නාමල්ගෙන් පොහොට්ටුවට උපදෙසක්!
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්!
ජනපති අමෙරිකා යන්න ලෑස්තියි!
ජපන් ගිහින් ජනපති කළ කතාවෙන් ඉන්දියාව ඇවිස්සෙයි!
ජනපති මන්ත්‍රීවරුන්ට එන්න කියයි!
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා සමග කලකට පසු පැවැත්වෙන රැස්වීමක් නිසා ඊට වෙනදාට වඩා පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගි වී සිටිනු දැකගත හැකි විය. ඒ අනුව පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළිබඳ කතාබහ කිරීමෙන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මුලින්ම උණුසුම් වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් චෝදනා කිරීම ආරම්භ කිරීමත් සමගය. කෙසේවෙතත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා හා අමාත්‍යාංශ ලේකම්වරයා අතරද කලක සිට යම් නෝක්කාඩුවක් පවතින බව මැති ඇමැතිවරුන් අතරද ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබිණි.
මන්ත්‍රීවරුන් දුක්ගැනවිලි කියයි!
‘අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ආණ්ඩුවේ අයව ගණන් ගන්නේ නෑ. අපි කියන කිසිම දෙයක් කරන්නේ නෑ. අඩු තරමේ ළමයෙක් ඉස්කෝලෙට දාගන්න ගියත්, ගුරුවරයෙක් මාරු කරගන්න ගියත් අපි කිව්වට කරන්නේ නෑ. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහින් ඒ අයත් එක්ක කතා කරලා ළමයි පාසල්වලට දාගන්නවා. ගුරුවරු මාරු කරගන්නවා. අපි කිව්වට කිසිම දෙයක් කරන්නේ නෑ. අපිව ගණන් ගන්නේත් නෑ…’ යනුවෙන් මැති ඇමැතිවරු දිගින් දිගටම චෝදනා කරද්දී ජනාධිපතිවරයාත් සුසිල් ප්‍රේමජයන්ත මහතාත් නිහඬව ඒවා අසා සිටින ආකාරයක් දැකගත හැකි විය. නමුත් දෙදෙනාම ප්‍රශ්නයට මැදි වූයේ තවත් මන්ත්‍රීවරයකු එල්ල කළ බරපතළ චෝදනාවක් සමගය.
ළමයෙක් දාන්න එළුවො දෙන්නෙක් ඉල්ලලා!
‘මම මේ කියන්න යන්නේ ඇත්ත කතාවක්. මම ළමයෙක්ගේ වැඩකට එක පාරක් යවපු කෙනෙක්ගෙන් නිලධාරියෙක් එළුවො දෙන්නෙක් පගාව විදිහට ඉල්ලලා තිබ්බා…’ යැයි ඒ මන්ත්‍රීවරයා කියද්ද ජනාධිපතිවරයාට සිනා පහළ වුණු ආකාරයක් දැකගත හැකි විය. නමුත් වහාම කතාවට මැදිහත් වූ සුසිල් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව කියා සිටියේය.
‘එහෙම ඉල්ලලා තියෙනවා නම් ඒක බරපතළ වැරැද්දක්. ඒ කතාව ඇත්ත නම් ඒ ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනෙ. මන්ත්‍රීතුමාට පුළුවන්ද ඔය ඔළුවො ඉල්ලුවා කියන අයව ඒ පරීක්ෂණයට ගේන්න…?’ යැයි සුසිල් කියද්දී මන්ත්‍රීවරයා කීවේ ‘පුළුවන්’ යැයි කියාය. ඒ අනුව අමාත්‍යාංශ නිලධාරියකු විසින් එළුවන් ඉල්ලා ඇති පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට සුසිල් තීන්දු කළේය.
බෙහෙත් ප්‍රශ්නය ගැන කෙහෙළියට වටකර ප්‍රහාරයක්!
ඉන් අනතුරුව කණ්ඩායම් රැස්වීම වඩාත් උණුසුම් වූයේ මැති ඇමැතිවරුන් විසින් රට තුළ මතුව පවතින බරපතළ ඖෂධ හිඟය සහ ඖෂධ මිල සම්බන්ධයෙන් ඇමැති කෙහෙළියට දැඩිව චෝදනා එල්ල කිරීමත් සමගය. මැති ඇමැතිවරු මේ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී කුරුණෑගල මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට වී ඇති දේ පිළිබඳ කෙහෙළිය දැනුවත් කිරීමට කටයුතු කළේය.
සුමිත් කුරුණෑගල රෝහලේ ප්‍රශ්නයක් කියයි!
‘ඇමැතිතුමා කුරුණෑගල ඉස්පිරිතාලේ සීටී ස්කෑන් යන්ත්‍රය කැඩිලා දැන් මාස 3ක් වෙනවා. තවම හදලා නෑ. ඒක සර්විස් කරන වැඩේ තවම සමාගමකට දීලා නෑ. මේ නිසා අපේ ගම්වල මිනිස්සු පුදුම අපහසුතාවකට පත්වෙලයි ඉන්නේ…’ යන්න එහිදී සුමිත් මන්ත්‍රීවරයා කළ චෝදනාව විය.
ඩයනාට තායිවාන වැඩක් ඇවිත්!
ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මතු කළ කාරණාවක් මුල් කරගෙන ජනාධිපතිවරයා ඩයනා ගමගේට දොස් පැවරූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඩයනා කියා සිටියේ තමන් තායිවාන ආයෝජකයන් පිරිසක් සමග සාකච්ඡා කොට තායිවාන ආයෝජන රටට ගෙන ඒමට සැලසුම් කර තිබූ නමුත් තායිවාන ආයෝජකයන්ට වීසා ලබාදීම බලධාරීන් විසින් ප්‍රමාද කරනවා යැයි කියාය.
ජනපතිට කේන්ති යයි!
ඩයනා මෙසේ කියද්දී ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකොට, ‘නෑ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු…’ යැයි කීවද ඩයනා ඒ ගැන නොතකා නැවතත් ඒ පිළිබඳ අදහස් දැක්වීමට යෑමේදී ජනාධිපතිවරයාටද කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
ජාත්‍යන්තර ප්‍රශ්නයක් හදන්නද යන්නේ?
‘දැන් මම කිව්වනේ එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. තායිවාන ආයෝජන මෙහෙ අරන් එනවට චීනය එච්චර කැමැති නෑ. මොකද චීනයයි තායිවානයයි මේ වෙද්දී ලොකු ප්‍රශ්නයකට පැටලිලයි ඉන්නේ. අනෙක චීනය තවම තායිවානය රටක් හැටියට පිළිඅරගෙනත් නෑ. ඉතින් ඔබතුමිය හදන්නෙ තායිවාන අයෝජකයන් අරන් ඇවිල්ලා මෙතන ජාත්‍යන්තර ප්‍රශ්නයක් හදන්නද?’ යනුවෙන් ජනාධිපතිවරයා තරමක් සැරෙන් යුතුව අදහස් දක්වද්දී ඩයනා නිහඬ වූ ආකාරයක් දැකගත හැකි විය.
සජිත්ලට ගහන්න උපදෙසකුත් දීලා!
කෙසේ වෙතත් කණ්ඩායම් රැස්වීම අවසන් භාගයේදී ජනාධිපතිවරයා සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේදී ප්‍රහාරයක් එල්ල කළ යුතු ආකාරය පිළිබඳ මැති ඇමැතිවරුන්ට උපදෙස් කිහිපයක් ලබාදීමටද කටයුතු කළේය.
‘මේ ආර්ථික අර්බුදය එද්දී සජිතුයි විපක්ෂයයි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ප්‍රශ්නය විසඳගන්න කියලා. දැන් අපි ඒකට ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකෙන් සාර්ථක ප්‍රතිඵලත් අත්කරගෙන තියෙනවා. හැබැයි මූල්‍ය අරමුදල ගැන තිබ්බ පාර්ලිමේන්තු විවාදයේදී සජිත්ලා ඡන්දය නොදී මඟහැරියා. මේ පාර පාර්ලිමේන්තුවේදී ඒක ඇදලා අරගෙන ඔබතුමාලා විපක්ෂයට ගහන්න…’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා පොහොට්ටු මැති ඇමැතිවරුන්ට දුන් උපදෙස විය.
හර්ෂට තනතුර ලැබුණු හැටි!
මාස ගණනක් පුරා ඇදි ඇදී ගිය මුදල් කමිටුවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබාදීමේ ප්‍රශ්නය අවසන් වූයේ පසුගිය බදාදා දින නැවත එය හර්ෂට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමගය. මේ ආකාරයට ජනාධිපතිවරයා හර්ෂට මුදල් කමිටු සභාපති ධුරය ලබාදුන්නද ඊට පෙර අවස්ථා ගණනාවකදී එම තනතුර මුල් කරගෙන මතු වූ ගැටලු රැසක් එකින් එක එදා සිට ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. විපක්ෂයේ හර්ෂට එම තනතුර නොදී විපක්ෂයේම මයන්ත දිසානායක මහතාට එය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තිරය පිටුපස මතුවූ ගැටලුත් අප දීර්ඝව මෙම තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. අවසන් වරට ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා කැඳවා එම තනතුර හර්ෂට ලබාදෙන බව ප්‍රකාශ කළද, අවසානයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් එය කඩාකප්පල් කළ ආකාරයද අපි මෙහි වාර්තා කළෙමු. ඒ මොහොතේ විපක්ෂයට මෙම සිදුවීම පිටුපස ජනාධිපතිවරයාද සිටින බවට සැකයක් පහළ නොවුණා නොවේ. ඒ සම්බන්ධයෙන් අප මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කළ අනාවරණය මෙසේය.
අපි ගිය සතියේ හෙළිකළ කතාව!
‘පසුගිය කාලසීමාව පුරාම සමගි ජන බලවේගයට බරපතළ ප්‍රශ්නයක් වී තිබුණේ මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමි නොවීමය. සජබය මේ බව අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ අවධානයට යොමු කළත් ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විවිධ කතා කියමින් එම ප්‍රශ්නය මගහැරීමට කටයුතු කළේය. අවස්ථා කිහිපයකදීම හර්ෂ ද සිල්වා මහතාද ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද, අවසන් තීන්දුවකට පැමිණීමට නොහැකි වී තිබිණ. එහිදී විපක්ෂ නායකවරයාත්, විපක්ෂයත් දැඩිව පෙන්වා දී තිබුණේ ආණ්ඩුව යහපාලන ප්‍රතිපත්තිවලින් ඉවත්ව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට නීතිරීති උල්ලංඝනය කරමින් රටේ පාලනය ගෙන යනවාය කියාය. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලද දැනුවත් කර තිබූ හෙයින් ආණ්ඩුවට මෙය බරපතළ ප්‍රශ්නයක් වන තරමට උඩුදුවා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
රනිල් යන්න කලින් හමුවක්
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය මේ අතරවාරයේ යෙදී තිබීම හේතුවෙන් ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයාට මෙම ප්‍රශ්නය තාවකාලිකව හෝ විසඳා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා කළේ ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ඒ සඳහා පොඩි දේශපාලන ගේමක් ගැසීමය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ කබීර් හෂීම්ටත්, හර්ෂ ද සිල්වාටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකිරීමය. මෙම දැනුම්දීමත් සමග කබීර් වහාම සජිත් හමුවී මෙවැනි ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවත් විමසා සිටීමට පියවර ගත්තේය. මුදල් කමිටුවේ සභාපති ධුරය පිළිබඳ ප්‍රශ්නය මෙම හමුව හරහා විසඳා ගැනීමට හැකි නම් එය ගැටලූවක් නොවන බැවින්, සජිත් කියා සිටියේ එසේ නම් ජනාධිපතිවරයා හමුවී මෙම ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය.
දිනේෂ් – ප්‍රසන්න වෙනස් වෙයි
එම දැනුම්දීමට අනුව කබීර් හා හර්ෂ ජනාධිපතිවරයා මුණගැසීමට යද්දී එම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම ගැටලූව පිළිබඳ සාකච්ඡා කරමින් ආණ්ඩුවට ගැටලුවක් නොවන ආකාරයට තේරීම් කාරක සභාවේදී ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසට දැනුම් දී සිටියේය. ඒ හරහා හර්ෂගේ පත්වීමට කොළ එළියක් දැල්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ අනුව කබීර් හා හර්ෂ වහාම සජිත්ව දැනුවත් කරමින් ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බව දැනුම් දී සිටියේය. ඒ අනුව කබීරුත් හර්ෂත් තේරීම් කාරකසභා රැස්වීමට සහභාගි වූයේ මාස ගණනාවක් පුරා ඇදෙමින් ගිය ප්‍රශ්නය විසඳා ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් එහිදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ ප්‍රශ්නයකට කබීර්ටත්, හර්ෂටත් මුහුණ දීමටය. ඒ, ප්‍රසන්නත්, දිනේෂුත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතාව නොතකා ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක තනි පුද්ගලයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව බවත් කියමින් හර්ෂගේ නාමයෝජනාවට විරෝධය පළ කිරීම නිසාය.
එයා වෙන පක්ෂෙක
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රසන්නගෙන් ප්‍රශ්න කරද්දී ප්‍රසන්න යළිත් කියා සිටියේ ජනාධිපතිවරයා වෙනත් පක්ෂයකු අයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව විසින් බවත්ය. ඒ හරහා හර්ෂව සහ කබීර්ව පාර්ලිමේන්තුවේ බාල්දු කිරීමට ප්‍රසන්න කටයුතු කළේය. ඒ අනුව ඇත්තටම එහිදී සිදුව තිබුණේ ජනාධිපතිවරයාට ජපාන සංචාරය අතරතුරදී යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට පෙන්වීමට තිබූ අවස්ථාව මුල් කරගෙන කබීර්වත්, හර්ෂවත් කඩේ යවා තිබීමය. ඒ අනුව තමන් හර්ෂට මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාදීමට එකඟ නමුත් පොහොට්ටු ආණ්ඩුව ඊට එකඟ නැති බව ජනාධිපතිවරයා එහිදී ලෝකයටම පෙන්වා දී තිබූ කාරණය විය.
සජබ මන්ත්‍රීවරුන්ට යකා නැගලා
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී සජබ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේද විශාල කතාබහක් ඇතිව තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුවීමත් සමග විපක්ෂ ලොබියේදී හමුවූ සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මෙම සිදුවීමට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.
රනිල් ලණුවක් දීලා
‘මේක මහ විකාරයක්. මේ පාරත් රනිල් කබීර්ටයි, හර්ෂටයි හොඳ ලණුවක් කැවුවා. අන්තිමේදී ඔක්කොම ඉස්සරහා පක්ෂෙත් බාල්දු වුණා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. අපිත් හැමදාම මුදල් කමිටුවේ තනතුරක් බදාගෙන පාර්ලිමේන්තුවේ කෑගහගන්නවා. රටේ මිනිස්සුන්ට කන්න නෑ. රටේ මිනිස්සුන්ට ඡන්ද නෑ. අයි.එම්.එෆ්. එකේ කොන්දේසි හින්දා මුළු රටම හිරවෙලා. මුදල් කමිටුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක වෙන විදිහකට විසඳගමු. ජාත්‍යන්තර පාර්ලිමේන්තුවටයි, පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු කමිටුවටයි ලියලා හරි ඒ ප්‍රශ්න විසඳාගන්න ඕනේ. එහෙම නැතුව මේක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන එකෙන් අපට වැඩකුත් නෑ, රටේ මිනිස්සුන්ට වැඩකුත් නෑ’ යනුවෙන් කී මෙම මන්ත්‍රීවරුන් මේ වන විට සිටින්නේ එළැඹෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මීට එරෙහිව දැවැන්ත සටනක් දියත් කිරීමටය.’
බලපෑමක් ආවාද?
කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භ වන විට මෙම තනතුර විපක්ෂයේ හර්ෂට ලබා නොදී සිටිය නොහැකි තැනට කරුණු කාරණා ගොනු වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, යහපාලනය, දූෂණය, නාස්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වූ දැඩි බලපෑමක් හේතුවෙන් බව විපක්ෂයේ විශ්වාසයය. ඊට හේතු වී තිබුණේ පසුගිය සතියේ දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ඇමෙරිකානු භාණ්ඩාගාර නිලධාරීන් හා විපක්ෂයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවන්ය. වෙනදා නම් මෙම සාකච්ඡාවලදී සජිත් ඇතුළු විපක්ෂ නියෝජිතයන් රටට ආධාර කරන ලෙස ඉල්ලා සිටියත්, මෙම සාකච්ඡාවලදී ඊට මදක් එහා ගිය ඉල්ලීමක් විපක්ෂය පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබිණි. ඒ, මේ වන විට ආණ්ඩුව රටක යහපාලන නීතිරීති කඩා බිඳ දමා ප්‍රජාතන්ත්‍ර විරෝධී මාර්ගයක ගමන් කරමින් සිටින බවටත්, එය වැළැක්වීම සඳහා මැදිහත් වීමක් කරන ලෙසටත් සජිත් ඇතුලු විපක්ෂ නියෝජිතයන් දැඩිව අවධාරණය කොට තිබීමය.
සජිත් ජී.එල්.ගොඩහේවා අරගෙන යයි!
වෙනදා නම් මෙවැනි රැස්වීම්වලට සජිත් සමග සජබ නියෝජිතයන් පමණක් සහභාගි වුවත්, මෙවර සජිත් එම සාකච්ඡා සඳහා විපක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල ප්‍රධානීන්ටද ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට විපක්ෂයේ සිටින ප්‍රබලයන් වූ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ද එක්කර ගැනීමට සජිත් පියවර ගෙන තිබිණි. එහිදී ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල්දමා ඇති ආකාරය පිළිබඳවත්, පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබා නොදී රටට අහිතකර මුදල් අණ පනත් වැඩබලන සභාපතිකමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පත්කොට කරගන්නා ආකාරය පිළිබඳවත්, ආණ්ඩුවේ වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳවත් මෙම විදෙස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව විපක්ෂයේ අදහස වී ඇත්තේ මෙම නිලධාරීන් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම කරුණු මූලික වශයෙන් සාකච්ඡා වන්නට ඇති බවකි. කෙසේවෙතත් මෙහි අවසන් ප්‍රතිඵලය වී තිබුණේ ජනාධිපතිවරයා විසින් හදිසියේම මුදල් කමිටුවේ සභාපති ධුරය හර්ෂට ලබාදිය යුතු බවට තීන්දු කිරීමය. එහි ලකුණු ආණ්ඩුවට වැටෙන ආකාරයට ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමටද තීන්දු වී තිබිණි.
අපි කතාව කලින්ම ගැහුවා!
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අඟහරුවාදා පැවැති සාකච්ඡාවේ තොරතුරු මොහොතක් යෑමට මත්තෙන් අපටද වාර්තා විය. ඒ අනුව ඒ මොහොතේම අපි www.mawratanews.lk අප වෙබ් අඩවියේ මෙම පුවත අතිවිශේෂ පුවතක් ලෙස කාටත් කලින්ම වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා මුදල් කමිටුවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට ලබාදීමට තීන්දු කර ඇති බවත්, බදාදා දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ මුදල් කමිටු සාකච්ඡාවක් කැඳවා ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කොට ඇති බවත්ය.
නිල දැනුම් දීම එයි!
ඒ අනුව අඟහරුවාදා දිනම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් 18 දෙනාටම ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ජනාධිපතිවරයා බදාදා දිනයේ විශේෂ මුදල් කමිටු රැස්වීමක් කැඳවා ඇති බවත්, අනිවාර්යයෙන්ම ඊට සහභාගි වන ලෙසත්ය. ඊට සුළු මොහොතකට පසු පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් නිල වශයෙන්ම මෙම පණිවුඩය මුදල් කමිටුවේ නියෝජිතයන්ට දැනුම් දීමටද පියවර ගනු ලැබ තිබිණ.
රැස්වීම ඉතිහාසගත වෙයි!
ඒ අනුව බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලා අංක එකෙහි මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සමගම එය එසේ මෙසේ රැස්වීමක් නොව ඉතිහාසගත රැස්වීමක් බවට පත්වුණේ ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවට පැමිණ මුදල් කමිටුවේ මූලාසනය දැරූ ඉතිහාසයේ පළමු අවස්ථාව බවට එය පත්වීම නිසාය.
ජනපති හර්ෂගේ නම යෝජනා කරයි!
මෙහිදී රනිල් රැස්වීම අරඹමින් මුදල් කමිටුවේ සභාපතිවරයා පත්කිරීමට අද දින නියමිතව ඇති බවත්, ඒ සඳහා විපක්ෂයේ හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කරන බවත් දැනුම් දී සිටියේය. සියලු දෙනා සමග එකමුතුව මුදල් කමිටුවේ වැඩකටයුතු සිදුකළ යුතු බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
මධුර හර්ෂට කියපු කතාව!
ඉන් අනතුරුව කතා කළේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය. මධුර කතා කරමින් කියා සිටියේ තනතුරු භාරගැනීමෙන් පසු හර්ෂ තනි මතයට වැඩ නොකොට සාමූහිකව කටයුතු කළ යුතු බවත්, ට්විටර් පණිවුඩ තබමින් මුදල් කමිටු සභාපති ධුරයේ කටයුතු නොකළ යුතු බවත්ය. එමෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සමග ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට ක්‍රියා නොකළ යුතු බවද මධුර එහිදී කියා සිටියේය.
ඉන් අනතුරුව කතා කළේ හර්ෂය. තමන් මෙම තනතුරට යළි පත් කිරීම පිළිබඳ සියල්ලන්ටම ස්තුතිය පුද කළ හර්ෂ, පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ඇති වටිනාකම පිළිබඳ සියලු දෙනාටම පැහැදිලි කිරීමක්ද සිදුකළේය.
කට්ටිය හර්ෂව බයිට් එකට අරන්!
කෙසේ වෙතත් මුදල් කමිටු රැස්වීම නිමවීමෙන් පසු රසවත්ම සිදුවීම් කිහිපයක්ම සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ ජොන්ස්ටන්, මධුර, ෂෙහාන් සේමසිංහ වැනි පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් හර්ෂව වටකරගෙන ‘බයිට්‘ එකට මෙන් විවිධ කතා කියමින් සුබපැතීමය. ‘හම්මේ දැන් තමයි හර්ෂගේ මූණෙ හිනා පොදක් තියෙන්නේ. පහුගිය කාලෙම හර්ෂගෙ මූණෙ ලේ කඳුළක් තිබුණේ නෑ…’ යනුවෙන් ජොනී, සේමසිංහ සිනාසෙමින් කියද්දී හර්ෂ කීවේ, ‘මේ පිස්සුද… මට එහෙම එකක් නෑ…’ කියාය. මේ සියල්ල දෙස සිනාසෙමින් බලා සිටි ජනාධිපතිවරයාද අවසානයේ කියා සිටියේ ‘හර්ෂ දැන් මේකෙ වැඩ කරගෙන යන්න ඕනෙ නම් මේ අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න වෙයි…’ කියාය.
මුදල් කමිටුවේ නැති සජිත් මුදල් කමිටුවට ආවේ ඇයි?
ඒ අනුව හර්ෂ ඊට පසු දිනම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව රැස්කිරීමට පියවර ගත්තේය ඒ, පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේදීය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් කමිටු රැස්වීම පැවැති කාමරයට ඇතුළු වීමය. ඒ අනුව සමහරු සිතුවේ පළමු මුදල් කමිටු රැස්වීමට ජනාධිපතිවරයා පැමිණියාක් මෙන් මෙම රැස්වීමට විපක්ෂ නායකවරයා පැමිණ ඇතැයි කියාය. මේ බව වටහාගත් නිසාදෝ වහාම හර්ෂ ළඟට ගොස් ඔහුට සුබපැතූ සජිත්, සියල්ලන්ටම ඇසෙන්නට සිනාසෙමින් ‘නෑ නෑ බයවෙන්න එපා. මම මේ රැස්වීමේ වාඩිවෙන්න ආවෙ නෑ. හර්ෂ සභාපතිතුමාට සුබ පතන්නයි මම ආවේ…’ යැයි කියමින් කමිටු ශාලාවෙන් පිටව යෑමට කටයුතු කළේය.
ගෝඨාට විදේශ ඇමැතිගේ නිලනිවෙස!
මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන සංවාද බොහෝ රසවත් මෙන්ම ආවේගශීලී ස්වභාවයක් ගෙන ඇති බවක් පෙනීයන්නේ ආණ්ඩුවේත්, විපක්ෂයේත් මන්ත්‍රීවරුන් නිතරම සක්‍රීයව වාද විවාදවල නිරත වීම නිසාය. පසුගිය දිනෙක දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතා හා විදේශ ඇමැති අලි සබි්‍ර මහතා අතරද එසේ දරුණු ගැටුමක් මතුවූයේ නිල නිවාස කතාවක් මුල්කරගෙනය. එහිදී රාසමාණික්කම් චෝදනා කර සිටියේ විදේශ අමාත්‍යවරයාට නිල බලයෙන් හිමි නිල නිවාසය මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති බවකි. ඒ මහතාට කලින් ලබාදී තිබූ බෞද්ධාලෝක මාවතේ නිවස මහාමාර්ගය අද්දර පිහිටා තිබීම හේතුවෙන් ශබ්දය වැඩි බවත්, ඒ හේතුව මත ස්ටැන්මෝර් ක්‍රෙසන්ට්හි පිහිටි විදේශ අමාත්‍යවරයාගේ මෙම සුපිරි නිල නිවෙස ගෝඨාට ලබාදී ඇති බවත් රාසමානික්කම් අනාවරණ කොට තිබිණි. ඊට පසු දින පිළිතුරු දෙමින් අලි සබි්‍ර කියා සිටියේ ගෝඨාට නිල නිවාස ලබාදීමට තමන්ට බලයක් නොමැති බවය.
මුල ඉදලා මේවා රටට කිව්වේ අපි විතරයි!
කෙසේ වෙතත් ගෝඨාගේ මේ නිල නිවාස ප්‍රශ්නය පිළිබඳ මුල සිටම අප ‘රාජ්‍ය රහස්’ තීරය අවස්ථා ගණනාවකදීම වාර්තා කිරිමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ලංකාවට පැමිණි ගෝඨා හට බෞද්ධාලෝක මාහතේ පිහිටි සුවිසල් රජයේ නිල නිවෙසක් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබූ බවත්, අවට රථ වාහන ශබ්දය හේතුකොට ගෙන වෙනත් නිල නිවෙසක් තමන්ට ලබාදෙන ලෙස ගෝඨා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබූ බවත්ය. ඒ අනුව විජේරාම මාවතේ නිල නිවෙස අලුත්වැඩියා කරන තෙක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වාසය කළ බුලර්ස් පාරේ නිල නිවෙස ගෝඨාට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පසුව නිල බලයෙන් විදේශ ඇමැතිවරයාට හිමි නිල නිවෙස ගෝඨාට ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ. ඒ අනුව පසුගිය සතිය වන විට එය ගෝඨාට ලබාදී ඇති බව රාසමානික්කම් පමණක් නොව මාධ්‍යද වාර්තා කොට තිබිණි.
ලන්සාට ගේ දුන්නේ වෙන ගේමක් ගහන්නද?
නමුත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ එය නොව ගෝඨා මෙතෙක් වාසය කළ නිල නිවෙස ලබාදී ඇත්තේ කාටද කියන එකය. මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ යන කටකතාවකින් කියැවෙන්නේ අදාළ නිවෙස ජනාධිපතිවරයාගේ ළඟම හිතවතකු බවට මේ දිනවල පත්ව සිටින පොහොට්ටුවේ නිමල් ලන්සා මන්ත්‍රීවරයාට ලබාදී ඇතැයි කියාය. එහි යතුරු ලන්සාට බාරදී ඇති බවත් පසුව ලන්සා එම යතුරු ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට ලබා දී ඇති බවත් ආරංචිය. පසුගිය කාලය පුරා ලන්සා දේශපාලන වැඩකටයුතු සිදුකළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි නිල කාමරයක සිටිමිනි. එමෙන්ම මේ දිනවල ලන්සා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් නිර්මාණය කොට ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවක්ද කියැවේ. ඒ අනුව මෙම දේශපාලන මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා මෙම නිල නිවෙස ලන්සාට ලබාදුන්නාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ බලවත් සැකයකි.
ජනාධිපතිවරණ කතාවෙන් බය වුණේ කව්ද?
විපක්ෂය පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණය ඉල්ලද්දී ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් විපක්ෂය බයකිරීම සඳහා ඉදිරියට දැමූ මාතෘකාව වූයේ ජනාධිපතිවරණයය. ආණ්ඩුව සිතා සිටියේ ජනාධිපතිවරණය කී සැණින් සජබය ප්‍රමුඛ විපක්ෂය බය වී ඡන්දය ඉල්ලන මෙහෙයුම අකුළා ගනු ඇතැයි කියාය. නමුත් එහිදී සිදුවූයේ ආණ්ඩුව සිතූ දෙයට වඩා වෙනස් දෙයකි. ආණ්ඩුවේ මේ යෝජනාවත් සමග සජිත් කියා සිටියේ ආණ්ඩුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම්, ඊට විපක්ෂය සූදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා තුනෙන් දෙකේ බහුතරය ආණ්ඩුවට ලබාදීමට සජබය සූදානම් බවත්ය. විපක්ෂයේ මේ පිළිතුරත් සමග කට වහගත් ආණ්ඩුව ඉන් අනතුරුව ජනාධිපතිවරණය පිළිබඳ වචනයක් හෝ කතා කරන්නට ගියේ නැත.
රෝහිතගෙන් එළියට පැන්න රහස!
ආණ්ඩුව මේ ආකාරයට ඡන්ද පවත්වන්නට බියවී ඇත්තේ වෙන මොකක්වත් නිසා නොව පවතින වාතාවරණය අනුව මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට ඉතා අහිතකර ප්‍රතිඵලයක් ලැබීම නියත වශයෙන්ම සිදුවන බව දැනගෙන සිටීම නිසාය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කතා කළ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කටින්ද මේ බව එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී රෝහිත කියා සිටියේ පසුගිය කොරෝනා සමයේ මැතිවරණ නොපවත්වන ලෙස සජිත් ඇතුළු විපක්ෂය විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ඒ අවස්ථාවේදී මැතිවරණ පැවැත්වුවහොත් විපක්ෂයට අවාසි බව දැනගෙන නිසා බවය. විපක්ෂය දැන් ඡන්දය ඉල්ලන්නේ මේ මොහොතේ විපක්ෂයට වාසිදායක තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය වෙමින් පැවැතීම හේතුවෙන් නිසා යැයිද එහිදී රෝහිත කියා සිටියේය. ඒ අනුව මේ වන විට රට ඇතුළේ විපක්ෂයට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආණ්ඩුව පැහැදිලිව දැන සිටින බවක් රෝහිතගේ මේ කතාව හරහා තහවුරු විය.
පොහොට්ටුවත් ඡන්ද කතාබහක!
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ කතා කරද්දී පොහොට්ටුවේ රාජපක්ෂවරුන් අතරද මේ සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ඇති නොවුණා නොවේ. එහිදී රාජපක්ෂවරුන් අතර සාකච්ඡා වී ඇත්තේ මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එය පොහොට්ටුවට අවාසිදායක බවත්, වෙන ඕනෑම මැතිවරණයක් පැවැත්වුවහොත් යම් කිසි වාසිදායක තත්ත්වයක් පොහොට්ටුවට නිර්මාණය කර ගත හැකි බවත්ය. යම් හෙයකින් හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ඊටද පක්ෂය සූදානම් කර තැබිය යුතු බව මෙහිදී රාජපක්ෂවරුන් අතර සාකච්ඡාවට ලක්ව ඇති බව ආරංචිය.
නාමල් පොහොට්ටුවට දීපු උපදෙස!
මෙම සාකච්ඡාවේදී නාමල් ඇතුළු කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ තවදුරටත් මේ විදිහට ගියහොත් මැතිවරණ නොපවත්වා සිටීමේ චෝදනාව පොහොට්ටුවටද එල්ල වීම වැළැක්විය නොහැකි යැයි කියාය. අතීතයේ සිටම පොහොට්ටුව සහ රාජපක්ෂවරුන් ඡන්දවලට බිය නැති බවට මතයක් රට ඇතුළේ පැවැති හෙයින් කුමන හෝ මැතිවරණයක් ලබාගැනීම සඳහා පොහොට්ටුව රට ඇතුළේ සටනක් දියත් කළ යුතු බව නාමල් ඇතුළු කණ්ඩායමේ මතය වී තිබිණි. රෝහිත පසුගියදා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ඡන්දයක් නොපවත්වා තවදුරටත් යා නොහැකි බව කියා සිටියේ මේ හේතුව නිසා බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
ජනපතිවරණ අපේක්ෂකයා!
මීට අමතරව මහින්දගේ සහ බැසිල්ගේ නිවෙසේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වූ යම් යම් සාකච්ඡාවලදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද නිල නොවන ආකාරයට අදහස් ප්‍රකාශ වී ඇති බවක් ආරංචිය. එහිදී පොහොට්ටුවේ යම් යම් කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ අපේක්ෂකයා විය යුතු බව දැනටමත් ප්‍රකාශ කොට ඇතත්, මහින්දගේ නිවෙසේ පැවැති සාකච්ඡාවේදී කියවී ඇත්තේ රනිල් ඉදිරිපත් කළහොත් පොහොට්ටුවට අවාසිදායක තත්ත්වයක් මතුවනු ඇතැයි කියාය. පොහොට්ටුවේ ඡන්ද පදනම ගොඩනැගී ඇත්තේ රාජපක්ෂවරු මත බවත්, එම අනන්‍යතාව නොමැති අයකු අපේක්ෂකයා බවට පත්කළහොත් පොහොට්ටු ඡන්ද ලබාගත නොහැකි බවත් ඔවුන්ගේ මතය වී තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් රාජපක්ෂවරුන් අතරද අවසන් තීන්දුවක් ගෙන නැති බවක්ද දැකගන්නට ඇත.
බැසිල් නම් රනිල්ටලු!
කෙසේ වෙතත් මීට ඉහතදී අප මෙම තීරය ඔස්සේ අනාවරණ කර සිටි කරුණක් වූයේ පසුගිය අප්‍රේල් 22 වැනිදා බැසිල් ගොස් ජනාධිපතිවරයා මුණගැසුණු බවත්, එහිදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරයා නම්කිරීමට බැසිල් එකඟතාව පළකර සිටි බවත්ය. නමුත් තවමත් ජනාධිපතිවරයා ඒ පිළිබඳ නිල ඉල්ලීමක් පොහොට්ටුව පැත්තෙන් කර නොමැති නිසා, තවමත් මේ සියල්ල පවතින්නේ නොනිල සාකච්ඡා මට්ටමේය.
113 අනාගතය!
ඒ කොයි හැටි වෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ ඡන්ද විමසීමෙන් පසු 113ක බහුතරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ද බරපතළ සැකසංකාවක් මතුව තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කළ ගණන් බැලීමකදී තහවුරු වී ඇත්තේ කොයි මොහොතකදී හෝ මෙම 113 බහුතරය අහිමි කිරීමට පොහොට්ටුව කටයුතු කරනු ඇති බවකි. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යම් තීරණාත්මක අවස්ථාවක ආණ්ඩුවට 113ක බහුතරය අහිමි කිරීමට පොහොට්ටුව බලාපොරොත්තුවෙන් සිටින බවය. කෙසේවෙතත් නියත වශයෙන්ම ඉදිරි කාලසීමාව ඇතුළත පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර අවසන් බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ජපානය ෂේප් කරගත්තාද?
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවැත එන දේශපාලන, ආර්ථික, සහ සමාජයීය සම්බන්ධතාවකි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිටම ජපානය ලංකාවට විශාල වශයෙන් උදව් උපකාර කළේ කිසිදු ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වීමෙන් තොරවය. මේ ආකාරයට දෙරට අතර පැවැති සබඳතාවට කණ කොකා හැඬීම ආරම්භ වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණ කිසිදු වගවිභාගයකින් තොරව ජපානය සමග අස්සන් කර තිබූ මොනෝ රේල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමගය. ගෝඨාගේ ආණ්ඩුව කළ මෙම ක්‍රියාවෙන් එළිපිට නොපෙන්නුවද ජපානය සිටියේ ලංකාව සමග විරසකයකින්ය. එය දෙගුණ තෙගුණ වූයේ කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි ජපාන තායිසේ සමාගමෙන් එවක හිටපු ගුවන් සේවා අමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අල්ලස් ඉල්ලා තිබූ බවට එල්ල වූ චෝදනාවත් සමගය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ගෝඨාට නිල වශයෙන් පැමිණිලි කිරීමටද එවක කටයුතු කොට තිබිණි. ඒ අනුව ගෝඨා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට විමර්ශනයක් ආරම්භ කළ අතර, තාවකාලිකව නිමල් සිරිපාලව එම ධුරයෙන් ඉවත් කිරීමටද පියවර ගත්තේය.
ඩොලර් බිලියන 4ට වෙච්ච දේ!
කෙසේ වෙතත් ගෝඨා තනතුරෙන් ඉවත් වීමත් සමග ජපානය සම්බන්ධ මාතෘකාව යළිත් වතාවක් ආණ්ඩුව පැත්තෙන් කරළියට රැගෙන ආවේ රනිල් බලයට ඇවිත් පැය 48ක් ඇතුළත ජපානයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලැබීමට නියමිත බව කියමින්ය. එමෙන්ම මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකි බවද එහිදී රනිල්ගේ පාර්ශ්වයෙන් පුන පුනා කියූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ හේතුවෙන් බොහෝ දෙනා සිතා සිටියේ රනිල් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු විරසක වී තිබූ ලංකාව සහ ජපානය අතර හොඳහිත නැවතත් වර්ධනය වනු ඇතැයි කියාය. නමුත් එහිදී සිදුවූයේ යළිත් ජපානයේ හිත පාරවන සිදුවීමකි. ඒ, ජනාධිපතිවරයා තවත් විමර්ශන කමිටුවක් පත්කොට නිමල් සිරිපාලව එම චෝදනාවෙන් නිදහස් කොට නැවත වතාවක් ගුවන් සේවා අමාත්‍ය ධුරයට ඔහුටම ලබාදීමය. අනෙක් අතට ජපානයෙන් ඩොලර් බිලියන 4ක් තියා තඹ දොයිතුවක මුදලක් ලංකාවට ලැබුණේද නැත.
ජනපතිගේ ජපන් ගමන!
ජනාධිපතිවරයා ජපානය බලා සංචාරය කිරීමට සැලසුම් කළේ මෙම පසුබිම මධ්‍යයේය. මෙය ජපානය රජය මගින් ලැබුණු ආරාධනාවකට අනුව සිදුකළ සංචාරයක් නොව, ජපානයේ පැවැති නික්කෙයි සමුළුවට සහභාගී වීම සඳහා කළ සංචාරයක් විය. ඊට ජපානයේ වත්මන් නායකයන් මෙන්ම හිටපු නායකයන්ද සහභාගි වූ නිසා රැස්වීම අතරවාරයේ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමටද ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබිණි. කෙසේ වෙතත් ආණ්ඩුව ලොකු ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයාට ජපානයේදී විශාල පිළිගැනීමක් හිමිව ඇති බව පෙන්වීමට කටයුතු කොට තිබිණි.
ජපානයෙන් කොන්දේසියක්!
කෙසේවෙතත් මේ සියල්ලටම වඩා ජපන් සංචාරයෙන් ගත යුතුව ඇත්තේ එකම එක කාරණයකි. ඒ, ජපානය ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන්නේද යන්න පිළිබඳවය. මෙහිදී පැවැති සාකච්ඡාවලදී ජපානය ලංකාවට දැනුම් දී තිබුණේ ආයෝජන සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කළ යුතුව ඇතැයි කියාය. ඉන් අනතුරුව අනෙක් කරුණු ගැන සාකච්ඡා කළ හැකි බව ජපානය එහිදී දැනුම් දීමක් කොට ඇත.
මොනෝරේල් පටන් ගත්තාද?
ඉන් අනතුරුව දැකගන්නට ලැබුණු ලොකුම සිදුවීම වූයේ මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවට කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කළ බවට මෙරට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදීමය. මේ නිසා හැමෝම සිතා සිටියේ ජපානය යළි මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එකඟතාව පළකොට ඇතැයි කියාය. නමුත් මෙම පුවත පළකොට පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් මෙරට ජපන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් නැවත අවධාරණය කර තිබුණේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වනතුරු කිසිදු සංවර්ධන කටයුත්තක් ජපානය විසින් ලංකාවේ ආරම්භ නොකරන බවය.
අපි චීනය එක්ක යන්න සූදානම්!
මේ අතරතුර නික්කෙයි සමුළුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්ද මේ වන විට දකුණු ආසියානු දේශපාලනය තුළ බරපතළ කැලඹීමක් මතුකිරීමට සමත්ව තිබේ. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඇමරිකාව සහ චීනය අතරනි තමන්ට රටක් තෝරාගන්න යැයි කිවහොත් තමන් තෝරාගන්නේ ආසියාව යැයි කියාය. එමෙන්ම චීනයේ ආර්ථික ප්‍රතිපත්තියද ජනාධිපතිවරයා එහිදී ඉහළින්ම වර්ණනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා එහිදී අදහස් කර තිබුණේ ඉදිරියේදී චීනය සමග එක්ව කටයුතු කිරීමට ලංකාව සූදානම් යැයි කියාය.
ඉන්දියාව කැළඹෙයි!
කෙසේවෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා ඉන්දියාව බරපතළ ලෙස කැලඹීමකට පත්ව ඇතැයි කියාය. මන්ද දකුණු ආසියානු කලාපයේ ප්‍රබලම රට වන්නේ ඉන්දියාවය. මෙම දකුණු ආසියානු රටවල් අතර සාර්ක් යනුවෙන් ගොඩනගාගත් වෙනම සංවිධානයක්ද තිබේ. එහි ප්‍රබලයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාය. එම සාර්ක් සංවිධානය තිබියදී ජනාධිපතිවරයා චීනය සමග එකතු වීමට උත්සාහ දැරීම ඉන්දියාවේ කනස්සල්ලට හේතුවී ඇති බවක් ආරංචිය.
චීනයයි ඉන්දියාවයි අතර තරගය!
එමෙන්ම ඉන්දියාව හා චීනය අතරද අතීතයේ සිටම ආසියානු කලාපයේ ප්‍රබලයා වීමේ බරපතළ තරගයක් මතුව තිබිණි. අතීතයේ චීනය ඉදිරියෙන් සිටියද මේ වන විට ඉන්දියාව චීනය අභිභවා ආසියානු කලාපය තුළ පෙරට ඒමට හැකියාව ලබාගෙන තිබේ. ඉන්දියාව පසුපස අමෙරිකාව, ජපානය පමණක් නොව මුළු යුරෝපයම සිටින බවද මේ වන විට දැකගන්නට පුළුවන.
ඒ අනුව ඉන්දියාව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට නිල වශයෙන් ප්‍රතිචාර නොදැක්වුවද ඉන්දීය මාධ්‍ය තුළ පළවන ඇතැම් පුවත් හේතුවෙන් මේ සම්බන්ධයෙන් ඉන්දියාව යම් කලකිරීමක සිටින බව පැහැදිලිවම දැකගන්නට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දකුණු ආසියානු දේශපාලනය තුළ අතිසංවේදී මාතෘකාවක් බවට පත්ව ඇති බවක් මේ වන විට දැකගන්නට පුළුවන.
චීනයෙන් පසු අමෙරිකාවට!
එමෙන්ම මේ වන විට ජනාධිපතිවරයාට ලබන ඔක්තෝබර් මාසයේදී චීනයේ සංචාරයක නිරත වන ලෙසට ආරාධනාවක් ලැබී තිබේ. දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා එම ආරාධනාව පිළිගෙන ඇති බවක්ද වාර්තා වේ. එමෙන්ම චීන සංචාරයෙන් පසු ජනාධිපතිවරයා ලබන සැප්තැම්බරයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීමට සහභාගි වන බව තහවුරු කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










