ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විදුලි වාහන මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 7 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.Sri Lanka Latest News
මෙම පෙත්සම අගෝස්තු 5 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සංකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළාය.
අදාළ වාහන බැංකු බැඳුම්කරයක් මත මුදා හැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා ය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997 ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළේය.
එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද කිලෝ වොට් 150 ක්ද යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරු දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු පැවසීය.

වාහන මුදා හැරීමට යෝජනාවක්
එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06 ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තර කරුවන්ට උපදෙස් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම යලි ලබන 07 වන දා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළේය.
ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.










