අද අපි කැලෑ කොලමෙන් සාකච්ඡා කරන්නේ තවත් ඛේදවාචකයක් පිළිබඳවය. අප රට බැබළවූ තවත් ඇත් රජෙකු අනවසර විදුලි රැහැන් හේතුවෙන් අවසන් ගමන් ගොස් තිබේ. (Sri Lanka Latest News)
මිනිසා තිරිසන් සතුන්ටත් වඩා කුරිරුය. සැහැසිය. එය අපි අත්දුටු සත්‍යයකි. සතා සිවුපාවා කුරිරු ලෙස ඝාතනය කිරීම අද ඊයේ සිදුවන්නක් නොවේ. ඊට ආසන්නම උදාහරණය කලාවැවේ හැඩකාරයා ලෙස නම් ලැබ සිටි ‘දීඝ දන්තු’ ඇතා අනවසර විදුලි රැහැන් යොදා ඝාතනය කිරීමයි. තම නිජ භූමිය වූ කලාවැව අසලම ඝාතනය වන්නට තරම් මෙරට අලි ඇතුන් කර ඇති වරද කුමක්ද? එම සතුන් ආරක්ෂා කරගැනීමට කිසිවකුටත් වුවමනාවක් ඇති බවක් පෙනෙන්නටද නැත.
මෙය කලාවැව ආශ්‍රිතව සිදුවූ පළමු වන අලි ඝාතනය නොවේ. මීට පෙරද අනවසර විදුලි රැහැන් යොදා වන අලි ඇතුන් කිහිප දෙනකුම ඝාතනය කර තිබිණි. නමුත් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමී ලෙසටය. ඇතැම් ඝාතකයන් අදටත් නිදැල්ලේ සිටියි. මෙම ඝාතන ක්‍රියාවලිය නතර වන්නේ කවදාද? අනවසර විදුලි රැහැන් අදින්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් නැතිද? ප්‍රජාව හා දැනුම් තේරුම් ක්ෂේත්‍රයේ විද්වතුන් දී ඇති විසඳුම් හා යෝජනාවන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
අලුත් පරිසර ඇමැතිතුමනි, මේ ඔබගේ අවධානය පිණිසයි. යල් පැනගිය නිලධාරි පැලැන්තිය සමග මෙය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බව කැලෑ කොලමේ අපගේ හැඟීමයි. මීට පෙරද අප කිහිප වතාවක්ම මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සහ බලධාරීන් දැනුවත් කර තිබුණද ඉන් ප්‍රයෝජනයක් සිදුවූ බවක් නම් දැනගන්නට ලැබුණේ නැත. අප රටට විදේශ විනිමය උපයා දෙන වන අලි සම්පත මෙසේ කුරිරු ලෙස ඝාතනයට ලක්වීම ජාතික අපරාධයකි. මේ ඛේදවාචකය අවසන් වන්නේ අවසන් වන අලියාද ශ්‍රී ලංකාවට අහිමි වූ දවසටද? අනාගතය කෙසේ වේදැයි කිසිවකු නොදනී. සොබාදහම කම්පා වී තිබේ.
සමන් හල්ලොලුව










