෙද්දී පසුගිය සතියේ තවත් විශේෂ හමුවක් ආණ්ඩුවේ ප්‍රබලයකු හා පොහොට්ටුවේ ප්‍රබලයකු අතර සිදුවිය. ආණ්ඩුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාය. පොහොට්ටුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
ජනාධිපතිවරයා හා මහින්ද අතර මේ ආකාරයට හමුවීම් කිහිපයක්ම පසුගිය කාලයේදී සිදුවිය. ෂැංග්‍රිලා හෝටලයේ සහ වෙනත් විශේෂ ස්ථානවල මේ දෙදෙනාගේ හමුවීම්වලින් පසු ඒ සම්බන්ධයෙන් විමසූ හිතවතුන්ට මහින්ද කියා තිබුණේ මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දෙශපාලන කරුණු කිසිවක් කතා නොකරන බවත්, එදිනෙදා වටපිට සිදුවන යම් යම් සිදුවීම් සම්බන්ධව පමණක් කතා කරන බවත්ය. නමුත් පසුගිය සතියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති දෙදෙනාගේ මෙම හමුවීම නම් ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත් එකක් විය හැකි බව බොහෝ දෙනාගේ අදහසය. ඊට හේතුව ජනාධිපතිවරයා මේ වන විට දේශපාලන වශයෙන් යම් හිරවීමක සිටීමත්, රටේ දේශපාලනය ඉතා උණුසුම් වී තිබීමත්ය. ඒ අනුව එවැනි වටපිටාවක් මැද පැවැති මෙම හමුව දේශපාලන මාතෘකාවලින් පිරීගිය එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
උද්දික අතේ මාට්ටුද?
මාස 2ක් ඇතුළත දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම පසුගිය සතියේ වාර්තා විය. මුල්ම සිදුවීම වාර්තා වුණේ සජබ ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වූ චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය. එහිදී චමින්ද කියා සිටියේ පවතින දේශපාලන ක්‍රමය සහ ජනතාව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දක්වන දැඩි විවේචනය හේතුවෙන් තමන් මෙවර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවකි. දෙවැනි සිදුවීම පසුගිය සතියේ වාර්තා වූයේ හදිසියේම විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ ජනප්‍රිය නළුවකු වන උද්දික ප්‍රේමරත්න සිය පාර්ලිමේන්තු මන්න්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයා වෙත යොමුකර තිබූ ලිපියත් සමගය. සිය ලිපිය මගින් උද්දික සඳහන් කර තිබුණේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස සිය අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු නිසා මෙසේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවකි.
නමුත් උද්දිකගේ ඉල්ලා අස්වීම පිළිබඳ ඇත්ත කතාව එයමද?
නළුවකු වශයෙන් ප්‍රසිද්ධව සිටි උද්දික දේශපාලනයට පැමිණ නිහඬ චරිතයක් වුවද හිටිහැටියේ උද්දික පිළිබඳ යළිත් වතාවක් රටම කතා කරන්නට ගත්තේ ඔහු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සමගිනි. ආරක්ෂකයන් රහිතව ඔහු විසින්ම රථය පදවාගෙන පැමිණ නිවෙසට ඇතුළු වීමෙන් පසු නාඳුනන තුවක්කුකරුවකු ඔහුගේ රථයට නිවෙස ඉදිරිපිටදි වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබිණි. චිත්‍රපට ජවනිකාවක් බඳු එම සිදුවීමෙන් අනතුරුව උද්දික තමන්ට ජීවිත තර්ජන ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී ඇතැමුන් කියා සිටියේ මෙය උද්දික විසින්ම නිර්මාණය කළ සිදුවීමක් කියාය. ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වීම නිසාම එහි ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගැනිණි. සිද්ධිය සිදුවී මාස ගණනක් මේ වන විට ගතව ඇතත් අද වනතුරු එහි ප්‍රගතිය පිළිබඳ පොලිසිය පැත්තෙන් කිසිදු ප්‍රකාශයක් සිදුව නොතිබීම විශේෂ සිදුවීමකි.
රනිල්ව හමුවෙලා
එවැනි පසුබිමක් යටතේ උද්දික මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා මුණගැසීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව පැවැති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා උද්දිකට ආණ්ඩුවට එක්වන ලෙස දැනුම් දුන් බවත්, උද්දිකද ඊට එකඟතාව පළකොට තිබූ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එසේ උද්දික ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණේ කුමන ගනුදෙනුවක් ගොඩින් බේරාගැනීමටද යන ප්‍රශ්නයද මේ වන විට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.
ඒ කෙසේ වෙතත් පසුගිය සතියේ උද්දික සිය පවුලද සමග හිටිහැටියේ රටින් පිටව කැනඩාව බලා ගොස් තිබිණි. ඒ ඊකේ 651 දරණ ගුවන් යානයෙනි. අනතුරුව උද්දික සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත යොමුකොට තිබුණේද ආරක්ෂිතව කැනඩාවට පවුල සමග ගොඩබැසීමෙන් පසුවය. ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ දැන්වත් උද්දිකගේ නිල රථයට වෙඩිතැබීමේ සිද්ධියේ අවසන් වාර්තාව එළිදැක්වෙනු ඇතැයි කියාය.
ෆොන්සේකා යළි සජබෙට
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂයට එරෙහිව අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ලබාගැනීම හේතුකොට ගෙන මේ වන විට සජබය තීන්දු කොට ඇත්තේ ඔහු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමටය. එමෙන්ම අදාළ සිදුවීමෙන් පසු පක්ෂය තුළ සිදුකෙරුණු කිසිදු වැඩකටයුත්තකට ෆොන්සේකාව සහභාගි කරගත්තේ හෝ ෆොන්සේකාට ආරාධනා කිරීමට හෝ පක්ෂය කටයුතු කළේ නැත. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ පසුගිය සති අන්තයේ ෆොන්සේකාගේ දිස්ත්‍රික්කය වූ ගම්පහ මහරදී පැවැති සජබ සමුළුවේදීය. සමුළුව සංවිධාන කිරීමේදී ගම්පහ නියෝජනය කරන දේශපාලනඥයන් මෙන්ම පක්ෂයේ ප්‍රබලයන්ද පැහැදිලිව කියා සිටියේ පක්ෂයට එරෙහිව අධිකරණයට ගිය ෆොන්සේකාට ඊට ආරාධනා නොකළ යුතු යැයි කියාය. ඒ අනුව ෆොන්සේකාට ඊට ආරාධනා නොකිරීමට පියවර ගැණින.
කෙසේ වෙතත් රැස්වීම ආරම්භ වී මරික්කාර් වේදිකාවේ කතාකරමින් සිටියදී කිසිවකුත් නොසිතූ පරිදි හිතවතුන් කිහිප දෙනකු සමග කිසිදු ආරාධනාවකින් තොරවම රැස්වීම් භූමියට පැමිණීමට ෆොන්සේකා කටයුතු කළේය. කුමන මතගැටුම් තිබුණද පක්ෂයේ සභාපතිවරයා වීම හේතුකොට ගෙන මරික්කාර් කිසිදු වෙනසක් නොපෙන්වා රැස්වීමට සහභාගි වූ ෆොන්සේකා පිළිබඳ සඳහන් කිරීමට වගබලා ගත්තේය. ඒ අනුව ෆොන්සේකා ජනතාව මැදින් පැමිණ ඉදිරි පෙළ පනවා තිබූ ආසනයක අසුන් ගත්තද දෙපස සිටි කිසිදු සජබ නායකයෙක් ෆොන්සේකාව වැඩිපුර ගණන් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
රැස්වීමට එන්න එපා
ඒ වන විට සජිත් සමුළුව ඇමතීම සඳහා පැමිණ නොසිටි බැවින් බොහෝ දෙනා එකිනෙකාට කුටුකුටු ගාන්නට පටන්ගත්තේ යම් හෙයකින් සජිත් මේ අවස්ථාවේ රැස්වීමට පැමිණියහොත් ෆොන්සේකා සමග අනවශ්‍ය ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇතැයි කියාය. මේ නිසාම වේදිකාවේ සිටි කිහිප දෙනෙක්ම සජිත්ට ඇමතුමක් ගෙන දැනුම් දුන්නේ ෆොන්සේකා ආරාධනාවකින් තොරව පැමිණ ඇති බැවින් රැස්වීමට නොපැමිණෙන ලෙසටය. නමුත් සජිත් ගත් කටටම කියා සිටියේ ෆොන්සේකාගේ පැමිණීම තමන්ට ගැටලුවක් නොවන බවත්, සැලසුම් කර ඇති ආකාරයටම තමන් රැස්වීමට පැමිණ කතා කරන බවත්ය. ඒ අනුව කී ආකාරයටම සජිත් සුළු මොහොතක් යද්දී පාක්ෂිකයන් පිරිවරාගෙන එම පාක්ෂිකයන්ගේ ජය ඝෝෂා මැද්දේ ජනතාව මැදින් වේදිකාවට පැමිණීමට පියවර ගත්තේය. එහිදී අන් සියලු දෙනාම තමන් උන් ආසනවලින් නැගිට සජිත්ට අත්පොළසන් දුන්නද, ෆොන්සේකා තනිවම පුටුවේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.
මටත් කතාවක් දෙන්න
කෙසේ වෙතත් සජිත් වේදිකාවට ගොඩවූ පසු තුන්වැනි පාර්ශ්වයක් හරහා ෆොන්සේකා සජිත්ට පණිවුඩයක් එව්වේය. ඒ, සජිත්ගේ කතාවට පෙර තමන්ට විනාඩි 5කට කතා කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි කියාය. නමුත් සජිත් එය කෙළින්ම ප්‍රතික්ෂේප කරමින් අදාළ පුද්ගලයා අතේ පෙරළා පණිවුඩයක් යවමින් කියා සිටියේ ඊළඟට තමන් කතාකිරීමට සූදානමින් සිටින බවත්, අවශ්‍ය නම් තමාගේ කතාවට පසුව කතාකරන ලෙසත්ය. කෙසේ වෙතත් සජිත් කතාව සිදුකොට අවසන් කරනවාත් සමගම රැස්වීම අවසන් කිරීමටද සංවිධායක මණ්ඩලය පියවර ගත්හ. ඒ අනුව, සජිත් ෆොන්සේකාව කිසිදු ගණනකට නොගෙන රැස්වීම් භූමියෙන් පාක්ෂිකයන් සමග පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
සද්ද වහපු ඇමැති
පසුගිය කාලසීමාවේදී ආණ්ඩුව වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි තරුණ අමාත්‍යවරයෙක් මේ වන විට දැඩි නිහඬ බවකින් රාජකාරිය කරගෙන තමන්ගේ පාඩුවේ සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේදී මෙම තරුණ අමාත්‍යවරයා ඉලක්ක කොට ගෙන දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් දියත් වීමය. මේ නිසාම මෙම තරුණ අමාත්‍යවරයා පසුගිය කාලය පුරාම මෙසේ තමන්ට ප්‍රහාර එල්ල කරන්නේ කවුද, එය පිටුපස සිටින්නේ කවුරුන්ද, තමන්ට එසේ පහර දීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ සොයාබැලීමක නිරතව සිටියේය. ඒ අනුව, මීට සති දෙකකට පමණ ඉහතදී අදාළ ප්‍රහාරය පසුපස සිටින පුද්ගලයන් සියලු දෙනාම කවුරුන්ද යන්න සොයාගැනීමට මෙම අමාත්‍යවරයාට හැකි විය. ඒ අනුව, අමාත්‍යවරයාට තොරතුරු ලැබී ඇත්තේ එක්තරා ප්‍රධාන අංශයකට සම්බන්ධ තැනකින් මෙම සියලු පුවත් පළවී ඇති බවය. ඒ අනුව අදාළ පුවත් පළකිරීමට උපදෙස් දුන්නේ කුමන අංශයේ ප්‍රධානියාද, ඔහුට උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එම අංශය ඇතුළෙන්ම මෙම තරුණ අමාත්‍යවරයාට තොරතුරු රැසක් ලැබී ඇති බවක් ආරංචිය. එමෙන්ම තමන්ට පහරදීමට උපදෙස් ලබාදුන් පුද්ගලයා දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් මුල්කරගෙන තමන්ට පහර දෙනවාද, එසේත් නැත්නම් කෙටි කාලයක් ඇතුළත තමන් ඉහළට ඒම පිළිබඳ ඉරිසියාවකින් පහර දෙනවාද යන්න පිළිබඳ සොයාගැනීමටද මේ දිනවල මෙම තරුණ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව මෙම තරුණ අමාත්‍යවරයා මේ වනවිට තීන්දු කොට ඇත්තේ වෙනදා වාගේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී නොසිට තරමක් නිහඬ පිළිවෙතක සිටීමටය. එමෙන්ම තමන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා මේ තරුණ අමාත්‍යවරයා මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
හතර දෙනාම සූරියෝ
මැතිවරණ උණුසුම දිනෙන් දින දේශපාලන පක්ෂවලට දැනෙන්නට පටන්ගෙන තිබීමත් සමග සියලු බලමුළු සවිබල ගැන්වීමට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය පළමු වතාවට කාන්තා සමුළු රට පුරා පැවැත්වීමට පියවර ගත්තේය. මාලිමාවේ ප්‍රධාන කාන්තා චරිතය වූ හරිනි අමරසූරිය විසින් නායකත්වය ලබාදුන් එම කාන්තා සමුළුවලට සැලකිය යුතු කාන්තා සහභාගිත්වයක් පැවැති බවද දැකගන්නට ලැබිණි.
ඉන් අනතුරුව සමගි ජන බලවේගයද දිස්ත්‍රික් මට්ටමින් කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කළේය. සජිත් එය භාරදුන්නේ සජබයේ සිටින අති දක්ෂ කාන්තාවන් හතර දෙනකුටය. ඉන් පළමුවැන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්නය. දෙවැන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. තුන්වැන්නා මහනුවර සජබ ප්‍රබලයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියය. සිවුවැන්නා නීතිඥවරියක වන ලිහිණිය. ඒ අනුව මේ හතර දෙනාම රැස්වී පක්ෂය සමග සාකච්ඡා කොට තීන්දු කළේ පළමු සජබ කාන්තා රැස්වීම කන්ද උඩරටින් ආරම්භ කිරීමටය. මහයියාව ක්‍රීඩාංගණයේ රැස්වීම පැවැත්වීමටත්, ආසන 6,000ක් එහි පැනවීමටත් ඒ අනුව සැලසුම් කෙරිණි. කෙසේ වෙතත් පළමු කාන්තා සමුළුව කෙතරම් සාර්ථක වූවාද කියනවා නම් සියලු ආසන පිරීගොස් තවත් 2,000කට ආසන්න කාන්තාවන් පිරිස් රැස්වීම් භූමිය වටා සිටගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම මෙම සමුළුවේදී හිරුණිකා ජවිපෙත්, හරිනිත් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කළාය.
ජවිපෙට වැදිලා
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ජවිපෙට කෙතරම් තදට වැදුණාද කියනවා නම් ඊට පසු අවස්ථාවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊට ප්‍රසිද්ධියේම පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. එහිදී විජිත කියා සිටියේ හිරුණිකා ඇඟිල්ලේ තරමට ඉදිමීමට කටයුතු කළ යුතු යැයි කියාය. කෙසේ වෙතත් ජවිපෙ මේ ප්‍රතිචාරය දුටු බොහෝ දෙනා සජබ ප්‍රධානීන්ට දැනුම් දී සිටියේ සජබ කාන්තා සමුළුවේ සාර්ථකත්වය ජවිපෙ මේ ප්‍රතිචාරයෙන් පැහැදිලිවම දැකගන්නට ලැබෙන බවය.
කෙසේ වෙතත් ජවිපෙ මේ වන විට සැලසුම් කර ඇත්තේ තවත් කාන්තා සමුළු දෙකක් පවත්වා එය අවසන් කිරීමටය. ඉන් අනතුරුව ජවිපෙ සැලසුම් කර ඇත්තේ රට පුරා දිස්ත්‍රික් මට්ටමින් තරුණ සමුළු පැවැත්වීමටය. මෙම තරුණ සමුළු රැඩිකල් ආකාරයෙන් පැවැත්වීමද ජවිපෙ සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් සජබය දිගටම කාන්තා සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔවුන්ගේ දෙවැනි කාන්තා සමුළුව බදුල්ලේත්, තුන්වැන්න ගාල්ලේත් පැවැත්වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.