• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ජිනීවා තුවක්කුවට උණ්ඩ බටලන්දෙන්? සැප්තැම්බරයේ ලංකාවට වෙඩි වදියිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට අවුරුදු 6යි! කාදිනල් හිමි ලොකු වැඩකට ලෑස්ති වෙයි!

චන්ද්‍රිකා බටලන්දෙන් රනිල්ව ආරක්ෂා කළාද?

මැතිනිය එක්ක සජිත් කතාකළේ මොනවාද?

බටලන්ද බෝම්බය

මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය සති කීපයක් පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වුවද පසුගිය සතිය වනවිට එය පරයා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ අල් ජසීරා රූපවාහිනිය මගින් ලෝකයට අනාවරණ කළ බටලන්ද වධකාගාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවය. මෙය අල් ජසීරා රූපවාහිනිය මගින් රටට ලෝකයට කළ හෙළිදරව්වකටත් වඩා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තමන්ගේ ඔළුවට දමාගත් දේශපාලන බාල්දියක් බව කිවහොත් එය වඩාත් නිවැරැදිය. මන්ද බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එම වැඩසටහනේ අන්තර්ගතය නොදැන සහ වැඩසටහන පිළිබඳ පූර්ව අධ්‍යයනයකින් තොරව සහභාගී වීම මත රනිල් මෙම දේශපාලන ඇබැද්දියට මුහුණ දුන්නා යැයි කියාය. ඒ අනුව අල් ජසීරා රූපවාහිනිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී මෙම බටලන්ද දේශපාලන බෝම්බය පත්වූ අතර, එම රූපවාහිනී සංවාදය විකාශය කිරීමත් සමග ලංකාවේ ඇතුළේද එය විශාල දේශපාලන බෝම්බයක් බවට පරිවර්තනය වීමට වැඩි වෙලාවක් ගතවූයේ නැත.Sri Lanka Latest News

කෙසේවෙතත් බටලන්ද බෝම්බය හරහා මාලිමා ආණ්ඩුවට අමතර දේශපාලන වාසියක් හිමිවුවද ඇත්ත වශයෙන්ම මෙම බටලන්ද සිද්ධිය මාලිමා ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයේ කිසිදු තැනක සඳහන් වී තිබූවක් නම් නොවේ. එය මාලිමා මැතිවරණ ප්‍රකාශයේද කිසිදු තැනක සඳහන්ව තිබුණේ නැත. එමෙන්ම අල් ජසීරා රූපවාහිනියෙන් මෙය අනාවරණ කරන තාක් ලංකාවේ ජනතාවටද බටලන්දක් ගැන වගේ වගක් තිබුණේ නැත. එම නිසා මෙම බටලන්ද වාර්තාව රටට ලෝකයට අනාවරණ කිරීම සම්බන්ධයෙන් ලකුණු හිමිවිය යුත්තේ වෙන කාටවත් නොව, අල් ජසීරා රූපවාහිනියටය. රනිල් සමග විවාදය මෙහෙයවූ ලොව ප්‍රකට මාධ්‍යවේදියකු වන මෙහ්දි හසන්ටය. රනිල් බටලන්ද කොමිසමේ අවසන් වාර්තාව සභාගත කොට නොමැති බව පුනපුනා කියද්දී එම වාර්තාව ප්‍රසිද්ධියේම පෙන්නූ බීබීසීයේ හිටපු මාධ්‍යවේදිනියක වන ෆ්‍රාන්සස් හැරිසන්ටය. ඔවුන් ඒ මොහොතේ ප්‍රසිද්ධියට පත්කළ බටලන්ද වාර්තාව මේ වනවිට රට ඇතුළේ විශාල දේශපාලන කුණාටුවක් නිර්මාණය කොට අවසානය. අවසානයේදී එය ආණ්ඩුවටද කෙතරම් බලපෑමක් එල්ල කළාද යත් ඔවුන්ටද එය පාර්ලිමේන්තුවේ සභාගත නොකර සිටීමට නොහැකි තරමේ පීඩනයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකිවිය. ඉතා සංවේදීව හැඟුම්බර ආකාරයට සභානායක බිමල් වාර්තාව සභාවට ඉදිරිපත් කරද්දී කතානායක පුටුවේ සිටි කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඉතා සංවේදීව කඳුළු සලන ආකාරයක්ද දැකගත හැකි විය.

ආණ්ඩුවට බූමරංගයක්

කෙසේ වෙතත් බොහෝ දෙනා මේ බටලන්ද වාර්තාව මුල්කරගෙන රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඔහුට දඬුවම් දී මාලිමා ජවිපෙ ආණ්ඩුව ලකුණු දමාගනු ඇති බව සිතා සිටියත්, මේ වනවිට බටලන්ද වාර්තාව මාලිමා ආණ්ඩුවට වාසියක් වෙනවාට වඩා ඊට බූමරංගයක් වී අවාසිදායක තත්ත්වයක් මතුකරමින් සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබේ. ඒ, මෙම බටලන්ද වාර්තාව හේතුකොට ගෙන රනිල්ට දිගට හරහට චෝදනා එල්ල වනවා සේම ජවිපෙ නායකයන්ටද ඒ හා සමානවම චෝදනා එල්ල වීමට පටන් ගැනීම නිසාය. විශේෂයෙන්ම භීෂණ සමයේදී ජවිපෙ කළ ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් තොරතුරුද මේ වනවිට කරළියට පැමිණෙමින් තිබීම ඊට හොඳම උදාහරණයය. අනෙක් පැත්තෙන් ජවිපෙන් වෙන්වුණු ජවිපෙ දැඩි මතධාරීන් වන කුමාර් ගුණරත්නම් පිලද මේ වනවිට බටලන්ද වාර්තාව සියතට ගෙන මාලිමා ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කරන ආකාරයක් දැකගන්නට පුළුවන.
ජාතික තලයේ මැතිවරණවලදී කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයට විශාල ඡන්ද පදනමක් නොමැති වුවද, මතවාදීමය වශයෙන් පෙරටුගාමී කණ්ඩායම සිටින්නේ ජවිපෙට වඩා ගව් ගානක් ඉදිරියෙන් බව අමුතුවෙන් කිය යුතු නැත. ඒ අනුව පෙරටුගාමී පක්ෂයේ ප්‍රබලයන් වන කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව, සේනාධීර ගුණතිලක වැන්නවුන් මේ වනවිට බටලන්ද වාර්තාව අතට ගෙන රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඔහුට දඬුවම් දිය යුතු තැන දක්වා මාලිමා ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරන ආකාරයක් දැකගැනීමට පුළුවන. එමෙන්ම 87, 88, 89 කැරැල්ලේදී ජවිපෙ සමග එක්ව කැරැලි ගසා මේ වනවිට ජවිපෙන් ඉවත්ව සිටින අතිවිශාල පිරිසක්ද බලාපොරොත්තුවෙන් සිටින්නේ බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය බව කියන රනිල්ට දඬුවම් කොට ඝාතනයට ලක්වූ සිය සහෝදරයන්ට වත්මන් ආණ්ඩුව යුක්තිය ඉටුකරනු ඇතැයි කියාය. ඒ අනුව, දැන් බෝලය කැරකී ගොස් වැටී ඇත්තේ බලයේ සිටින ජවිපෙ කොටුවේය. යම් හෙයකින් පෙරටුගාමීන් සහ කැරැල්ලට සම්බන්ධ වී ජවිපෙන් වෙන්ව සිටින පිරිස් බලාපොරොත්තු වන ආකාරයට යුක්තිය ඉටුකිරීමට මාලිමා ආණ්ඩුවට නොහැකි වුවහොත් පෙරටුගාමීන් එය ලෙහෙසින් අතහරිනු ඇතැයි සිතිය නොහැකිය. ඒ අනුව අප අනාවැකියක් ලෙස මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කරන්නේ ආණ්ඩුව මෙම බටලන්ද වාර්තාව ඡන්ද දිනීම සඳහා අවියක් කොට ගෙන දින දෙකක විවාදයක් පවත්වා සුපුරුදු පරිදි එය යටගැසීමට උත්සාහ කළහොත් එහි අවසානය අනතුරුදායක විය හැකි යැයි කියාය. මන්ද යත් දැඩි මතවාදී පෙරටුගාමී කණ්ඩායම යුක්තිය ඉටුවන තුරු ජවිපෙ ආණ්ඩුව පසුපස පැමිණීමට තීන්දු කොට තිබීම ඊට හේතුවය. එම නිසා අවසානයේදී මෙම ප්‍රශ්නය කොයි අතට පෙරළේදැයි දැන්ම තියා අනාවැකි කිව නොහැක. ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුව බටලන්ද වාර්තාව හරහා යම් දේශපාලන වාසියක් ගැනීමට සැලසුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දෙවතාවක් සිතා බැලිය යුතු බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

කෙසේවෙතත් මෙම බටලන්ද වාර්තාව හරහා ආණ්ඩුව යම් වාසියක් ගැනීමට සැලසුම් කරන ආකාරය පසුගිය සතියේ හොඳින්ම දැකගන්නට ලැබුණේ ඒ සම්බන්ධයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. එහිදී ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ මැතිවරණ ප්‍රචාරක කාලසීමාව අතරතුරදී ඒ සඳහා දින දෙකක විවාදයක් වෙන්කිරීමටය. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව බටලන්ද වාර්තාවෙන් දේශපාලන වාසි ගැනීමට සැලසුම් කරන බව කල්තියා වටහාගෙන මැතිවරණය මැදදී මේ සම්බන්ධයෙන් විවාද නොකොට මැතිවරණයෙන් පසු ඊට දින දෙකක් හෝ තුනක් යොදාගෙන විවාද කළ හැකි බව ආණ්ඩුවට පෙන්වා දුන්නේය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඊට විරෝධය පළකරමින් කියා සිටියේ අප්‍රේල් 10 වැනි දින පාර්ලිමේන්තුව කැඳවා දිනක විවාදයක් පැවැත්විය යුතු බවත්, පසුව මැයි මාසයේ තවත් දිනයක් ඒ සඳහා වෙන් කළ හැකි බවත්ය.

සැප්තම්බරය බරපතළයි

කෙසේ වෙතත් මේ සියල්ල එසේ තිබියදී මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ තවත් බරපතළ කාරණාවක් හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, ආණ්ඩුව හෝ වෙනත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට මෙම බටලන්ද කොමිෂන් වාර්තාව ජාත්‍යන්තරයට යෑමට නියමිතව ඇති බවය. මෙම බටලන්ද වාර්තාව අල් ජසීරා රූපවාහිනිය හරහා ප්‍රසිද්ධියට පත්වීමත්, ඉන් අනතුරුව එය රට ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්වීමත්, ආණ්ඩුව බටලන්ද වාර්තාව සභාගත කිරීමත් හරහා මේ වනවිට ජාත්‍යන්තරයට ලංකාව සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබීම මේ හරහා පැනනැගී ඇති අවාසිදායක තත්ත්වයය. මෙම සිදුවීම් දාමය හරහා ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකුගේ මැදිහත් වීමෙන් රාජ්‍ය බලය යොදවා මානව හිමිකම් උල්ලංඝනය කොට ඇත්තේ උතුරේ පමණක් නොව දකුණේත් දරුණු වධහිංසාවන්ට පුද්ගලයන් ලක්කොට ඇති බවත්, සමූහ ඝාතන සිදුවී ඇති බවත් ජාත්‍යන්තරයට ඔප්පු කිරීම සඳහා මේ හරහා ප්‍රබල සාක්ෂියක් ජාත්‍යන්තර ප්‍රජාවට ලැබී ඇති බවක් දැකගන්නට තිබේ. 2009 වසරේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු ගෙවුණු කාලසීමාව පුරාම යුද්ධයෙන් උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇති බවට ජිනීවා මානව හිමිකම් කොමිසමට යෝජනා පිට යෝජනා ආවත් කුමන අවස්ථාවකදීවත් දකුණේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට චෝදනාවක් ඊට ඉදිරිපත් වී තිබුණේ නැත. නමුත් දැන් ඒ සඳහාද යම් මාර්ගයක් විවරව තිබීම විශේෂ සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් අපට මේ වනවිට දැනගන්නට ලැබී ඇත්තේ ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය ලංකාවට ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි කියාය. මන්ද යත් මෙම සැප්තැම්බරයේදී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වීමට නියමිතය. මෙය පසුගිය වසරේ සැප්තැම්බරයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට නියමිතව තිබුණද, මැතිවරණ වසරක් වීම හේතුවෙන් රනිල්ගේ අවසන් කාලයේදී එය කල්දමා ගැනීමට පැවැති ආණ්ඩුවට හැකි විය. ඒ අනුව එම යෝජනාව ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ මෙම සැප්තැම්බරයේදීය.

මෙහිදී බටහිර රටවල් දැන් තියාම සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු දකුණේ ජනතාවගේද බරපතළ ලෙස මානව හිමිකම් කඩකොට ඇති බව කියමින් අදාළ යෝජනාව ශක්තිමත් කිරීමටය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන සමයේදී බටලන්ද සිදුවීම හරහා මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකොට ඇති බව කොමිෂන් වාර්තාව හරහා ඔප්පු කිරීමට ඔවුන් මේ වනවිට සූදානමින් සිටී. මීට අමතරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ සිදුවීමද මේ වනවිට ඉතා අහිතකර ලෙස ලංකාවට බලපානු ඇති බව මානව හිමිකම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ. මන්ද යත් දේශබන්දුට අදාළ සිදුවීමේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නොනිල ප්‍රහාරක කණ්ඩායමක් මෙහෙයවා තිබූ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවකි. මෙය ‘රාජ්‍ය ත්‍රස්තවාදය‘ ලෙස හුවාදක්වමින් ජිනීවා චෝදනාවලට එකතු කිරීම බටහිර රටවල සැලසුම වී ඇති බව දැකගන්නට තිබේ. ඒ අනුව, ලංකාව දෙස උකුසු ඇස යොමාගෙන කාලයක් පුරා බලා සිටි රටවලට මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් පහසු උඩ පන්දු දෙකක්ම ලබාදී තිබේ. නැතහොත් උතුරේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සාධාරණීකරණය කිරීම සඳහා දකුණෙන් අවස්ථා දෙකක්ම ලබාදී තිබේ. ඒ අනුව, ලබන සැප්තැම්බරයේදී මෙම සිදුවීම් දාමය ආණ්ඩුවට විශාල අභියෝගයක් වනු ඇති බව ජාත්‍යන්තර දේශපාලනය විග්‍රහ කරන බොහෝ දෙනාගේ අදහස වී ඇත.

පාස්කුවට අවුරුදු හයයි

පාස්කු ප්‍රහාරය එල්ලවී ලබන මාසය වනවිට වසර 6ක් සම්පූර්ණ වීමට නියමිතය. ගෙවුණු වසර 6 පුරාම කාදිනල් හිමියන්, කතෝලික සභාව ඇතුළු රටේ ජනතාව පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අනාවරණ කරන ලෙසට ජනාධිපතිවරු සිවුදෙනකුගෙන් ඉල්ලා සිටියහ. පළමුවැන්නා පාස්කු ප්‍රහාරය එල්ල වන විට බලයේ සිටි මෛත්‍රීපාල සිරිසේනය. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිවූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට සහ මහබැංකු බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දෙනවා යැයි කියාය. නමුත් අවසානයේදී එම චූදිතයන් සොයනවා වෙනුවට ගෝඨා ජනාධිපති ධුරයද දමා පස්ස දොරෙන් පැනගියේ බැඳුම්කර හොරා යැයි ඔවුන් විසින්ම චෝදනා එල්ල කළ රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය භාරදෙමිනි. නමුත් රනිල්ද පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලන බවක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූයේද පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට සහ බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දෙන බව කියමිනි. ජනාධිපති ධුරයට පත්වීමට පෙරත්, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවත් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බව සඳහන් කර සිටියේය. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් වනවා විනා එය ක්‍රියාත්මක තත්ත්වයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට නැත.

එවැනි පසුබිමක් යටතේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගිය ඉරිදා දිනයේදී කොළඹ අගරදගුරු නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී එක්තරා ආකාරයකට ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් කාදිනල් හිමියන් කියා සිටියේ ආණ්ඩුවට බලය දුන්නේ පාස්කු ප්‍රහාරකයන් සෙවීමට බවත්, යම් යම් ඩීල් දමා එය අතපසු කිරීමට නොවන බවත්ය. එමෙන්ම පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන ලබන අප්‍රේල් 21 දිනට පෙර මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් පල්ලියටද යම් යම් ක්‍රියාමාර්ගයන් ගැනීමට තමන්ටද සිදුවන බව එහිදී කාදිනල් හිමියෝ සඳහන් කර සිටියහ.

විශේෂ සාකච්ඡාවක්

කාදිනල් හිමියන් මෙම ප්‍රකාශය කළේ හිටි හැටියේ ආවාට ගියාට නොවේ. කොළඹ අගරදගුරු නිවසට කතෝලික ප්‍රධානීන් සහ විවිධ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබුණේ පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන මොහොතේ කුමක් සිදුකළ යුතුදැයි කියාය. මෙහිදී බොහෝ දෙනා ඉකුත් වතාවලදී මෙන් කොළඹ සිට කටුවාපිටියට පාගමනක් යා යුතු බව කියා සිටියත්, තවත් පිරිසක් කියා තිබුණේ මෙවර විශේෂ යමක් නොකොට සාමාන්‍ය අයුරින් එය සැමරීම කළ යුතු යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

කෙසේ වෙතත් කාදිනල් හිමියන් පෙර කී බරපතළ ප්‍රකාශය සිදුකොට පැය 24ක් යෑමට මත්තෙන් කොළඹ අගරදගුරු නිවසට ප්‍රබල චරිත 7ක් පැමිණි ආකාරයක් දැකගත හැකි විය. මේ හත්දෙනා අතර ආරක්ෂාව සම්බන්ධ අංශවල ඉතා ඉහළින්ම නම් කියැවෙන කීප දෙනකුද සිටි ආකාරයක් දැකගත හැකි විය. කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයෙන් බොහෝ කලබලයට පත්ව මෙම පිරිස කාදිනල් හිමියන් හමුවීමට පැමිණ තිබුණු බවක් දැකගත හැකිවිය. කාදිනල් හිමියන් සමග පැය කීපයක සාකච්ඡාවක් පැවැත්වූ පිරිස එහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳ කාදිනල් හිමියන් හට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ බවක් ආරංචිය. එමෙන්ම අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ අප්‍රේල් 21 වැනිදා පැවැත්වීමට නියමිත 6 වැනි සැමරුමට පෙර පරීක්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් යම් ප්‍රතිඵලයක් පෙන්වීමට සූදානමක්ද ඇතැයි කියාය. එහිදී මහමොළකරු ප්‍රකාශ කිරීමට සූදානම් වනවාද, යම් කිසිවකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවාද, එසේත් නැත්නම් වෙනත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට සූදානම් වනවාද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි තොරතුරක් අපට නැත. එමෙන්ම මෙම රැස්වීමේදී සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් කාදිනල් හිමියන් 100%ක පැහැදීමකින් සිටින බවට වූ තොරතුරුද අප වෙත නැත.

කෙසේ වෙතත් දැනට ඇති නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය අරමුණු කොට දැවැන්ත පාගමනක් සංවිධාන කිරීමට පල්ලිය පැත්තේ සූදානමක් ඇතැයි කියාය. මීට පෙරද මෙවැනි පාගමන් සිදුකොට තිබුණද පසුගිය සතියේ කාදිනල් හිමියන් සිදුකළ බරපතළ ප්‍රකාශය හරහා මෙය අලුත් ආකාරයකට ආරම්භ කිරීමේ සූදානම් ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

චන්ද්‍රිකාගේ බටලන්ද

අල් ජසීරා සාකච්ඡාවෙන් පසු බටලන්ද කොමිෂන් වාර්තාව පසුගිය සති දෙකේ මෙරට ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබිණි. එහිදී රනිල් අදාළ වාර්තාව සභාගත කොට නොමැති බව කියද්දී බොහෝ පිරිස් පෙන්වා දුන්නේ එවක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ රනිල් අතර පැවැති සමීප සබඳතාව සහ පවුලේ මිත්‍රත්වය හේතුකොට ගෙන චන්ද්‍රිකා අදාළ වාර්තාව සභාගත නොකොට යටගැසුවා යැයි කියාය. නමුත් චන්ද්‍රිකාගේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුව නොමැත.

මේ අතරවාරයේ පසුගිය සතියේ එක්තරා අපූරු සිද්ධියක් සිදුවිය. එම සිද්ධිය සිදුවූයේ පල්ලෙතුත්තිරිපිටිය පියදස්සි හිමිපාණන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයේදීය. එහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වී සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත්ය. කාලයකට පසු සිදුවූ මෙම හමුව නිසා දෙදෙනාම ඉතා සුහදව බොහෝ වේලාවක් කතාකළ ආකාරයක් අවට සිටියවුන්ට දැකගන්නට ලැබිණි. එමෙන්ම සජිත් සිය ජංගම දුරකතනය ගෙන එහි විශේෂ යමක් චන්ද්‍රිකාට පෙන්වන ආකාරයත්, පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටි ආකාරයත් දැකගන්නට ලැබිණි. ඊට අදාළ ඡායාරූප ‘මව්රට’ වෙබ් අඩවියටද ලැබී තිබීම හේතුවෙන් අපද එහිදී සජිත් සහ චන්ද්‍රිකා අතර කතාබහට ලක්වූ කරුණු මොනවාද යන්න පිළිබඳ කිසියම් සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපටද ලැබුණු තොරතුරුවලින් කියැවුණේ මෙම කතාබහ අතරතුරදී දෙදෙනා අතර බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවකි. එහිදී චන්ද්‍රිකා රනිල්ට දැඩිව දොස් පවරමින් බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් රහස් රැසක් සජිත්ට හෙළිකිරීමටද කටයුතු කොට ඇති බවක් දැනගන්නට ලැබිණි.

රනිල්ට දොස්

‘මොකට රනිල් අල් ජසීරා එකට ගිහිල්ලා මේක කරේ දාගත්තද දන්නේ නෑ. දැන් සමහරු කියනවා මම මේක යටගැහුවා කියලා. මට මේක යටගහන්න වුවමනාවක් නෑ. බටලන්ද ගැන හොයන්න මමයි කොමිසම දැම්මේ. ඒකෙදී මිනිස්සු මරපු හැටි රටටම හෙළිදරව් වුණා. අන්තිමේදී බරපතළ සාක්ෂියක් දෙන්න හිටපු මනුස්සයා ඒ සාක්ෂි දෙන්න කලින් දවසේ අබිරහස් ලෙස මියගියා. ඒ සිද්ධිය හැමෝටම පුදුමයක් වුණා. හුඟක් අය කිව්වේ ඒ මනුස්සයව මැරුවා කියලා. සමහරු කිව්වේ වහ දීලා මැරුවා කියලා. ඒකයි මේ වාර්තාව මම පාර්ලිමේන්තුවට දැම්මේ නැත්තේ. මොකද ප්‍රධාන සාක්ෂිකාරයා අන්තිම මොහොතේ මියගිය හින්දා. දැන් සමහරු මේක මම ඩීල් දාලා යට ගහනවා කිව්වත් ඇත්ත කතාව ඒකයි. මමයි මේ බටලන්ද සිද්ධිය රටට හෙළිදරව් කළේ…’ යනුවෙන් චන්ද්‍රිකා දීර්ඝ විස්තරයක් කරද්දී සජිත් පුදුමයට පත්ව ඒ දෙස බලා සිටි ආකාරයක් සියලු දෙනාට දැකගත හැකි විය.

මෙන්න ෆොටෝ දෙක

ඉන් අනතුරුව සජිත් සිය ජංගම දුරකතනයෙන් චන්ද්‍රිකාට පෙන්වූ දේ පිළිබඳවද අප සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට වාර්තා වූයේ චන්ද්‍රිකාගේ මව වන සිරිමාවෝ මැතිනිය සමග සජිත් එවකදී සුහදව කතාබහ කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සජිත් එහිදී චන්ද්‍රිකාට පෙන්වා ඇති බවය. එකල මැතිනිය සහ ප්‍රේමදාස මහතා අතර බරපතළ දේශපාලන වෛරයක් පැවැතියද ඒ කිසිවක් නොපෙන්වා මැතිනිය ඉතා සුහදශීලී අයුරින් තමන් සමග කතාබහක නිරත වූ බවද මෙහිදී සජිත් චන්ද්‍රිකාට පවසා ඇති බවක් දැනගන්නට ඇත. පහත දැක්වෙන්නේ සජිත්, චන්ද්‍රිකාට පෙන්වූ එම ඡායාරූපයන්ය.

සජිත්ට තහනමක්

මේ අතර, සජිත්ට පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී එක්තරා තහනමකට මුහුණ දීමට සිදුවිය. ඒ, 27/2 යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා විපක්ෂ නායකවරයාට ලබාදී තිබූ ව්‍යවස්ථාපිත අයිතිය කිසියම් සීමා කිරීමකට ලක්වීමය. සාමාන්‍යයෙන් 27/2 සැලකෙන්නේ ජනතා ප්‍රශ්න ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා වෙත හිමිව ඇති වරප්‍රසාදයක් ලෙසටය. මේ හරහා පසුගිය වසර කීපය පුරාම සජිත් රටේ විවිධ ක්ෂේත්‍රවල ජන කොට්ඨාසයන්, වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු ආණ්ඩුව හමුවේ තැබීමටත්, එම ප්‍රශ්නවලට ආණ්ඩුව ලවා යම් යම් විසඳුම් ලබාදීමටත් පියවර ගෙන තිබිණි. කිසිදු විපක්ෂ නායකවරයකු නොකළ අයුරින් සජිත් ජනතාවගේ පැත්තේ සිටගනිමින් මේ කටයුත්ත දිගටම කරගෙන යෑම පසුගිය ආණ්ඩුවලට එක්තරා ආකාරයක විශාල කරදරයක් විය. එමෙන්ම ඒ හරහා සජිත් සමාජයේ සෑම ක්ෂේත්‍රයක් සමගම ගනුදෙනු කරන බවත්, ඔවුන් සමග සබඳතා ගොඩනගා ගන්නා බවත් ආණ්ඩුවට දැකගන්නට ලැබිණි. ඒ නිසා පැවැති සෑම ආණ්ඩුවක්ම උත්සාහ කළේ කෙසේ හෝ මේ 27/2 යටතේ සජිත් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම සීමා කිරීමට හෝ අත්හිටුවීමටය.
ආණ්ඩුවට පමණක් නොව, අප දන්නා තරමට සජබයේ ඇතැමුන්ටත් සජිත්ගේ මේ ප්‍රශ්න කිරීමේ වටිනාකම වැටහී තිබුණේ නැත. ඒ නිසාම, සජබයේ ඇතැමුන්ද සජිත්ගේ ප්‍රශ්න කිරීම හාස්‍යයට ලක්කරමින් අවස්ථා කීපයකදීම අදහස් දක්වා තිබූ බවක් වාර්තා විය. විශේෂයෙන්ම මේ දිනවල සජිත් අසලම අසුන්ගෙන සිටින සජබ ජ්‍යෙෂ්ඨයකු වරක් පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ සජිත්ගේ මෙම ප්‍රශ්න කිරීමට සිනාසුණු ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වුවත් ගෝඨාගේ ආණ්ඩුවටත්, රනිල්ගේ ආණ්ඩුවටත් කෙතරම් උත්සාහ දැරුවද සජිත්ගේ මේ ප්‍රශ්න කිරීම වළක්වා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත.

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඔවුන් ආරම්භයේදීම කියා සිටියේ සජිත්ගේ මේ 27/2 යටතේ ප්‍රශ්න කිරීමට සීමා පැනවීමට කටයුතු කරනවා යැයි කියාය. මන්ද යත් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවස්ථාවේදී ජන ප්‍රසාදය ආණ්ඩුවට තිබීම හේතුවෙන් සජිත්ගේ ප්‍රශ්න කිරීම එතරම් අවධානයට යොමු නොවුණත් මාස පහ හයක් ගතවෙද්දී ජනතාවගෙන් එල්ල වන පීඩනය සහ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හමුවේ සජිත්ගේ ප්‍රශ්න කිරීම යම් හිසරදයක් වන ආකාරයක් ආණ්ඩුවට පෙනෙන්නට තිබිණි. ඒ අනුව වෙනදා අවශ්‍ය අවස්ථාවක 27/2 යටතේ ප්‍රශ්න කිරීමට සජිත්ට අවස්ථාව සලසා දී තිබුණත් මේ වනවිට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සතියට එක් වතාවක් පමණක් සජිත්ට ප්‍රශ්න කිරීමට හැකි වන පරිදි 27/2 වගන්තියට සංශෝධන කිරීමටය.

බාල්දියක් පෙරළුවා

කෙසේ වෙතත් ආණ්ඩුව මෙම තීන්දුව ගෙන දින කීපයක් ගතවෙද්දී සජිත් නැවත වතාවක් ආණ්ඩුව අපහසුතාවට ලක්කරමින් 27/2 යටතේ ප්‍රශ්නයක් ඇසීමට පියවර ගත්තේය. ඒ, රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙනි. පසුගිය සතියේ සජිත් පාර්ලිමේන්තු පැමිණෙද්දී මෙම රැකියා විරහිත උපාධිධාරීන් පොල්දූව මංසන්ධියේ විරෝධතාවක නිරතව සිටින අයුරු දැක වහාම සිය රථය නවතා ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විමසීමට සජිත් කටයුතු කළේය. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් එදිනම පාර්ලිමේන්තුවේ කතාකරමින් එය අණ්ඩුවේ අවධානයට යොමුකිරීමට කටයුතු කරන බවද සජිත් ඔවුන්ට දැනුම් දී සිටියේය. කී පරිදිම සජිත් එම පොරොන්දුව ඉටුකරමින් 27/2 යටතේ රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නය ආණ්ඩුවේ අවධානයට යොමු කිරීමට කටයුතු කළේය. සජිත් එහිදී කියා සිටියේ මාලිමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට දී තිබූ පොරොන්දුව වහාම ඉටු කිරීමට පියවර ගන්නා ලෙසය.

කෙසේ වෙතත් මීට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ අගමැතිනි හරිනිය. හරිනි ලබාදුන් පිළිතුරට යම් උපහාසයක්ද මුසුකරමින් උසද මිටිද කියා රැකියා ලබාදිය නොහැකි බවත්, යම් ක්‍රමවේදයකට අනුව ඔවුන්ට රැකියා ලබාදීමට කටයුතු කරන බවත් හරිනි එහිදී සජිත්ට පිළිතුරු ලබාදෙමින් කියා සිටියාය. නමුත් නැවතත් නැගීසිටි සජිත් කියා සිටියේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව හාස්‍යයට නොගන්නා ලෙසත්, ඔවුන්ගේ ගැටලුවට වහාම පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවත්ය.

නමුත් මේ ආකාරයට සජිත් ජනතාවගේ ප්‍රශ්න 27/2 යටතේ දිනපතාම පාහේ ආණ්ඩුවට යොමුකළද ආණ්ඩුව එම වගන්තිය සීමා කිරීමට කටයුතු කර තිබීම හරහා ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව අහිමි වී යන ආකාරයක් දැකගන්නට පුළුවන.

කොළඹට රුවයිස්

පසුගිය සතියේ මැතිවරණ කොමිසම මැයි 06 වැනි දින පළාත් පාලන මැතිවරණය පවත්වන බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම පසුගිය සතියේ සිදුකරනු ලැබීය. ඒ අනුව සියලු පක්ෂ රට පුරා පිහිටි සියලු පළාත් පාලන ආයතනවලට නාමයෝජනා භාරදුන්නද සියල්ලන්ගේම අවධානය යොමුව තිබුණේ වෙන කොහෙටවත් නොව කොළඹ මහ නගර සභාව දෙසටය. ඒ, කොළඹට ඉදිරිපත් වන නගරාධිපති අපේක්ෂකයන් කවුරුන්ද යන්න කියා දැනගැනීම සඳහාය.

සාමාන්‍යයෙන් අතීතයේ සිටම කොළඹ සැලකෙන්නේ එජාප බළකොටුවක් ලෙසටය. පැවැති සෑම මැතිවරණයකදීම පාහේ කොළඹ නගරාධිපතිවරයා බවට පත්වූයේ එජාපයෙන් නම්කරන අපේක්ෂකයාය. වරක් එජාප නම් ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එජාපය කණ්ණාඩිය ලකුණෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමට සහාය පළ කළ අතර, එජාපයේ සහාය ලැබීම නිසා එම ස්වාධීන කණ්ඩායම නගර සභාවේ බලය අත්පත් කරගැනීමට සමත් විය. නමුත් ලොකුම ඛේදචාචකය වී ඇත්තේ අතීතයේ එවැනි බලයක් හිමිකරගෙන සිටි එජාපය මේ වනවිට කොළඹට නගරාධිපති අපේක්ෂකයකු තබා හරිහමන් නගර සභා අපේක්ෂකයකු හෝ සොයාගත නොහැකි තරමට දේශපාලන වශයෙන් රනිල්ගේ නායකත්වය යටතේ පතුලටම ඇදවැටී තිබීමය. ඒ නිසා මෙවර සියල්ලන්ම බලා සිටින්නේ එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද කියා නොව, සජබයෙන් ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි කියාය.

මේ අතර අප ගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා මුල්කරගෙන මාලිමාව ඇතුළේ බරපතළ ගැටලුවක් මතුව ඇති බව වාර්තා කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ කල් තියාම ජවිපෙ ඊට මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ව්‍රායි බල්තසාර් නම්කිරීම හේතුවෙන් මාලිමාව ඇතුළේ කිසියම් ගැටලුවක් පැනනැගී ඇතැයි කියාය. ඊට හේතුව වී තිබුණේ මාලිමාවේ කොළඹ ප්‍රබලයා වන අගමැතිනි හරිනි විසින් කොළඹ මහ නගරසභාවට උගත්, බුද්ධිමත්, වෘත්තිකයෙක් ඉදිරිපත් කිරීම සඳහා ඒ වනවිටත් සාකච්ඡා ආරම්භ කොට තිබීමය. නමුත් ඒ සාකච්ඡා අවසන් වීමට පෙර ජවිපෙ පැත්තෙන් බල්තසාර් කොළඹ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා නම්කිරීමත් සමග මේ වනවිට හරිනි කොළඹ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඉවත් වීමේ පසුබිමක් මතුව ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.

ඊට අමතරව පසුගිය සතියේ අප අනාවරණ කළ විශේෂම කාරණාව වූයේ මෙවර කොළඹට සජබයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සියලු දෙනාම විශාල අවධානයක් යොමුවී ඇති බවත්, විශිෂ්ට වෘත්තිකයකු ඒ සඳහා ඉදිරිපත් කිරීමට සජබය සැලසුම් කරමින් සිටින බවත්ය. ඒ අනුව මෙවර අප එම නගරාධිපති අපේක්ෂකයාගේ නම හෙළිදරව් කිරීමට සූදානම්ය. ඔහු වෙන කවුරුවත් නොව වෛද්‍ය රුවයිස් හනීෆාය.

තෝරා ගත් හැටි

බොහෝ දෙනකු කොළඹට සජබයෙන් ඉරාන් වික්‍රමරත්න පැමිණෙනු ඇතැයි මුලදී මත පළකළත් අප මුල සිටම කියා සිටියේ ඉරාන් ඊට ඉදිරිපත් නොවන බවත්, එය සම්පූර්ණ අසත්‍යයක් බවත්ය. අප කී පරිදිම ඉරාන් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අතරවාරයේ සජිත් වැඩි කාලයක් වෙන් කොට තිබුණේ කොළඹට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමිනි. එහිදී බොහෝ දෙනකුගෙන් අදහස් විමසද්දී ඒ සියලු දෙනාම පාහේ සජිත්ට කියා සිටියේ කොළඹ ජයග්‍රහණය කිරීමට නම් අපරාජිත, විද්වත්, උගත්, බුද්ධිමත්, වෘත්තිකයකු අනිවාර්යයෙන්ම ඊට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. කොළඹ ආසන පහේ ජන ඝනත්වය අනුව මුස්ලිම් ජාතිකයකු ඊට ඉදිරිපත් කළ හැකි නම් තවත් අමතර වාසියක් ලබාගත හැකි බවද ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ.

එහිදී ඇතැමුන් ඉදිරිපත් කළ නමක් වූයේ හිටපු නගරාධිපතිවරයකු වන ඕමාර් කාමිල් මහතාගේ නමය. ඕමාර් කාමිල් ඊට එකඟතාව පළකර තිබීම හේතුවෙන් සජිත්ද මුල් වටයේදී එම නමට කැමැත්ත පළකොට තිබිණි. කෙසේ වෙතත් ඒ අතරවාරයේදී සජිත්ට ආ යම්කිසි ඉඟියකින් දැනුම් දී තිබුණේ කොළඹ මුස්ලිම් ප්‍රජාව පිළිගන්නා තවත් උගත් බුද්ධිමත් ප්‍රබල දේශපාලන පවුලකින් පැවැත එන වෛද්‍යවරයකු ඒ සඳහා ඉතා සුදුසු යැයි කියාය. ඒ, වෙන කවුරුවත් නොව රුවයිස් හනීෆාය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වන රුවයිස් හනීෆා, එදා කොළඹ ප්‍රබල එජාප ඇමැතිවරයකු වූ එම්.එච්. මොහොමඩ් මහතාගේ දියණියගේ පුත්‍රයාය. නැතහොත් මොහොමඩ්ගේ මුණුබුරාය. ඔහු කිසිදු දිනෙක සිය නම කැතකර නොගත්, ඉහළ මට්ටමේ වෛද්‍යවරයකු බවත්, වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන තනතුරු රැසක්ම ඔහු විසින් හොබවා ඇති බවත් සජිත් මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී අනාවරණ විය. ඒ අනුව, සජිත් වහාම කළේ වෛද්‍ය රුවයිස් හනීෆා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. නමුත් පළමු අවස්ථාවේදී රුවයිස් ඉතා කාරුණිකව සජිත්ගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

නමුත් පළමු අවස්ථාවේදී ප්‍රතික්ෂේප වූවා කියා සජිත් වැඩේ අතහැරියේ නැත. පවතින තත්ත්වය කිහිප වතාවක්ම පැහැදිලි කිරීමෙන් පසු අවසානයේදී වෛද්‍ය රුවයිස් කොළඹ නගරාධිපති අපේක්ෂක ධුරය භාරගැනීමට සජිත්ට එකඟතාව පළ කළේය. ඒ අනුව සජිත් කළේ වහාම ඒ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට දැනුම් දී ඔහු සමග තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම වෛද්‍ය රුවයිස් හනීෆාට සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමට පියවර ගත්තේය. එහිදී වෛද්‍ය රුවයිස් හනීෆා කෙතරම් සැලසුම්සහගතව මෙම සාකච්ඡාවට සහභාගි වූවාද කියනවා නම් කොළඹ නගරය සංවර්ධන කළ යුතු ආකාරය පිළිබඳ, කොළඹ නගරයේ වෙනස් විය යුතු තැන් පිළිබඳ, කොළඹ ප්‍රජාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනික, සමාජයීය වටපිටාව දියුණු කරන ආකාරය පමණක් නොව, නගරසභා මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳවද ඉතා සැලසුම්සහගත ඉදිරිපත් කිරීමක් සජිත් සහ මද්දුබබණ්ඩාර හමුවේ තැබීය. එහිදී ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය වෛද්‍ය හනීෆාට පළකිරීමට කටයුතු කළහ. වෛද්‍ය හනීෆා කොළඹ නගරයේ නගරාධිපති අපේක්ෂකත්වය සඳහා නම්කෙරුණේ ඒ ආකාරයටය.

නමුත් මෙම මෙහෙයුම අවසන් මොහොත දක්වාම සජබ කිසිවකුත් දැන සිටියේ නැත. ඒ බව යම් තරමකින් හෝ දැන සිටියේ සජබයේ ජ්‍යෙෂ්ඨයන් වන කබීර් හෂීම්, මද්දුමබණ්ඩාර, මුජිබර් සහ මරික්කාර් පමණි.

අනුරගෙන් රතු එළි

තැන් තැන්වල පාතාල වෙඩි පත්තු වෙද්දී සහ දින 20ක් පුරා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටි පසුබිමක පසුගිය සතියේ ජනාධිපතිවරයා හදිසියේම බස්නාහිර සහ දකුණේ පොලිස් ප්‍රධානීන් වෙන වෙනම හමුවීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා මෙසේ පොලිස් ප්‍රධානීන් කැඳවීම සඳහා බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, ඉහත සිදුවීම් දෙක මුල්කරගෙන ආණ්ඩුවට එරෙහි යම් ඍණාත්මක ජනමතයක් නිර්මාණය වෙමින් පවතින බවට වූ වාර්තා කීපයක් ජනාධිපතිවරයා වෙත ලැබී තිබීමය. ඒ නිසාම මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පොලිස් ප්‍රධානීන් වෙත දැඩි ප්‍රකාශ දෙක තුනක්ම සිදුකළ බවක් දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් සාකච්ඡාවට පෙරාතුව මාතෘකා කීපයක්ම පොලිස් ප්‍රධානීන් වෙත ලබාදී තිබූ අතර, ඊට අවශ්‍ය දත්තයන්ද රැගෙන සාකච්ඡාවට එක්වන ලෙස කල්තියාම දැනුම් දීමක්ද කර තිබිණි.

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී පොලිස් ප්‍රධානීහු මෙරට පාතාල කල්ලි පිළිබඳ සවිස්තර තොරතුරු ජනාධිපතිවරයා හමුවේ තැබීමට කටයුතු කළහ. රටේ දැනට ක්‍රියාත්මක වන පාතාල කල්ලි මොනවාද, ඊට සම්බන්ධ සාමාජිකයන් කවුද, ඔවුන්ගේ සම්බන්ධතා මොනවාද, රටින් පලාගොස් සිටින පාතාල කල්ලි නායකයන් කවුද, ඔවුන් රැඳී සිටින්නේ කුමන රටවලද, ඔවුන් සමග සම්බන්ධ වන මෙරට සිටින පුද්ගලයන් කවුද යනාදී වශයෙන් සියලු තොරතුරු මෙහිදී පොලිස් ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී ජනාධිපතිවරයා ඍජුවම කියා සිටියේ පාතාලය මර්දනය කිරීමට සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට පොලිසිය වෙත අනුල්ලංඝනීය වගකීමක් ඇති බවත්, එය නිසි අයුරින් ඉටුකිරීම පොලිසියේ වගකීමක් බවත්ය.
කෙසේ වෙතත් මේ සාකච්ඡාවෙන් පසු පොලිසිය පැත්තෙන් හදිසි තීන්දු තීරණ කීපයක්ම ක්‍රියාත්මක විය. ඉන් එකක් වූයේ සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කොට මත්පැන් බෝතල් දහසකට අධික ප්‍රමාණයක් සහ තවත් භාණ්ඩ කීපයක් සොයාගැනීමය. එමෙන්ම පොලිසිය දේශබන්දුගේ දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන්ද යම් මෙහෙයුමක නිරත වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මේ ආකාරයට පොලිසිය දේශබන්දුගේ දේපළ තහනම් කිරීමට සූදානම් වෙද්දී දේශබන්දු සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ නඩු කටයුත්තේදී අපූරු කාරණාවක් හෙළිදරව් විය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ දේශබන්දුගේ නමට කිසිදු දේපළක් නැතැයි කියාය. අවම වශයෙන් ඔහුගේ නමින් පාපැදියක් හෝ නොමැති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

‘තඩි බොරුවක්!’ ඒකාබද්ධ විපක්ෂයක් ගැන දේශය පත්තරේ ගහපු පච නිව්ස් එක ගැන විපක්ෂනායක සජිත් තියපු සටහන!  I Sri Lanka Latest News

Next Post

සෙව්වන්දි මරලා නෑ පැනලා..! ප්‍රසන්නත් පැනලා..! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.